රටට ම උප්පැන්න හදා මරණය ලිය‍ැ­වෙ­න්නට යන කඩ­දාසි නග­රය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-29

රටට ම උප්පැන්න හදා මරණය ලිය‍ැ­වෙ­න්නට යන කඩ­දාසි නග­රය

29 ජුනි, 2019

කොටු­වෙන් පටන් ගන්න කෝච්චිය, කඩ­දාසි කම්හලේ ගබ­ඩාව ඇතු­ළ­ටම යන්න හදාපු රේල්පාරේ අද තියෙන්නෙ ඉති­රිවූ පීල්ලක් දෙකක් විත­රයි. කෝච්චිය ඇතු­ළු­වන තැන ගේට්ටුව වල් වැදිලා. ගේට්ටුව ළඟ ඉඳන් බැලු­වොත් ඈතින් පේන්නෙ කඩ­දාසි කම්හල. එදා වාල­ච්චේන ගබ­ඩා­වෙන් කඩ­දාසි පුරවා ගන්නා කෝච්චිය ආපහු ඇවිත් නතර වුණේ කොළඹ කොටුවෙ.

මං ඉන්නෙ වාල­ච්චේනෙ. හරි­යට ම කිව්වොත්, කලෙක ආසි­යාවේ හොඳ ම කර්මාන්ත ශාලාවේ.

මට ඕනෙ, කම්හලේ වැඩ පටන් ගන්න බව දන්වන ඒ සයි­රන් හඬ අහන්න.

මේ අක්කර තුන්සිය ගණන පුරා රැව් දුන් ඒ මිනි­සුන්ගෙ කට­හ­ඬ­වල් අහ­න්නත් මට ඕනෙ.

ඒත් කෝ ඒ මිනිස්සු... කෝ ඒ කට­හ­ඬ­වල්...

රට­ටම කඩ­දාසි හදන්න, නොන­වත්වා වැඩ කරපු ඒ මැෂි­න්වල සද්දෙට මොකද වුණේ... කාටත් නොදැනී, ඒවත් නෑහි­ලාම යන්න ගිහින් ද...

තුන්ද­හස් පන්සිය ගණ­නක් සේව­කයො දින­පතා ආ ගිය මේ පොළොවෙ වැලි ­මත්තෙ ඔවුන්ගෙ සපත්තු සෙරෙප්පු පා සට­හන් මොන තරම් තිබෙන්න ඇද්ද...

කතා කර­ගන්න පුළු­වන් නම්, එක පිට එක වැටිලා දිරා­ප­ත්වන, මේ එකම පැහැයෙ බයි­සි­කල් දෙතුන් සිය­ය­වත් ඇත්ත කියාවි.

ඒත් එක අත­කට, අන්ති­මට වැඩට ආපු දවසෙ ඒ හැමෝම තමන් පැදපු බයි­සි­ක‍ෙල් මෙහෙම ගාල් කරලා යන්න ගියේ ආයෙ නොඑන බව දන්න නිසා වෙන්න ඇති. අභා­ව­යට යන හුඟක් දේ අත­රට දැන් ඒවත් එකතු වෙලා.

තැන තැන ගොඩ­ගසා ඇති අබලි යකඩ... සුන් බුන්... වල් වැදුණු සරු බිමක ශේෂව ඇති ගොඩ­නැ­ඟිලි බැලූ බැලූ අත. ගරා වැටී­මට ලක්ව පව­තින, වාල­ච්චේන කඩ­දාසි කම්හලේ ඛේද­වා­ච­කය කියා පාන මේ දේවල් හද­වත පසාරු කර යන තරම්.

මිනිස් පුළු­ටක් නැති ගාණට, මහා අඳුරු මූසල කම­කින් වැහී ගිය ඒ බිමේ කැඩුණු - බිඳුණු ... වියැ­ළුණු... හිස්වුණු... පාළු­වත් එක්ක කොහේදෝ ඇදී ගිය මගේ හිත නතර වුණේ, 2007 අවු­රුද්දේ.

ඒ, ජීවි­තයේ පළමු වතා­වට මං කඩ­දාසි නග­ර­යට පා තබපු දවස. ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වෙන් රැගෙන ගිය ඒ මාධ්‍ය සංචා­ර­යෙන් අවු­රුදු දොළ­හ­කට පස්සෙ මං ආයෙ­මත් එතැන. හැබැයි දැනෙන හැඟීම, සහ­මු­ලින්ම වෙනස්.

හරි­යට, එහෙම පිටින්ම ‘මළ නග­ර­යක’ තනි වුණා වැනි මහා හුදෙ­කලා හැඟී­මක්.

ඒත් ඒ තනි­ක­මට නතු වුණාම, මට අර සයි­රන් හඬ අහන්න පුළු­වන්. දෙනෝ­දා­හක් දෙනා එහා මෙහා යන හැටි... කම්හලේ මැෂින් එක දිගට වැඩ­ක­රන හැටි හිතින් මවා ගන්නත් පුළු­වන්. ඒත් ඒ සතුට තත්පර ගණ­න­කටයි.

යුද්දෙ­දි­වත් එහෙ­මට විනා­ශ­යක් නොවෙච්චි කඩ­දාසි න‍ගරෙ, කඩ­දාසි කම්හල ඇරෙන්න අද අනෙක් සියල්ල උඩු යටි­කුරු වෙලා වග දැනෙ­න්නත් මහ වෙලා­වක් ගියේ නැහැ.

අපේ රණ­වි­රු­වන්ගෙ ජීවිත පූජා­වෙන් බේරා­ගත් නැගෙ­න­හිර හුඟක් තැන් අර­ක්ගෙන තිබුණෙ අරාබි සල­කු­ණු­. පුවරු හා සංඛේ­ත­.

අරාබි ක්‍රම­යට අලුත් වෙච්චි හැම­දේම අතරෙ මෙදා සැරේ මං අඩු­වෙන් ම දැක්කෙත් රණ­වි­රුවෝ.

කොහොම වුණත්, කඩ­දාසි කම්හල පණ අදි­මින් හරි තවම ජීවත් වෙන්න වෙර දරන එකයි, සතුට.

මොකද, අපේ රටේ කඩ­දාසි ඉති­හා­සය ගැන කතා කරන විට පුංචි එකෙ­කුට හරි පෙන්වන්න තැනක්... අතී­ත­යක් තවම එතැන තියෙන නිසා.

ඉතින්, කියන්න මට කඩ­දා­සි­යක් නැති ජීවිතේ වටි­නා­කම කවද හරි ඔබට දැනී තිබෙ­න­වද...

‘උප්පැ­න්න­යක් නැති­නම් සමා­ජ­යට අව­ලං­ගුයි... අධ්‍යා­පන සහ­තික නැති­නම් රැකි­යා­ව­කට අව­ලං­ගුයි... කසාද සහ­ති­ක­යක් නැති­නම්... ඒත් එහෙ­ම­මයි. මරණ සහ­ති­ක­යක් නැතිව, මැරි­ල­වත් වැඩක් තියේද...

කොටින් ම, අපේ ජීවි­ත­වල ඉර­ණම ලියැවෙන්නේ කඩ­දාසි මත්තෙ.

ඉතින් ඒ හැම­දේ­ටම කඩ­දාසි හදාපු, අපේ රටේ කඩ­දාසි කම්හලේ ඉර­ණම මේ විදි­යට ලියන්න ඉඩ හැරිය යුතුද... මේ රටේ පුර­වැ­සියො හැටි­යට ඒ ගැන හිතන්න ඔබ­ටත් වග­කී­මක් තිබෙ­නවා කිය­ලයි මම නම් හිතන්නේ.

මොකද, මේ ප්‍රාණය අය­දින්නේ, එදා ඔබෙත් මගෙත් උප්පැන්නෙ සහ මරණ සහ­ති­කය අතර වූ, ඉස්පි­රි­තාලෙ බෙහෙත් තුණ්ඩුව... ආණ්ඩුවෙ ලිපි ලේඛන, පොත පත, ඔප්පු තිරප්පු, කෝච්චි ටිකට් පත්, ෆයිල් කවර, බ්‍රිස්ටල් බෝඩ්, චිප් බෝඩ්, චෙක් පොත් කවර... ඇතුළු මෙකී නොකී රටේ සෑම කඩ­දාසි අව­ශ්‍ය­තා­වක් ම නිමැවූ අපේ රටේ එකම තැන නිසා.

හැම දේම පිට­ර­ටින් ගෙනෙන කාල­කණ්ණි පුරුද්ද නිසාම විත­රක් නෙවෙයි, දේශ­පා­ළු­වන්ගේ නොමනා ක්‍රියා නිසා වළ පල්ලට යන, අපේ ම කර්මා­න්ත­යක් ඇස්ව­ලින් දැක ගන්න, පුංචි හරි සිති­වි­ල්ලක් ඔබට ආවොත්, දව­ස­කට හරි ඔබ කඩ­දාසි නග­රෙට ගිහින් එන්න ඕනෙ.

කොළඹ කොටු­වෙන් මඩ­ක­ලපු කෝච්චියේ නැග්ගම, ‘කඩ­දාසි නග­රය’ පුංචි ඉස්ටේ­සම ඔබට මුණ ගැහේවි. ඔබට පුළු­වන් එතැ­නින් බැහැ­ගන්න. හැබැයි, කඩ­දාසි කම්හල ඇතු­ළට යන විදි­ය නම් හොයා ගන්න ඕනෙ ඔබමයි.

මොකද, මම නම් ආවේ හිතු­ව­ක්කාර ගම­නක්. ඇත්තටම ඕන දේකට මුහුණ දෙන්න බලා­ගෙන ආපු හිතු­ව­ක්කාර ගම­නක්.

කොටු­වෙන් පටන් ගන්න කෝච්චිය, කඩ­දාසි කම්හලේ ගබ­ඩාව ඇතු­ළට ම යන්න පුළු­වන් විදි­යට හදාපු රේල්පාරේ අද තියෙන්නෙ ඉඳ­හිට ඉති­රිවූ පීල්ලක් දෙකක් විත­රයි. ඉස්ටේ­ස­මයි කම්හ­ලයි අතර කෝච්චිය ඇතු­ළු­වන තැන ගේට්ටුව නම් ඉබි යතුරු දැම්මට වල් වැදිලා. ඉස්ටේ­ස­මෙන් බැහැලා කැලෑව ඇතු­ළට ටිකක් ඇවි­ද්දොත් ඔබට ඒ ගේට්ටුව හමු­වේවි. එතැන ඉඳන් බැලු­වොත් ඈතින් පේන්නෙ කඩ­දාසි කම්හල. ඒ රේල් පාර හදා තිබෙන්නෙ, කෝච්චිය කෙළින්ම ගබ­ඩාව ඇතු­ළට ගන්න පුළු­වන් විදි­යට.

එදා වාල­ච්චේන ගබ­ඩා­වෙන් කඩ­දාසි පුරවා ගන්නා කෝච්චිය ආපහු නතර වුණේ කොළඹ කොටුව බඩු ගබ­ඩාවේ, රට පුරා කඩ­දාසි බෙදා හැරුණේ එතැ­නින්.

1956 අවු­රුද්දේ, පිදු­රු­ව­ලින් කඩ­දාසි නිප­ද­වන ලංක‍ාවේ පළමු කඩ­දාසි කම්හල විදි­යට වැඩ අරඹා, වසර කිහි­ප­යක් යද්දී නොසිතූ විරූ ආදා­ය­මක් ලැබීම හේතු­වෙන්, ඊට සහය වනු වස් 1975 ඇඹි­ලි­පි­ටියේ කඩ­දාසි කම්හ­ලක් ඉදි­කළේ වාල­ච්චේ­නට වඩා හය ගුණ­යක විශා­ල­ත්ව­යෙන්.

පිදුරු යුගය අව­සන් වීමත් සමඟ මේ කර්මා­න්ත­ශාලා දෙකේ ම කඩ­දාසි හැදුණේ ඉව­ත­ලන කඩ­දසි ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණය කොට පල්ප සාදා ගත් ‘වේස්ට් පේපර්’ ක්‍රම­යෙන්. මේ කර්මා­න්තය වෙනු­වෙන් ම අක්කර හය හත් සියය වෙන් කළෙත්, කඩ­දාසි හැදී­මට අවශ්‍ය ‘යුකැ­ලි­ප්ටස්’ කොළ ලබා ගැනී­මට අවශ්‍ය යුකැ­ලි­ප්ටස් තුරු ගොමු වගා කිරී­මට ද ඉඩ­කඩ හද­මින්.

වාල­ච්චේන කඩ­දාසි නිපැ­යු­මෙන් ලද ලාබය කෙත­රම්ද කීවොත්, ඔවුන් සිය මූල­ස්ථා­නය සඳහා කොළඹ යූනි­යන් පෙදෙ­සින් ඉඩ­මක් මිලදී ගත්තා විත­රක් නෙවෙයි, විසල් ගොඩ­නැ­ඟි­ල්ලක් ද ඉදි­කළේ ඒ ලාබ­යෙන්. අද යුනි­යන් පෙදෙසේ ‘වාසනා මන්දි­රය‘ නම් ඒ ගොඩ­නැ­ගි­ල්ලත් විකුණා දමපු වග­කි­ව­යුත්තෝ කඩ­දාසි කම්හල් දෙකම වළ­ප­ල්ලට දමා අත් පිහ­දා­ගෙන යන්න ගිහින්.

1951 වසරේ, කර්මාන්ත අමා­ත්‍ය­ව­ර­යාව සිටි ජී. ජී. පොන්න­ම්බ­ලම් මහතා මුල් ගල් තබා, 1956 වසරේ කර්මා­න්ත­ශා­ලාව වැඩ ආරම්භ කළේ, බට­හිර ජර්ම­නියේ ජේ. එම්. වයිට් කොම්පැ­නිය සවි කළ, අදත් නිරු­ප­ද්‍රි­තව තිබෙන ලෝ ප්‍රකට ‘වොයිත්’ මැෂි­න්ව­ලින් කීවොත් සම­හ­ර­විට ඔබ පුදුම වේවි. ඒත් ඒ තමයි ඇත්ත.

‘ඒ කාලෙ රජයේ සේව­කයො, ගුරු­වරු පවා රස්සා අත්හැ­රලා මෙහෙ වැඩට ඇවිත්. මොකද, සති­යක් ගානෙ හොඳ වැටු­පක් ලබා ගන්න පුළු­ව­න්කම තිබුණු නිසා.

‘කඩ­දාසි නග­රය’ ඉස්ටේ­සම හැදු­ණෙත් අම්පා­රෙන් මඩ­ක­ල­පු­වෙන් ආ අති විශල සේවක පිරිස නිසා.

මහා සෙන­ඟක් ආ ගිය, මේ පුංචි ඉස්ටේ­ස­ම­ටත් අද ඒ හුදෙ­ක­ලාව දරා ගන්න බැරිව ඇති.

අද මෙතැන නතර වෙන්නෙ, කොළ­ඹින් මඩ­ක­ල­පු­ව­ටත් මඩ­ක­ල­පු­වෙන් කොළ­ඹ­ටත් යන කෝච්චිය විත­රයි. ඒකත් දව­සට ම දෙපා­රයි.

කොහොම වුණත්, ඈත පළා­ත්ව­ලින් පවා පිදුරු ගෙනා හින්දා වක්‍රව හුඟ දෙන­කුට මෙහෙ රස්සා තිබුණා. ඍජු­වම 3500 ක් වැඩ­ක­රපු, වක්‍රව තවත් 2000 ක් වැඩ­ක­රපු කර්මා­න්ත­යක් ගැන ඔබට හිතා­ගන්න පුළු­වන්ද...‘

අද ඉති­හා­සය දන්නා කෙනෙක් තබා, සිංහල වච­න­යක් කතා කරන්න පුළු­වන් කෙනෙක් නැති මේ, පළාතේ ඔය තොර­තුරු ගැන දැන කියා ගත්තෙ, 2007 අවු­රුද්දෙ කඩ­දාසි නග­රෙදි මුණ ගැහුණු පැරැ­න්නෙ­කු­ගෙන්.

ඔහුට අනුව, වාල­ච්චේ­නය ම මේ සඳහා තෝරා ගත්තෙ හේතු දෙකක් නිසා. රට­ටම බත සප­ය­න්නට තරම් ගොවි­තැන් සාරෙට කෙරූ ‘නැගෙ­න­හිර සහල් නැළිය’ එක හේතු­වක්. ඒ සශ්‍රීක ගොවි­තැ­නෙන් ඉව­ත­ලන පිදු­රු­ව­ලින් ප්‍රයෝ­ජ­න­යක් ගැනී­මත් එහි එක් ප්‍රධාන අර­මු­ණක් වුණා.

වාක‍ර් ඇළ, අනෙක් හේතුව. හැතැප්ම තුන හත­රක් කැලේට වෙන්නට පිහිටි වාක­නේරි ඇළෙන් කඩ­දාසි හදන වැඩේට එදා වතුර ඇදුණේ, දව­සට ගැලුම් ලක්ෂ විසි­පහ ගානේ.

තොප්පි­ගල, අම්පාරේ, සම­න්තුරේ, අක්ක­රෙ­යි­පත්තු ඔඩු­වා­මඩු, ඔලු­විල් හා තවත් ප්‍රදේශ කිහි­ප­යක ම පිදුරු එකතු කරන මධ්‍ය­ස්ථාන පවා ඉදි­ක­ළෙත් ‍ඒ වෙනු­වෙ­න්මයි.

සරු­වට ගොවි­තැන් කෙරුණු මේ පළා­ත්වල ගොවීන්, ඒ ඉව­ත­ලන පිදුරු ගිනි තබන්න හිතු­වෙ­වත් නැහැ. කඩ­දාසි හද­න්නට පිදුරු සපයා ඔවුන් යහ­මින් මුදල් උප­යා­ගත්තෙ අම­තර ආදා­ය­මක් ලෙසින්.

කඩ­දාසි නග­රයේ ඉස්ටේ­සමේ සිට කම්හල ඇතු­ළට දිවෙන කෝච්චි පාරෙන්, ගැලුම් 5000ක් පිරවූ තෙල් ටැංකි කෝච්චිය දින­පතා ගියත්, ඒවත් මදි වූ බවයි ඒ ඉති­හා­සයේ කියැ­වෙන්නේ.

පිදුරු, තම්බන්න ජල වාෂ්ප නිපද වුණේ ජර්ම­නි­යෙන් ගෙන්වූ තඹ බොයි­ලේ­රු­ව­ලින්.

සද්දන්ත යන්ත්‍රෝ­ප­ක­රණ... බොයි­ලේරු... විය­ළන යන්ත්‍ර හා ඔට්ටු වූ ඇතැම් සේව­ක­යන්ගෙ ඇඟිලි එදා දැති රෝද­ව­ලට හසුව කැපී ගියත් ඔවුන් ආය­ත­න­යට වැඩ කළේ හද පිරි ආද­ර­ය­කින්.

සියල්ල එහෙම ගලා එද්දි, එතෙක් කඩ­දාසි ගෙන්වී­මට පනවා තිබූ බද්ද 35% දක්වා විශාල ලෙස අඩු කිරී­මෙන් මේ විනා­ශ­යට පාර පුළුල් කළේ, චන්ද්‍රිකා යුගය. 2006 වන විට ඒ බද්ද සිය­යට ‘0’ කර, ඕසෙට කඩ­දාසි පිට­ර­ටින් ගේන්න අධි­වේගි මං හැදුවේ එතැ­නින් එහාට පත්වූ ආණ්ඩු බවත් නොකියා බැහැ. අද ආසි­යාවේ විශාල ම කම්හ­ලට එලෙස ඉබි යතුරු දමා වසා තිබෙන්නෙ ඒ සියලු දෙනාගේ සාමූ­හික ප්‍රය­ත්න­යෙන්. ඒ, තව­මත් කඩ­දාසි නිප­ද­විය හැකි කෝටි ගණ­නක් වටිනා එදා සවි­කළ ලොව හොඳ ම ජර්මන් ‘voith’ කඩ­දාසි මැෂින් දෙක­කුත් එක්ක.

තවත් අවු­රුදු සිය­යක් වුණත් පාවිච්චි කළ හැකි මේ මැෂි­න්ව­ලට තිබෙන්නේ ජර්ම­නියේ ‘ලයිෆ් ටයිම් වොරන්ටි.’

වැද­ගත් ම දේ, වාල­ච්චේනේ අක්කර 330 ක ඉදිවූ මේ වටිනා ජාතික සම්පත අද තිබෙන්නෙ කර්මාන්ත අමා­ත්‍යං­ශය යටතේ.

උව­ම­නා­ව­කින් අත­ගැ­හු­වොත් මේ ජාතික සම්පත නැවත ගොඩ­දාන එක අමා­ත්‍යං­ශය බාර ඇමැ­ති­ව­ර­යාට අමාරු දෙය­කුත් නෙවෙයි. කඩ­දාසි නගරෙ කියන්නෙ මට විත­රක් නෙවෙයි, ගුලි­ක­රලා විසි කරපු කඩ­දා­සි­යක් වගේ, ලෙහෙ­සි­යෙන් ඔබ­ටත් රට­ටත් අම­තක කර දමන්න බැරි තැනක්.

මොකද, ඉප­දිලා මැරිලා යන­කල් අපි හැමෝ­ගෙම ජීවි­ත­ව­ලට වටි­නා­ක­මක් දෙන්නෙ ‘කඩ­දාසි’ නිසා.



from silumina sithmalyaya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages