උඩින් පැන යා නොහැකි ජාතික සංස්කෘතික උරුමය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-22

උඩින් පැන යා නොහැකි ජාතික සංස්කෘතික උරුමය

22 ජුනි, 2019

ශ්‍රී ලාංකික දේශපාලනය නාට්‍යමය උත‍්ප්‍රාසයකින් යුතුව ගලා බසින සරදම් සහිත ගංගාවක් ලෙස දිස් වුව ද ඒ ගඟ දියෙහි ඇත්තේ නොපැහැදිලි කැළඹිල්ලකැයි අපට සිතේ. පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයෙන් සිඳී බිඳී ගිය ජනතාවගේ ආධ්‍යාත්මය තවමත් සුවපත් වී නැත. එයින් උද්ගත වූ දේශපාලන අඳුර දුරලීම සඳහා ආණ්ඩුවට හෝ මුස්ලිම් දේශපාලන නායකයන්ට මෙතෙක් හැකි වී නැත. ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ මෙහෙයවමින් කරන ලද මැදිහත් වීම නොවන්නට මේ රට ම යළි ලේ විලක් වීමට ද ඉඩ තිබුණි. යළිත් සාමාන්‍ය ජන ජීවිතය ගොඩ නඟා ගත හැකි වීමේ ගෞරවය ත්‍රිවිධ හමුදාවලට හා පොලිසියට හිමි වේ. ඉනික්බිතිව උදා වූ දේශපාලන කැළඹිල්ල සුපුරුදු දිය යටින් ගින්දර ගෙන යෑමේ දේශපාලන ප්‍රතිචාරයක් බව දැන් හොඳට ම තහවුරු වී තිබේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් විපක්ෂය ඉවත් වූයේද එය දේශපාලනීකරණය වූ වංක මෙහෙයුමක් බවට චෝදනා කරමින් ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ද එ් තේරීම් කමිටුව සමඟ එකඟ වූයේ ම නැත. එයින් මතු වූ ව්‍යවස්ථාදායක විධායක ගැටුමේ විවිධ ජවනිකා අපි දුටුවෙමු. එය සත්තකින් ම එ් ප්‍රහාරය ගැන විමර්ශනයට පත් වූ කමිටුවක් ද, නොඑසේ නම් ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයාගේ ඇඟට දැමීමට ඇටවූ උගුලක් ද යන්න නුදුරු අනාගතයේදී ම කරුණු සහිතවම තහවුරු කර ගත හැකිය. කුමක් වුවත් ඒ කමිටුව විසින් ජාතික ආරක්ෂාවට සිදු කරන ලද අනතුර පිළිබඳ බරපතල විවේචනයක් අපට ද තිබේ. රූපවාහිනි මාධ්‍ය මගින් අප දුටු කොමිසමේ සාක්ෂි විභාගය බරපතල වගකීම් සහිත ක්‍රියාන්විතයක් නොවු බව ප්‍රකට වූ අවස්ථා වැඩි බව ද සඳහන් කළ යුතුය.

මේ ප්‍රහාරයේ ප්‍රමුඛ වැඩබිමක් ලෙස රටේ ම අවධානය යොමු වූ කාතන්කුඩිය හා එහි ක්‍රියාකාරකම් පිළිබඳව කමිටුව ඉදිරියේ සත්‍යය හෙළි නොවු බවට දැනට ම චෝදනාවක් තිබේ. ඒ ප්‍රදේශ බාරව සිටි පොලිස් නිලධාරීන් විසින් කමිටුව ඉදිරිපිට දක්වන ලද ප්‍රතිචාර වගකීමෙන් තොර ඒවා බව පැහැදිලි විය. තම ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරකම් මෙන්ම චෝදනාවලට ලක් ව සිටි පුද්ගලයන් පිළිබඳ ව හෝ ප්‍රමාණවත් වැටහීමක් ඒ පොලිස් නිලධාරීන්ට නොවු බව ද පෙනුණි. අරාබිකරණයට උචිත මුස්ලිම් පළාතක් නිර්මාණය කිරීමේ වෑයම පිළිබඳ ව හෝ ඒ පොලිස් නිලධාරීන්ගෙන් කිසිවක් හෙළි වූයේ ද නැත. ඔවුහු සැබෑ තොරතුරු වසන් කළෝ ද; නොඑසේ නම් ඒ අරාබිකරණයට මුල් වූ දේශපාලන චරිත සමඟ ඔවුන්ට කිසියම් බැඳීමක් තිබුණි ද යන්න වත් කමිටුව ඉදිරියේ හෙළි වී තිබේද යන්න අපි නොදනිමු. කුමක් වුවත් තේරීම් කමිටුව රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳව අපට ද විවේචනයක් තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන් දිගින් දිගටම විමැසූ සාරිය හා ඔසරිය පිළිබඳ චක්‍රලේඛය තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගේ අප්‍රසාදයට හේතු වු බව සැඟවිය නොහැකි ය. එහෙත් එබඳු බාහිර ප්‍රශ්න බරපතල ඒවා ලෙස ගණන් ගැනීම කමිටුවේ අරමුණ සමඟ නොසැසඳෙන බව කිව යුතුය.

කෙසේ හෝ ඉකුත් සතිය ආරම්භ වූයේ ආණ්ඩුව හිරවී සිටි ප්‍රධාන ප්‍රශ්න දෙකකට විසඳුම් සහිතව ය. පළමුවැන්න ජනාධිපතිවරයා විසින් අත්හිටුවන ලද කැබිනට් රැස්වීම යළි ආරම්භ වීම ය. දෙවැන්න ආණ්ඩුවේ ඇමති ධුර හෙබ වූ මුස්ලිම් දේශපාලනඥයන් ගෙන් දෙදෙනෙක් පෙරළා ඒ ඇමතිධුරවල දිවුරුම් දීම ය. ආණ්ඩුවේ සහායට එක්ව සිටි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හා විවේචන උග්‍ර වෙමින් තිබුණු අතර ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට එක්ව තිබුණි. මෙයට ප්‍රතිචාරයක් ලෙසත්, සිය දේශපාලන සගයාට සහාය පළ කිරීමටත් මුස්ලිම් ඇමතිවරුන් ආණ්ඩුවේ තනතුරු අත්හැර දැමූ බව රහසක් නොවේ. එහෙත් ඔවුන් රටට කියා සිටියේ සිය සගයාට එල්ල වී තිබෙන චෝදනා වලින් නිදහස් ව යළි ආණ්ඩුවට එක්වීමට එබඳු පියවරක් ගත් බව ය. මාසයක කාලයක් ඇතුළත නිදොස් වී සතොස්ව ආණ්ඩුවට බැඳෙමුයි යන්න ඔවුන්ගේ අවධාරණය විය. එහෙත් කබීර් හෂීම් හා හළීම් හිටි හැටියේම ඇමතිධුර බාරගත් ආකාරය දේශපාලන අංශ වල ද විස්මයට හේතු වූ බව පෙනුණි. මේ පිළිබඳ පළ වූ ඇතැම් වාර්තාවක සඳහන් වූයේ මුස්ලිම් ඇමති කඳවුර දෙකඩ වී ඇති බවකි. එහෙත් එය සත්‍යයක්ද?

මේ රටේ දේශපාලන භූමිකාව තුළ දෙමළ සන්ධානය හා එයට අයත් නැති දෙමළ දේශපාලනඥයන්ට මෙන්ම මුස්ලිම් ජාතික දේශපාලනඥයන්ට හිමි වී තිබෙන කේවල් කිරීමේ බලය රහසක් නොවේ. එහෙත් මේ දේශපාලන නායකයන්ට තවමත් තම ජනතාවගේ ප්‍රශ්න වලට සාධාරණ විසඳීමක් ලබා ගත නොහැකි බව දෙමළ ජනතාවගේ මෙන්ම මුස්ලිම් ජනතාවගේ ද චෝදනාවකි. විශේෂයෙන් මේ ආණ්ඩුව රැක ගතහැකි වූයේ ද ඒ දෙපක්ෂයේ ම මන්ත්‍රීවරුන්ගෙන් ලද සහාය නිසාම ය. ඇතැම් කරුණු අනුව දෙමළ සන්ධානය ආණ්ඩුවෙන් වෙන්ව සිටියත් මුස්ලිම් නායකයෝ මේ ආණ්ඩුව සමඟ වූහ. මේ ආණ්ඩුවෙන් ඉවත්ව තමන්ට දේශපාලන පැවැත්මක් නැති බව මුස්ලිම් නායකයෝද දනිති.

අද මෙරටේ දේශපාලනය සූදුවක් වී තිබෙන්නේ ද මේ සුළු ජාතිකයන් තුළ රජයන ගෝත්‍රික හැඟීම් නිසා යැයි දේශපාලන විචාරකයෝ ද කියති. ජාතිය, කුලය, වර්ගය මත පදනම් වූ දේශපාලනයකින් රටකට ඉදිරි ගමනක් නැති බව අමුතුවෙන් කිව යුතු ද නොවේ. ඒ අතින් ඉන්දියාව වාසනාවන්ත ය. ඉන්දියාවේ අගමැති ධුරයට දෙවන වරටත් පත් වූ නරේන්ද්‍ර මෝදි දෙස බලන විටත් ඔහුගේ දේශපාලන භාවිතයත් මුස්ලිම්වරුන්ට හෝ වෙනත් සුළුතරයකට හෝ යට නොවූවක් බව ඉතා පැහැදිලි ය. ඉන්දියාව තුළ ඉන්දියානුවන් ලෙස ජීවත්වීමට හැම කෙනෙක් ම කැපවිය යුතුය යන්න මෝදි අගමැතිවරයාගේ ආස්ථානය වී තිබේ. ඉන්දියානු නීතිය තුළ ආගමික හා වාර්ගික නීති ඇතුළත් ව නැති බව ද අපි දනිමු. ඉන්දියාවේ විශාල මුස්ලිම් ජනගහනයක් සිටියත් මෝදිගේ ආණ්ඩුව නැටවීමට ඒ කිසිදු දේශපාලන නායකයකුට හෝ නොහැකිය. එහෙත් අපේ දේශපාලන නායකයන්ට එබඳු ශක්තියක් නැත. අපේ දේශපාලන ගණන් බැලීම් සිදු වන්නේ ද මුස්ලිම්, දෙමළ ඡන්ද ගොඩවල් අනුව ය. මේ යථාර්ථය හොඳින් දන්නා බටහිර බලවේග ක්‍රියාත්මක වන්නේද බෙදුම්වාදයට උදව් කරන ආණ්ඩුවක් බලයට ගෙන ඒමට ය.

අද අප තේරුම් ගත යුතු සත්‍යය හා යථාර්ථය වන්නේ ඒ දේශපාලන උගුලෙන් ගැලවීම සඳහා ජාතික නායකත්වයක් රටට අවශ්‍ය බව ය. ඒ ජාතික නායකත්වය සඳහා දෙමළ, මුස්ලිම් ආදි සියලු පොදු ජන සහයෝගය ලබා ගැනීම අත්‍යාවශ්‍ය ය. ඒ යථාර්ථය නිවැරදිව වටහා ගත් දේශපාලන නායකයකු ලෙස මෛත්‍රී ඉදිරියෙන් ම සිටියිග. ඔහුට වර්ගවාදී ඔලුවේ කැක්කුම් නැත. එහෙත් ඔහු පරමාදර්ශී සිංහල බෞද්ධයෙකි. මෛත්‍රීගේ ඒ ස්වදේශිකත්වය මේ ආණ්ඩුව සමඟ නිරන්තර ගැටුමකට තුඩු දී තිබෙන්නකි. මෛත්‍රී යනු ඇන්ජීඕ නඩයට ද වහ කදුරු ය.

කුමක් වුවත් අද රට මුහුණ දී තිබෙන අර්බුදයට බෞද්ධ අන්තවාදයක් නිර්මාණය කිරීමෙන් පිළිතුරක් නොලැබෙන බව මෛත්‍රී ජනාධිපතිවරයා වටහා ගෙන සිටියි. එසේම මුස්ලිම් කාන්තාවන්ට සාරිය හෝ ඔසරිය ඇන්දවීමෙන් පමණක් ජාතික සංහිඳියාව ඇති කළ නොහැකිය. සිංහල, දෙමළ, මුස්ලිම් අනන්‍යතාව වෙන වෙනම සුරැකිය යුතු අතර ඒ ඒ ජනවර්ගවලට අදාළ සංස්කෘතික ලකුණු පොදු නීතියට එක් කිරීමද විනාශයක් බව මුස්ලිම් නායකයෝ ද තේරුම් ගත යුතුය. අද ඇතැම් මුස්ලිම් ප්‍රභූවරුන්ට අවශ්‍ය වී ඇත්තේ අරාබි පන්නයේ මුස්ලිම් පන්තියක් නිර්මාණය කර ගැනීමට ය. මුස්ලිම් ජනයා නූතනත්වය කරා ඇදීයාමද සමහරුන්ගේ නොසතුටට හේතු වී තිබේග මුස්ලිම් මූලධර්මවාදය මේ වෙනුවෙන් ඉදිරිපත් වූවකි. රටේ පොදු නීතියට උඩින් තිබෙන මුස්ලිම් නීතියක් ද ඔවුන්ට අවශ්‍ය වී තිබේ. ඇමෙරිකාව වැනි අධිරාජ්‍යවාදී රටවලට මුස්ලිම් සංස්කෘතිය විනාශ කිරීමේ වෛරයක් තිබේ. බුර්කාව වැනි ඇඳුම් වලින් ප්‍රකාශ වන්නේ ද ඒ බටහිර ආක්‍රමණයට විරෝධයක් විය හැකිය. මේ බටහිර පන්නය සිංහල සමාජයට ද රිංගවා තිබෙන රෝග කාරකයකි. ජංගි කොට අන්දවා අපේ තරුණියන්ට කැමරා එල්ල කරන මූග්ධ ප්‍රචාරක ජාලවල රජයන්නේ ද ඒ බටහිර චින්තනය බවට විවේචන තිබේ. කුමක් වුවත් බටහිර විලාසිතා සිංහල පන්ති සමාජයේ පමණක් නොව ඈත ගම්දනව්වල ද දැක ගත හැකිය. මෙය සදාචාර මූලධර්ම විනාශයක් බව ද සැබෑ ය. එහෙත් ඒ සඳහා අවශ්‍ය ජාතික ලකුණ අප හඳුනා ගෙන තිබේද? මේ මූග්ධ වෙළඳ පන්තියට සාරධර්ම වලින් වැඩක් තිබේද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දින කීපයකට පෙර කරන ලද අවධාරණයක් මෙහිදී සිහියට නැඟෙයි. ඒ මේ රටේ දේශාපාලනය හා බැඳුණු ආධ්‍යාත්මික ලකුණකි. මෙරටේ ඉතිහාසයත් ඒ සමඟ බැඳී තිබෙන අධ්‍යාපනය හා භික්ෂු චර්යාවත් ජනාධිපතිවරයා සිහිපත් කර තිබුණි. එදා මෙරටේ රාජ්‍ය පාලනය සඳහා ලැබුණු මහා සංඝරත්නයේ උපදේශය හා ආශිර්වාදය කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. අද මෙන් යකඩ වැටවැල් උඩින් පනින, කැරළිකාර භික්ෂුන්ගේ මෙන්ම උපවාස සත්‍යග්‍රහ කරන භික්ෂුන්ගේ ද නොව ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන්ගේ මඟ පෙන්වීම පාලකයන්ට වැදගත් බව ජනාධිපතිවරයාගේ අවධාරණය විය. ආසියාවේ ඇතැම් රාජ්‍යවල තවමත් ආරක්ෂා වී තිබෙන බොදු නටබුන් වලින් තහවුරු වන්නේද බුදුසමයට එදා තිබුණු ගෞරවනීය තත්ත්වය බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි. ටජිකිස්ථානය වැනි මුස්ලිම් ජනතාව බහුල රටක වුවද බෞද්ධ උරුමය සුරකින ආකාරය තම දැස් වලින් ම දුටු බවද ජනාධිපතිවරයා දැක්වූයේ අද උද්ගතව තිබෙන මුස්ලිම් අන්තවාදයේ නිසරු බව පෙන්වා දීමට ය. එමෙන්ම ඇෆ්ඝනිස්ථානයේ මුස්ලිම් අන්තවාදී තලේබාන්වරුන් විසින් විනාශ කරන ලද බාමියන් බුදුපිලිමය ගැනද ජනාධිපතිවරයා සිහිපත් කර තිබුණි.

ජනාධිපතිවරයා අවධාරණය කළ පරිදිම මේ රටේ ආධ්‍යාත්මික සංස්කෘතික ජීවිතය සුපෝෂණය වූයේ බෞද්ධ දර්ශනයත් සමඟය. ලෝකයේ බොහෝ රටවල් වලට වඩා තවමත් මේ මහපොළවේ මිනිස්කමල දයාව, කරුණාව, පරිත්‍යාගය වැනි උතුම් ලකුණින් පිරිපුන් ජනතාවක් සිටින බව ද මෛත්‍රී ජනාධිපතිවරයාගේ අවධාරණය වියග ජනාධිපතිවරයා මෙහිදී ලිච්ඡවී පාලනය ගැනද සිහිපත් කර තිබුණි. අද මෙරටේ තිබෙන්නේ ලිච්ඡවී පාලනයකැයි කියනුද ඇසෙයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදිම ලිච්ඡවී හු දිවමන්ව සිටියෝ නම් නිසැකයෙන්ම ඔවුහු දිවි නසා ගනිතියි අපට ද සිතේ. ලිච්ඡවී පාලනය ගැන අගනා විවරණයක් බුදුගුණ අලංකාරයෙහිද දැක්වේ. ලිච්ඡවී හු නම් සත්‍යවචනයෙන් ද යහ පැවැත්මෙන්ම, ආධ්‍යාත්ම වර්ධනයෙන්ද පරිපූර්ණ වූවෝ ය. ලිච්ඡවීහු ජනතාව වෙනුවෙන් දුක් ගත්හ. ඔවුන්ගෙන් බදු අය කළෝ මල් අරගෙන සෙමින් යන බමරුන් ලෙස ය. දන ගැහුමක් නිසා දනන් නොවැනසීම ලිච්ඡවී චර්යාව විය. බුදුන් වහන්සේ වදාළේ සුරපුර දෙවියන් නුදුටු පුහුදුන් සංඝයාට මේ ලිච්ඡවීන් දෙස බලන ලෙස ය. බුදුගුණ අලංකාර කවියා ඒ ලිච්ඡවී පිළිවෙත වර්ණා කළ අයුරු විවේකීව කියවා බලා ඒ සත්චාරිත්‍ර නිවැරදිව වටහා ගන්නා ලෙස අපේ දේශපාලන බලධාරීන්ට ද වචීපරම ලිච්ඡවීන්ට ද අපි ඇරයුම් කරමු. තතු කුමක් වුවද නවීන දේශපාලන සන්දර්භය තුළ ලිච්ඡවී පාලනයක් ලොව කිසි තැනක ස්ථාපිත කළ හැකිද යන්නත් සංකිර්ණ ප්‍රශ්ණයකි. එහෙත් ඒ පිළිවෙත් තුළින් සුපෝෂණය වූ දේශපාලන චර්යා පද්ධතියක් අද මේ රටට අවශ්‍යව තිබේ. වර්තමානයේ අප අබියස තිබෙන දේශපාලන විකෘතිය නිවැරදි කර නොගෙන මේ රට ඉදිරියට රැගෙන යෑම අසීරු බව නම් ඉඳුරා කිව යුතුය.

රටකට හොඳ ආණ්ඩුවක් තෝරා ගත යුත්තේ එරටේ ජනතාව විසින් ම ය. නිදහස ලැබීමෙන් පසු මෙරටේ බිහි වූ ආණ්ඩුවල තිබුණු සාධනීය හා ජනතාවාදී ලකුණු සියල්ලම අද වන විට විනාශ වී ගොස් තිබෙන බව මුසාවක් නොවේ. රටේ සමාජ විෂමතා ඉහවහා ගොස් තිබේ. දරිද්‍රතාවේ ප්‍රමාණය ද ඉතා විශාල ය. පසුගිය දිනක තිස්සමහරාමයෙන් වාර්තා වූයේ නිසිරිසි අහර නැති ළදරුවකු මියගොස් ඇති බව ය. අපේ උතුම් දේශයේ දරුවකු මන්ද පෝෂණයෙන් මිය ගොස් ඇති බව ය. තිස්සමහාරාම හැදිගම්විල ග්‍රාමසේවා වසමේ මලිත් මිහිරංග නමැති ඒ දරුවාගේ විපත සියලුම මාධ්‍ය මගින් විශේෂත්වකින් යුතුව වාර්තා කර තිබුණි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුතු ඒ අහිසංක පවුලට අඩුම තරමින් සමෘද්ධි දීමනාව හෝ නො ලැබුණු බවද කියති. ඒ ප්‍රදේශයේ නිල බල උසුලන සියලු දෙනාම මේ මරණයට වගකිව යුතු නොවෙත්ද? එසේ නොවේනම් දුප්පත්කමේ පතුළෙන් මෙලොව එළිය දුටු ඒ දරුපැටියාගේ ජිවිතය එකොළොස් මසකට සීමා කිරීමේ වරද කාගේද? මෙරටේ දේශපාලන වේදිකාවල දෝංකාර දෙන සංවර්ධනයේ අඬහැරය කන් බිහිරි කරවන තරම් ය. මොන ගම් පෙරළි සිදු වුවත් ගම තවමත් දුගී බවෙහිත් නූගත් බවෙහිත් අඳුරෙහි ගිලී සිටින බව මේ සිදුවීම් අපට කියන්නේ ඉළ ඇට වලට අනිමින් නොවේද?

මේ සියල්ල එලෙස සිදු වෙද්දී රටට අලුත් ජනාධිපතිවරණ උණුසුමක්ද දැනෙයි. එ.ජා.පෙරමුණේ මෙන්ම විපක්ෂයේ අපේක්ෂකයන් දැන ගැනීමේ කුහුලින් මාධ්‍යකරුවෝ ද විමසුම් කරති. ඒ උණුසුම තවත් ඉහළ නංවමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්ද ඉදිරි ජනාධිපතිවරණය නිසැකයෙන්ම තුන්කොන් සටනක් නොවන බවත්, එහිදී ශ්‍රී ල.නි.ප.ය පාක්ෂිකයන්ගේ අභිමානයට හා ගෞරවයට හේතුවන තීන්දුවක් ගන්නා බවටත් ප්‍රකාශයක් කර තිබේ. කුමක් වුවත් ඉදිරියේ එළැඹෙන ජනාධිපතිවරණය මෙන්ම මහමැතිවරණය ද මෙරටේ අනාගත පැවැත්ම සමඟ පමණක් නොව සමස්ත ජනතාවගේම ඉරණම සමඟ බැඳී පවතින්නක් බව නිසැක ය. ජාතික සංස්කෘතික අභිලාෂයන් ආරක්ෂා කර ගැනීමට පමණක් නොව බටහිර විජාතික දේශපාලන න්‍යාය පත්‍ර පරාජය කිරීමට ද හැකි ජාතික දේශපාලන ව්‍යාපාරයක් රටට අවශ්‍යව තිබේ. දැනටමත් සමාජ මතු මහලට නැඟ සිටින පාරිභෝගික ධනවාදී දේශපාලන පරපුටුවන් මෙන්ම විජාතික බලවේගද මෙහිදී මුහුණට මුහුණ සටනකට එළඹෙන බවද නිසැක ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජනහදවතට ආමන්ත්‍රණය කරන දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දීමට මෛත්‍රී මහින්ද එක්විය යුතු යැයි ශ්‍රී ල.නි. ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යෝජනා කරන්නේද නිකම් ම නොවේ.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages