යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් නොපැවැත්වූ එකම රට ශ්‍රී ලංකාවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් නොපැවැත්වූ එකම රට ශ්‍රී ලංකාවයි

ඇමැති සජිත් ප්‍රේමදාස

යුද ගැටුම්වලින් විනාශ වූ ලෝකයේ සෑම රටක්ම ජාත්‍යන්තර ආධාරක සමුළු පවත්වා එම රටවල් ගොඩනැඟීමට කටයුතු කැර ඇති බවත්, යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර ආධාරක සමුළුවක් නොපැවැත්වූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ, ජෝසප්වාස් ප්‍රදේශයේ ඉදිකළ “ජෝසප්වාස් නගර්” සහ “ජෝසප් පුරම්” උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට පසුගියදා (08) දින සහභාගි වෙමිනි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 239 සහ 240 වන ආදර්ශ ගම්මාන මේවා වේ.

නොවැම්බර් මාසයේදී රටේ ජනතාව නිවැරදි තීන්දුවක් ගෙන තම දෑත ශක්තිමත් කළහොත් මාස 6 ක් ඇතුළත රටේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා තම ජාත්‍යන්තර සබඳතාවන් රටටම පෙන්වමින් ජනතාවගේ දෙප තුළ ළඟට සංවර්ධනයේ ප්‍රතිලාභ රැගෙන එන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

යුද්ධය අවසන් වී දින 7 කට පමණ පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා මෙරටට පැමිණි අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ සබඳතා පවත්වාගෙන යන මහ ලොකු ජාතික නායකයින් යැයි කියාගන්නා පිරිසට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ගැන යෝජනා කිරීමට අමතක වූ බව පෙන්වා දුන් ඇමැතිවරයා, එවකට සිටි පාලකයින් සිදුකළේ ජනතා මුදල් විනාශ කරමින් පවුල් පිටින් විදේශ සංචාරවල නිරතව ඔවුන්ගේ පවුල් ආධාරක සමුළුව මහ ඉහළින් පවත්වා ගැනීම බවත් සඳහන් ක‍ළේය.

අද අප සමඟ එකතු වී සිටින මහජන රැල්ල දැක ‘සජිත් තරුණ වැඩියි, සජිත්ට ජාත්‍යන්තර අත්දැකීම් මදියි’ යනුවෙන් විවිධ පුද්ගලයින් ප්‍රකාශ සිදුකරන බවත්, 2009 දී තමන් රාජ්‍ය නායකයා වී සිටියා නම් යුද්ධය අවසන් වී මාස 6 ක් තුළ රටේ ජාත්‍යන්තර ආධාරක සමුළුව පවත්වා රට තුළ මහා සංවර්ධන සංග්‍රාමයක් සිදුකැර තමාගේ ජාත්‍යන්තර සබඳතා රටට පෙන්වා අවසන් බවත් ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“ජෝසප්වාස් නගර්” සහ “ජෝසප් පුරම්” උදා ගම්මාන දෙකෙහි ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 95 කි‍. මෙම ගම්මාන දෙක අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 860 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම උදාගම්මාන දෙක සමන්විතයි.

මෙම උත්සවයට සමගාමීව නිවාසලාභීන් 95 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 475 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 95 ක හිමිකම් නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 50 කට රුපියල් ලක්ෂ 50 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 50 කට රුපියල් ලක්ෂ 50 ක් වටිනා නිවාස ණය හා ආධාර, රුපියල් ලක්ෂ 10 ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 107 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 53 ක් වටිනා ප්‍රතිලාභ, පාසල් ළමුන් සඳහා රුපියල් 16,000/= ක් වටිනා පොත් කට්ටල සහ දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 128 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමද ඇමැතිවරයා අතින් මෙහිදී සිදුකෙරුණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් විශාල පිරිසක්ද සහභාගි වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages