මාලිංගගේ මැජික් පන්දුව ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ දමයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-24

මාලිංගගේ මැජික් පන්දුව ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ දමයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

ලෝක කුසලාන තරගමාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකළ විශාලතම පෙරළිය බවට පත්වූයේ සත්කාරක හා නොම්මර එකේ කණ්ඩායම වන එංගලන්තය ලීඩ්ස් නුවරදී පරාජයට පත්කිරීමය. මෙවර තරගමාලාවේ දී 5 වැනි වරටත් සිය ප්‍රතිවාදියා ලකුණු 300ට අඩුවෙන් බිඳ දැමූ එංගලන්තය ඉතා පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට පිටියට පිවිසියත් අන්තිමේදී උරුම වූයේ ලකුණු 20ක පරාජයක් පමණි.

ආරම්භයේ සිට තරගමාලාවේ අවධානය දිනාගත් රටවල් අතර පවා නොසිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලීඩ්ස් නුවර ජනප්‍රියතම ජයග්‍රහණයෙන් පසුව ප්‍රබල රටවල් රැසකට දැඩි අනතුරුදායක කණ්ඩායමක් බවට පත්වී සිටී.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල රැස් කළේ ලකුණු 232ක් පමණි. එහෙත් එය ඉතා පහසු ඉලක්කයක් වනු ඇතැයි උදම් අනමින් ජයග්‍රහණය හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ අන්තිමට ලසිත් මාලිංගගේ පන්දුව හමුවේ දණ නැමූහ.

ලසිත් මාලිංග....! තවමත් කතා කරන්නේ ඔහු ගැනය.

එංගලන්තයට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග ජාත්‍යන්තර පිටියේ නොම්මර එකේ පිතිකරුවන් මාලිංග භීතිකාවට හසුවී සිටිනු නොඅනුමානය. ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ලකුණු 85ත්, ලසිත් මාලිංගගේ කඩුලු 4ත් සෑහෙන කාලයක් යනතුරු ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ගේ මතකයේ රැඳෙනු ඇත.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ 1999 දක්වා එංගලන්තය සමග පැවැති තරග 7කින් 6ක්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිල ඉන් අනතුරුව මෙතෙක් කිසිදු තරගයකින් එංගලන්තය හමුවේ පරාජයට පත්වී නැත. 2003 තරගමාලාවේදී දෙපිල මුණ නොගැසුණු අතර 2007 තරගමාලාවේදී එංගලන්තය පරාජය වූයේ ලකුණු 2කිනි. 2011දී කඩුලු 10කින් එංගලන්තය පරාජය කළ ශ්‍රී ලංකා පිල 2015දී කඩුලු 9ක පරාජයක් අත් කර දුන්නේය.

මෙවර ලෝක ශූරයන් වනු ඇතැයි ආරම්භයටත් පෙර අනාවැකි පළවී තිබුණු එංගලන්ත පිල තරගමාලාවේ සාර්ථකම කණ්ඩායමක් බවට පත්ව

සිටි අතර ශ්‍රී ලංකා පිල හමුවේ පරාජයට පත්වෙද්දී අවසන් පුර්ව වටයට යාමේ දොරටුවට තට්ටු කරමින් සිටියේය.

ශ්‍රී ලංකා පිල ලැබූ ජයග්‍රහණයත් සමග දැන් අවසන් පුර්ව වටයට වේලාසනින්ම යනු ඇතැයි අනාවැකි පළවී තිබුණු ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඉන්දියාව වැනි රටවල් ද තරමක් කැළඹීමට පත්ව සිටී. ඊට හේතුව වී ඇත්තේ මූලික වටයේ අවසානය වනතුරුම අවසන් කණ්ඩායම් හතරට යාමේ අවස්ථාව උදුරා ගැනිමට බංග්ලාදේශය මෙන්ම ශ්‍රී ලංකාවත් දැන් සටන් වැදීමට පටන් ගෙන නිසාය.

ලසිත් මාලිංග ලකුණු 43කට එංගලන්ත පිතිකරුවන් සිවුදෙනෙකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යවද්දී ද ධනංජය ද සිල්වා ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේය. ජොනී බෙයාර්ස්ටොව් දැවී ගියේ මාලිංග යැවූ ඉනිමේ දෙවැනි පන්දුවේදීමය.

7 වැනි ඕවරයේදී ජේම්ස් වින්සි ක්‍රීඩාගාරයට හරවා යැවූ මාලිංග එංගලන්ත පිලේ ආරම්භයේ දීම කොඳු නාරාටිය කඩා දැමුවේය. භයානක පිතිකරුවකු ලෙස නම් දරා සිටින නායක ඔයින් මෝගන් පෙරළා දුන් උඩපන්දුව පන්දු යැවූ ඉසුරු උදාන රැකගත්තේ විස්මිත අයුරිනි. ලකුණු අතරේ සිටින ජෝ රූට් සහ ජොස් බට්ලර් පිට පිට ඕවර දෙකකදී දවා ගනිමින් සිය කඩුලු 4ක මාලිංග සම්පූර්ණ කළේ ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ කඩුලු 50ක් දවා ගත් සිවුවැනි පන්දු යවන්නා බවට පත්වෙමිනි. ඊට පෙර මුත්තයියා මුරලිදරන්, ග්ලෙන් මැග්‍රාත් සහ වසීම් අක්රාම් එම වාර්තාව තැබූහ.

ලකුණු 144කට කඩුලු 5ක්ව තිබූ එංගලන්ත පිල 178කට 8ක් දක්වා පරාජයයේ මාවතට තල්ලු කරනු ලැබූවේ ධනංජය ද සිල්වා විසිනි. මුළු ලකුණු සංඛ්‍යාව 186දී ජෙෆ්රි ආචර් 9 වැනි කඩුල්ල ලෙස දැවීයාමෙන් පසුව අවසන් පිතිකරු මාක් වුඩ් එක් අන්තයක සුරක්ෂිතව තැබූ බෙන් ස්ටෝක්ස් ඉනිමේ මුළු බර කරට ගෙන නොදැවී ලකුණු 82ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යාමට ගත් උත්සාහය අගය කළ යුතුය.

පරාජයෙන් පසු දින පුවත්පත් සියල්ලෙහිම එංගලන්ත පිල පතුරු ගසා තිබිණ. ඊට දින කිහිපයකට පෙර විශිෂ්ට පිතිහරඹයක නිරතවූ මෝගන් ඉහළට ඔසවා තැබූ එරට වාර්තාකරුවෝ ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයෙන් පසුව ඔහු බිමටම ඇද දැමූහ. ශ්‍රී ලංකා පිලේ හිටපු පුහුණුකරුවකු ද වන එංගලන්ත පිලේ පුහුණුකරු ට්‍රෙවර් බේලිස් තරගයෙන් පසුව කියා සිටියේ ‘ශ්‍රී ලංකා පිල ගැන එංගලන්තය සැහැල්ලුවට ගත්තා වැඩිය.’ කියාය. දැන් විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන එංගලන්ත පිලේ හිටපු දඟ පන්දු යවන්නා ග්‍රෙහැම් ස්වාන් කීවේ අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා යන්නේ කෙලෙසදැයි එංගලන්තයට අමතක වූ බවකි.

‘ඔහු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහු දන්නවා කළ යුත්තේ කුමක්දැයි කියා.’ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න සිය ජ්‍යෙෂ්ඨ සගයා ගැන එසේ කීවේය.

‘ඔහු අපේ කනිෂ්ඨ ක්‍රීඩකයන්ට හොඳ ආදර්ශයක් ලබා දුන්නා.’

No comments:

Post a Comment

Post Bottom Ad

Pages