පාස්කු දා ප්‍රහාරයෙන් පසු ත්‍රස්තයන්ට එරෙහිව ගත් පියවර නිසා තත්ත්වය සමනය වෙලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-24

පාස්කු දා ප්‍රහාරයෙන් පසු ත්‍රස්තයන්ට එරෙහිව ගත් පියවර නිසා තත්ත්වය සමනය වෙලා

රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා

පාස්කු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තයන්ට එරෙහිව රජය ක්‍රියාත්මක කළ පියවරයන් හේතුවෙන් තත්ත්වය යථා තත්ත්වයට පත්ව ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (21) පැවැසීය.

ප්‍රහාරය වළක්වා නොගැනීමට වගකිව යුතු යැයි නම් කර ඇති පොලිස් නිලධාරීන් නමදෙනාට අමතරව ඊට වගකිව යුතු තවත් පිරිස් සිටිය හැකි බවද රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

ත්‍රස්ත සංවිධාන තුනක් තහනම් කිරීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 පාර්ලිමේන්තුව රැස්විය.

කතානායක නිවේදන මහජන පෙත්සම් හා මන්ත්‍රීවරුන් අසන ලද ප්‍රශ්නවලට ඇමැතිවරුන් පිළිතුරු ලබාදීමෙන් පසුව පාර්ලිමේන්තු විවාදය ආරම්භ කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය මඟින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන නියෝග පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඉන් අනතුරුව ආරම්භ විය.

අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තයන් නියෝජනය කළ ජාතික තවුහිද් ජමාද් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් සංවිධානය සහ මිලාතේ සෙයිලානි සංවිධානය තහනම් කිරීම සඳහා වන නියෝග අනුමත කිරීමට මේ විවාදය පැවැත්විණි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා - ජාතික තවුහිද් ජමාද් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් සංවිධානය, මිලාතේ සෙයිලාන් සංවිධානය වැනි අයිඑස්අයිඑස් සමඟ සබඳකම් පැවැත් වූ සංවිධාන තහනම් කරන්න අද මේ නියෝගය ඉදිරිපත් කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මෙවන් ම්ලේච්ඡ සංවිධාන තහනම් කිරීම කළ යුතුයි. අද පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් මිය ගිය අයට වන්දි ලබාදෙමින් පවතිනවා. රුපියල් මිලියන 229ක් ප්‍රදානය කරලා තියෙනවා. තවත් වන්දි ලබාදීමට තිබෙනවා. ප්‍රහාරය සිදුව මාස 2යි. මේ ප්‍රහාරය වළක්වන්න තිබුණද මෙය පිටි පස්සේ ඉන්නේ කවුද එයට වගකිව යුත්තේ කවුද කියලා දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා.

ජනාධිපති වාර්තාව අනුව පොලිස් නිලධාරීන් නමදෙනෙකු සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා නීතිපතිවරයා ඊයේ කියලා තිබෙනවා. ඩී. අයි. ජී. ලලිත් පතිනායක, වගේ ඩී.අයි.ජී. වරු තිදෙනෙක් ඇතුළු පිරිසක් එතැන සිටිනවා.

ඒ නමදෙනා පමණක් නොව තවත් මේ සම්බන්ධයෙන් පිරිස් ඇති වගකිව යුතුයි. කාදිනල්තුමා කියලා තිබෙනවා මේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බෑ කියලා.

පොල් ගෙඩියක් හොරකම් කරපු අය අත්අඩංගුවට ගන්න පොලිසියට පැමිණිලි ලැබුණත් සමහර අයගෙන් ප්‍රකාශ අරගෙන නෑ. ඉන්දියානු බුද්ධි අංශය නැවතත් අනතුරු අඟවා තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා (එජනිස) - පාස්තු ප්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබඳ අපිට සෑහීමකට පත්වෙන්න බෑ. රජයේ සිටින මන්ත්‍රීවරු සෑහීමකට පත්වෙන්නේ නෑ. කාදිනල්තුමා සතුටු වෙන්නෙත් නෑ. මේ පරීක්ෂණ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙන සිදුකරන්නක් නොවේ.

මුදල් නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා - අසාධාරණයක් වූ අයට සමෘද්ධිය දෙන්න අපි කටයුතු කරනවා. සමෘද්ධිය ලබාදීමේ දී දුප්පත්කමට අසාධාරණයක් කරන්න බෑ. එහෙම කරන්නෙත් නෑ. දුප්පත් කවුරු හරි ඉන්නවා නම් අපි සමෘද්ධිය දෙන්න සූදානම්.

ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු අයට නඩු දාන්න කියලා නීතිපතිවරයා කියලා තිබෙනවා. ත්‍රස්තවාදී සංවිධාන තහනම් කරන්න අපි කටයුතු කරලා තිබෙනවා.

කුසල් පෙරේරා කියන මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගන්න සූදානමක් තිබෙන බව කියවෙනවා. ජාතිවාදයට, අන්තවාදයට එරෙහිව දීර්ඝ කාලයක් ලිපි ලියපු අයෙක් ලෙස ඔහු හැඳින්විය හැකියි. සාෆි වෛද්‍යවරයා ගැනත් මාධ්‍යවල පළවුණා. ඔහු වෛද්‍ය ක්‍රියාකාරකම්වල නිරතවන්නේ උසස් උපදේශන වෛද්‍යවරුන් ය‍ටතේ. ඔහු වරදක් කළේ නම් අත්අඩංගුවට ගැනීම වරදක් නෑ. හදිසි නීතිය යටතේ මුදල් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වෙනවා. ඔහුගේ බිරිඳ වෛද්‍යවරියක්, දරුවන් තිදෙනා බෞද්ධ පාසල්වලට යනවා. සාෆිට මාධ්‍ය මඟින් එල්ල කළ චෝදනා අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න බැරි වුණොත් කවුද වගකියන්නේ කියලා මම අහනවා.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජ.වි.පෙ.) - මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුද කියලා පාර්ලිමේන්තු කාරක සභාවේ සිය වාරක් ඔප්පුව තිබෙනවා. මේ ප්‍රහාරයේ අඩුව සජිවීව විකාශය නොකළ එක විතරයි. ප්‍රහාරය පිළිබඳ බලධාරීන් සියල්ල දැන සිටි බව හෙළි වෙනවා. පොලිසියේ නව දෙනකුට පමණක් නඩු දමා ඵලක් නෑ. එහෙම කළොත් ‘පහත් තැනින් යයි ගලා ජලය‘ වැනි දෙයක් වෙනවා. ත්‍රස්ත ප්‍රහාරය වන දිනයේ දී පවා මේ ප්‍රහාරය ගැන දැන සිටි බව හෙළිවෙනවා. ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය නිම වන්නේ නෑ.

නීති රීති සම්පාදනය විය යුතුයි. මුස්ලිම්, දෙමළ, සිංහල වෙනසක් නොමැතිව විවාහ වයස අවුරුදු 18ක් විය යුතුයි. කලාව විද්‍යාව අගයන්නේ නොමැති ආගමකින් වැඩක් නෑ. නීති ප්‍රතිසංස්කරණ මෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරටට අවශ්‍යයි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා - පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජාතික ආරක්ෂාවේ අඩුපාඩු වසා දමන්න හොඳම තෝතැන්නක්. කවුරු මොන චෝදනා එල්ල කළත් ප්‍රහාරය සම්බන්ධ කරුණු රැසක් දැන් එළිවෙමින් පවතිනවා. මේ හේතුවෙන් වගකිවයුත්තන් කාපට් එකෙන් වහලා දමලා නිකන් ඉන්න බෑ.

අද මුස්ලිම් ඇඳුම සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. ඊට පිළියම් ඉස්ලාම් ආගමික නායකයන් ලබාදිය යුතුයි.

තාරක බාලසූරිය මහතා මුලසුනට පැමිණියේය.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.) - මූලධර්මවාදීන් අත්අඩංගුවට ගත්තා කියලා අන්තවාදය හා ත්‍රස්තවාදය නැති කරන්න බෑ. තවත් ජාතියක් අන් ජාතියක වෙළෙඳ සැලකට යන්න එපා කියලා ප්‍රසිද්ධියේ කිවුවොත් මේ රටට මොකද වෙන්නේ. අයිඑස් සංවිධානය එක්ක කළ මේ ප්‍රහාරය සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඉරාකය, සිරියාව මූලධර්මවාදය නිසා ජාත්‍යන්තරයෙන් කොන්වන තත්ත්වයකට පත්වෙලා. අද එම මූලධර්මවාදය දකුණු ආසියාව කරා ළඟා වෙමින් පවතිනවා.

පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝගය අද විවාදයට ගන්නවා. අද අපේ රට තීරණාත්මකයි. අද අප කියන කරන දේ මත අනාගතය තීරණය වෙනවා. ජනතා නායකයන් වන අප සියලු දෙනාට වගකීමක් තිබෙනවා මී‍ට පෙර පාර්ලිමේන්තු අනාගතය බලා කටයුතු කළා නම් අද මේ ප්‍රශ්න නෑ. ළඟ නොබලන් දුර බලන් කියලා මම කියනවා. සහරාන්ලා අපිව මරන්න හේතු වුණේ ඇයි කියන ප්‍රශ්නය මතු වෙනවා. මුස්ලිම් ජනයා කෙරෙහි සැක සංකා මතුවෙනවා. බුද්ධිමත්ව කටයුතු නොකළොත් තවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ළඟ එන මැතිවරණය ගැන නොසිතා කටයුතු කළ යුතුයි. ජාතිවාදය අවුස්සන අය අද අපි දකිනවා. මේ පාර්ලිමේන්තුව මධ්‍යස්ථ මතධාරීන් බලගැන්වීම නොකළොත් අන්තවාදීන් ඉදිරියට එනවා. සියලු මුස්ලිම්වරුන් අන්තවාදීන් නොවන බව අපි තේරුම් ගත යුතුයි. ජාති භේදයක් නොමැතිව යා හැකි පාසල් ක්‍රමයක් රට තුළ ස්ථාපිත කළ යුතුයි. මෙරට සෞදි අරාබියක් කරන පිරිස් සිංහල සමාජයෙන් ඈත් වෙනවා. අවස්ථාවාදීන්ට නොරැවටී ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක ධජයක් යටතේ කටයුතු කළ යුතුයි. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ ප්‍රකාශ මම මෙහි දී සිහිපත් කරනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එ.ජ.නි.ස.) - පාස්කු ප්‍රහාරයෙන් හිස් කබල ඉවත් කළ දරුවන්ට ආධාර කරන්න කියලා ළමා ආරක්ෂක අධිකාරි සභාපති ඉල්ලා සිටිනවා. එහෙම නම් අපි අහනවා මේ රජය ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්ට මොනවාද කරලා තිබෙන්නේ කියලා.

හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා - ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි වුණා. අත්අඩංගුවට ගත යුතු සියලුදෙනා අත්අඩංගුවට ගෙන අවසන් බව මෙහි දී අනාවරණය වුණා. මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වුණාම විවිධ ගැටලු ඇතිවෙනවා. ඇත්තටම මේ ත්‍රස්ත කල්ලිය මර්දනය කිරීමට අපි සමත් වුණා. ඒ වගේම මේ සිදුවීමෙන් පසුව විවිධ සිදුවීම් ඇති වුණත් අද වන විට සාමකාමී වාතාවරණයක් ඇතිවී තිබෙනවා. එමෙන්ම පොසොන් උත්සවයත් සාමකාමීව සමරන්නට හැකි වුණා. නමුත් කල්මුණේ ප්‍රදේශයේත් මාරාන්තික උපවාසයක් සමඟ නොසන්සුන්තාවක් ඇතිවී තිබෙනවා. මේ තත්ත්වයත් ජාතිවාදී අරගලයක් දක්වා නොයා යුතු බව අපගේ විශ්වාසයයි. ඒ වගේම මේ සිදුවීම් පිටුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙනවා. ඒ ආකාරයට දේශපාලන වාසි ලබා ගැනීම සුදුසු නැහැ. රට තුළ ඇති වූ මේ තත්ත්වයත් සමඟ අපට ඇමැති ධුරවලින් පවා ඉවත්වීමට සිදුවුණා. අපට අත්‍යවශ්‍ය ජාතීන් අතර සමඟියයි. මුස්ලිම් ජනතාව අතර විවිධ කටකතා යනවා. වඳ සැත්කම් ගැනත් විවිධ මතවාද පැතිරෙනවා. සිංහල ජනගහනය අඩු කරන්නට විවිධ උත්සාහයන් තිබෙන බවට ගෙන යන මතය මිත්‍යාවක් ලෙස සඳහන් කළ හැකිය.

වෛද්‍ය සාෆි පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි. වැරැදි කර ඇත්නම් දඬුවම් දිය යුතුය.

පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි (එ.ජා.ප.) - සාෆි වෛද්‍යවරයාට පැවැත්වෙන පරීක්ෂණයෙන් මුළු මුස්ලිම් සමාජයටම විරුද්ධව පරීක්ෂණ යනවා කියන දෙය හැඟී යන්නේ නෑ. එහෙමනම් එම පරීක්ෂණයේ දී සියලුදෙනා සහාය දැක්විය යුතුයි. සාෆි කළ සැත්කම්වලින් සියයට 58ක් වන්ද්‍යකරණයට ලක්වෙලා. ඒ වගේම හදිසි නීතිය ක්‍රියාත්මක වන මොහොතේ ඇතැම් අය හමු වූ විදේශිකයන් පිළිබඳව අපි පරීක්ෂණ කරනවා.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා (එජාප) - මේ ප්‍රහාරය එල්ල කළේ සහරාන් කියලා බොහෝ අයට අමතක වෙලා. රිෂාඩ් බදුර්දීන්, හිස්බුල්ලා ප්‍රහාරය එල්ල කළා වගේ අද කතා කරනවා. අද ප්‍රහාරය පිළිබඳ කතා නොකර ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව කතා කරනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කනක හේරත් මහතා (එ.ජ.නි.ස.) - මේ සංවිධාන තහනම් කිරීමේදී දුරකථන සන්නිවේදනය යන කරුණ අදාළ කරලා නෑ. ත්‍රස්තවාදයට දුරකතන පණිවිඩයකින් හෝ උදව් කළා නම් එය තහනම් කරන්න කියලා මම යෝජනා කරනවා. 21 ප්‍රහාරය රාජ්‍ය නිලධාරීන්ගේ ගොඩට දාන්න උත්සාහ කරන තැතක් අපි දකිනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා (එජාප) - ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියල්ල මුලිනුපුටා දමන්න අපේ සහාය දෙනවා. මේ සංවිධාන පමණක් නොව මෙවැනි තවත් සංවිධාන තිබෙනවා නම් ඒවාත් තහනම් කළ යුතුයි. අද ආනන්ද නාලන්ද විද්‍යාලයට මුස්ලිම් ළමයින්ට යන්න බෑ. මම මාතර රාහුලයට ගියේ ඇයි අනික් ළමයින්ට යන්න බැරි. මිශ්‍ර පාසල් ඇති කළ යුතුයි. මම මාධ්‍ය ප්‍රධානියකුව සිටින විට රැය පහන් වනතුරු පිරිත් ප්‍රචාරය කළේ ජාතිවාදියෙක් හින්දද? රත්නමාලි යන්ත්‍රය සෑම නිවෙසකටම බෙදුවේ ජාතිවාදියෙක් හින්දද?

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්දික අනුරුද්ද මහතා (එජනිස) - මේ රට ආරක්ෂා කිරීමේ පරම පවිත්‍ර වගකීම අපේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට පාර්ලිමේන්තුවට තිබෙනවා. මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දන්නෙ නෑ මීගමුව පන්සල් පල්ලි කීයක් තියෙනවද කියලා. එම නිසා අපි ඉල්ලනවා ජනතාවත් එක්ක කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත් කරන්න කියලා. මෙවන් නිලධාරීන් නිසා ආණ්ඩුව අපහසුතාවට පත්වෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප) - එක රටක්, එක නීතියක් ගැන අද කතා කරනවා. මුස්ලිම් විවාහ නීතිය ඉවත් කරන්න අවශ්‍ය දේවල් පිළිබඳ අපේ විවාදයක් නෑ. උඩරට සිංහල නීතිය, තේසවලාමේ නීතිය, මුස්ලිම් විවාහ නීතිය, වකුප් නීතිය වැනි ජන කොටස්වලට ආවේණික නීති තිබෙනවා.

සිංහල ජාතිය වඳ වෙනවා නම් ජාතියට ආදරේ නම් ඒ අය ජාතිවාදය අවුස්සන්නේ නැතිව දරුවන් බිහි කළ යුතුයි. එහෙම කරන්නේ නැතුව ඇතැම් අය ජාතිවාදය පතුරනවා. සිංහල ජනතාව, සිංහල භාෂාව, කලාව ආරක්ෂා විය යුතුයි. විවිධත්වය තුළ අපි එක්සත්කම හදාගත යුතුයි.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙ.ජා.ස.) - ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ වරදක් නෑ. නමුත් ත්‍රස්තවාදී ක්‍රියාවන්වල නිරත නොවූ අය රඳවා ගැනීම, අත්අඩංගුවට ගැනීම පවා ජාත්‍යන්තර සම්මුතීන්ට විරුද්ධයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතා (එජනිස) - පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාස 2ක් වෙනවා. කාදිනල් හිමිපාණන් වහන්සේගේ මැදිහත්වීම නිසා මේ තත්ත්වය යම් මට්ටමකට පාලනය කළා. ලෝකෙ මොන රටේද දැනුම්දීලා ත්‍රස්තවාදීන් පහරදෙන්නෙ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතුය. මෙහි වගකීම රාජ්‍ය නිලධාරීන්ට භාර දෙන්නට දරන උත්සාහය වැරැදිය. තුවාල සිදුවුණු, මිය ගිය මිනිසුන්ට සාධාරණය ඉටු විය යුතුය. මේ තේරීම් කාරක සභාවට රාජ්‍ය නිලධාරීන් කැඳවා අපහසුවට පත් කර ගන්න එපා. ශ්‍රී ලංකාවට නැවත ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවීමේ අවදානමක් ඇති බවට ඉන්දියාව දැනුම් දී තිබෙනවා. අපි ජාතිවාදයට විරුද්ධයි.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා - අන්තවාදී සංවිධාන තුනක් තහනම් කිරීමට අදාළ විවාදය අද සිදු කරනවා. පාස්කු ඉරිදා සිදු වූ මහා ඛේදවාචකයට අදට මාස දෙකක්. ඒ වගේම මේ සිදුවීමට අපේ කවුරු හරි මුහුණ දුන්නා නම් අපට මෙය මීට වඩා දැනෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කළා. මේ අර්බුදය විසඳීම වෙනුවෙන් තේරීම් කාරක සභාවක් පත් කිරීම ඉතා වැදගත්. මේ කාරක සභාව සියලු දෙනාට විනිවිදව පේනවා.

මේ තේරීම් කාරක සභාවට අදාළ සියලුදෙනා ගෙන්වන්න. නීතිය හා සාමය පිළිබඳ ඇමැති, හමුදා ප්‍රධානීන්, අදාළ ලිපි ‍යැවූ ප්‍රධානීන්, අගමැතිවරයා, ජනාධිපතිවරයා, මේ ලිපි ලැබුණු අපි මේ හැමෝම ගෙන්වන්න. මගෙ පී. එස්. ඕ. මට ලිපිය පෙන්වන්න. හිටපු ජනාධිපතිවත් ගෙන්වන්න. මේ ප්‍රහාරය ගැන දැනගෙනත් සියලුදෙනා නොසළකා හැරියා.

ලෝකයේ රටවල මේ දේවල් නිවැරැදිව සිදුවෙනවා. බිල් ක්ලින්ටන් තම පෙම්වතිය සිප වැළඳගත්තා කියලා වයිට් හවුස් වෙත ගෙන්වුවා. මිනුවන්ගොඩ ඇති වූ සිදුවීම පිළිබඳව කිසිවෙක් අත්අඩංගුවට ගන්නට තොරතුරු නොමැති බව දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කර තිබුණා. නමුත් ඒ සිද්ධිය ලෝකයම දුටුවා.

පාස්කු ඉරිදා සිදුවීමට සම්බන්ධ වූ පිරිසක් කුඩුවෙලා එතනම මිය ගියා. නමුත් මේ සිදුවීම් පිටුපස සිටින මහ මොළකරුවන් අත්අඩංගුවට ගන්න.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එ.ජ.නි.ස.) - ත්‍රස්තවාදී සංවිධාන තුනක් තහනම් කිරීම වෙනුවෙන් මේ යෝජනාව ගෙන එනවා. ත්‍රස්තවාදී සංවිධාන තහනම් කළ යුතුය. මේ රජය කොන්ද පණ නැති ආණ්ඩුවක් බව ආණ්ඩුවේම මන්ත්‍රීවරයකු සඳහන් කළා. අපි ඒ බව 2015 සිටම දැන සිටියා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා (එජාප) - පාස්කු ඉරිදා සිදුවීමට සම්බන්ධ අයට උපරිම දඬුවම් ලබාදිය යුතුය. අනාගතයේ දී මෙවැනි ප්‍රහාරයන් ඇති නොවිය යුතුය. මේ සිදුවීම් පිළිබඳව පූර්ව දැනුම්දීම් කර තිබියදීත් ඒ පිළිබඳව සැලකිලිමත් වුණේ නෑ. මේ දැනුම්දීම පිළිබඳව අවධානය යොමු නොකළ අයට මුලින්ම දඬුවම් දිය යුතුයි. ඒ නිසා අහිංසක කතෝලික ජනතාව මිය ගියා. මේ මොහොතේ දී අපි කළ යුත්තේ බෙදී වෙන්වීම නෙවෙයි. සියලුදෙනා එක්වී විසඳුම් සෙවීමය. එමෙන්ම අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය පමණක් නෙවෙයි ගෝලීය වශයෙන් එල්ල විය හැකි සියලු ත්‍රස්තවාදයන්ට මුහුණ දිය යුතුය. මේ වන විට කල්මුණේ ප්‍රදේශයෙත් ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. මේ තත්ත්වය ව්‍යාප්ත වීමට ඉඩ නොදිය යුතුය. අන්‍යාගමිකයන් ඝාතනය කළ යුතු බවට කුරානයේ සඳහන් වන බව ආගමික නාකයකයකු ප්‍රකාශ කර තිබෙනවා. මගේ ඥාතීන් තිදෙනකුද මිය ගිය.

වෛද්‍ය සාෆි හට දිගින් දිගටම පහර දෙනවා. මුස්ලිම්වරයෙක් වීම නිසා මේ ආකාරයට කටයුතු කරන්න එපා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී කාදර් මඩිතාන් මහතා (එජනිස) - ත්‍රස්තවාදී සංවිධාන තහනම් කළ යුතුය. ඒ වගේම ජාතිවාදී සංවිධානත් තහනම් කළ යුතුය. මුස්ලිම් ජනතාව දිගින් දිගටම පීඩාවට පත් නොවිය යුතුය. පාස්කු ඉරිදා ප්‍රහාරය අපි හෙළා දකිනවා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා (දෙ.ජා.ස.) - කල්මුණේ ප්‍රදේශයේ බරපතළ තත්ත්වයක් ඇතිවෙමින් තිබෙනවා. වහාම මේ වෙනුවෙන් රජය මැදිහත්විය යුතුය. එකම භාෂාව කතා කරන ජාතීන් අතර මෙවැනි අර්බුද ඇතිවීම අනුමත කළ නොහැකියි. ත්‍රස්තවාදී සංවිධාන හා ජාතිවාදී සංවිධාන තහනම් කළ යුතුයි. උතුරේ දකුණේ හැමතැනම මෙවැනි සංවිධාන තහනම් කළ යුතුයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා (එජනිස) - මාවනැල්ල, වනාතවිල්ලුව ආදී ප්‍රදේශවල සිදුවීම් සිදු වන විට ක්‍රියාමාර්ග ගත්ත නම් මෙවැනි ව්‍යසනයක් සිදුවන්නේ නැහැ. අද වනවිට ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන තිබෙන්නෙ ජනතාවට කලකිරීමක් මිය ගිය කතෝලික ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු නොවුණොත් අපි පාරට බහිනවා. මේ රජය ජනතාව රවටා තිබෙනවා. රජයේ වැඩපිළිවෙළ සමඟ මුස්ලිම් ජනතාවත් පීඩාවට පත්වෙලා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප) - පාස්කු ප්‍රහාරය නෙවෙයි වෙන ප්‍රහාරයක් එල්ල වුණත් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවට බැහැ. එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලවත් එකඟතාවක් නෑ. ජනාධිපතිවරයා, අගමැතිවරයා මත දෙකක් දරනවා.

 

(යෝජනාව ඒකමතිකව සම්මත විය)

පාර්ලිමේන්තුව ලබන 27 දා

පෙරවරු 10.30 ට යළි රැස්වේ.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සන්ධ්‍යා කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages