තම සංස්කෘතිය ගැන ආඩම්බර වෙන ගමන් අනෙක් සංස්කෘතීන්ටත් ගරු කළ යුතුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-02

තම සංස්කෘතිය ගැන ආඩම්බර වෙන ගමන් අනෙක් සංස්කෘතීන්ටත් ගරු කළ යුතුයි

අසේල ලියනගේ, කාංචන කුමාර ආරියදාස

තමන්ගේ භාෂාව, ජන වර්ගය හා ආගම පිළිබඳව ආඩම්බර වීමට ඕනෑම කෙනකුට අයිතියක් ඇති බවත් තමන්ගේ සංස්කෘතිය පිළිබඳව ආඩම්බර වෙන ගමන්, අනෙක් සංස්කෘතීන්ට ගරු කිරීමටත් ශ්‍රී ලාංකිකයන් ලෙස පුරුදු පුහුණු විය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලග්ගල වතුර ලග්ගල තියා ගන්නත් කළු ගඟ ව්‍යාපාරයෙන් අසාධාරණයක් නොවන ආකාරයට සහන වැඩසටහනක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන බවද අග‍මැතිවරයා පැවසීය.

මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතිය නිසා ලග්ගල ජනතාවට සිදුවී ඇති අසාධාරණකම් තමන් දන්නා බව පැවසූ අග‍මැතිවරයා වැඩිදුරටත් පැවසුවේ හැකි ඉක්මනින් සියලු අසාධාරණකම් නිදොස් කර සැමට සෙත සලසන බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (28) ලග්ගල ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් කීපයක් ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව ලග්ගල බස්නැවතුම්පළෙහි පැවැති සමෘද්ධි සහනාධාරය සහ ඉඩම් හිමිකම් පත් ලබාදීමේ උත්සවය අමතමිනි.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන 22ක වියදමින් විල්ගමුව මාරක මහා විද්‍යාලය ඉදිකළ තෙමහල් පන්තිකාමර සහිත ගොඩනැඟිල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිසු අයිතියට පත් කෙරිණි.

ලග්ගල ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව නාවුල ශ්‍රී බෝධිමළු විහාරයේ හිමිපාණන් වහන්සේ බැහැදැක ආගමික වතාවත්වල නිරත විය.

ලග්ගල රෝහලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම රෝහල ජාතික රෝහලක් බවට පත්කිරීම පිළිබඳව රෝහලේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

නාවුල ගොඩිගමුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්ගල තැබුවේය. ඒ සඳහා රුපියල් මිලියන 223ක මුදලක් ලබාදී තිබේ. එම වැව මගින් ගොවි පවුල් 200කට ජලය ලැබෙන අතර වී අක්කර 60ක් සහ අතිරේක බෝග අක්කර 100ක් සදහා ජලය ලබාදෙනු ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

අද දිනයේ වැඩකටයුතු ආරම්භ කළේ ඔබේ ප්‍රදේශයේ මාරක මහා විද්‍යාලයේ නව ගොඩනැඟිල්ල ආරම්භ කරලා. අරංගල තරුණ සේවා මධස්ථානයේ නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කළා, දොඩම් අත්තාවල ශ්‍රී බෝධි මළු විහාරස්ථානයේ සංඝාවාසයට මුල්ගල තැබුවා, ගොඩිගමුව වැව් බැම්ම ප්‍රතිසංස්කරණයට සම්බන්ධ වුණා, ගන්දිරිය විහාරස්ථානයට ගියා, ලග්ගල ප්‍රාදේශීය රෝහල උසස් රෝහලක් කිරීම පිළිබඳව සාකච්ඡා කළා, ලග්ගල ජනතාවට සමෘද්ධි සහනාධාරය හ ඉඩම් ඔප්පු ලබාදීමට අද මෙතනට ඇවිත් තිබෙනවා. මේ සංවර්ධන වැඩකටයුතු සදහා මූලිකත්වය ගත්තේ රෝහිණි විජේරත්න මැතිනියයි.

අපි ප්‍රාදේශීය කොට්ඨාස තුනකට ගියා. මම මන්ත්‍රීතුමියගෙන් ඇහුවා මෙම ප්‍රදේශය කොපමණ විශාලද කියා. එතුමිය මට කිව්වා වර්ග සැතපුම් 900යි කියා. මාලදිවයිනටත් වඩා ලොකුයි. කොළඹ දිස්ත්‍රික්කය වගේ තුන්ගුණයක් තිබෙනවා. මම මුලින්ම නියෝජනය කළේ බියගම ආසනය. වර්ග සැතපුම් 22යි, ඊට පසු මැදකොළඹ ආසනය ඒ ආසනයත් කුඩයි. මෙතුමිය මෙම ආසනය දියුණු කරන්න විශාල ලෙස මහන්සි වෙනවා. අපි වාගේ වගේ නෙමෙයි ලේසියෙන් පහසුවෙන් වැඩකටයුතු කරන්න පුළුවන්. අද ඔබේ ප්‍රදේශයෙන් තේරී පත්වී සිටින මන්ත්‍රීවරිය ප්‍රදේශයට වැඩක් කළ කෙනකු කියා මම කියන්න කැමතියි.

මේ ලග්ගලට 1980 මම ආවේ ජීප් රථයේ. පාරවල් තිබුණේ නෑ. රෝහිණි මන්ත්‍රීතුමියගේ පියා විජේරත්න මහතාගෙන් මම ඇහුවා කොහොමද මෙම ප්‍රදේශවල යන්නේ කියා. බකමූණෙන් මෙහාට ඒ කාලේ එන්න බෑ. එදා මෙතුමියගෙ පියා සහ ගාමිණී දිසානායක මහතා මුල්වී කළ සංවර්ධනය නිසා ලග්ගල ප්‍රදේශය දියුණු වී තිබෙනවා. වර්තමානයේ රෝහිණී විජේරත්න මන්ත්‍රීතුමිය මෙම ප්‍රදේශයට විශාල සේවයක් කර තිබෙනවා. අපි සියලු දෙනාගෙම යුතුකමක් තිබෙනවා එතුමියට ස්තූති කරන්න.

මහියංගණය, මිනිපෙ විතරක් නෙමෙයි විල්ගමුව, ලග්ගල මේ සියල්ලම විශාල ලෙස දියුණුවක් ඇතිකරගෙන යන්නේ. මෙම ප්‍රදේශයේ කෘෂිකර්මය දියුණු කරන්න, අපනයනය මෙම ප්‍රදේශවලට ගේන්න අපි සාකච්ඡා කළා. රෝහිණි මන්ත්‍රීතුමියට කිව්වා සැලසුම් දෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මය ඒ සියල්ල පිළිබඳව වැඩසටහන් ක්‍රියාත්මක කර ඊළග වසර පහ තුළ මෙම ප්‍රදේශයට විශාල දියුණුවක් ඇතිකර දෙනවා.

මට රෝහිණී මන්ත්‍රීතුමිය කිව්වා ලග්ගලට සිදුවී තිබෙන අසාධාරණය. ඒ සියල්ලම අපි නිදොස් කරන්න බලාපොරොත්තු වෙනවා. රන්දෙණිගල සකස්කළේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. ක්‍රියාත්මක කළේ ගාමිණී දිසානායක. ඒවා වෙනස් කරන්න බැහැ. රන්දෙණිගල වතුර යන්න තියෙන්නෙ රන්ටැඹේට. එතන සිට යන්න තියෙන්නේ ඇලවල් හරහා. ඒ වතුර වෙන කොහෙටවත් වැඩක් නෑ. රෝහිණී මන්ත්‍රීතුමියට මිනිපේ ඉහළ පැත්ත සංවර්ධනය කරන්න, වත්තේගෙදර වැව සංවර්ධන කරන්න අවශ්‍ය නම් මම වාරිමාර්ග ඇමැතිතුමාට උපදෙස් දෙන්නම් ඊළග වසර දෙක තුළ ක්‍රියාත්මක කරන්න.

ලග්ගල වතුර ලග්ගල තියාගන්නටත් කළු ගඟෙන් අසාධාරණයක් නොවන්නටත් මම වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියා කියන්න කැමතියි. ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ සංවර්ධනය කරන ගමන් ලග්ගල ජනතාවට අසාධාරණයක් කරන්න බෑ. ලග්ගල වතුර ලග්ගල ජනතාවත් ප්‍රයෝජනයට ගන්න ඕනේ කියා මම කියන්න කැමතියි. ඒ නිසා මේ ලග්ගල දියුණුවේ ආරම්භය පමණයි. තවත් විශාල වැඩකොටසක් කරන්න තියෙනවා.

ඒ සමඟම අපේ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා මෙම ප්‍රදේශයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදෙමින් සිටිනවා. ඔප්පුවක් නැති අයට ඔප්පුවක වටිනාකම මම කියන්න ඕනේ නෑ. එතුමා ඒ වැඩසටහන භාරගෙන තිබෙනවා. වැඩිකල් යන්න කලින් ඔබේ ඔප්පුව සින්නක්කරව ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. රටේ කෝටිපතියට තිබෙන අයිතිය පර්චස් පහක් තිබෙන ඔබටත් තිබිය යුතුයි. ඒක වෙනස් කර්න්න බෑ. එක සමාන අයිතිය අපි ඔබට ලබාදෙනවා.

දයා ගමගේ ඇමැතිතුමා මාසයක් යන්න පෙර ශ්‍රී ලංකාවටම සමෘද්ධි සහනාධාරය ලබාදුන්නා. අපේ තුසිතා විජේමාන්න අධීක්ෂණ ඇමැතිතුමිය ඒ වැඩකටයුතු සංවිධානය කරමින් සිටිනවා. දයා ගමගේ ඇමැතිතුමා අසනීප වී ඉද්දි රෝහලේ සිට ඇවිත් මේ සමෘද්ධි සහනාධාරය දිවයින පුරා ජනතාවට ලබාදුන්නා. මම එතුමාට කිව්වා අසනීප නිසා සමෘද්ධි සහනාධාරය ලබාදීමේ වැඩසටහන කල්දාමු කියා. එතුමා කිව්වා නෑ පොරොන්දු වූ අයුරින් අපි සමෘද්ධි සහනාධාරය ලබාදෙනවා කියා. දයා ගමගේ ඇමැතිතුමා මෙම සමෘද්ධි සහනාධාරය ලබාදීමේ වැඩසටහන ආරම්භ කළේ බෝම්බේ පිපිරුණාට පස්සේ. බෝම්බේ පිපිරෙද්දී ගොඩාක් අය බිය වුණා නමුත් අපි අපේ සංවර්ධන වැඩකටයුතු කළා.

අපි ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා, රංමාවත් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා, ආර්.අයි.බී.පී. මුදල් දී තිබෙනවා, නිවාස ලබාදීගෙන යනවා, හොඳම පාසල ළඟම පාසල කරගෙන යනවා, මේ එකක්වත් බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ නැවැත්වුවේ නෑ. ඊට අමතරව සමෘද්ධිය නොලැබුණු අයටත් සමෘද්ධිය ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා.

දැන් අපි සෑම ආසනයකටම මිලියන 100ක් ලබාදෙනවා වැඩකටයුතු කිරීමට. අපි මුදල් ආසනයට ලබාදෙද්දී එක කොන්දේසියයි ලබාදෙන්නේ. ඔක්කොම මුදල් ඔක්තොම්බර්, නොවැම්බර් වෙද්දි ආසනයේ සංවර්ධනය වෙනුවෙන් වියදම් කරන්න කියා විතරයි අපි කියන්නේ.

සංඝයා වහන්සේලාට රක්ෂණ ක්‍රමයකුත් ක්‍රියාත්මක කර තිබෙනවා. එදා අපේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසුව හැමෝම හිතුවා එක්සත් ජාතික පක්ෂය ඉවරයි කියා. නමුත් ඒ නිසා එක් සංවර්ධන වැඩසටහනක්වත් පස්සට දාන්න මා ඉඩදුන්නේ නෑ. මා බෝම්බය පිපිරූ දිනම ආරක්ෂක අංශවලට කිව්වා වහාම ඒ අය අල්ලගන්න කිසිදු සමාවක් දෙන්න එපා කියා. දැන් බලන්න ඒ නිසා තමයි බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනාම ආරක්ෂක අංශ භාරයේ සිටින්නේ. ප්‍රහාරයට සම්බන්ධ අයව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපිට විශාල ඔත්තු ප්‍රමාණයක් ලැබුණේ මුස්ලිම් ජනතාවගෙන්. ඒ ඔත්තු අපිට අවශ්‍යයි. එම තොරතුරුවලින් රහස් පොලිසිය 27දා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත්තා. ජෙලනයිට් කූරු 369ක්, ටී 56 උණ්ඩ 400ක්, ගුවන් යානා නාශක උන්ඩ, ඩෙටනේටර්, ඩෙටනේටර් කෝඩ්, ජෙලට්නයිට් බාල්දි දෙකක්, කඩු 30 ක් මේ සේරම හොයාගන්න පුළුවන් වුණේ ආරක්ෂක අංශ වලින් කළ ප්‍රශ්න කිරිම් මගින්. කොහොම හරි සිද්ධියේ මුළු සත්‍ය සිදුවීමම සොයාදෙන්න කියා මම පොලීසියට උපදෙස් දී තිබෙනවා. පොලීසිය වැඩකටයුතු කරගෙන යනවා. සමහරු කියනවා ‘මොකක්ද ආණ්ඩුව කළේ‘ කියා එම ප්‍රකාශය ආණ්ඩුවට කරන අගෞරවයක් නෙමෙයි මාස දෙකෙන් ත්‍රස්තවාදීන් අල්ලාගත් පොලීසියට කරන අගෞරවයක්. මට අමෙරිකාවේ FBI එකෙන් කිව්වා මේ තරම් ඉක්මනට ත්‍රස්තවාදීන් මර්දනය කළ එකම ආරක්ෂක අංශය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කියා. ඒ අය කියනවා තාක්ෂණික උපකරණ නැතිව ඔබලා කොහොමද මේක අවසන් කළේ කියා අසනවා. අනික් රටවලින් අපිට හොඳ කියනවා.

බෝම්බ පුපුරණ කාලයේ විශාල ප්‍රශ්න ආවා. ක්‍රිස්තියානි අය අසනවා ඇයි අපිව මරන්නේ, ඇයි අපි පස්සෙන් එළව එළව පහරදෙන්නේ කියා. මුස්ලිම් අය කියනවා අන්තවාදීන් දෙතුන් දෙනෙක් කළේ අපි බෝම්බ ප්‍රහාරයට විරුද්ධයි ඇයි අපිට ගහන්නේ, අපි කළ වරද මොකක්ද කියා. සිංහල බෞද්ධ අය අහනවා ඇයි මේ ලංකාවේ බෝම්බ පුපුරවන්නේ කියා. අපේ රට නැතිකරද්දි ඇයි ආණ්ඩුව ඉඩදෙන්නේ කියනවා. එහෙම ප්‍රශ්න රටේ ව්‍යසනයකදී ඇතිවෙනවා. අපිට තිබෙන්නේ මේ රට එකතුකරගෙන ඉදිරියට යන්න. එතකොට තමයි අයි.එස් කාරයන්ට ඔළුව උස්සන්න බැරිවෙන්නේ. සමහරු බෝම්බ ප්‍රහාරයෙන් ජාතිවාදය ඇතිකරන්න උත්සාහ කළා. ජාතිවාදය මගින් දේශපාලන වාසි ගන්න. ඡන්දයකට යන්න ජාතිවාදය අැද්දා. මම කියන්නේ පළමුව ශ්‍රී ලාංකික වන්න කියා. මේ රටේ බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සියලු ආගම් අදහන අයට ආඩම්බර වෙන්න පුළුවන්. ආගමික නිදහස තිබෙනවා. ථෙරවාදී බුදු දහම ආරක්ෂා කළේ මේ රටේ කියා අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඒ බුද්ධාගමෙන් සිංහල සාහිත්‍ය ඇතිවුණා. මේ රටේ ව්‍යවස්ථාවෙන් පෙන්වාදී තිබෙනවා බෞද්ධාගමට ප්‍රමුඛත්වය දෙන්න කියා. ඒ වගේම අන්‍යාගමිකයන්ටත් අපි ගරු කරනවා. ඒ වගේම අපේ සිංහල සංස්කෘතිය අනෙක් සංස්කෘතිවලින් පෝෂණය වුණා කියලත් අපිට කියන්න පුළුවන්.

අපි බෙදී ජාතිවාදය ඇතිකළොත් මේ රටේ සෑම දෙයක්ම කඩාවැටෙනවා. මේ රටේ සංහිඳියාවක් ඇතිකර, ණය බරට මුහුණ දී ඉදිරියට ගිය නිසා තමයි මේ සෑම දෙයටම සල්ලි දීමට හැකිවුණේ.

අපි ශිෂ්‍යයන්ට රක්ෂණය දුන්නා, ශිෂ්‍යයන්ට සුරක්ෂා රක්ෂණය දෙනවා, පාරවල් සඳහා මිලියන දහස් ගණන් මුදල් දෙනවා. මේ ඔක්කොම අපි ආරක්ෂා කරගෙන යමු. අන්තවාදීන් සිටිනවානම් ඒ අයට සමාව දෙන්න එපා. ඒත් අපි දැකලා තිබෙනවා සිංහල අය අතරත් ත්‍රස්තවාදීන් සිටිනවා, ද්‍රවිඩ අය අතරත් ත්‍රස්තවාදීන් සිටිනවා, මෙතනදී ත්‍රස්තවාදියාට සමාව දෙන්න එපා. ජාතිවාදයක් ඇතිකරගෙන ජාතීන් අතර සංහිඳියාව නැතිකරගන්න හොඳ නෑ. අපිට ද්‍රවිඩ ජනතාව යුද්ධ කාලයේදී උදවු කළා.

තල්දූවේ සෝමරත්න කියා සංඝයා වහන්සේ නමක් හිටියා. ඒ සංඝයා වහන්ස එස්.ඩ්බ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට වෙඩි තිබ්බා. එදා බණ්ඩාරනායක අගමැතිවරයා සංඝයාවහන්සේලාට බණින්න අකමැතිවූ නිසා එතුමා කිව්වා කහ සිවුරක් ඇදගත් පුද්ගලයෙක් මට වෙඩිතිබ්බා කියා. ඒත් ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා කියා. බණ්ඩාරනායක ඝාතනයෙන් පස්සේ අපේ ස්වාමීන්වහන්සේලා දෙස විරුද්ධව සමහරු බැලුවා. සේනානායක මැතිතුමා එයට ඉඩදෙන්න බැහැ කියා කිව්වා. එක පුද්ගලයකු වැරැද්ද අපිට අනෙක් අයට දාන්න බෑ කිව්වා. ඒක වැරදියි. ඒක කරන්න උවමනා නෑ. අපි බුදුන්වහන්සේගේ ධර්මයෙන් ජීවත්වෙමු. වැරදි කරන අයට දඬුවම් දෙමු. අපි කාටවත් ලේබල් අලවලා ජාතිවාදීන් කියා හංවඩු ගහන්න හොඳ නෑ කියා මම කියන්න කැමතියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලග්ගල ආසන සංවිධායක රෝහිණී කුමාරි විජේරත්න-

අද ලග්ගලට සුවිශේෂී දවසක්. ලග්ගල ඔබේ ඉඩම් ගැටලු බොහොමයක් අපි විසඳා දෙනවා. අද මොරගහකන්ද ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමිවී අසාධාරණයක් වු අයට අපි ඉඩම් ලබාදෙනවා. අද ඔබට සමෘද්ධිය පක්ෂ, පාට බේදයකින් තොරව ලැබී තිබෙනවා. තවත් සමෘද්ධිය ලැබී නැති අය සිටිනවා නම් අභියාචනයක් මගින් ප්‍රාදේශීය ලේකම් මාර්ගයෙන් දැනුම් දෙන්න කියා මම ඔබට කියනවා.

වසර 20ක් සමෘද්ධි දේශපාලනීකරණය වී තිබුණා. ලග්ගල සමෘද්ධිය ලැබිය යුතු බොහෝ දෙනකුට සමෘද්ධිය ලැබුණේ නෑ. එද සමෘද්ධිය භාර ඇමැති වී සිටි SB දිසානායක මහතා ප්‍රසිද්ධියේ කිව්ව සමෘද්ධි ව්‍යාපාරය නිර්මාණය කළේ දේශපාලනය වෙනුවෙන් කියා. නමුත් අපි ලක්ෂ 06ක සමෘද්ධි ප්‍රතිලාභීන් පිරිසක් සවිබල ගන්වනවා. යැපෙන මානසිකත්වයෙන් මිදී දෙපයින් සිටිගන්න ඔබට අපි අවස්ථාව ලබාදී තිබෙනවා.

සමෘද්ධි නිලධාරීන්ව වසර 25ක් දේශපාලනීකරණය කර රැවැට්ටුවා. ඔබට ලැබිය යුතු පත්වීම් නිවැරදි ලෙස අපි ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තු වෙනවා. එය ඔබ ලැබූ විශාල ජයග්‍රහණයක්. 2015දී අපි බාරගත්තේ අරාජික රටක්. මාධ්‍ය නිදහස එදා තිබුණේ නෑ. කඩාවැටුණු ආර්ථිකයක් තිබුණෙ. එම අරාජික රට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාහේ සංකල්පයක් මත අපි යළිත් ගොඩනැඟුවා.

ලග්ගල ජනතාවට මොරගහකන්ද ව්‍යාපෘතිය මගින් ලැබුණේ අභියෝග සහ ප්‍රශ්න විතරයි. ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ ඔබට සියයට 50ක වන්දි මුදලක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිසයි. මොරගහකන්ද මගින් අනුපවුල් විශාල ප්‍රමාණයකට ඉඩම් පිළිබඳව විශාල ගැටලුවක් පැනනැඟුණා. අපි එම ප්‍රශ්න හැකි ඉක්මනින් විසඳනවා.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක-

වසර ගණනාවක් තිස්සේ සමෘද්ධිය ලැබිය යුතු නොලැබුණු ලක්ෂ 6කට සමෘද්ධිය ලැබෙන විට ලග්ගලදී දහස් ගණනකට සමෘද්ධිය ලැබෙනවා. ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනසවිය වැඩසටහන ගෙනාවේ හැමදාම සමෘද්ධිය ලබාදෙන්න නෙමෙයි. වසර දෙකකින් සමෘද්ධිලාභියා පොහොසත් කරන්න. එය පසුව සමෘද්ධි ව්‍යාපාරය වුණා. සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණ ජනතාව සවිබල ගැන්වීම වුණත් සිදුවුණේ දේශපාලන පක්ෂ සවිබලගැන්වීමයි.

අද අපි දේශපාලන පක්ෂවලින් තොරව සමෘද්ධිය ලබාදෙනවා. එදා සමෘද්ධි සහනාධාරය කපනව කියා ජනතාව බිය ගන්වා මැතිවරණවලට කැන්වසින් යැව්වා, මැයි පෙලපාලි යන්න ඕනේ කියා තුරුම්පු වශයෙන් තියාගත්තා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලක්ෂ හයකට සමෘද්ධිය දෙන්න තීරණය කළා. මෙම සහනාධාරය ලැබෙනකොට ඔබ හිතන්න එපා හැමදාම සමෘද්ධියේ ඉන්න ඕනා කියා. මා දිරියෙන් නැඟිටිනවා කියා සිතාගන්න. මෙය ඔබව දිරියෙන් නැඟිටවන්නට දෙන දීමනාවක්.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ මහතා

වත්මන් රජය මාතලේ දිස්ත්‍රික්කයේ වැඩකටයුතු සඳහා විශාල මුදලක් ලබාදී තිබෙනවා. පසුගිය රජය මගින් සංවර්ධනය කළේ හම්බන්තොට පමණයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි සංවර්ධන වැඩකටයුතු සිදුවෙනවා. මෙම සංවර්ධන වැඩකටයුතු බාරගත්තේ රටේ ආර්ථිකයට බලපාන විශාල ණය කන්දක් සමඟයි.

2015 ජනවාරි 8 වැනිදා රට බාරගෙන හම්බන්තොට සංවර්ධනය කරනවා සේම සියලු ආසනවලට සංවර්ධන වැඩකටයුතු දියත් කළා. මේව කුඩා සංවර්ධන වැඩකටයුතු නෙමේ විශාල වැඩකටයුතුයි. 2025 වන විට පොහොසත් රටක් බවට පත්කර දුප්පත් ජනතාව ණය බරින් නිදහස් කරනවා.

වත්මන් රජය ගොවියා රක්ෂණය කළා, වගාහානි ලබාදුන්නා. ඒ වගේම හොඳ වී අස්වැන්නක් ලැබුණා. කෘෂිකාර්ම අමාත්‍යාංශය මගින් පලතුරු ගම්මාන ඇතිකිරීමට අපි කටයුතු කර තිබෙනවා. ලග්ගල මැතිවරණ කොට්ඨාසය තුළත් අපි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

ඇමැති ගයන්ත කරුණාතිලක, ඇමැති රංජිත් අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි විජේරත්න, ඇමැති වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුසිතා විජේමාන්න, දඹුල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ප්‍රියාන් විජේනායක යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගී වූහ.

ජායාරූප - හිරන්ත ගුණතිලක

No comments:

Post a Comment

Post Bottom Ad

Pages