ස්වෛරීභාවයට හානියක් වන කිසිදු අන්තර්ජාතික ගිවිසුමකට අත්සන් තබන්නේ නෑ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-12

ස්වෛරීභාවයට හානියක් වන කිසිදු අන්තර්ජාතික ගිවිසුමකට අත්සන් තබන්නේ නෑ

ඇමැති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල

රටේ ස්වෛරීභාවයට හානියක් වන කිසිදු අන්තර්ජාතික ගිවිසුමකට අත්සන් නොතබන බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පසුගිය (09) ප්‍රකාශ කළේය.

මේ දක්වා කාලයේ දී වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හා නිදහසට කිසිඳු ආකාරයකින් හෝ බලපෑමක් එල්ල කරන ගිවිසුමකට අත්සන් කර නොමැති බව පෙන්වාදුන් ඒ මහතා සෝෆා ගිවිසුම යටතේ කිසිම ආරක්ෂක සම්බන්ධීකරණයක් ඇමෙරිකාව සමඟ නොකරන බවද විදෙස් රටක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සමඟ ගිවිසුමකට එළඹෙන්නේ නම් වත්මන් රජය හැමවිටම ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසන බවද පෙන්වා දුන්නේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා (09) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්විය. අමාත්‍යාංශ නිවේදන, ලිපිලේඛන සහ මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් අසන ලද ප්‍රශ්න සඳහා ඒ ඒ විෂය බාර ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ.

“විදේශ රටවල්/විදේශ නියෝජිතායතන සමඟ රජය/රජයේ ආයතන ඇතිකර ගත් ගිවිසුම් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම” සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදය ආරම්භ විය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස) - ඉන්දියාවේ හිටපු විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අපේ රට සමඟ සහ කලාපයේ මිත්‍රත්වය වර්ධනය කරන්න කළ කාර්ය භාරයට අපේ ගෞරවය පිරිනමනවා. එතුමියගේ අභාවය සම්බන්ධයෙන් අපේ ශෝකය පළකරනවා. විදේශ රටවලට හෝ විදේශ සංවිධාන සමඟ ශ්‍රී ලංකා රජය හෝ රාජ්‍ය සංවිධානයක් ඇති කර ගන්නා ගිවිසුම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් අද ඉදිරිපත් කරනවා. මෙලෙස රටට අහිතකර ගිවිසුම්වලට එළඹීම ජනතා පරමාධිපත්‍යයට පටහැනි බැවින් සහ ඒවා පිළිබඳ විමසීමේ දී පාර්ලිමේන්තුවට දැනුම්දීමට ආණ්ඩුව පැකිලෙන බැවින් ද සෝෆා, ඇක්සා, මිලේනියම් චලේන්ජ් වැනි ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දන්වා නොමැති නිසා මෙවැනි තොරතුරු දැන ගන්න අයිතියක් තිබෙනවා. විදේශ රටවල් සමඟ ගිවිසුම්වලට එළඹෙන්නේ නම් මේ පාර්ලිමේන්තුව දැනුවත් කළයුතු වෙනවා. එසේ නොවන්නේ නම් එය නීති විරෝධී වෙනවා.

මේ ගිවිසුම් තුනම අද රටේම මහත් විවේචනයට ලක්ව තිබෙනවා. එක් පැත්තකින් අපේ රටේ අනාගතය මෙහෙයවීම සඳහා ඩොලර් මිලියන 480ක ගිවිසුමකට එළඹීමේ හා ඊට සම්බන්ධ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට රහසිගතව ක්‍රියා කරමින් සිටිනවා. මේවා ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. අපි ජාත්‍යන්තර මිත්‍රත්වයෙන් කටයුතු කරන රටක්. අපි කුමන හෝ යුද පාර්ශ්වයක් සම්බන්ධ නොවන බවට නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරන රටක්. මේ අවතීර්ණවන යෝජනාවෙන් කුමක් ද සිදුවන්නේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට යුද ගිවිසුමක ආකාරයෙන් මේ ගිවිසුම් දෙක කටයුතු කරනවා. මේවා ශ්‍රී ලංකාවට හානිකර තත්ත්වයක් පමණක් නොව නිදහස, ස්වාධීනත්වයට හානි වියහැකි බරපතල තත්ත්වයක් වෙනවා. ඇමෙරිකාවේ ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳපල සහිත රටක්. නමුත් ඇමෙරිකාව සමඟ යුද ගිවිසුම් ඇතිකර ගැනීම සාධාරණ නැහැ. මේ ගැන ජනතාව, පාර්ලිමේන්තුව දැනුවත් වියයුතු වෙනවා.

එයින් ආණ්ඩුව බැහැරව යනවා නම් බරපතළ තත්ත්වයක් වෙනවා. ඉන්දු ලංකා ගිවිසුම ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට එවකට ජනාධිපතිවරයා පියවර ගත්තා. අපේ රටේ මේ ගිවිසුම් ශ්‍රී ලංකාවට පමණක් නොව මිත්‍ර කලාපයේ ස්ථාවර බවට හා දේශපාලන තත්ත්වයට බලපානවා. අද ඒ තත්ත්වය වෙනස්වීමේ බරපතළ තත්ත්වයකට අපි මුහුණ දෙනවා. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් ද අපි අවධානය යොමු කළයුතු වෙනවා. රජය මේ ගැන කිසිඳු තොරතුරක් ඉදිරිපත් කර නැහැ. මේවා අනුමත කිරීමට මාගේ එකඟතාවයක් නැහැ කියලා ජනාධිපතිවරයා කියනවා. ජනාධිපතිවරයා එසේ කියද්දී මේ ආණ්ඩුව ඒවා ඉදිරියට ගෙනයන්න උත්සාහ කරනවා. විවිධ පනත් සම්බන්ධයෙන් රජය හදිසියේ ගැසට්කර තිබෙනවා. අගමැතිවරයා ඇවිත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කිවයුතු වෙනවා. පාර්ලිමේන්තුවට තිබෙන උත්තරීතර බව ආරක්ෂා කළයුතු වෙනවා.

මේ ආකාරයෙන් මිලේනියම් චලේන්ජ් කෝපරේෂන් වෙතින් ලබාගත් දේ හරහා අපේ රටේ ගම්මාන ඉවත් කොට දිළිඳු බවට පත්කිරීමේ තත්ත්වයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජාතික වශයෙන් සාකච්ඡාවක් ඇතිකිරීමට පාර්ලිමේන්තුවට හමුවට මේ සියලු පනත්, කෙටුම්පත් ඉදිරිපත් කරන්න ඕන. ඊට පෙර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළයුතු වෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එ.ජ.නි.ස) - ඇක්සා ගිවිසුම 2007 අත්සන් කළා. එය නැවත 2017 දී අලුත් කර තිබෙනවා. 2007 දී අත්සන් කළ ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ගෙනාවා. නමුත් 2017 වසරේ අත්සන් කළ ගිවිසුම අද දක්වා ගෙනත් නැහැ. ඒ ඉදිරිපත් කළ ගිවිසුම වැරැදි කියා අභියෝග කරන්න මේ ආණ්ඩුවට පුළුවන් ද. 2017 සහ 2007 ගිවිසුම් දෙක අතර විශාල වෙනස්කම් තිබෙනවා. 2017 දී අතිරේක ගිවිසුමක් නැහැ. මේක අපි යටත් විජිතයක් බවට පත්වීමට හැදූ ගිවිසුමක්. නමුත් 2017 ගිවිසුම මඟින් කෙලින්ම ඇමෙරිකාවට අවශ්‍ය යුදමය කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැපයීම් කරන්න, අවස්ථාව දෙන්න අපි බැදී ඉන්නවා. මේ කලාපයේ යුද ක්‍රියාකාරිත්වයකට ඇමෙරිකාව යන්නේ නම් අපිට උදව් කරන්න වෙනවා. අද අපේ මුහුදු තීරය, වරාය සියල්ල දෙන්න මේ ගිවිසුමට අනුව බැඳී ඉන්නවා. නමුත් අපිට ඒවා දෙන්න නොදී ඉන්න තිබුණා. රටක අවසාන රාජ්‍ය බලය හමුදාව සතු වෙනවා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව ශතවර්ෂයකට වඩා කාලයක් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. 1815 වසරේ දී වාණිජ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. 1956 දී හමුදා උපකරණ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. 2007 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාව සමඟ ගිවිසුමක් අත්සන් කළා. ඊට කිසිවෙකු විරුද්ධ වුණේ නැහැ. විපක්ෂය කියනවා නම් මේ ගිවිසුමෙන් රටට හානි වෙනවා කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් රාජද්‍රෝහී ක්‍රියාවක් කර තිබෙනවා. මේ පනත් ඉදිරිපත් කරන අවස්ථාවේ කිසිවෙකු විරුද්ධ වුනේ නැහැ. අපි ඒක දීර්ඝ කිරීමක් තමයි කර තිබෙන්නේ. සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් 1995 දී ලිපි හුවමාරු කරගෙන තිබෙනවා. මේ අය පටන්ගත් දේවල්. රජයක් ලෙස අපි කලින් ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට බැදී ඉන්නවා. රටේ ස්වෛරී භාවයට හානි වන්නේ නම් අපි නීතිපති වෙත යනවා. අපි නීතිපති උපදෙස් අනුවයි කටයුතු කරන්නේ. මේ ගිවිසුම්වල රටට හානිකර කිසිවක් නැහැ.

අපි අද ඇමෙරිකාවට බනිනවා. තමන්ලා, දරුවන් ඉගෙන ගත්තේ ඇමෙරිකාවට. මේ අයගේ ජනාධිපති අපේක්ෂකයා යුද්ධය අමාරුම කාලේ ඇමෙරිකාවට ගියා. පිං පඩි ගත්තා. වෛද්‍ය පහසුකම් ගත්තා. අවුරුදු 10 ට පස්සේ අපි කරුණා අම්මාන් වැනි අයගේ කොන්ද කැඩූ පසුව ලංකාවට ආවා. ඒ වෙලාවේ ඇමෙරිකාවට ආවා. ලෝකය වෙනස් වෙලා. වසර 50 ට පෙර ගෙනා යෝජනා අද වලංගු නැහැ. පසුගිය යුද සමයේ ඇමෙරිකාව අපිට දෙන්න පුළුවන් හැම සාහයෝඟයක්ම ලබාදුන්නා. අපේ භාණ්ඩ වැඩියෙන්ම ගන්නේ ඇමෙරිකා. එවැනි රටකට ගරහන්නේ ඇයි. සෝෆා ගිවිසුමක් යටතෙක් කිසිම රටක් සමඟ ආරක්ෂක කටයුත්තට එළඹී නැහැ. රේගු නීතිවලට යටත්වීම, නිල ඇඳුම්, අපරාධ සම්බන්ධයෙන් මෙම ගිවිසුම රටවල් 100ක් සමග ඇතිකරගෙන තිබෙනවා. මේ ගිවිසුමෙන් තිබෙන්නේ ඇමෙරිකානු හමුදා සෙබලෙක් යම් වරදක් කරන්නේ නම් ඇමෙරිකානු නීතියට අනුව වැඩ කරනවා කිවුවා.

නමුත් අපි එය වෙනස් කළා ඇමෙරිකානුවෙක් මේ රටේ දී වරදක් කරන්නේ නම් මේ රටේ නීතියට අනුව දඩුවම් දෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා එදා ගිවිසුම් අත්සන් කළේ රොබට් ඕ බ්ලේක් සමඟයි. ඇමෙරිකානු පුරවැසියන් දෙන්නෙක්.

දිවා විවේකයෙන් පසුව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30 ට පාර්ලිමේන්තුව යළි රැස්විය.

කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස) - බටහිර ලෝකයේ යුද බිමක් පත්වන්නට අවදානමක් පැවැතීම ගැන අපි සාකච්ඡා කළ යුතුයි. යුද අභ්‍යාස සඳහා අපේ රට සමඟ ලෝකයේ රටවල එකඟතා පවතිනවා. නමුත් මෙහි මානුෂීය අභ්‍යාස යන්නෙන් කුමක් අවධාරණය කරන්නේ ද යන්න ගැටලුවක්. වරාය, ගුවන්තොටුපොළවලට නොමිලේ ඇතුළත් වීමට ඇමරිකාවට හැකි වීමෙන් ඔවුන්ට මේ භූමිය ස්වර්ණ රාජ්‍යයක් වේවි.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එජනිස) - ඇමරිකාව අත්සන් කරන ගිවිසුම්වලට අපේ අය එකඟ වන්නේ නැහැ. ගිවිසුම්වලට අපි විරුද්ධ නැහැ. නමුත් මේ ගිවිසුම්වල අන්තර්ගතයට අපි විරුද්ධයි. අපේ ස්වාධිපත්‍ය ආරක්ෂා කරගෙන කටයුතු කළ යුතුයි.

තාරක බාලසූරිය මහතා මුලසුනට පැමිණියේය.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා - විදේශ ගිවිසුම් ගැන එම්.සී.සී. ගැන කතා කරන්න මම කැමැතියි. මෙරට විදේශ ප්‍රතිපත්තිය නොබැදි එකක් විය යුතුයි. සිරිමාවෝ මැතිණිය විශේෂයෙන් ඊට මුල් තැනක් දුන්නා. එතුමිය නොබැදි ප්‍රතිපත්තිය අනුව කටයුතු කළා. අපේ නොබැදි ප්‍රතිපත්තිය චීනය ද, ඉන්දියාව ද, ඇමරිකාව ද කියලා නැහැ. ඒ හැම රටක් සමඟම සුහද සම්බන්ධතාවක් පවත්වා ගත යුතුයි. කාලයේ පැවැත්මත් සමඟ විවිධ දේ වෙනස් වෙනවා. ප්‍රතිපත්ති ස්ථාවරභාවයක් තිබීමෙන් ආයෝජනයට බාධාවක් නැහැ. විදේශිය ව්‍යාපාරවලට පමණක් නොව ලාංකීය ව්‍යාපාරවලට ද ඉඩම් තිබිය යුතුයි. මහාමාර්ග, ජලය, සනීපාරක්ෂක පහසුකම් අවශ්‍ය බව මහාචාර්ය ජී. කරුණාරත්න මහතා පවසනවා. ලෝකය දියුණු වන විට යම්කිසි වෙනස් වීම් වෙනවා. අන්තර්ජාලයට සෑමදෙයක්ම සම්බන්ධ විය යුතු බවට පවසනවා. මිලේනියන් චැලේන්ජ් කෝපරේෂන් ගැන තිබෙන ගිවිසුම ගැන අසත්‍ය කරුණු ප්‍රචාරය කර තිබෙනවා. රටට යහපත් කියන අර්ථයෙන් තමයි මේ ගිවිසුම් අත්සන් කරන්නේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍යයයි. අත්සන් කළත් පාර්ලිමේන්තුව අනුමැතිය නැතිව ක්‍රියාවට නැංවිය නොහැකියි.

ඩොලර් මිලියන 400 වටිනවා මේ ගිවිසුම. ප්‍රවාහනය පැත්තට ඩොලර් මිලියන 350 ක් යනවා. මේ ගැන 2014 පවා කතා කළා. ඉන්පසුව 2017 දීත් සාකච්ඡා කළා. චේම්බර් ඔෆ් කොමර්ස් එකත් මෙහි සාකච්ඡාවලට සම්බන්ධ වී තිබෙනවා. මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන විට එකින් එක සාකච්ඡා කරමින් කළ හැකියි. අන්තර් පළාත් මාර්ග වැඩිදියුණු කිරීම, බස්රථ විද්‍යුත් ක්‍රමයකට පාලනය කිරීම, මෙරට කාන්තා ශ්‍රම බලකාය ඉහළ නැංවීම මෙමඟින් සිදු කරනවා. ඉඩම් ඔප්පු තිබෙනවා. ඉඩම් හිමිකම් ලියාපදිංචි කරන ක්‍රමවේදයකට අපි දැන් ගමන් කරනවා.

විද්‍යුත් ලියාපදිංචියට යාමෙන් ප්‍රශ්න නිරාකරණය වෙනවා. රජයේ ඉඩම් ගත් විට දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ යටතේ තමයි බහුතරයක් තිබෙන්නේ. රටේ නීතිය වෙනස් කරන්නේ නැහැ මෙමඟින්. ආර්ථික කොරිඩෝවක්‍ මෙමඟින් නිර්මාණය වෙනවා. රටේ හැම පුද්ගලයෙක්ම එක වගේ සැලකිය යුතුයි. මූලික වශයෙන්ම වෙනසට බිය නොවිය යුතුයි. රට සංවර්ධනය කළ යුත්තේ සැම මිනිසකුගේම දේපළ අයිතිය සුරක්ෂිත කරමින්. රජයේ ඉඩම් අනවසරයෙන් ලබා ගන්නවා. ශ්‍රම බලකාය සියයට 25 ක් සිටිනුයේ කෘෂිකර්මය තුළ. රජයේ ඉඩම් අනවසරයෙන් ලබාගත් බොහෝ අය සිටිනවා.

නිවාස හදලා අනවසරයෙන් පදිංචි වෙලා සිටිනවා. විද්‍යුත් රෙජිස්ටර් ක්‍රමය ඉතා හොඳයි. රාජ්‍ය හා පෞද්ගලික ඉඩම්වල වටිනාකම වැඩි කරනවා. විද්‍යුත් රෙජිස්ටර් ක්‍රමය පවත්වාගෙන යාමෙන් අපට අවශ්‍ය දේවල් ලබා ගත හැකියි. අපි වැඩියෙන්ම ආනයනය කරනුයේ චීනයෙන්. අපි වැඩිපුරම අපනයනය කරනුයේ ඇමරිකාවට. ඒ අනුව ලෝකයේ සියලු රටවල් සමඟ අපි ගනුදෙනු කළ යුතුයි. ද්විත්ව පුරවැසිභාවය තිබෙන අයකු ගිවිසුම් අත්සන් කිිරීමේදි ගැටලු ඇති වෙනවා. ද්විත්ව පුරවැසි බව තිබෙන රටත් සමඟ ගිවිසුමක් අත්සන් කරන විට ඒ රටට පක්ෂපාතී වීමක් සිදුවෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී තුසිතා විජේමාන්න මහත්මිය මුලසුනට පැමිණියාය.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජ.වි.පෙ) - රටක අවශ්‍යතාවය අනුව හොදින් අධ්‍යයනය කර විදේශ ගිවිසුම් අත්සන් කළයුතු වෙනවා. මෑතක දී අත්සන්කර තිබෙන ආරක්ෂක හා වෙළඳ ගිවිසුම් ගත්විට සහමුලින්ම ගිවිසුම හදලා එවනවා. තානාපති කාර්යාලයෙන් මේ ගිවිසුම පිළිගත් බවට කියනවා. ඒවා ගිවිසුම් නෙවෙයි. මේවා නියෝග වෙනවා. ගිවිසුම හදලා තානාපති කාර්යාලයෙන් එවනවා.

ලංකාව ඒක සැණෙකින් අත්සන් කරනවා. සෝෆා ගිවිසුමත් අත්සන් කර තිබෙන්නේ කිසිම වග විභාගයකින් තොරවයි. මේ ගිවිසුම අත්සන් කරන විට මේ පාර්ලිමේන්තුවේ කිසිවෙකු දන්නේ නැහැ. ලංකා ආණ්ඩුවට තීරණාත්මක ලෙස ඇමෙරිකාව යුදමය වශයෙන් උදව් කර නැහැ. 2017 කළේ පාවාදීමක් තමයි. මෙය සදාකාලික දීර්ඝකර තිබෙනවා. අපේ රට ගැන ශත පහකවත් හිතන්නේ රට පාවාදුන් ඉතිහාසයක් මේ ආණ්ඩුවටත් පසුගිය ආණ්ඩුවටත් තියෙන්නේ. අපි ගිවිසුම්වල පිටු ගණනින් බැලිය යුතු නැහැ.

මේ අතරතුර 95 දී අත්සන් කළ ගිවිසුම නැවත බලගතු කරන්න ඇමෙරිකාව යෝජනා කර තිබෙනවා. සෝෆා ගිවිසුමෙන් ලංකාවට ඇතිවන සෙතක් නැහැ. ඒ නිසා මේ මේ ගිවිසුම් ගැන තේරුම් ගන්න. අපේ රට නිකම්ම නිකම් කැලේට ගෙනයනවා. ආරක්ෂක, වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන්නේ නම් ඒ ඒ දෙපාර්තමේන්තුවල නිලධාරීන් සම්බන්ධ කරගෙන අධ්‍යයනයක් කළයුතු වෙනවා. අපේ දෙපාර්තමේන්තුවල යෝජනාවකට අනුව ගිවිසුම් අත්සන් කළයුතු වෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එ.ජ.නි.ස) - මොනවාට අත්සන් කළත් රජයේ යුතුකම පාර්ලිමේන්තුවට දැනුවත් කිරීමයි. හැම විටම එක්සත් ජාතික පක්ෂය කියන්නේ ගිවිසුම් අත්සන් කරන්න පෙර පාර්ලිමේන්තුව දැනුවත් කරනවා කියලයි. එක්තරා අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය එල්.ටී.ටී.ඊයත් සමඟ ගිවිසුමකට අත්සන් කළා. එවැනි අතීතයක් තමයි තියෙන්නේ. සෝෆා ගිවිසුම හරහා මේ රටට විශාල හානිවන කරුණු ඇතුළත් බවට වාර්තා වෙනවා. ඒ නිසා රජය විසින් මේ සම්බන්ධයෙන් කල්පනා කර සොයා බැලිය යුතුයි. කිසිවෙකුගේ උවමනාවට අපි ගිවිසුම් අත්සන් කළයුතු නැහැ. අපි නිවාස ගැටලුවට විසඳුමක් ලෙස තට්ටු නිවාසවලට යායුතු වෙනවා. අනාදිමත් කාලයක සිට අපි විදේශ රටවල් සමඟ ගනුදෙනු කරනවා. මේ යනවිට ඉදිරියේ දී රටේ ජනතාවට කන්න නොමැති තත්ත්වයක් ඇති වෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා (එ.ජා.ප) - අපේ රට අත්සන් කරන ගිවිසුම් සම්බන්ධයෙන් විවිධ විවේචන තිබෙනවා. මේ සෑම කරුණක් සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කරනවා. අපේ රටේ පාර්ලිමේන්තුවත් දූෂිතයි කියා මම ප්‍රකාශයක් කළා. මම වගකීමකින් යුතුව එය කිවුවා. අදත් එය කියනවා. කතානායකට මානසික පීඩනයක් ඇත් කරන්න ඒ හරහා අපේක්ෂා කළේ නැහැ. මම එතුමාට පියෙකුට ලෙස සලකනවා. ඒ මහතා සම්බන්ධ ඇතැම් කාරණා සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවල මම කරුණු දක්වා තිබෙනවා. අපි නියෝජනය කරන දේශපාලන පක්ෂය හෝ නායකයා කුමක් වුවත් ජනතාව අපෙන් බලාපොරොත්තු වන දෙයක් තිබෙනවා. අපේ රටේ වහබ්වාදය පැතිරෙමින් තිබෙන බවට මීට වසර තුනකට පෙර මා මේ සභාවේ දී ප්‍රකාශයක් කළා. එහෙම කියන අවස්ථාවේ යම් යම් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කිවුවේ මම කොරහේ කිඹුල්ලු දකිනවා කිවුවා. නමුත් දැන් වටිනා ජීවිත 260ක් අහිමිවී තිබෙනවා.

දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සොයන්න තේරීම් කාරක සභාවක් දැම්මා. බෝම්බය පුපුරවන්න මාස කිහිපයකට පෙර මා කියූ අවස්ථාවේ තේරීම් කාරක සභාවක් දැම්මා නම් හොඳයි නේද. නමුත් ඒක කෙරුණේ නැහැ. එහෙම නම් අපේ අඩුපාඩුවක් තිබෙනවා. ඒ නිසා අපේ රටම අද පීඩාවට පත්ව තිබෙනවා. අද පළාත් සභා ඡන්දය තියන්න නොහැකිව තිබෙනවා. අද රටේ ජනතාවට ඡන්ද බලය පවා අහිමි වී තිබෙනවා. 19 වැනි සංශෝධනයේ යම් යම් අඩුපාඩුකම් තිබෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නිලධාරීන්ගේ අඩුපාඩුකම් ද මේ වෙනුවෙන් බලපානවා. අපි හෘද සාක්ෂියට එකඟව කටයුතු කළයුතු වෙනවා. මහජන නියෝජිතයන් ලෙස මේ කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වියයුතුයි. හම්බන්තොට ගිවිසුමට එදා මම විරුද්ධ වුණා. ඒ නිසා මට ඇමැතිකම නැතිවුණත් මම මගේ මතයේ සිටියා. එදා සිට අද දක්වා රටට හිතකර ගිවිසුම් අත්සන්කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා (එ.ජ.නි.ස) - චීනය හා ඉන්දියාව රටවල් ඇමරිකාවට එරෙහිව නැඟී සිටිනවා. චීනයට තිබෙන මලක්කා දෙගිඩිය විසඳා ගන්නට ක්‍රා ඇළ කපන්නට කටයුතු කරමින් සිටිනවා. එය කැපුවොත් සිංගප්පූරුව මඟ හැර චීනයට නැව් පැමිණිය හැකියි. චීනයට එරෙහි වීමට ඇමරිකාවට තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකාව නතු කර ගැනීමයි. සෝෆා ගිවිසුම නිසා ඇමැරිකානු සොල්දාදුවන් මෙරටට පැමිණ කුමන වරදක් කළත් තානාපති මුක්තිය තිබෙන නිසා ඔවුන්ට කිසිදෙයක් කළ නොහැකියි. ආසියාවේ සෝෆා ගිවිසුම අත්සන් කළ රටවලට මොකද වුණේ කියලා දැන ගත යුතුයි. ඇමරිකානු සොල්දාදුවන්ට මෙරටට පැමිණීමේ හැකියාව ඇති ගිවිසුම් අත්සන් කිරීම නිසා

පත්කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි (එ.ජා.පෙ) - විශාල සංවර්ධන කලාප, ඉඩම් අත්පත් කර ගැනීම ආදිය මේ ගිවිසුම් හරහා සිදුවෙනවා. නමුත් මේ ඉදිරිපත් කිරීමට යෝජිත විශාල ආයෝජන ප්‍රමාණය එක්සත් ජනපදයේ දේශපාලන, යුද උපාය මාර්ගයන්ට අනුවයි. ලංකාව 30 අවුරුද්දක් කරා යුදමය වාතාවරණයකට යාමට හේතුව ජේ.ආර් ජයවර්ධන මහතා එදා අනුගමනය කළ දීන ප්‍රතිපත්තියයි. ඉන්දියානු ගැතිභාවයක් සහිතව බිහිකළ සංවිධාන තුළින් මේවා පෝෂණය වුනා. බටහිර රටවල් සහ එක්සත් ජනපදය ප්‍රභාකරන්ගේ අවසානයක් බලාපොරොත්තු වුණේ නැහැ. අන්තිමේ දී අපේ වරාය චීනයට විකුණා දැම්මා මේ ආණ්ඩුව. ඒ නිසා මේ ගිවිසුම් රටට ඉතාම බරපතලයි.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති අජිත් පී. පෙරේරා මහතා - රටට අහිතකර, රට පාවා දෙන කිසිඳු ගිවිසුමකට අපේ රජය වැඩ කරන්නේ නැහැ. කරන්න දෙන්නෙත් නැහැ. ඉදිරියේ දී ප්‍රගතිශීලී නායකයෙක් බලයට පත්වෙනවා.

මේ මස 20 දා පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.

ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර සහ සන්ධ්‍යා කරුණාරත්න

No comments:

Post a Comment

Post Bottom Ad

Pages