ක්‍රීඩා ක්ෂේත්‍රය නඟාසිටුවීමට නව ජාතික වැඩපිළිවෙළක් ඕනෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-15

ක්‍රීඩා ක්ෂේත්‍රය නඟාසිටුවීමට නව ජාතික වැඩපිළිවෙළක් ඕනෑ

බෙලිඅත්ත මිහිඳුපුර දී ඇමැති සජිත් කියයි

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නඟාසිටුවීම සඳහා එය සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනීකරණය කර නව ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දේශපාලනය, නිලධාරීවාදය, ගජමිතුරු සම්බන්ධතා හේතුවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රය සහමුලින්ම කඩාවැටෙන තත්ත්වයට පත්ව ඇති බවත්, කුමන හෝ දේශපාලනඥයකු ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ වනවා නම් ඔවුන් එයින් වහාම ඉවත් විය යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජාතික ක්‍රීඩා අරමුදලක් නිර්මාණය කර ඒ හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තිය ලබාදිය යුතු බවත්, එවිට දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියට යාම සඳහා කිසිවකුගේ පසුපස යාමට අවශ්‍ය නොවන බවත් සඳහන් කළේය.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පුද්ගලික න්‍යාය පත්‍රයක් අනුව නොවන ජාතික න්‍යාය පත්‍රයක් අනුව ක්‍රියාත්මක කර ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂයන්ට එහි පරිපාලනය බාරදිය යුතු බවත්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මෙරට උපදිසාපති කොට්ඨාස 332 තුළ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාසල් ඉදිරියේදී ආරම්භ කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මේ අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බෙලිඅත්ත, මිහිඳුපුර ඉදිකළ “සදා ලෝකපූජිත අරවින්ද ද සිල්වාගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (14) දින සහභාගී වෙමිනි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 248 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

“සදා ලෝකපූජිත අරවින්ද ද සිල්වාගම” උදා ගම්මානය නිවාස 27 කින් සමන්විත වන අතර එය අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 260කි. පිරිසුදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙය සමන්විත වේ.

ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 27 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය සහ රුපියල් ලක්ෂ 27ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 27ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 150කට රුපියල් ලක්ෂ 300ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභීන් 25ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 50 ක් සඳහා රුපියල් ලක්ෂ 25ක් වටිනා ප්‍රතිලාභ සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් 70 දෙනෙක් සඳහා නොමිලේ ඇස්කණ්ණාඩි ප්‍රදානය කිරීමද ඇමැතිවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

බෙලිඅත්ත, ඉහළ බෙලිගල්ල මහා විද්‍යාලයට අවශ්‍ය සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 2ක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ප්‍රාදේශීය දේශපාලනඥයන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages