දෙස් විදෙස් හි කිතුගොස පතළ අකුරටියේ නන්ද නාහිමි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-06-24

දෙස් විදෙස් හි කිතුගොස පතළ අකුරටියේ නන්ද නාහිමි

(ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි උතුම් වූ පැවිදිබිමට පත්ව ජුනි 24 වැනි දා 55 වැනි වසරට පා තබයි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.)

ජාතික හා ජාත්‍යන්තර තලයෙහි ඉහළින්ම සම්භාවනාවට පත් ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි සම්බුදු සසුන ආලෝකමත් කරමින් වැඩවෙසෙන ශික්ෂාකාමී විද්වත් යතිවරයන් වහන්සේ නමකි. දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ බද්දේගම ගිං ගඟ අසබඩ පිහිටි අකුරටිය නමැති පෞරාණික සුන්දර ගම් පියසෙහි විසූ සාම විනිසුරු පියදාස බෝපේ කොඩිතුවක්කු මහෝපාසක මහතාගේ හා ගුණවතී වීරතුංග මහෝපාසිකා මාතාවගේ අතිජාත පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1954 ජනවාරි 20 වැනිදා නන්ද නාහිමියෝ ජන්මලාභය ලැබූ හ.

එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක ධුරය දැරූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, විද්‍යෝදය පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, කීර්තිශේෂභාවෝපගත අතිපූජ්‍ය අකුරටියේ අමරවංස නාහිමියන්ගේ සහ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායකව වැඩසිටි බද්දේගම පුඤ්ඤසාර නාහිමියන් ගේ ආචාර්යත්වයෙන් වර්ෂ 1965 ජුනි 24 වැනි දා පහළකීඹිය පුරාණ මහා විහාරයේ දී උතුම් වූ ප්‍රවෘජ්‍යාභාවයට පත් වූහ. ඉක්බිතිව ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණට ඇතුළත් වූ උන් වහන්සේ ධර්ම විනය භාෂා ශාස්ත්‍රාදිය මැනවින් හදාළ හ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ උත්තරීතර විභාගයන් ගෙන් ද ඉතා උසස් ලෙස සමත් වූ හ.

වර්ෂ 1979 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව ) උපාධියත්, වර්ෂ 1986 දී ශාස්ත්‍රපති උපාධියත් , 1990 දී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ වූ උසස් ඩිප්ලෝමාවත්, 1992 දී දර්ශනපති උපාධියත් පිළිවෙලින් ලබාගත් නන්ද නාහිමියෝ ඉක්බිතිව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි ඩිප්ලෝමාවත්, තායිලන්තයේ මහාචූලාලංකාර රාජ්‍ය විශ්වවිද්‍යාලය, එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය වැනි ඉහළම අධ්‍යාපන ආයතනයන් වෙතින් පශ්චාත් උපාධි ඩිප්ලෝමා හා දර්ශණ විශාරද උපාධිය හිමිකර ගත් හ.

එවකට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයානුබද්ධ ආයතන සතරෙන් එකක් වූ විද්‍යෝදය ආයතනාධිපති ලෙස වර්ෂ 1983 සිට 1994 දක්වා ක්‍රියා කළ නන්ද නාහිමි 1994 සිට 1996 දක්වා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද සිංහල ශබ්ද කෝෂයේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකු ලෙස ද පසුව එහි ප්‍රධාන කර්තෘ ධුරයට ද පත්ව ඉතා දිගු කලක් අද්විතීය සේවාවන් රැසක් සිදු කළේ ය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණේ කෘත්‍යාධිකාරී ලෙස සිදුකරන සේවාව ද බෙහෙවින්ම සම්භාවනාවට ලක් කළ යුත්තකි. මහනුවර මල්වතු මහා විහාරය මඟින් කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධානසංඝනායක පදවිය උන් වහන්සේ වෙත පුද කළේ පූර්වෝක්ත සේවාවන් වෙනුවෙන්මහා විහාරය දැක් වූ ඉහළ ම ඇගයීමක් ලෙස යි.

අකුරටියේ නන්ද නාහිමි ස්වයංලිඛිත චරිතාපදානයක් ලෙස වර්ෂ 2016 දී මුද්‍රණද්වාරයෙන් පළ කළ “මතක ඇති දා සිට....” ග්‍රන්ථය තුළින් උන් වහන්සේ පිළිබඳ අප නොදත් අසිරිමත් ජීවනතොරතුරු රැසක් දිග හැරෙයි. එම ග්‍රන්ථයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන දිවියාගහ යසස්සි නාහිමි සඳහන් කර සිටිනුයේ ගාලු දිසාවෙහි ගිංගඟ ඇසුරු කොටගෙන ඈත කාලයේ සිට බිහි වූ ශ්‍රේෂ්ඨතම ගිහි පැවිදි උතුමන් ගේ නාමාවලියෙහි එක් මුතු ඇටයක් වශයෙන් අකුරටියේ නන්ද නාහිමි හඳුන්වා දිය හැකි බව යි.

ස්වකීය විශ්වවිද්‍යාල ජීවිතය ගැන “මතක ඇති දා සිට....” ග්‍රන්ථයේ අකුරටියේ නන්ද නාහිමි දක්වන තොරතුරු වෙසෙසින් නූතන ගිහි පැවිදි සරසවි සිසුනට කදිම පූර්වාදර්ශයක් සපයයි.

ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි පිළිබඳ කථිකාචාර්ය අරුණ කේ. ගමගේ මහතා “මතක ඇති දා සිට” ග්‍රන්ථයෙහි අපූර්ව චිත්‍රයක් මවා ඇත. එහි එක් කුඩා කොටසකින් මෙම හැඳින්වීම අවසන් කිරිම යෝග්‍ය යැයි, හඟිමි.

උජුගත මන වාචා කායධාරීතිහාරී

පවරදිරද ගාමී තේජවා ධම්මකාමී

ජයතු ඉධ යතීසො චාරුචාරාභිරාමො

අසඨ විදු ජනානං නන්දනො නන්ද නාමො

සෘජු මනසින්. වචනයෙන් හා ශරීරයෙන් ද යුක්ත වන උන් වහන්සේ ප්‍රසන්න දැකුමෙන් යුක්ත වෙති. දහමට හිතැති, තේජෝ ගුණයෙන් යුත් උන් වහන්සේ ඇත් රජකු සේ ගමන් රටාවෙන් යුක්ත වෙති. මනරම් චර්යාවෙන්යුක්ත වන අවංක විද්වතුන් ගේ සොම්නසට හේතුවන අකුරටියේ නන්ද නම් මේ හිමිපාණෝ බොහෝ කල් සුදිලෙත්වා!

ඌරුගමුවේ අස්සජී හිමි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages