ආණ්ඩුව වැඩක් කළේම නැද්ද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-16

ආණ්ඩුව වැඩක් කළේම නැද්ද?

අති දැවැන්ත කළු ප්‍රාග්ධනයක් විසින් ගෙනයන ගොබෙල්වාදී ප්‍රචාරය හමුවේ මේ සියලු කාරණා ලඝු කර හුදු කෙටි කාලීන පරිපාලන නිලයක් පමණක් ඔසවා තැබීමට සමස්ත ප්‍රචාරක යාන්ත්‍රණයක් ආණ්ඩුව සතු නොවීමයි. රාජ්‍ය මාධ්‍ය මගින් පමණක් ආණ්ඩුවේ ප්‍රතිරූපය රැක ගැනීම හෝ ඔසවා තැබීම කළ නොහැකි බව දැන්වත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රබලයන් වටහා ගත යුතුයි.

“සියඹලා ගෙනාවෙම නැද්ද ?” මේ අපේ ජනවහරට අලුතින් එකතු වූ උපහැරණයක් කියලයි ඇතැමුන් කියන්නේ. ඒත් අද බොහෝ දෙනෙක් “ඔයා මොනවද කළේ, එයාලා මොනවද කළේ ?’ කියලා ප්‍රශ්න කරන කොට ‘ඇයි මම සියඹලා ගෙනාවෙම නැද්ද ?’ කියලා අහනවා.

මේ සියඹලා කතාව අපේ පෞද්ගලික හෝ හුදු සමාජයීය ජීවිතයට වඩා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සංවාදයට වඩාත් අදාළ බවයි ඒ ගැන ගැඹුරින් විමසා බලන විට පෙනී යන්නේ.

මේ ප්‍රශ්නේ මෙහෙම ඇහුවොත් ‘ඇයි මේ ආණ්ඩුව වැඩක් කළේම නැද්ද ?’ (ආණ්ඩුව සියඹලා ගෙනාවෙම නැන්ද ?’) කියලා ඇහුවොත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද ?

හෘද සාක්ෂියට හා ගොබෙස් ප්‍රචාරය

තමන්ගේ දේශපාලන ඇලීම් - බැඳීම් හා ලැදියාවන් නිසා අද බොහෝ දෙනෙක් වත්මන් ආණ්ඩුවේ සමස්ත ජයග්‍රහණයන් ‘ජාතික ආරක්ෂාව’ වෙනුවෙන් ඌණනය කිරීමට තැත් කරනවා. ඒ අනුව පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ආණ්ඩුව වසර පහකට ආසන්න කාලයක් සිදුකළ සියලුම දේශපාලන, ආර්ථික හා සමාජයීය ප්‍රතිසංස්කරණ, සංවර්ධන ප්‍රවේශයන් ලඝු කිරීමකුයි දැකිය හැකි වන්නේ.

එය මුලින් සඳහන් කළ ආකාරයට තම දේශපාලන ඇලීම් - බැඳීම් හා ලැදියාවන් සමඟ සමපාතව සිදුවන අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ අනපේක්ෂිතව ලැබුණු වටිනාකම් සහ අවධානය ඒකී පාර්ශ්වයන් ඉතාම පටු ආකාරයෙන් අවභාවිත කිරීමකුත් මේ වන විට අඛණ්ඩව හා දැඩිව සිදුවෙමින් තිබෙන්නේ.

මේ තත්ත්වයෙන් තම හෘද සාක්ෂියට එකඟව පශ්චාත් පාස්කු සිදුවීම් හා පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතූභූත වූ කරුණු ගැන විමසීමක් කළහොත් හෘද සාක්ෂියක් ඇති ඕනෑම අයෙකුට පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට විශේෂයෙන් අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට තිබෙන්නේ වගකීමකට වඩා ‘වගවීම’ පිළිබඳ චෝදනාවක් බව වටහා ගත හැකියි. ඒ බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව මගිනුත් මනාව පැහැදිලි වී තිබෙනවා.

එහෙත් ප්‍රශ්නය වන්නේ වගකීම වෙනුවට වගවීම මූලිකව ඉදිරියට පැමිණියත්, හෘද සාක්ෂිය බලවත්ව නැගී සිටියත් ඒ සියල්ල අභිබවා විපක්ෂයේ සහ ඇතැම් ප්‍රමුඛ පුද්ගලයන්ගේ සාවද්‍ය සහ නොමඟ යවන සුළු හුදු ප්‍රකාශවලට දැවැන්ත මාධ්‍ය අවධානයක් සහ ප්‍රචාරයක් ලැබීමයි.

ඉතාම පැහැදිලිව දේශපාලන අරමුණු සහ වුවමනා එපාකම් අනුව සිදුවන මේ මාධ්‍ය මෙහෙයුම (ගොබෙස්වාදී ප්‍රචාරය) ආණ්ඩුවට එරෙහි ජනමතය සංවිධාන කිරීමටත්, ආණ්ඩුවට හිතවාදී ජනමතය දුර්මුඛ කිරීමටත් හේතු වී තිබෙන බවක් දැකගත හැකියි. ඒ අනුව මීට පෙර ලිපිවල ද සඳහන් කර ඇති ‘විපක්ෂ ඡන්ද දායකයන් ඡන්ද පොළට කැඳවා ගැනීමත් - එජාප ඡන්ද දායකයන් ඡන්දපොළින් බැහැර කිරීමත්’ ඍජුව ඉලක්ක ගතව තිබෙනවා.

පශ්චාත් පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන ආයෝජනයක්ද ?

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන බොහෝ දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයම ප්‍රමුඛ කරගෙන, කේන්ද්‍ර කරගෙන (පශ්චාත් පාස්කු ප්‍රහාරවලින් සිදු වූ හා සිදුවෙමින් පවතින ආර්ථික, දේශපාලන හා සමාජයීය හානිය ගැන කිසිදු සඳහනක් නැතිව) විවිධ පාර්ශ්වයන් වෙතින් අඛණ්ඩව සිදුවන බලපෑම් සහ මැසිවිලි ඍජුව ආණ්ඩුව දුර්මුඛ කිරීම සහ ආණ්ඩුවට එරෙහිව මධ්‍යස්ථ ජනමතය සංවිධාන කිරීමට නාභිගතව තිබෙන බවයි.

‘මේ කතා කරන්නේ, බලපෑම් කරන්නේ වෙන කාටවත් නොවෙයි. පාවෙන ඡන්දදායකයන්ට. ඒක ඇත්තටම සිද්ධ වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට බොහෝ කලින්. මහ බැංකු බැඳුම්කර සිදුවීම ආදිය සමඟයි. ඒත් පාස්කු ඉරිදා ප්‍රහාරය මගින් මහ බැංකු බැඳුම්කර සිදුවීමට එහා ගිය ජනතාවකට ආමන්ත්‍රණය කළ හැකියි. විශේෂයෙන් කතෝලික ඡන්දදායකයන් සහ මධ්‍යස්ථ ඡන්දදායකයන්ට. සියලුම පෞද්ගලික මාධ්‍ය අසීමිතව ආණ්ඩුවේම අඩුපාඩු කියමින්, ආණ්ඩුව කළ කිසිදු ආකාරයක සංවර්ධන කටයුතුවලට මාධ්‍ය අවකාශයක් නොදෙමින් සිය දැවැන්ත හා අඛණ්ඩ ප්‍රචාරයට පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීමත් ඍජුව ආණ්ඩුවට පැටවීම මගින් සිදුවන්නේ බලවත් හානියක්. ඒ හරහා ආණ්ඩුව ගත් සියලුම සාධනීය ප්‍රවේශ නිශේධනය වන තත්ත්වයක් මතු කරනවා. මේ තත්ත්වය සරලව පැහැදිලි කළහොත් මහ බැංකු බැඳුම්කර සිදුවීම පසුගිය මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයට කළ බලපෑමට වඩා අතිශයෝක්තියට නංවන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය මගින් ආණ්ඩුවට මතවාදී බලපෑමක් කිරීමට උත්සාහ දරනවා.

ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙක් වත්මන් තත්ත්වය දකින්නේ ඉහත සඳහන් ආකාරයටයි.

ඔහු මෙසේද සඳහන් කරනවා.

ඒත් ප්‍රශ්නේ තිබෙන්නේ මෙතැන නෙමෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නිර්මාණය වූ ඊටත් වඩා සංකීර්ණ හා හානිකර සමාජ විභේදනයේ ඍජු වගඋත්තරකරුවන් සර්ව නිදෝෂීවීමයි. ඔවුන් විසින් ඇති කළ හා අනාගතයේදී වර්ධනය කළ හැකි ජාති, ආගම් විභේදනය ගැන, දේශපාලන ප්‍රචණ්ඩත්වය ගැන කිසිදු සඳහනක් පාස්කු ඉරිදා ප්‍රහාරයේ දේශපාලන ප්‍රකාශකයන්, ප්‍රචාරකයන් විසින් සිදු නොකිරීමයි. උදාහරණයක් විදිහට පශ්චාත් පාස්කු ඉරිදා ප්‍රහාර ගැන, එමගින් ඇතිවුණ දැවැන්ත සමාජ ධ්‍රෑවීකරණය ගැන මේ කිසිවෙක් එක වචනයක් කතා කරන්නේ නැහැ. ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට වගේම පාශ්චාත් පාස්කු ඉරිදා ප්‍රහාරවල වින්දිතයන්ටත් එකසේ කරුණාව දැක්විය යුතුයි. ඒත් ඒක සිදුවෙන්නේ නැහැ. මෙතැන පැහැදිලිව සිදුවන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට තම පූර්ව දේශපාලන ව්‍යාපෘතිවලට ආයෝජනය කිරීමකුයි. ඒ හරහා නිර්මාණය වූ බලය සහ අවධානය දේශපාලන ප්‍රාග්ධනයක් සේ භාවිතා කිරීමකුයි. අපි පාස්කු ඉරිදා ප්‍රකාශකයන්ගෙන් බලාපොරොත්තු වුණේ පශ්චාත් පාස්කු ඉරිදා වින්දිතයන් ගැනත් ඔවුන් සංවේදී වෙයි කියලා. ඒත් ඒක සිද්ධ වුණේ නැහැ. දැන් අපිට පෙනී යන්නේ ඉතාම පැහැදිලිව පාස්කු ඉරිදා ප්‍රහාරය ඍජු දේශපාලන ආයෝජනයක් බවට ලඝුවීමකුයි”

ජාතික ආරක්ෂාව බාරදිය හැකි සැබෑ නායකයා

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනපේක්ෂිතව උත්කර්ෂයට නැංවුණ ‘ජාතික ආරක්ෂාව සහතික කිරීම’ යන්න අද පාවෙන ඡන්ද දායකයන් විෂයෙහි සේම සාම්ප්‍රදායික ‘කැපුවත් කොළ, නිල්’ ඡන්දදායකයන් කෙරේද ප්‍රබල ආකාරයෙන් බලපෑම් කර තිබෙන බවක් දැකිය හැකියි. විශේෂයෙන්ම මේ සංවේදී කාරණයේදී ඇතැම් නායක භික්ෂූන් වහන්සේලා සේම සිවිල් චරිත ද ‘ජාතික ආරක්ෂාව ප්‍රමුඛ විය යුතුය’ යන අස්ථානය දරන බවක් දැකිය හැකියි.

පැහැදිලිවම, ජාතික ආරක්ෂාව ප්‍රමුඛම විය යුතු බවට කිසිවෙකුගේ විරෝධයක් හෝ තර්කයක් නැහැ. තිස් අවුරුදු සිවිල් යුද්ධයකින් බැට කෑ රටක් විදිහටත්, රාජ්‍ය බලය පෙරළා දැමීමට කළ සන්නද්ධ අරගල දෙකකට මුහුණ දුන් රටක් ලෙසත්, අනපේක්ෂිත එක්දින ප්‍රහාරයකට (පාස්කු ඉරිදා) මුහුණ දී දැඩිව කම්පනයට පත් (හාවුන් සේ) ජනතාවක් සිටින රටක් ලෙසත් ජාතික ආරක්ෂාව ප්‍රමුඛ විය යුතුව තිබෙනවා.

ඒත් ප්‍රශ්නය වන්නේ රාජ්‍යයේ සමස්තයම, ජනතාවගේ සමස්ත අයිතිවාසිකම් පද්ධතියම ජාතික ආරක්ෂාවට වඩා ‘ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි , සහතික කළ හැකි’ යැයි කියන හුදු පුද්ගලයෙකුගේ දෙපා මුල හෙළා ජනතාවට අතසෝදා ගත හැකිද ? යන්නයි.

මේ සම්බන්ධයෙන් පොදුවේ ‘නොහැක’ යන පිළිතුරක් දෙන ඕනෑම අයෙකුට තම මතය සනාථ කිරීමට ඉදිරිපත් කළ හැකි කරුණු රැසක් තිබෙනවා. උදාහරණයක් ලෙස ඉස්ලාම් අන්තවාදීන්ගේ හා ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර රැසකට පසුගිය දශකයේ බටහිර යුරෝපීය රාජ්‍ය, අමෙරිකාව ප්‍රමුඛ තවත් රටවල් රැසක් ගොදුරු වී තිබෙනවා. ලෝකයේ අති සාමකාමී රාජ්‍ය, ජාතික ආරක්ෂාව උපරිමයෙන් සලසා ඇති රාජ්‍ය ලෙස සැලකෙන ප්‍රංශය, ජර්මනිය පවා මේ අන්තවාදයේ අනපේක්ෂිත,ක්ෂණික ගොදුරු බවට පත්ව තිබෙනවා. දැවැන්ත බුද්ධි අංශයක්, අති දැවැන්ත ආරක්ෂක යාන්ත්‍රණයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින අමෙරිකා එක්සත් ජනපදය පවා (සැප්තැම්බර් 11 ප්‍රහාරය) මේ ඉස්ලාම් අන්තවාදයේ , ත්‍රස්තවාදයේ ගොදුරු බිම් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ ලංකාව විශේෂ කිරීමට හෝ ලංකාවේ තත්ත්වය අතිශයෝක්තියට නැගීමට හැකියාවක් නැති බව පැහැදිලිව පෙනී යනවා.

ඒත් ප්‍රශ්නය වන්නේ පසුගිය දශකයකට අධික කාලයේ ලංකාව සේම ඉස්ලාම් අන්තවාදයෙන් බැට කෑ කිසිදු රටක් එය හුදු දේශපාලන බල ව්‍යාපෘතියක්, ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත්කර නොගැනීමයි. ක්ෂණිකව හා අනපේක්ෂිතව එල්ල වූ එම ප්‍රහාර හමුවේ ඔවුන් පොදුවේ රටක්, ජාතියක් ලෙස මුහුණ දුන්නා මිස එය දේශපාලනීකරණය කිරීමට හෝ බල ව්‍යාපෘතියක් කර ගැනීමට තැත් කළ ආකාරයක් සිදු වුණේ නැහැ.

කොටින්ම ‘ආණ්ඩුවට ගෙදර යන්න’ කියන පටු තත්ත්වයට මේ කිසිදු රටක වින්දිතයන්ට නායකත්වය දුන් පාර්ශ්වයන් පත් වුණේ නැහැ. ඔවුන් සියලු දෙනාම එක් වුණේ ප්‍රහාරවල වින්දිතයන් සමඟ එක්ව නැවත මෙවැනි ප්‍රහාර සිදු නොවන තැනට තිරසර විසඳුම් සෙවීම මිස ‘කොට්ට මාරු කිරීමට’ නොවන බව අප අමතක නොකළ යුතු කරුණක්.

සැබෑ නායකයා වෙනුවට කණ්ඩායම සොයා ගැනීම

ඉහත සඳහන් කරුණුවලම දිගුවක් ලෙස ‘ජාතික ආරක්ෂාව සහතික කළ හැකි සැබෑ නායකයා’ ද විවිධ වේෂයන්ගෙන් අභිෂේකත්වයට පත්වන බවක් දැකිය හැකියි.

එහිදී ඍජුව ‘එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළ පුද්ගලයා ජාතික ආරක්ෂාව සහතික කළ හැකි , තහවුරු කළ හැකි සැබෑ නායකයා’ යැයි අභිෂේක කරන්නේ නම් එය සපුරා සාවද්‍ය ප්‍රකාශයක් වන්නා සේම දැවැන්ත විකෘතියක් ද වෙනවා. ඒ කොටි සංවිධානය පරාජය කළ දේශපාලන නායකත්වයට වරක් බලය දී ඊළඟ වටයේදී පිටියෙන් ඉවත් කළ නිසයි. එහි හාස්‍ය ජනක තත්ත්වයක් ද තිබෙනවා. ඒ ‘ජාතික ආරක්ෂාව සහතික කළ හැකි හමුදාමය නායකත්වය’ 2010 දී අපකීර්තියට ලක් කිරීමයි. ඊට පසුව ඒ සියල්ල පසෙක ලා හුදු පරිපාලන තනතුරක් දැරූ පුද්ගලයෙක් දැවැන්ත ප්‍රතිරූපයක් සේ ඔසවා තැබීමයි.

අද ඇතැම් නායක භික්ෂූන් වහන්සේලා සේම අන්‍යාගමික නායකයන් අවධාරණය කරන ආකාරයට, ඇතැම් විට නොකියා කියන ආකාරයට, ඉඟි කරන ආකාරයට ජාතික ආරක්ෂාව වඩාත් තිරසර හා විශ්වාසනීය ආකාරයෙන් තහවුරු කළ හැකි නායකයා වන්නේ හුදු පරිපාලන නිලධාරියෙක් නොවන අඛණ්ඩව, දීර්ඝ කාලයක් යුද බිමේ සිටි, පසුව අමාත්‍යධුර දරමින් සිවිල් ප්‍රවාහයට එක්ව සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විය යුතුයි.

ඒත් ප්‍රශ්නය වන්නේ අන්තවාදීන්ගේ සහ අවස්ථාවාදීන් ඝෝෂාව හමුවේ ඒ සියලු සාධනීය තත්ත්වයන් නිශේධනය වීමයි.

හොඳම කඳවුර කා සතුද ?

මේ සමඟ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන, එහෙත් අන්තවාදී ඝෝෂකයන්ගේ හඬින් යටපත් වූ වැදගත් කරුණක් ද තිබෙනවා. ඒ හුදු නායකයෙක් නොවන හොඳම කණ්ඩායම (අවශ්‍ය නම් දේශප්‍රේමීන්ම වන) සිටින්නේ කාගේ කඳවුරේද ? යන්නයි.

මෙහිදී ඊනියා දේශප්‍රේමීන්ගෙන් හෝ කාඩ්බෝඩ් වීරයන්ගෙන් තොර වඩාත්ම (ප්‍රායෝගික) දේශප්‍රේමීන් සේම පොදුජනතාවට වැඩක් කළ හැකි, ප්‍රජාතන්ත්‍රවාදය සහතික කළ හැකි වඩාත්ම වර්ණවත් කණ්ඩායම සිටින්නේ වත්මන් ආණ්ඩුවේ බවට නිසැක කරුණක්.

පසුගිය කාලය පුරාම කෝකටත් තෛලය බවට පත්ව ඇති, හිඟන්නාගේ තුවාලය මෙන් දේශපාලන බඩවඩා ගැනීමට පාවිච්චි කරන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්විට එජාපයේ ප්‍රබලයෙකු වන ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට අලඟුවත් තැබිය හැකි ආරක්ෂක විශේෂඥයෙක් හෝ රට ජාතිය වෙනුවෙන් කැප කිරීම් කළ නායකයෙක් විපක්ෂයේ සිටිනවාද යන්න පහසුවෙන් වටහාගත හැකි කරුණක්.

ඒ සමඟ කොටි ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කළ මතවාදී නායකත්වය, දේශපාලන නායකත්වය සලකන්නේ නම් ඇමැති චම්පික රණවකට අලඟුවත් තැබිය හැකි දේශපාලන නායකත්වයක් විපක්ෂයේ නැති බව ලංකාවේ මෑත ඉතිහාසය දක්නා කියන, කුහකයෙක් හෝ අවස්ථාවාදියෙක් නොවන ඕනෑම අයෙකුට පිළිගත හැකි සත්‍යයක්. මාවිල්ආරු සොරොච්ච මුදා ගැනීමේ මෙහෙයුමේ සිට අද දක්වා චම්පික රණවක බෙදුම්වාදයට එරෙහිව සපයන දේශපාලන නායකත්වය අති වර්ණවත් එකක් බවයි පොදු පිළිගැනීම වන්නේ.

අද ඊනියා උත්කර්ෂයට නංවා ඇති කොළඹ අලංකාර කිරීම, නවීකරණය විෂයෙහි පූර්වගාමියා පොදුජන පෙරමුණ සමයේ (1994-2004) ආණ්ඩුවේ සිටි වර්ණවත් තරුණ නායකයෙක් වන මංගල සමරවීර බව නොදන්නේ නම් ඒ දේශපාලන ළදරුවන් පමණක් බව අපගේ අදහසයි. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ නාගරික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් ආරම්භ කළ කොළඹ නවීකරණය වඩාත් ඉදිරිගාමී හා නිර්මාණාත්මක සේම අත්තනෝමතිකත්වයෙන් තොර එකක් බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ දෙනෙක්ගේ අදහස වන්නේ.

රටට සහ ගමට වැඩ කළ නායකයෝ

එජාපයේ පූර්වගාමීන් වන ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක ආදී ජාතික නායකයන්ගේ, රටට දැනෙන වැඩක් කළ නායකයන්ගේ පූර්වගාමීන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ මිස විපක්ෂයේ නොවන බව ඕනෑම අයෙකු පහසුවෙන් වටහා ගත හැකි කාරණයක්. මේ පූර්වගාමීන්ට, කීර්තිමත් අලුවිහාරේ පරපුර ද නියෝජනය කරන වසන්ත අලුවිහාරේ ආදීන් එක්කළ විට එජාපය හමුවේ නිර්මාණය වන්නේ පසුගිය දශක කිහිපයේ අහඹු ලෙස ඉහළට ඔසවා ගනු ලැබූ හුදු දේශපාලන පවුල් කිහිපයකට වඩා පුළුල් හා වර්ණවත් එසේම විශ්වාසනීය දේශපාලන කණ්ඩායමක් බව අන්තවාදීන් හෝ දේශපාලන කුහකයන් නොවන ඕනෑම අයෙකුට පහසුවෙන් වැටහී යන කරුණක් බවයි.

මේ වර්ණවත් කණ්ඩායමට කරු ජයසූරිය, චම්පික රණවක සේම රාජිත සේනාරත්න, පී හැරිසන්, සජිත් ප්‍රේමදාස, ආදීන්ද එක් කළ විට ලැබෙන ශක්තිය හා විශ්වාසනීයභාවය හුදු කාඩිබෝඩ් වීරයන් ඉදිරියට දමාගෙන සිටින පොහොට්ටුවට ළඟාවිය නොහැකි ‘සුපිරි කණ්ඩායමක්’ බව පැහැදිලි කරුණක්.

ඇත්ත වටහා ගනිමු

මේ ලිපියේ ආරම්භයේදීම සඳහන් කළ ‘සියඹලා ගෙනාවෙම නැද්ද ?’ යන්න දැන් කෙටි විමසුමකට ලක්කළ යුතුයි.

ඓතිහාසිකව ගත්විට අදත් රටට දැනෙන ආර්ථික සංවර්ධනයක් කළ පක්ෂය එජාපය බව සැඟවීමට කිසිදු හැකියාවක් නැහැ. එජාපයේ පූර්වගාමීන් කළ මහා ගොවිජනපදවල සිට, ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව නායකත්වය දුන් මහවැලි සංවර්ධන ව්‍යාපාරය, උදාගම් ව්‍යාපාරය, නිදහස් වෙළෙඳ කලාප දක්වා අඛණ්ඩව දිවෙන්නේ දැවැන්ත ආර්ථික හා සමාජ සංවර්ධනයක මාවතක්. එය ඊනියා ප්‍රදර්ශනකාමී සංවර්ධනය ඉක්මවා ගිය තිරසර හා ඵලදායී සංවර්ධනයක් බව කිසිවෙකුට බැහැර කළ නොහැකියි.

පසුගිය ආණ්ඩුවට ඡන්ද මැෂිමක් වූ සමෘද්ධි ව්‍යාපාරය, දිවිනැගුම ගත්විට වුවද එය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දුන් ‘ජනසවිය’ මෙන් ඉදිරිගාමී එකක් නොව හුදු දේශපාලන ව්‍යාපෘතියක් බව පැහැදිලි කරුණක්.

එසේම ජාතික ගැටලුව, දේශපාලන හා ආගමික සංහිඳියාව විෂයෙහි පවා එජාපය හඳුන්වා දුන් ප්‍රාදේශීය සභා, පළාත් සභා ඉක්මවා ගිය විසඳුමකට 1994 සිට රටේ විධායක ජනාධිපති ධූරය හොබවන ශ්‍රීලනිපය සහ එහි බිඳීගිය කල්ලිය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැක්මක් නැති බව පැහැදිලි කරුණක්.

මේ තත්ත්වය වත්මන් ගෝලීය සංදර්භය තුළ වඩාත් ප්‍රමුඛ කාරණය වන අන්තර්ජාතික සම්බන්ධතා, මානව හිමිකම් විෂයෙහි පවා වඩාත්ම කීර්තිමත් ඉතිහාසයක් හා පරිචයක් ඇත්තේ එජාපයට මිස වෙනත් කිසිදු බලවේගයකට නොවන බව දැකිය හැකියි.

මෙහිදී අපට ජාතික ආරක්ෂාව පහසුවෙන් බැහැර කළ නොහැකි නම්, ඔව්, 1977 සිට 1994 දක්වා එක්සත් ජාතික පක්ෂය දුසිමකටත් වඩා වැඩි බෙදුම්වාදී සංවිධානය සමඟ අඛණ්ඩව යුද්ධ කළ බවත්, 1994 දී ආණ්ඩු බලය අහිමිවන විට උතුරේ ප්‍රදේශ කිහිපයක් හැර සෙසු සියලු ප්‍රදේශ මධ්‍යම ආණ්ඩුවේ ඍජු පාලනය යටතේ තබාගෙන සිටි බවත් අවධාරණය කළ යුතුයි. ඒ සමඟ 2001 දෙසැම්බර් - 2004 අප්‍රේල් කෙටි කාලයේ එල්ටීටීඊ සංවිධානය සමඟ ආරම්භ කළ සාම සාකච්ඡා මගින් එම සංවිධානය දුර්වල කළා මිස (කරුණා අම්මාන් බිඳීයාම) ශක්තිමත් කර රට පවාදීම, බෙදාදීමක් සිදුනොකළ බව අප වටහා ගත යුතුයි. අවශ්‍ය නම් 2015 ජනවාරි ආණ්ඩුවේ දිගුවක් ද ඒ ආකාරයෙන්ම රටේ භෞමික අඛණ්ඩතාව සහ ගරුත්වය සුරක්ෂිත කළ යුගයක් බව අප වටහා ගත යුතුයි.

එහෙත් ප්‍රශ්නය වන්නේ අති දැවැන්ත කළු ප්‍රාග්ධනයක් විසින් ගෙනයන ගොබෙල්වාදී ප්‍රචාරය හමුවේ මේ සියලු කාරණා ලඝු කර හුදු කෙටි කාලීන පරිපාලන නිලයක් පමණක් ඔසවා තැබීමට සමස්ත ප්‍රචාරක යාන්ත්‍රණයක් ආණ්ඩුව සතු නොවීමයි. රාජ්‍ය මාධ්‍ය මගින් පමණක් ආණ්ඩුවේ ප්‍රතිරූපය රැක ගැනීම හෝ ඔසවා තැබීම කළ නොහැකි බව දැන්වත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රබලයන් වටහා ගත යුතුයි.

සටහන- භාතිය බරුකන්ද

No comments:

Post a Comment

Post Bottom Ad

Pages