මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයන මුදල් ත්‍රස්තවාදය පෝෂණය කරන්න යොදවනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-07-02

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයන මුදල් ත්‍රස්තවාදය පෝෂණය කරන්න යොදවනවා

මහින්ද අලුත්ගෙදර

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන් උපයන විශාල ආදායමින් වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර ත්‍රස්තවාදය පෝෂණය කිරීම වෙනුවෙන් යොදවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේ කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (01) පෙරවරුවේ පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාප්ති සමුළුව සහ බස්නාහිර පළාත් සමුළුව සඳහා එක් වෙමිනි.

මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කැර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23වැනිදා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ඊයේ අවසන් විය.

ජූනි මස 26 වැනි දාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමඟාමීව ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්තව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාවට නැංවිණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසිය.

වසර 30ක පමණ කාලයක් මේ රටේ පැවැති එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමයි. කවුරුන් විරුද්ධ වුවද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැරැදිකරුවන් වූවන්ට මරණ දඩුවම ලබාදීමට තීරණය කෙළේ රට විනාශ වන බව මට බලා සිටිය නොහැකි නිසායි.

මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පසුගිය වසර කිහිපය පුරා ගෙනගිය වැඩපිළිවෙළ ඔබ දන්නවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක බවේ ප්‍රතිඵල වගේම ඊට තිබෙන අභියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා. අපි කරන ඕනෑම කාර්යක අරමුණක් තිබෙනවා. ඒක යහපත් අරමුණක් වෙන්න ඕනෑ. අද පැවැත්වෙන මතින් නිදහස් වැඩසටහනේ බස්නාහිර පළාතේ මේ වැඩසටහන සාර්ථක කරන්න සහාය දුන් සැමට ස්තුතිය පිරිනමනවා. මේ වැඩසටහනින් අප ලබන ප්‍රතිඵල හා යහපත් අරමුණකින් කරන දෙයක්. මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය, පාලනය තවත් ජාතික වශයෙන් ශක්තිමත් කිරීම අවශ්‍යයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පසුගිය 23 වැනි දා සිට ජාතික සතියක් ප්‍රකාශයට පත් කළා. අපේ ආණ්ඩුකාරවරුන්, රාජ්‍ය නිලධාරීන්, පාසල් දරුවන් එක්ව සාර්ථකව ක්‍රියාත්මක කළා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගෙන යන වැඩසටහනට ලබාදෙන සහාය පිළිබඳ මගේ ගෞරවය පිරිනමනවා. අපි මේ මත්ද්‍රව්‍ය ගැන දන්නවා. මත්ද්‍රව්‍ය ලෝකයේ ත්‍රස්තවාදී ව්‍යාපාරවලට සම්බන්ධයි.

අපේ රටේ වසර 30ක ප්‍රභාකරන්ගේ යුද්ධයක් තිබුණා. එදා ප්‍රභාකරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මත්ද්‍රව්‍යයි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඒ අය විශාල වශයෙන් ආදායම් ලැබුවා. ආයුධ ගන්න මෙන්ම අනෙකුත් කටයුතු වෙනුවෙන් වියදම් කරන්න. 30 අවුරුදු යුද්ධය පිටුපස තදින්ම මත්ද්‍රව්‍ය තිබුණා. ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ සම්බන්ධයක් ප්‍රභාකරන්ට තිබුණා. අද ලෝකයේ ත්‍රස්තවාදී ව්‍යාපාර ගණනාවක් තිබෙනවා. එවැනි එක් ත්‍රස්තවාදී සංවිධානයක් තමයි පසුගිය අප්‍රේල් 21 වැනිදා අපිට මහා දුකක් ඇති කෙළේ. එක් පැත්තකින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය, අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය.අමෙරිකානු ජනාධිපති පසුගිය සතියේ ප්‍රකාශ කළා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් මැඩලීමට නම් මරණීය දණ්ඩලය අමෙරිකාවේ හා ලෝකයේ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි කියා. අමෙරිකාවේ ප්‍රාන්ත 4ක මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ අමෙරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන්න මරණීය දණ්ඩනය වහාම ක්‍රියාත්මක කරන්න ඕනෑ කියලා. අපි මත්ද්‍රව්‍ය පිළිබඳ සටන මේ වනවිට යම් ප්‍රතිඵල ලබා තිබෙනවා. ඒවා හරහා අභියෝගත් එනවා. මම මේ මත්ද්‍රව්‍ය වැඩසටහනේ ඉන්නේ ජනාධිපතිවරයා වීමට පසු නොවෙයි. සෞඛ්‍ය ඇමැතිවරයා වෙන්න පෙර සිටයි. 89 පාර්ලිමේන්තුවට පැමිණ පළමු අවුරුද්දේම ඇඩික් ආයතනයට සම්බන්ධ වුණා.

මම රාජ්‍ය සේවයේ පුංචිම තනතුරක් කළ කෙනෙක්. ඒ කාලයෙත් මම ගමේ කසිප්පු කාරයන්ට, ගංජා කාරයන්ට ඉඩ දුන්නේ නැහැ. මම එ් කාලයේ කාර්යාලයට ගිහින් ඉක්මණට ගෙදරට එනවා. මම ඒ සේවය කරන කාලයේ ගංජා කාරයන්, කසිප්පු කාරයන් කොයි වෙලාවක හෝ මාව අල්ලාගෙන පහර දෙයි සිතුවා. මම ඒ සේවයෙන් ඉල්ලා අස්වෙන්නත් එ්ක එක හේතුවක් . වැරැදි වැඩකරන අයත් සමඟ ගමක පුංචි නිලධාරියකුට හැප්පෙන්න බැහැ. මේ මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය සම්බන්ධයෙන් වසර 40ක් අත්දැකීම් මට තිබෙනවා. මේ වැඩසටහන ආරම්භයේදීම තරුණයෙක් හොඳ කතාවක් කළා. මනෝ වෛද්‍ය විශේෂඥවරයෙක් දේශනයක් කළා. සෞඛ්‍ය ඇමැතිවරයා කතා කළා. මේ සියල්ල එක අරමුණක ඉන්නවා. අපේ රටේ හිරගෙවල්වලින් සියයට 60ක ඉන්නේ මත්ද්‍රව්‍යවලට වැරැදිකරුවන් සහ දඩුවම් දෙන්න ගත්ත අයයි. අපේ රටේ හිරගෙවල් තිබෙන්නේ 11,000 ට ඉන්නයි. නමුත් 24,000ක් ඉන්නවා. එයින් 15000ක් පමණ මත්ද්‍රව්‍යට සම්බන්ධ වැරැදිකරුවන් වෙනවා.

ඒ දවස්වල මම සිරකරුවන් හම්බ වෙනවා. වැලිකඩ කාන්තාවන් විශාල පිරිසක් ඉන්නවා. ඒ කිසිවෙක් කියන්නේ නැහැ වැරැදි කළා කියා. නමුත් ලංකාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයේ දී නව අභියෝගය තමයි කාන්තාවන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම. පසුගිය කාලයේ ආණ්ඩුව බියර් ලාභ කළා. මමත් සෞඛ්‍ය ඇමැතිත් විරුද්ධ වුණා. ලංකාවේ වතුර බෝතලයට වඩා බියර් ගණන් අඩුයි. ඒවා මම අනුමත කරන්නේ නැහැ. මාත් සෞඛ්‍ය ඇමැතිත් එදත් අදත් ඊට විරුද්ධව සටන් කරනවා. ලංකාවේ කාන්තාවන් වැඩිපුර පාවිච්චි කරන්නේ බියර්. අනෙක් මත්ද්‍රව්‍යවලට ද පෙළඹී සිටිනවා. සිගරට්, වයින්, ගංජා පාවිච්චි කරනවා. හොරොයින්, අයිස් වැනි විෂ මත්ද්‍රව්‍යවලට පෙළඹෙන්නේ සිගරට් සහ බියර් එකෙන්. එතන තමයි මුල. අවුරුද්දකට මත්ද්‍රව්‍ය නිසා සිර භාරයට 50,000 ක් විතර යනවා.මේ සංඛ්‍යාවෙන් සෑහෙන පිරිසක් කාන්තාවන්. දැන් අපේ රට තුළ නීති විරෝධීව සංසරණය වන මත්ද්‍රව්‍ය අවුරුද්දකට බිලියන 50කට වැඩි වෙනවා.

අද ලංකාවේ පාසල්වල දරුවන්ට නීති විරෝධී මත්ද්‍රව්‍ය නොමිලේ බෙදා හරිනවා. පුරුදු කරනවා. විශ්ව විද්‍යාලවලට බරපතළ ලෙස මත්ද්‍රව්‍ය බෙදා හරිනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොමිලේ දීලා ඇබ්බැහි කර ගන්නවා. ඒ ගැන දැනුවත් නැති නිසා දරුවන් බිලි ගන්නවා. දරුවන් විනාශ කරනවා. ජාතිකයක අනාගතය දරු පරපුරයි. ජාතියක් විනාශ කරන්න හොඳම දේ මත්ද්‍රව්‍ය. අපේ රටට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. එහි ලබාගත් ජයග්‍රහණ ගැන අපි කතා කරනවා. ඒ ජයග්‍රහණ අද අපිට නැහැ. ඉතිහාසයේ මතක සටහන් සමඟ අපි සතුටු වෙන ජාතිකයක්. අපිට අද කරන දේ ගැන සතුටු වන්න බොහොම අඩු කාරණා තිබෙන්නේ. අපේ දරුවන් හොඳට ඉගෙන ගන්නවා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. සතුටු විය හැකි කරුණු තිබෙනවා. නමුත් ඊට වඩා සතුටු විය නොහැකි කරුණු තිබෙන්නේ. මෙතන ප්‍රධානම කාරණය තමයි මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය. මෙතන විවිධ පාර්ශ්වයන් ඉන්නවා. වාහනයක යන මුළු මගීන්ගේ ජීවිතය තිබෙන්නේ රියැදුරු අතේ. ලංකාවේ හදිසි අනතුරුවලින් අඩුම තරමේ දවසකට 10ක් මිය යනවා. ප්‍රධානම කාරණය මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමයි.

අද මේ වැඩසටහන ජාතික මත්ද්‍රව්‍ය වැඩසටහනේ මර්දනය, නිවාරණය හා පාලනය ආරම්භය හෝ අවසානය නොවේ. අපි කරගෙන ආව දීර්ඝ කාලීන වැඩසටහන එක් අදියරක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කළ ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය. එය ජූනි 26 වැනි දාට යෙදී තිබුණා. පසුගිය වසර ගණනාවක් කරගෙන ආව වැඩසටහන් තිබෙනවා. මේ ජාතික සතියේ අවසන් දිනය. මේකෙන් පාසලට, ගමට, ගෙදරට පණිවුඩයක් ගෙන යායුතු වෙනවා. පාසල් දරුවා තමයි යහපත් දෙයක් සමාජයේ ගොඩනඟන සමාජයේ හොඳම පණිවුඩකරුවා. අවංකව, පවිත්‍රව, යහපත් චේතනාවෙන් පාසල් දරුවන් වැඩ කරනවා. තමන්ගේ අනාගතය, රට වෙනුවෙන් වැඩ කරනවා. දෙමාපියන්, ගුරුවරුන්ට පින් සිදුවන්න ඔවුන්ගේ මනස සකස් වී තිබෙනවා. ඒ අනුව පාසල් දරුවා පවුල් සංස්ථාවේ කිසිවකු මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් පළමු පණිවුඩකරුවා විය යුතු වෙනවා. රාජ්‍ය ආයතන ප්‍රධානීන් සටනේ නියමුවන් බවට පත්වෙන්න ඕනෑ. දේශපාලන නායකත්වය මත්ද්‍රව්‍ය මර්දනයේ ප්‍රධාන පණිවුඩකරුවන් බවට පත්වෙනන් ඕනෑ. එහෙම නොකළොත් අපේ රට මෙක්සිකෝවක්, මාලදිවයිනක් වෙයි. අද ලෝකයේ රටවල් ගණනාවක් තිබෙනවා ඒ රටේ ආණ්ඩුවට පාලනය කරන්න බැහැ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඊට වඩා ප්‍රබලයි. ආණ්ඩු බලයට ගේනවා. ඉවත් කරනවා. මත්ද්‍රව්‍යයට විරුද්ධව කටයුතු කරන දේශපාලනඥයනක් ඉවත් කරනවා. මරා දමනවා. ඒ නිසා අත තබා තිබෙන්නේ පහසු කාර්යකට නොවෙයි. එහෙත් ජීවිත පරිත්‍යාගයෙන් මත්ද්‍රව්‍ය මර්දනය සඳහා කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. මේ සංකල්පය ප්‍රවර්ධනය කරමින් ප්‍රතිඵල ලබන්න කටයුතු කළ යුතුයි. අමෙරිකාව 2018 වසරේ 25 දෙනකුට මරණ දඩුවම ලබා දුන්නා. ලොකයේ රටවල් රැසක මරණීය දණ්ඩනය තිබෙනවා. එල්ලුම් ගස තිබෙනවා. විෂ එන්නතක් තිබෙනවා. දැන් මේ තත්ත්වයන් වලදී මේ වැඩපිළිවෙළේ දී මීට නායකත්වය දෙන්නේ මේ රටේ දරුවන් බේරා ගන්න. අද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගෙනයන වැඩපිළිවෙළේ දී රටේ ගොඩ දෙනෙක් කතා කරන්න පටන්ගෙන තිබෙනවා. ආණ්ඩුව, විපක්ෂය, රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන කතා කරනවා. දින තුනකට පෙර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කතා කළා. මත්ද්‍රව්‍ය ප්‍රශ්නය නම් ලංකාවේ උග්‍රයි කියලා ආරංචියි. මරණීය දණ්ඩනය දෙනාව ද කියලා මගෙන් ඇසුවා. මම එතුමාට කරුණු පැහැදිලි කළා. ලංකාවේ විශ්වවිද්‍යාල, පාසල් විනාශයි මත්ද්‍රව්‍ය නිසා. දුඟීභාවය, දුප්පත්කම මත්ද්‍රව්‍ය නිසා ඇති වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. මට රට විනාශ වෙන තුරු බලාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. ඒනිසා මම මේක ක්‍රියාත්මක කරන්න තීරණය කළා කිව්වා. හිරගෙවල් පිරිලා. පුනරුත්ථාපන කඳවුරුවල ඉඩ නැහැ. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මංකොල්ල කෑම් ආදියට මුල මත්ද්‍රව්‍ය. රෝගී වීමට මුල මත්ද්‍රව්‍ය. රටේ තත්ත්වය මේකයි කියා මම කිව්වා. මට බලන් ඉන්න පුළුවන්කමක් නැහැ ඒ නිසා මේක ක්‍රියාත්මක කරනවා කිව්වා. මගේ රට මම බේර ගන්න ඕනෑ. දැඩි දඩුවම් නැතිව රට බේරා ගන්න බැහැ කිව්වා.

ජාත්‍යන්තර සංවිධාන අද කතා කරනවා. යුරෝපා සංගමය කියනවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා නම් ජී.එස්.පී සහනය දෙන්නේ නැහැ කියලා. ඒක තර්ජනයක්. ස්වාධීන රාජ්‍යයකට තර්ජනය හොඳ නැහැ. රටක් සංවර්ධනය කරන්න, සුබ සාධනයට ජාත්‍යන්තර සංවිධාන හෝ ලෝකයේ ඕනෑම රටක් උදව් දෙනවා නම් උදව් කරන්න. අපි ඉතාම කාරුණිකව ඒ උදව් බලාපොරොත්තු වෙනවා. නමුත් රටේ ස්වාධීනත්වයට අත ගහන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ආණ්ඩුවේ ලොක්කෙක් කියලා තිබෙනවා ඒ අයගේ පක්ෂයේ ප්‍රතිපත්තිය මරණීය දණ්ඩනය නොවෙයි කියා. පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා නම් මේ අවුරුදු හතරහමාරේ කොච්චර හොඳ ද. විපක්ෂය කියලා තිබෙනවා මරණීය දණ්ඩනයට විරුද්ධයි මේක කරන්න එපා කියලා. මේ සියලු දෙනාගෙන්ම ප්‍රශ්නයක් අහන් කැමැතියි. මේ රටේ මරණීය දණ්ඩනයට විරුද්ධව කතා කරන ආණ්ඩුව, විපක්ෂය, රාජ්‍ය නොවන සංවිධාන සියලු දෙනාම මත්ද්‍රව්‍ය මර්දනයට දීලා තිබෙන වැඩපිළිවෙළ සහ උදව්ව කුමක්ද කියලා. ආණ්ඩුව මේකට විරුද්ධව කතා කරන අය මම මේ ගෙන ගිය වැඩපිළිවෙළට දුන් සහාය කුමක් ද. විපක්ෂය බලයේ ඉන්න විට මත්ද්‍රව්‍ය මර්දනයට කෙළේ කුමක්ද. මම ඒ කාලයේ සෞඛ්‍ය ඇමැති. මට තිබෙන ප්‍රශ්න රටේ ජනතාව දන්නවා. ප්‍රසිද්ධ ස්ථානවල සිගරට් බොන එක තහනම් කරන්න අැමැති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළාම මූලාසනයෙන් මට කිව්වේ සුද්දෙක් මේ රටට එන එකක් නැහැ සංචාරක ව්‍යාපාරය කඩා වැටෙයි කිවුවා.

නමුත් අපි ජනාධිපති වෙලා ඒ නීති ඔක්කොම සම්මත කළා. අපි ජිනීවා යනවා. ලෝකයේ මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරන මූලස්ථානය. ජිනීවාවල බස් නැවතුමක ඉන්න බැහැ. ලෝකයේ ආදර්ශය ගැන කතා කරන රට. බස් නැවතුමේ ඉන්න සියලු දෙනා සිගරට් බොනවා. එහෙමයි ඒ රටවල්. අපි සතුටු වෙනවා නින්දා අපහාස විදගෙන මේ රටේ ප්‍රසිද්ධ ස්ථානවල සිගරට් බීම නැවැත් වීම ගැන. අපි ඒ නීති සම්ම්ත කළා. මේ මරණීය දණ්ඩනයට විරුද්ධව කතා කරන අයගෙන් අහන්නේ මේ රටේ මත්ද්‍රව්‍ය මර්දනය කරන්න කර තිබෙන එක වැඩක් කියන්න. මත්ද්‍රව්‍ය නිසා දුක්විඳින පවුල්වල තත්ත්වය සොයා බලන්න ඕනෑ. ඒවා පාවිච්චි කරන තරුණයන් ගෙවල්වලට දෙන වධ අපි දන්නවා. මේ දුකින් තැවෙන මේ රටේ ලක්ෂ තුනකට වැඩිය නීති විරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේවා මර්ධනයට කිසිවක් කතා නොකළ අය මේ සම්බන්ධයෙන් වචනයක් කතා නොකළ අය අද මරණීය දණ්ඩනය එපා කියනවා. මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් මම අත්සන් කරන්න පෙර වසර කිහිපයක් මේ රටේ ජනතාවගේ මතය කුමක් ද. ඒ විතරක් නොවේ අද එපා කියන අයගේ මතය කුමක්ද. මත්ද්‍රව්‍ය මර්දනයට දැඩි දඩුවම් දෙන්න, නීති ගේන්න කිව්වා. ඒක තමයි කිව්වේ. දැන් නීතිත් හදලා ඒවා ක්‍රියාත්මක කරලා, නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරලා, නීති රීති ශක්තිමත් කරලා පුනරුත්ථාපන කඳවුරු හදා තිබෙනවා. ඒවා කරන ගමන් මේ වැඩේ කරනවා. දැන් සමහර අය කියනවා මරණීය දණ්ඩනය දෙනවා කිව්ව ගමන් දැන් බය වෙලා . මේ මරණීය දණ්ඩනය තීන්දු කෙළේ අධිකරණයයි. මම නොවේ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයෙක් එල්ලා මැරිය යුතුයි කියා තීන්දු කරන්නේ අධිකරණයයි. ඒක විනිසුරුවන් තීන්දුව දීලා තිබෙන්නේ. ඒකට අත්සන් කිරීමයි මම කරන්නේ. මම ඒකට අත්සන් කරන්නේ මේ කටයුත්ත කරලා සමාජයට පණිවුඩයක් දෙන්න ඕනෑ නිසයි.

මරණීය දණ්ඩනය දුන්නා කියා මත්ද්‍රව්‍ය නවතින්නේ නැහැයි කියනවා. එසේ නම් සිගරට් අරක්කුවලට නීති සකස් කෙළේ ඇයි. පිලිපීන ජනාධිපති 27,000ක් පමණ මරා දැම්මා. මත්ද්‍රව්‍ය විකුණන අය පමණක් නොව පාවිච්චි කරන අයත් ඉන්නවා නම් වෙඩි තබා මරා දැම්මා. පිලිපීනය විනාශයට පත්වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මිනිස් ජීවිතවලට ආදරයක් නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් එන ආදායම් විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර ත්‍රස්තවාදයට යනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන විශාල වශයෙන් මුදල් හම්බ කරනවා. ප්‍රභාකරන්ලා වගේ අය නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් සල්ලි හෙව්වා. ඒ නිසා තමයි අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. අපිට රටක් ලෙස බලාපොරොත්තු රැසක් ඇතිව වැඩ කරන්න පුළුවන්. ලක්ෂ 40ක් පමණ පාසල් දරුවන් මේ රටේ ඉන්නවා. විශ්වවිද්‍යාල, වෘත්තීය ආයතන සියල්ල ගත්විට අධ්‍යාපනය ලබන ළමුන් පිරිස ලක්ෂ 50ක් පමණ ඉන්නවා. ජනගහනය ලක්ෂ 200ක් පමණ ගත්විට සිසුන් ජනගහනයෙන් හතරෙන් එකක් වෙනවා. වයස 35ට අඩු ප්‍රමාණය ගත්විට ජනගහනයෙන් සියයට 70ක් පමණ වෙනවා. පාසල් දරුවන් ප්‍රමුඛව මේ සියයට 70 බේරා ගන්නවා ද. මේ අය බිලි දෙනවාද ?. එසේ නෙමැතිව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවාද ?. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කරනවා ද. මේ රටේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය ඉන්නවා කියා සෞඛ්‍ය ඇමැති කියා තිබෙනවා. ඒ ගැන සමාජය දන්නවා.

අත්අඩංගුවට ගෙන ඉන්න ප්‍රබල අපරාධකරුවන් කියනවා මේ රටේ මත්ද්‍රව්‍යට සම්බන්ධ දේශපාලඥයන් කවුද කියලා. මේ රටේ දේශපාලඥයන්ගේ වගකීම සහ යුතුකම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉටු කරනවාද. අනෙක් ඒවා ගැන කතා කරන්නේ නැහැ. සමාජයට ආදර්ශමත් හා යහපත් චරිතයක් ලෙස දේශපාලඥයන් කටයුතු කළයුතු වෙනවා. කීදෙනෙක් තමන්ගේ චරිතය තුළින් පණිවුඩය සමාජයට දෙනවාද. මේ ජාතික සතිය අවසන් වන අද දිනයේ හමුවන්න ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. මත්ද්‍රව්‍ය මර්දනය කරන්න ගෙනයන පුළුල් අරගලය වෙනුවෙන් දායකත්වය දෙන සියලු දෙනාට මගේ ගෞරවය පිරිනමනවා. පසුගිය වසරට වඩා මේ වසරේ දී මත්ද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා. දැන් ඒවා නැහැ. අත්අඩංගුවට ගත් පිරිස අතර විදේශිකයන් ද ඉන්නවා. අප්‍රේල් මාසයේ 3 වැනිදා පාසල් දරුවන් සමඟ මත්ද්‍රව්‍යවලට විරුද්ධව බක්මහ දිවුරුම කියා දිවුරුම් දුන්නා. අප්‍රේල් 21 වැනි ප්‍රහාරය පිටුපස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයි කියා මම පැහැදිලිවම කියනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා-

අද බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන එළිදක්වනවා. මේ වෙනුවෙන් ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිය පිරිනමනවා. මතට විරුද්ධ සටන එක් කොටසක් වුණා 2015 වසරේ මේ රටේ ඇතිකළ වෙනස. එතුමා සෞඛ්‍ය අැමැති කාලයේ මේ සටන ආරම්භ කළා. දුම්කොළවලට විරුද්ධව නොයෙක් වැඩසටහන් ගෙනවා. සියයට 80 කට විත්ති කූඩුවට නඟින්න වුණා. නමුත් එදා දුන්න නියෝගය තමයි සිගරට් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කිව්වා. සියයට 80 ක් රූපමය අවවාදය .සියයට 60 දක්වා අඩු කළා. පාර්ලිමේන්තුවේ ගත්ත තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෙනස් කරන්න බැහැ. නමුත් එය කළා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරළියට පැමිණියා. එතුමා ආරම්භ කළ දේ මම එතැන් සිට ක්‍රියාත්මක කළා. දුම්කොළවලින් තමයි වැඩේ පටන් ගන්නේ. පසුව සැර මත්ද්‍රව්‍යවලට යනවා. නමුත් අද සතුටු වන්න ඕනෑ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ සම්බන්ධ ප්‍රඥප්තීන් 20ක් සිදුකර හමාරයි.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන් මහතාගේ සංකල්පයකට අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් වන ජාතික සතියක් ප්‍රකාශයට පත්කළා. එහි අවසාන වැඩසටහන මේ පළාතට ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිය පිරිනමනවා. මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ජනාධිපතිතුමා විශිෂ්ඨ මෙහෙයක් ඉටුකරමින් ඉන්නවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වැරැදිකරුවන්ට මරණ දඩුවම ලබාදීමට තීරණය කිරීම අතිශයින්ම වැදගත්. අපේ රටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම අවශ්‍ය වෙනවා.

විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා මහතා-

මත්ද්‍රව්‍ය අපේ මානසිකත්වය දුර්වල කරමින් විවිධාකාර ලෙඩ රෝග ඇති කරනවා. හෙරොයින් වලින් ඇබ්බැහිවීමක් සිදුවෙනවා. මේවා පාවිච්චි කරන්නන්ගේ ශරීරය තුළ සිදුවන දේ සම්බන්ධයෙන් අපි දන්නවා. සාමාජ ජාලාවල පසුගිය කාලයේ හදුනාගත් පුද්ගලයින් පැවැත් වූ සාදවල දී පුද්ගලයින් මියගිය අවස්ථා තිබෙනවා. අපිට මත්ද්‍රව්‍ය නිසා ජීවිතය, පවුල, ඥාතීන්, සමාජය නැති වෙනවා. මත්ද්‍රව්‍ය නිසා ශරීරයට සහ මොළයට විවිධ බලපෑම් එල්ල වෙනවා. මේ සියල්ල අවසානයේ දී සිදුවන්නේ බන්ධනාගාරයට යෑමටයි. ලංකාවේ දිනකට සිගරට් මිලියන 10ක් පමණ විකිණෙනවා.

සෞඛ්‍ය පෝෂණ හා දේශී‍ය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න, පළාත් ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, ආචාර්ය සුරේන් රාගවන්, ඒ.ජේ.එම් මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, කාදර් මස්තාන්, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර

No comments:

Post a Comment

Post Bottom Ad

Pages