අපරාධයක ඉලක්කයක් නොවී ජීවත්වීමට ආරක්ෂාව ලබාදීම සමාජයේ වගකීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-16

අපරාධයක ඉලක්කයක් නොවී ජීවත්වීමට ආරක්ෂාව ලබාදීම සමාජයේ වගකීමක්

Author(s): 
ජයසිරි මුණසිංහ

අප රටේ ජීවත්වන කිසිවකුට අපරාධයක ඉලක්කයක් නොවී ජීවිතය ගෙන යාමට අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව ලබාදීම සමාජයේ වගකීමක් බව ආසියානු අපරාධ නිවාරණ පදනමේ සභාපති සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

අපරාධ වලින් තොර සමාජයක් බිහි කිරීමේ අරමුණින් ආසියා අපරාධ නිවාරණ පදනම නුවරඑළිය ආගරපතන, ඩයගම වතුයායේ දී ඉකුත් දා පැවැත් වූ වතු සේවකයින් දැනුවත් කිරීමේ සාර්ථක වැඩසටහනකට එක්වෙමින් හිටපු පොලිස්පතිවරයා මේ බව කීය.

වතු සේවකයන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රශ්න පිළිබඳ සුහදශීලී සංවාදයක් එහිදී පැවැති අතර වතු සේවකයන් මතු කළ බොහෝ ගැටලුවලට විසඳුම් රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, වතු සමාගම් ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට ඉදිරියේදී විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර එම අවස්ථාවේදීම ගනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේ ය.

සමාජයේ විවිධ අදහස් උදහස් ඇති මිනිසුන් ජීවත් වෙනවා. ඒ අතරින් යම් අපරාධයකට ලක්වීමට ඉලක්ක වන කණ්ඩායම් කිහිපයක් සිටින අතර කුඩා ළමයි, මහලු, විශේෂ අවශ්‍යතා ඇති අය සහ කාන්තාවන් මේ අතර ප්‍රමුඛ වෙනවා. මේ අයට කිසිවකුගේත් අපරාධයක ඉලක්කයක් නොවී ජීවිතය ගෙන යාමට අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව ලබාදීම සමාජයේ වගකීමක්. වතුකරයේ ජීවත්වන ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් වැඩි දියුණු කොට ඔවුන්ගේ දූ දරුවන්ට වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම හරහා අපරාධයකට ඉලක්ක වීමේ අවස්ථා මඟහැරවීමට හැකියි.

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට විශාල දායකත්වයක් ලබාදෙන වැවිලි ක‍්ෂේත්‍රය විශේෂයෙන් තේ වගාව ආශ්‍රිත කන්ද උඩරට, නුවරඑළිය ප්‍රධාන වතුකරයේ ජනතාව මුහුණ දෙන අභියෝග අතර ප්‍රමුඛ වන අපරාධ නතර කිරීමට ජනතාව ඒ පිළිබඳ දැනුවත් කිරීම ඉතා වැදගත්. ඒ අනුව මේ දැනුවත් කිරීමේ වැඩමුළුව සංවිධානය කළ අතර යූ.එන්. හැබිටාට් සංවිධානය මෙයට එක්වුණා..

ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙරටට පැමිණ සිටින විදේශීය ආයෝජකයින්, ආයෝජන සමාගම්වල සිදුවන මූල්‍ය වංචා, අක්‍රමිකතා සහ සෙසු අපරාධ නිසා රට හැරයාමට ඉඩ තිබෙනවා. මේ නිසා ඒවා වැළැක්වීමට සෑම දෙනාම දැනුවත් කොට පියවර ගැනීමේ අගය පහදා දීම අප පදනමේ එක් අරමුණක්ය. මෑතකදී ජා ඇල ප්‍රදේශයේ ආයෝජනයක් සිදු කොට තිබෙන ජපාන සමාගමක සිදු වූ මූල්‍ය වංචා, කූඨ ලේඛන සකස් කිරීම, අයථා මුදල් පරිහරණය සහ විශ්වාසනීයත්වය බිඳ දැමීම හේතුවෙන් ආයෝජකයෝ කණගාටුවට පත්ව සිටිනවා. එවැනි දේවල් ශ්‍රී ලංකා ආර්ථික දියුණුවට එල්ලවන විශාල බාධා ලෙස අප හඳුනා ගත යුතුයි.

දෙස් විදෙස් ආයෝජනවල විශ්වාසනීයත්වය බිඳ වැටෙන ලෙස මූල්‍ය අපරාධ ඇතුලු නොහොබිනා කටයුතු සිදු කිරීම වැළැක්වීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමත්, ඒවා පිළිබඳ ආයෝජකයින් දැනුවත් කිරීම හා එම ව්‍යාපෘතිවල සේවය කරන සේවක පිරිස දැනුවත් කිරීම සඳහා අප පදනම දැනටමත් කටයුතු ‍කර තිබෙන අතර ඉදිරියේ දී එය තවදුරටත් වේගවත් කරනවා. අන්තර්ජාලය හරහා සිදු කෙරෙන අපරාධ, කාන්තා හිංසනයන්, ළමා හිංසනයන් වැනි ‍පරිගණක අපරාධවලට වැට බැඳීම සඳහා ද නීති සම්පාදනය කිරීම, අපරාධ වින්දිතයන් දැනුවත්කර ඔවුන් ඉන් මුදා ගැනීමට ද බලාපොරොත්තු වෙනවා.

යම් අපරාධයක් වූ පසු පසුතැවිලි වීම, හඬා වැටීම හෝ කණගාටුවීම හෝ සිදු කොට එය අමතක කර දැමීම අවසන් කළ යුතුයි. අපරාධ නිවාරණයට විශාල සංවිධාන ශක්තියක් යොදා වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. මේ සඳහා ආගමික නායකයින්, සිවිල් සමාජ නායකයින්, රජයේ නිලධාරීන්, පෞද්ගලික අංශයේ ප්‍රධානීන්, ඇතුළු සමස්ත සමාජයම දැනුවත් කොට නිසි ක්‍රමවේදයක් රටට හඳුන්වා දිය යුතුය.

ඒ සඳහා නායකත්වය දීමට ආසියානු අපරාධ නිවාරණ පදනම සූදානම්. දණ්ඩ නීති සංග්‍රහයේ හා අපරාධ නීති සංග්‍රහයේ අපරාධ ගණයට වැටෙන සියලු වැරදිවලින් ජනතාව මුදා ගැනීමට අපරාධ නිවාරණය පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත්. ආගමික නායකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන නායකයින්, සාමාජීය හා සංස්කෘතික අංශ සියල්ල ඒකරාශී කොට ජාතික අපරාධ නිවාරණ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා අතර ඒ සඳහා සියලු දෙනාට යෝජනා හා අදහස් ආසියානු අපරාධ නිවාරණ පදනම වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිිටිනවා.

ආසියානු අපරාධ නිවාරණ පදනමේ උප සභාපති ලක්ෂ්මන් ද සිල්වා, ලේකම් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය අනුෂා එදිරිසිංහ, කමිටු සාමාජික ප්‍රසන්න දිසානායක, එම්.එස්. බණ්ඩාර, හිටපු නියෝජ්‍ය පොලිස්පති එම්. අර්සරත්නම්, පොලිස් මූලස්ථානයේ පරීක්ෂණ අංශයේ රංජිත් විල්වලආරච්චි, නුවරඑළිය කොට්ඨාස පොලිස් පරීක්ෂක කේ. මදිවානන්, ඩයගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පාලිත ධනපාල සහ විජය චන්ද්‍රමන් යන මහත්වරු මෙහිදී කතා කළහ. වතු සේවික සේවිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages