මගෙන් තවත් වැඩ ගන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-08-15

මගෙන් තවත් වැඩ ගන්න

වර්ල්ඩ් අයිකන් උලෙළේ සම්මාන දිනූ සුගත් ජානක
අගෝස්තු 15, 2019

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ඝරසරප චිත්‍රපටයේ මං කරපු චරිතය මාව වෙනමම තලයකට ඔසවා තැබුවා. ක්ෂේත්‍රයේ අය බොහෝ දෙනෙක් කතා කරලා සුබ පැතුවා

කවුද මේ සුගත් ජානක කියන්නේ?

බොහොම අහිංසක නළුවෙක්.

දැන් කොච්චර කල් ද රඟපාන්න ඇවිල්ලා?

අවුරුදු විස්සක්.

මොකද ඒ කාලය ගැන කියන්න තියෙන්නේ?

ගඟක් වුණත් ගලාගෙන යනකොට බාධක කරදර එනවනෙ. මගේ රංගන ජීවිතෙත් එහෙම තමයි. විවිධ චරිත ලැබුණා. රඟපෑවා. ජනප්‍රියත්වය වින්දා.

තවම කොල්ලට නේද රඟපාන්නේ?

රඟපාන්න ඇවිල්ලා අවුරුදු විස්සක් වුණත් තවමත් කොල්ලා විදිහට රඟපානවා. වැඩිපුර ලැබෙන්නෙත් ඒවගේ චරිත තමයි. ඒවාට අමතරව ඩොක්ටර්ලගෙ චරිත පොලිස් නිලධාරීන්ගේ චරිතත් කෙරුවා.

ඔබව වඩාත් ජනපි‍්‍රය කළේ?

හිතට වහල්වීමි නාට්‍යයේ ආකාෂ්ව මිනිස්සුන්ට හොඳට මතකයි. ගැහැනු ළමයි පියසේනත් ඒ වගේ.

සුගත් රඟපෑ ටෙලි නාට්‍ය කිහිපයක් මතක් කළොත්?

සබඳ බබානිස්, කාව්‍යා, මිලා, බ්ලැක්මේල් වගේ නම් වශයෙන් ගත්තොත් ගොඩක් තියෙනවා.

ඔබ කළ චරිතවලින් ඔබව මිනිස්සු මැන තිබෙනවාද?

වාසනාවට එහෙම වෙලා නැහැ. කොපමණ චරිත කළත් මිනිස්සු ආදරේ සුගත් ජානක කියන කෙනාට. පුද්ගලික ඔවුන් මාව හඳුනා ගන්නේ එහෙම, දෙවනුව කරපු චරිත ගැන කතා කරනවා.

රඟපෑම වෙනුවෙන් ඔබට ඉන්දියාවෙන් සම්මානයක් ලැබුණා නේද? ඒ ගැනත් විස්තර කියමු?

වර්ල්ඩ් අයිකන් කියලා සම්මාන උලෙළක් වාර්ෂිකව තියෙනවා. ඒක එක එක රටවල්වල පැවැත්වෙන සම්මාන උලෙළක්. මෙදා සැරේ ලංකාවේ තිබුණේ. ඒකෙදි මට විශේෂ ඇගයීම් සම්මානයක් ලැබුණා. වසර විස්සක් පුරා කරපු රංගනය උදෙසායි එහෙම සම්මාන ලැබුවේ.

ලංකාවේ සම්මාන උලෙළයන්හිදී ඔබ සම්මානිත වෙලා නැහැ?

සම්මාන කෙසේ වෙතත් මට ආරාධනා පත්‍රයක්වත් ලැබෙන්නේ නැහැනේ. ඒවායින් අපව අමතක කරලා. මොඩ්ලිං කරන අය සිනමා සම්මාන උලෙළවල් බලන්න ඇවිත් ඉන්නවා. අපි නැහැ. ඒවා ගැන හිතේ කනගාටුවක් තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි මං. හැබැයි මේ යන විදිහ හොඳ නැහැ.

ඔබ ගායකයකු හැටියටත් කටයුතු කරනවා?

ඔව්. ප්‍රසංග වේදිකාවට එක් වුණේ බොහොම කාලෙකට කලින්. දිගින් දිගටම ආරාධනා ලැබුණා සිංදු කියන්න. පසුගිය කාලේ නම් ප්‍රසංග තිබුණේ නැති තරම්. ඔය ත්‍රස්තවාදී කලබල නිසා.

ඔබ ගීතයකුත් නිර්මාණය කළා නේද?

ඒකෙ නම ඔබ මගේ වෙලා. මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. අනූෂා දමයන්ති තමයි මාත් එක්ක එහි රඟපෑවේ.

ඔබට හිතෙන විදිහට ඔබ කැපී පෙනෙන චරිතයක් කළේ?

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ ඝරසරප චිත්‍රපටයේ මං කරපු චරිතය මාව වෙනමම තලයකට ඔසවා තැබුවා. ක්ෂේත්‍රයේ අය බොහෝ දෙනෙක් කතා කරලා සුබ පැතුවා. මා හිතන්නේ ආව චිත්‍රපටවලින් මං දැනට කරපු හොඳම චරිතය ඒක.

ඔබ රඟපෑ චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා නේ?

මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ශ්‍රී වික්‍රම, සුරංග ද අල්විස්ගේ කිඩ්නැප්, බර්මින් ලයිිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරපු අග පිපි මල් එන්න තියෙනවා. ශ්‍රී වික්‍රම එකේ මං පළිපාන කියලා චරිතයක් කරන්නේ. ඒක ඓතිහාසික චරිතයක්. මං හිතනවා පළිපානත් මිනිස්සුන්ට මතක හිටින චරිතයක් වේවි කියලා.

ඔබට නිතරම උප චරිත ලැබෙන්නේ ඇයි?

මම දන්නේ නැහැ ඇයි කියලා. හේතුවක් හොයනවාට වඩ පාඩුවේ ඉන්න එක හොඳයි කියලා හිතෙනවා. අපි වෘත්තීය කලාකරුවොනෙ. ඇතැම් විට ලැබෙන චරිත කරන්නට වෙනවා. නමුත් මගේ අගය අඩු කර ගන්නේ නැහැ. හැබැයි විශ්වාස කරනවා මට තව රඟපාන්න පුළුවන්. මීටත් වඩා පරාසයකට යන්න පුළුවන්. ඒත් කෝ චරිත ලැබෙන්නේ නැහැනෙ. තවම මගෙන් වැඩක් අරගෙන නැහැ. අධ්‍යක්ෂවරුන්ගෙන් මං සුහදව ඉල්ලන්නේ මගෙන් වැඩක් ගන්න කියලා.

දිගටම කලාවේ පමණක් නියැළෙන්නද කල්පනාව?

ඔව්. ජීවිත කාලයටම මං රඟපානවා. එක අතකින් තෘප්තිමත් මේ රංගනය කියන විෂයයේ ඇලී ගැලී සිටීම. හැමෝටම නළුවො වෙන්නත් බැහැනෙ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages