පුළුල් සන්ධානයකින් ජනාධිපතිවරණයට එන්න යෝජනා සම්මත කර ගත්තා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-01

පුළුල් සන්ධානයකින් ජනාධිපතිවරණයට එන්න යෝජනා සම්මත කර ගත්තා

Author(s): 
සමන්මලී ප්‍රියශාන්ති

එජනිස මහ ලේකම් මහින්ද අමරවීර

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ඒකමතිකව සම්මත කර ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පසුගිය (28) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මේ රජය මේ වන විට රටේ සංවර්ධනය වෙනුවෙන් කරන ප්‍රමුඛ කාර්යයන්ට මුදල් වෙන් කිරීම සම්පුර්ණයෙන්ම නතර කරලා තිබෙනවා. කෘෂි, ධීවර ක්ෂේත්‍රයන්ට මුදල් වෙන් කිරීම හරි අඩකින් අඩු කරලා තිබෙනවා. මේ අංශ සියල්ලටම වෙන් කළ මුදල අඩු කරලා විතරක් නොවෙයි වෙන් කළ මුදල ද ප්‍රයෝජනයක් අරගෙන නැහැ. අද තවම සමහර අංශවල ගිය අවුරුද්දේ කරපු ව්‍යාපෘතිවල සල්ලි ගෙවලා අවසන් කරලා නැහැ. කොන්ත්‍රාත්කරුවන් පෝෂණය කරන්න යම් මුදලක් පාරවල් කොන්ක්‍රීට් කරන්න පමණක් වෙන් කරලා තිබෙනවා. මේවා කරන්නේ දේශපාලනඥයන් සතුටු කරන්න. නමුත් අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට දේශපාලනඥයන්ට මුදල් වෙන් කර දෙන නමුත් කෘෂි, ධීවර අංශ සංවර්ධනයට මුදල් වෙන් කර නැහැ. මේ රට සංවර්ධනය කරන්න නම් කෘෂි, ධීවර, පශු සම්පත් අංශ දියුණු කළ යුතුයි.

මේ වන විටත් අපට යම් විදේශ ආදායමක් ලැබෙනවා නම් ඒ විදේශ රටවල් සේවය කරන කාන්තාවන්ගෙන්. ඊට අමතරව ධීවර ක්ෂේත්‍රයෙන් අපි ආදායමක් ලැබුවා. ඒ ලාභය වඩාත් දියුණු කරන්න අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලැබුණේ නැහැ. අවසානාවකට අද ඒ වෙනුවෙන් හදපු ව්‍යාපෘති නතර වෙලා. කෘෂි ක්ෂේත්‍රය තුළ අපි මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන වැඩපිළිවෙළක් අපි හැඳුවා. නමුත් ඒකට මුදල් ලැබුණේ නැහැ. අපි වැඩවර්ජන, විථි සටන්වලට සීමා නොවී ආණ්ඩුව හොඳ කාර්යයක් කරන විට ඊට උදව් කරන්න කටයුතු කළා. ඒවට අපි සහයෝගය දුන්නා.

2022 වන විට අපිට අවශ්‍ය පළතුරුවලින් සියයට 90 ක් මේ රටේ නිෂ්පාදනය කරලා පළතුරු මෙට්‍රික් ටොන් 60000 ක් මේ රටට ගෙන්න. අපිට අවශ්‍ය මිරිස් ටික මේ රටේ හැදුවා නම් අපි හැම පැත්තෙන්ම ඉස්සරහට යනවා. ඒක මේ රටේ හැදුවා නම් වියදම බිලියන 135000ක් ඉතිරි කර ගන්නවා. මේකට අපි වැඩපිළිවෙළක් හදා ගන්න තිබුණා. මේ පිටරටින් ගෙන එන මිරිස් කියලා අපි කන්නේ වහ. අපේ රටේ තහනම් කළ කෘමි නාශක රැසක් මේකට යොදනවා. බාල පොහොර තමයි මේකට යොදන්නේ. අපි පිටිකිරි රටින් ගෙනත් මිනිස්සුන්ට බොන්න පුරුදු කළ රටක්. තේරුමක් නැති හරක් පැටව් ටිකක් ගෙනල්ලා දැම්මට වැඩක් නැහැ. දැක්මක් ඇතිව තමයි අපි වැඩකළ යුතු වන්නේ. දැනුත් කාලය තිබෙනවා. දැක්මක් ඇතිව වැඩ කරන්න අපි සහාය දෙනවා. අද රජයට තිබෙන ප්‍රශ්නය වන්නේ පක්ෂයේ මන්ත්‍රීවරු පක්ෂය අතහැර යාමට සුදානම් වීමයි. ඒ නිසා ඒවා වළක්වන්න විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මන්ත්‍රීවරු සතුටු කිරීමට තමයි කටයුතු කරන්නේ.

අද සමෘද්ධි කියලා ලක්ෂ හයක් දීලා තිබෙනවා. තව ලක්ෂ 5ක් දෙනවා. 1995 දී දුප්පතුන් ලෙස ගණනය කළේ ලක්ෂ 14ක් .ඒ ලක්ෂ 14 දුප්පත්කමෙන් මුදා ගන්න තමයි මේක දුන්නේ. අද සමෘද්ධි ව්‍යාපාරය ආපස්සට ගත් විට මොකද වෙලා තිබෙන්නේ. 2018 වන විට මේ ලක්ෂ 14ක් වු දුප්පතුන් ප්‍රමාණය තව ලක්ෂ 32 දක්වා වැඩි වෙනවා. කොහොමද අපි මේ රජයට සහය දෙන්නේ මේ විදිහට. අපිට විථි සටන් වලට සීමා වෙලා වර්ජන නොකර රජයේ වැඩසටහන්වලට සහාය දෙන්නම් කියලා අපි කිව්වා. නමුත් මේ රජය කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. කිසිසේත් රටට ආදරයක් නැහැ ඊළඟ සැරේ දිනා ගන්නේ කොහොමද කියලා තමයි හිතන්නේ.

ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් බලය ලබා ගන්න ඕනෑම දෙයක් කරනවා. ඇක්ස්ටා ගිවිසුමේ දේවල් ඉදිරියට ගෙන යන්න තමයි අද සෝෆා ගිවිසුමක් සකස් කරන්නේ. ඇමරිකාවේ අය ආවාම මේ රටේ නීත්‍යානුකූල දෙයක් සිදු වුණොත් මේ රටේ නඩු පවරන්න බැරි වෙන තත්ත්වයක් තමයි ඇමරිකාව ලබා ගන්න හදන්නේ. මීට අවශ්‍ය සහාය දෙන්න එක්සත් ජාතික පක්ෂ රජය සුදානම්. අපි මේ ගැන අපේ විරෝධය පළ කළා. අපි ලෝකයේ ඇතුලේ ඉන්න රටක් මිස ලංකාව ඇතුළේ ලෝකය තිබෙන කියලා හිතලා කටයුතු කරන පක්ෂයක් නොවේ. අපි රටවල් එක්ක සහයෝගයෙන් කටයුතු කළ යුතු වුවත් වහල් වෙන්න අවශ්‍ය නැහැ.

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න පක්ෂය ඒකමතික ව මධ්‍යම කාරක සභාවේ දී යෝජනා සම්මත කර ගත්තා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කේන්ද්‍රකර ගත් පුළුල් සන්ධානයකින් මේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්න යෝජනා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා තවදුරටත් සිදු කෙරෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා -

ජනාධිපති පුටුවේ වාඩි වුණාම ඒ අය බලන්නේ තමන්ගේ බලතල වැඩි කර ගන්නේ කොහොමද කියලායි. ජනාධිපතිතුමා ජනවරමක් ඉල්ලමින් පොරොන්දු දුන්නේ තමගේ බලතල කප්පාදු කර ස්වාධීන රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති කරන්නට කටයුතු කරන බවටයි. මන්ත්‍රීවරු ලෙස අපි සියලු දෙනා 19 යට අත ඉස්සුවා. නමුත් තමන් පරිත්‍යාගශීලිව කටයුතු කිරීම එකක්. රාජ්‍ය යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාම තව එකක්. ඕනෑම පනතක්, ඕනම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයක් ගෙන්න පෙර අපේක්ෂා කරන දේවල් තිබෙනවා. නමුත් අපි 19 ගෙනාවට පස්සේ නායකයෝ දෙන්නෙක් වුණා. අපි දැක්කා අගමැතිතුමාගේ සහාය නැතිව කැබිනට් මණ්ඩලය පත් කරන්න බැරි වුණා.

ඒ නිසා රාජ්‍ය යාන්ත්‍රණයේ නායකයන් දෙදෙනකු බිහි කළ 19 වැනි සංශෝධනය තුළින් ජනවරමකින් පත් වන ජනාධිපති කෙනෙකු හා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් තේරෙන අගමැතිවරයෙක් අතර බලය ක්‍රියාකිරීමේ දී ප්‍රශ්න ඉස්මතු වුණා. ඒ නිසා 19 සංශෝධනයේ එක් අයෙකුට බලය දෙන්න ඕනේ. එය කාටද දිය යුතු වන්නේ කියලා අපි සලකා බැලිය යුතු වෙනවා. ඒ වගේම මේ රටේ ඉතිහාසය දෙස බලන කළ අපේ ජනාධිපතිතුමා ජනතාවට දීලා තිබෙන නිදහස, මාධ්‍ය නිදහස වෙන කවරදාටත් වඩා වැඩියි. ඒ නිදහසින් අද එතුමාටම ගහනවා.

නමුත් එතුමා අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ බිහි කරලා තිබෙනවා. 19 ජනාධිපතිතුමා දුන් නෛතික රාමුව නිසා තමයි අද අපිට මේ නිදහස ලැබිලා තිබෙන්නේ. අද පොලිසියේ උසාවියේ තිබෙන ස්වාධීනත්වය වෙන කවරදාකවත් තිබිලා නැහැ. ඒ නිසා අද ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රගතිශීලියි. නමුත් කිසිවෙකුට මේ රටේ ඒකාධිපත්වය ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයාට අත දිගු කරන්න බැහැ.

ජනාධිපතිතුමාගේ පත්වීම නිසා ප්‍රගතිශීලි ගමනකට ගියා. ජනාධිපති අගමැති එකම පක්ෂයෙන් බිහි වුණාම ප්‍රශ්න නැහැ. මේ විදිහට දෙපක්ෂයකින් පත් වුණාම මැතිවරණයකදී ඒ අය හිතන්නේ තමන්ගේ පක්ෂය දිනවන්නේ කොහොමද කියලා. ඒ නිසා 19 ප්‍රගතිශීලි කියන එක අපි සියලු දෙනා පිළිගත යුතු කරුණක්. අද 19 සංශෝධනයේ ප්‍රශ්න තිබෙනවා. වෙන කිසිම නායකයෙක් මෙවැනි සංශෝධනයක් ගෙනල්ලා තමන්ගේ කාලය අඩු කර ගන්නේ නැහැ. මෙහි අඩුපාඩු තිබෙනවා. යමක අඩුපාඩු පේන්නේ එය ක්‍රියාත්මක කරන විටයි. එසේ අඩු පාඩු තිබෙන විට ඒවට විසදුම් හොයන්න ඕනේ.

අද රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ ගැටලු තිබෙනවා. ඒ නිසා අපිට හිතෙනවා 19 සංශෝධනයේ අඩුපාඩු ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කළ යුතු බවට. මෙය අපි දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන්න අවශ්‍ය නැහැ. අපි සියලු දෙනාම බලන්නේ තමන්ගේ දෘෂ්ටි කෝණයෙන්. අපි එදා 18 ට අත ඉස්සුවා. නමුත් අද 18ක් නැහැ. නමුත් අපි 18න් 19 ට යන්න ඕනේ කියලා අත ඉස්සුවේ. 18 හොඳ නැති නිසායි 19 ට ගියේ.

දෙහිවල ගල්කිස්ස උප නගරාධිපති, නීතිඥ කීර්ති උඩවත්ත මහතා -

ජනාධිපතිතුමා නිර්භීතව ජාත්‍යන්තර බලපෑම්වලට යටත් නොවී කටයුතු කරනු ලැබුවා. ඒ අනුව තමයි මරණ දඩුවම් ලබා දීමේ තීන්දුව ගත්තේ. මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් වෙලා තිබුණේ. අපිට උසාවියේදී පේනවා ලාංකික තරුණයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න ආකාරය. මේ අහිංසක තරුණ ජීවිත බිලි ගන්නා මාෆියාවට කවුරුත් අත තිබ්බේ නැහැ. ඔවුන්ට අභියෝග කිරීම මරණය ලැබිය හැකි වරදක්. නමුත් ජනාධිපතිතුමා දුම්කොළ පනතට විරුද්ධව හැමදාම උසාවි ගියා. එතුමා සෘජු ලෙස දුම්කොළ සමාගම්වලට එරෙහිව පෙනී සිටියා.

ඡායාරූපය - ගයාන් පුෂ්පික

No comments:

Post a Comment

Post Bottom Ad

Pages