ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ගෞරවයෙන් නැඟී සිටිමු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ගෞරවයෙන් නැඟී සිටිමු

හජ් දින පණිවුඩයෙන් කතානායක කියයි

සියවස් ගණනාවක් පුරා ඉස්ලාම් දහම අදහන ශ්‍රී ලාංකිකයන් ඉදිරියටත් එකම ශ්‍රී ලාංකික ජාතියක ගෞරවනීය සාමාජිකයින් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් කැපවනු ඇතැයි මාගේ විශ්වාසය යැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

ලෝපුරා ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික හා සංස්කෘතික උත්සවයක් වන අදට (12) යෙදෙන ඊද් උල් අල්හා හජ් මංගල්‍යය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ලෝ පුරා ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික සහ සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන ඊද් උල් අල්හා හජ් (Eid UL Alha) මංගල්‍යය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන මේ මොහොතේ එහි වැදගත් හර පද්ධතීන් පිළිබඳව සිහිපත් කිරීම කාලෝචිත වේ.

දෙවියන් පිළිබඳ තමන් තුළ ඇති විශ්වාසය සහ භක්තියද, කැපකිරීම සහ පරිත්‍යාගය ද මෙහිදී අරුත් ගැන්වේ. ඉන් ඔබ්බට ඉස්ලාමය තුළ ඇති දාර්ශනික හරය තුළ මනුෂ්‍යත්වය ඔසවා තැබෙන අවස්ථාවක් ලෙස මෙම ඊද් දුල් අල්හා හජ් (Eid UL Alha) මංගල්‍යය හැඳින්විය හැකිය.

ලොව පිළිගත් සෑම ප්‍රධාන ආගමක් මඟින්ම අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය තුළ මානව දයාවෙන් පිරි යහපැවැත්මක් නිර්මාණය කිරීමයි. මෙවන් ආගමික, සංස්කෘතික සැමරුම් මඟින් විටින් විට සිහිපත් කැර දෙන්නේ එම යහපත් අරමුණයි.

සියවස් ගණනාවක් පුරා ඉස්ලාම් දහම අදහන ශ්‍රී ලාංකිකයන් විසින් සමාජයේ සියලු කොටස් සමඟ එම යහපත් ගනුදෙනුව සිදුකර ඇති බවද, ඉදිරියටද ඔවුන් එකම ශ්‍රී ලාංකික ජාතියක ගෞරවනීය සාමාජිකයන් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් කැපවනු ඇති බවද මාගේ විශ්වාසයි.

සිය ශුද්ධ වූ විශ්වාසයන් සමඟින් හජ් වන්දනාවේ යෙදුණු ශ්‍රී ලාංකිකයන්ගේ පූජෝපහාරයන් මෙන්ම බැතිබරව ඊද් උල් අල්හා හජ් (Eid UL Alha) මංගල්‍යය සමරන සමස්ත ශ්‍රී ලාංකේය ඉස්ලාම්වරුන්ගේ කැපකිරීම හා පරිත්‍යාගය ශුද්ධ වූ අල්ලාහ් දෙවියන්ගේ පිළිගැනීමට ලක්වේවා යැයි ප්‍රාර්ථනා කරමින් ඊද් මුබාරක් යනුවෙන් නව අවුරුදු උදාවට ආසිරි පතමි.

 

කරු ජයසූරිය
කතානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages