දරු පරපුර දැනුමෙන් සවිමත් කිරීමෙන් දුප්පත්කම නැති කළ හැකියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-01

දරු පරපුර දැනුමෙන් සවිමත් කිරීමෙන් දුප්පත්කම නැති කළ හැකියි

ජනපති පොළොන්නරුවේ දී කියයි

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් දුප්පත්කම නැති කළ හැකි බව 'පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ නිම කළ ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා 28 වැනිදා කියා සිටියේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ රුපියල් ලක්ෂ 433 මුදලක් වැය කොට යුද හමුදා ශ්‍රම දායකත්වය යටතේ පොළොන්නරුව සුංගාවිල අල්හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකර තිබූ තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල හා අල්රිෆායි විද්‍යාලයේ ඉදිකර තිබූ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙ‍සේද කීය. දුප්පත්කම නැතිවෙන්න නම් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. එවිට සමාජයේ හොඳ පිළිගැනීමක් හොඳ නායකත්වයක් ලැබෙනවා. ආර්ථික ප්‍රශ්න පවා නැති වී හොඳ ආර්ථිකයක් ගොඩනැගෙනවා හොඳ අධ්‍යාපනයක් ලබාගත්තාම හොඳ රක්ෂාවක් හොඳ ජීවන මාර්ගයක් ලැබෙනවා. මේ සඳහා සුදුසු පරිසරයක් රජය මඟින් ලබාදී තිබෙනවා.

අද අන්තවාදී ජාතිවාදීන් විසින් රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කර ලෝකය පුරා ගැටුම් ඇති කරනවා. සිංහල, දමිළ, මුස්ලිම් ගැටුම් ඇති කළා. සෑම ආගමක් දහන පුද්ගලයකුට හොඳින් ජීවත්වීමේ අයිතිය තියනවා. හොඳින් අධ්‍යාපනය ලබාගත්තොත් මේ ගැටුම්කාරිත්වය පවා නැති වී යනවා.

හොඳින් අධ්‍යාපනය ලබා ඉදිරියට යන විට සතුරන් ඔබේ ගමන වළක්වන්න උත්සාහ කරනවා. මත්ද්‍රව්‍ය එවැනි සතුරෙක්. අද විශ්වවිද්‍යාල, පාසල්වලට පවා නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා දෙන අය ඉන්නවා.මේවා පාවිච්චි කරන අහිංසක දරුවන් විනාශ වෙනවා. අද හිරගෙවල්වල 24,000 ඉන්නවා. ඒවායේ ඉඩ ඇත්තේ සිරකරුවන් 11000 කට පමණයි. මින් 15,000 මත්කුඩුවලට සම්බන්ධ වැරදිකරුවන්. ලංකාවේ මත්කුඩු භාවිතා කර ඉන් මිදීමට යොමුකරන පුනරුත්ථාපන කඳවුරු 10, 15 තියෙනවා. ලොකුම කඳවුර තියෙන්නේ වැලිකන්දේ.

මිනී මැරුම්, ස්ත්‍රි දූෂණ සමූහ මංකොල්ල, සමූහ මිනීමැරුම්, මත්ද්‍රව්‍ය මේ සියල්ලටම මුල දුප්පත්කම. අන්ත දුගීභාවය මේ දුප්පත්කම සමාජ පිළිකාව ගොඩ ඒමට නම් දරුවනේ ඔබ හොඳින් ඉගෙන ගන්න. රජයක් වශයෙන් අධ්‍යාපනයට තමයි වැඩිම මුදලක් ලබාදී තිබෙන්නේ. ‍මම මුලින්ම කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන පාසල් 245 අඩුපාඩු සොයා බලා ඩෙස්, පුටු ලබාදීමයි. ඒ සඳහා ‍රුපියල් කෝටි ගණනක මුදල් වැය කළා. පස්සේ පාසල් ගොඩනැගිලි නව තාක්ෂණික උපකරණ, භෞතික සම්පත් ලබාදුන්නා. දරුවනේ මම තෝපාවැව මහා විද්‍යාලයෙන් රාජකීය විද්‍යාලයට ගියා. මම ගියේ පයින්. සපත්තු නැහැ. විවිධ ආර්ථික අපහසුතා මැද තමයි මම අධ්‍යාපනය ලැබුවේ. ඒ නිසා ඔබත් හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගෙන හොඳ රක්ෂාවක් හොඳ ජීවන මාර්ගයක් සකස් කරගන්න. හොඳ අධ්‍යාපනයක් තුළින් දුප්පත්කම නැති කරගන්න පුළුවන්. සිංහල, දමිළ, මුස්ලිම් අපි කවුරුත් එකයි. අපි කවුරුත් එකට ජීවත්විය යුතු යැයි කීය.

අනතුරුව පැවැති 'පිබිදෙමු පොළොන්නරුව' ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ලංකාපුර විජිත මධ්‍ය මහා විද්‍යාලය සඳහා රුපියල් ලක්ෂ 306ක මුදලක් වැය කර ඉදිකළ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවැති උත්සව සභාවේදී ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

මෙම නව ගොඩනැගිල්ල සිසු දරුවන්ට බාරදීමට ලැබීම පිළිබඳ මම ඉතාම සතුටට පත්වෙනවා. විදුහල්පතිවරයාගේ කතාවේදී පාසල් සංවර්ධනයට මුල් වූ වැදගත් අවස්ථා පිළිබඳ පැහැදිලි කළා. මම මන්ත්‍රීවරයෙක් හැටියට සිටින කාලයේත්, ඇමැතිවරයෙක් විදියට සිටින විටත් විජිත මධ්‍ය විද්‍යාලයට මට කරන්න පුළුවන් උදව් කළා. ඒ අතර විදුහලේ පානීය ජල ප්‍රශ්නය ඉදිරියේදී විසඳන්න පුළුවන් වේවි.

වකුගඩු රෝගය නිසා පීඩා විඳින පොළොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවල පාසල් ඇතුළු ගම්මානවලට ජල ආශ්‍රිත පෙරණ යන්ත්‍ර මේ වනවිට 700කට වැඩි ගණනක් බෙදාදී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමයි ඒ සඳහා මුදල් දෙන්නේ.

'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහන යටතේ මෙම පාසලට නව ගොඩනැගිල්ලක් ලබාදීම පිළිබඳ දරුවන්, මාපියන් හා විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය සතුටු වන බව මම දන්නවා. පොළොන්නරුව දිස්ත්‍රික්කය විදියට පිබිදෙමු පොළොන්නරුව වැඩ සටහන පසුගිය අවුරුදු 03ක ව්‍යාපෘතියක්. රුපියල් කෝටි 6000ක ව්‍යාපෘතියක් ඒ සඳහා වෙන්කර වියදම් කළා. පසුගිය දෙසැම්බර් 31දා ඒ ව්‍යාපෘති කාලය අවසන් වුණා. දැන් මේ අවුරුද්දේ තිබෙන්නේ වැඩ නිමවූ ව්‍යාපෘතිවල විවෘත කිරීම් විතරයි.

තවදුරටත් උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය. පසුගිය අවුරුදු තුනේ ව්‍යාපෘති රැසක් විවෘත කළා. ඒවා ගණනින් මෙපමණැයි කියන්න බැහැ. පසුගිය 22 වැනිදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 180ක සේවා පියස ගොඩනැගිලි 180ක් විවෘත කළා. මේ දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාමසේවා වසම්වල ඒ ගොනැගිලි හදලා බාර දීලා ඉවරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පසුගිය අවුරුදු කිහිපය තුළ පාසල්, පානීය ජල පහසුකම්, රෝහල්, මහාමාර්ග, නාගරික සංවර්ධනය ඇතුළු ජනතාවගේ මූලික අවශ්‍යතා රැසක් සම්පූර්ණ කර ජනතා අයිතියට පවරා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා පිළිබඳ අප විසින් කර ගෙන ගිය වැඩසටහන් සාර්ථකව අවසන් කළා. මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කය විදියට සතුටු වෙන්න පුළුවන් කරුණු රාශියක් තිබෙනවා.

ප්‍රදේශයේ සංවර්ධනයට අවශ්‍ය බොහෝ කාරණා මේ වන විට අපි ඉෂ්ට කර තිබෙනවා. තව ඉතා සුළු වශයෙන් අත හැරිච්ච දේවල් තියෙන්න පුළුවන්. අද ලංකාවේ කුමන පාසලකට ගියත් සෑම පාසලකම අධ්‍යාපන තත්ත්වය හොඳයි. විභාග ප්‍රතිඵල හොඳයි. ඉතාම කලාතුරකින් තමයි විභාග ප්‍රතිඵල දුර්වලව පෙ‍න්නන්නේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ වැඩ කරන්නෙත් ඈත පිටිසර උතුරු නැගෙනහිර ප්‍රදේශවල වැඩ කරන්නෙත් එකම අධ්‍යාපන සුදුසුකම් තිබෙන එකම වෘත්තීය සුදුසුකම් තිබෙන ගුරු මෑණිවරුන් සහ පියවරුන්. පාසල්වල ප්‍රතිඵල පෙන්වීමට බොහෝ විට අඩු පාඩු සිදු වෙන්නේ අත්‍යවශ්‍ය අනිකුත් පහසුකම් නොමැතිවීම නිසාය. පන්තිකාමර, පුස්තකාල තාක්ෂණගාරය, කෘෂිවිද්‍යාගාරය, ගෘහ විද්‍යාගාරය, බාහිර පහසුකම්, ක්‍රීඩා, සංස්කෘතික අංශවලට ප්‍රමාණවත් පහසුකම් නොතිබීම ඊට හේතුවක් බව ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.මෙම අවස්ථාව අමතා උතුරුමැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාද කතා කළේය.

පොළොන්නරුව දිසා සමූහ - ඇම්. පී. සරත්
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages