ආරක්ෂාව උපරිමයෙන් සහතික කරන්න පියවර ගත්තා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-05

ආරක්ෂාව උපරිමයෙන් සහතික කරන්න පියවර ගත්තා

Author(s): 
අසේල කුරුළුවංශ

ආරක්ෂක ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ

අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් ආරක්ෂාව සම්බන්ධයෙන් කළ අවවාදාත්මක නිවේදනය දීර්ඝ නිවාඩුවක් හෝ උත්සව අවස්ථාවක් පවතින මොහොතක එරට සංචාරකයන්ට සාමාන්‍යයෙන් නිකුත් කරන ලියවිල්ලක් මිස එය ශ්‍රීලංකාව මූලික කරගනිමින් නිකුත් කරන ලද්දක් නොවන බව තානාපති කාර්යාලය මඟින් දැනුම් දුන්නේ යැයි ආරක්ෂක ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.

සමාජ මාධ්‍යය මඟින් මේ නිවේදනය ප්‍රචාරය කිරීමත් සමඟ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් හා තර්ජනයක් පවතින බවට ජනතාව තුළ යම් සැකයක් ඇතිවූ බවත් මේ නිසා එය නිකුත් කළ පාර්ශ්වයෙන් කරුණු විමසා අදාළ තොරතුරු තහවුරු කරගත් බවත් ඒ මහතා කීය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂක කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊයේ (04) ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී දළදා මාලගාවේ දී පැවැති රැස්වීමකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ නිවේදනය අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් සාමාන්‍යයෙන් වරින්වර නිකුත් කරනු ලබන එකක් බවත් ඒ ගැන ආරක්ෂක අංශ ඉතා සැලකිල්ලෙන් කරුණු සොයා බැලූ බවත් කී ඒ මහතා මෙරට ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශ මේවන විට පියවර ගෙන තිබෙන බවද අවධාරණය කළේය.

ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනපති තුමන්ද මේ පුවත ගැන තමන්ගෙන් විමසූ බවත් ජනතා ආරක්ෂාව තහවුරු කිරීම පිණිස උපරිමයෙන් කටයුතු කරන ලෙස දැනුම් දුන් බවත් ඒ මහතා කීවේය.

මේ ආකාර නිවේදන සුළුවෙන් තකා බැහැර කිරීමට ආරක්ෂක අංශ කිසිවිටෙකත් කටයුතු නොකරන බවද ඒ මහතා කීය.

මෙරට සංචාරය කිරීමට විදේශිකයන් කිසිදු බියක් ඇතිකර ගත නොගත යුතු බවත් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම පසුගියදා මෙරට සංචාරය කළ අවස්ථාවේ ඔවුන්ද යම් බියකින් පසුවූ නමුත් කිසිදු සිදුවීමක් නොවුනු බවත් ඒ මහතා කීය.

පාස්කු ප්‍රහාරයෙන් පසු රට යම්කිසි ආකාරයකට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අවස්ථාවක මේ ආකාර නිවේදනයක් මඟින් මෙරටට එන සංචාරකයන් සංඛ්‍යාව අඩාල විය හැකි බවද කෝට්ටේගොඩ මහතා පැවසුවේය.

පාස්කු ප්‍රහාරයට අයි.එස්.අයි.එස් සංවිධානයේ ඍජු සම්බන්ධයක් තිබුනේද යන්න තාම නිශ්චිතව තහවුරුව නොමැති වුවත් එම මතවාදය දරන මෙරට පිරිසක් විසින් මෙය දියත් කර තිබෙන බවද හෙතෙම කීවේය.

මෙම ප්‍රහාරයට සම්බන්ධවූ අය අයි.එස්.අයි.එස්. පුහුණුව ලැබුවේද යන්න තවමත් තහවුරුව නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

තර්ජනය 100 % ක් අවසන් යැයි ප්‍රකාශ කිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නොමැති බවත් උපරිම ආකාරයෙන් තාක්ෂණය යොදා ගනිමින් ආරක්ෂව ක්‍රියාත්මක කරන රටවල පවා මේ ආකාර සිදුවීම් සිදුව තිබෙන බවත් ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම්වරයා පැවැති අවදානම මේ වන විට සාර්ථකව පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත්ව සිටින බවද අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages