ක්‍රිකට් ලොව උඩු-යටි­කුරු කළ ‘යෝකර් කිං - ස්ලිංගා’ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-14

ක්‍රිකට් ලොව උඩු-යටි­කුරු කළ ‘යෝකර් කිං - ස්ලිංගා’

14 සැප්තැම්බර්, 2019

පාට කළ හිසකේ වදුල නිසා අන්ත­ර්ජා­තික විචා­ර­කයෝ ඔහුට ‘සිංහ රජු’ (Lion King) කියා ආම­න්ත්‍ර­ණය කරති. ඔහු තරම් නිවැ­රැ­දිව, මනා පාල­න­ය­කින් යුතුව යෝකර් පන්දු යැවී­මට හප­නකු මෙතෙක් බිහිව නැත. එනි­සාම ‘යෝකර් කිං’ (Yorker King) යනුද ඔහුට අන්වර්ථ නාම­යකි. කෙසේ කීවත් සිය ක්‍රිකට් දිවියේ සැඳෑ­ස­මය ගත කර­මින් සිටින මේ විශිෂ්ට පන්දු යවන්නා අවු­රුදු 36දීත් ලෝක පූජිත පිති­ක­රු­වන් දණ ගැස්වී­මට සමත්ව ඇත්තේ පුදු­මා­කාර ලෙස­ටය. වසර 12කට පසු­වත් තමාට පිට පිට පන්දු 4කදී පිති­ක­රු­වන් 4 දෙන­කුම එක්ව­රම ක්‍රීඩා­ගා­ර­යට හරවා යැවී­මට තරම් හැකි­යා­වක් ඇති බව මාලිංග නැවත වතා­වක් පෙන්නුම් කර ඇත. ඉතා විරල ඉරි­ය­වු­වක් සහිත පන්දු යැවීමේ ලීලා­ව­කින් ක්‍රිකට් පිටිය අමා­න­න්ද­යට පත් කර­මින් ලසිත් මාලිංග තව­මත් කියා පාන්නේ ලෝක ක්‍රිකට් පිටියේ වේග පන්දු යව­න්නන් අතර තමා සුවි­ශේෂ චරි­ත­යක් බව නොවේද? ලසිත් මාලිංග ක්‍රීඩා ඉති­හා­සයේ තැබූ සල­කුණු පිළි­බඳ මත­ක­යන් බිඳක් මේ ලිපි­යෙන් පෙළ ගස්වනු ලැබේ.

1996දී ලෝක කුස­ලාන ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාව රැගෙන ඒම සඳහා එවැනි විස්කම් රැසක්ම සිදු කිරී­මට අර්ජුන රණ­තුංග ප්‍රමුඛ එවක ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට හැකි විය. ප්‍රථම පන්දු වාර ‍3-4 ඇතු­ළත ලකුණු 50ක් රැස් කිරී­මට හැකි එකම කණ්ඩා­යම වූයේ ශ්‍රී ලංකා පිලයි. ආර­ම්භක පිති­කරු යුවළ ලෙස පිටි­යට පැමිණි සනත් ජය­සූ­රිය - රොමේෂ් කළු­වි­තා­රණ සුසං­යෝ­ගය එක්දින ක්‍රිකට් පිටිය උඩු-යටි­කුරු කර-ලූයේ ‘මාස්ටර් බ්ලාස්ටර්’ සහ ‘ලිට්ල් කළූ’ යන විශේ­ෂිත නම් දෙකක් ක්‍රිකට් විස්තර විචා­ර­ක­යන් මුව­ගට නංව­මිනි.

එලෙ­සම මුත්ත­යියා මුර­ලි­ද­රන් දඟ­පන්දු යව­න්නන්ගේ අස­ම­සම ක්‍රීඩ­කයා බව­ටද පත්වූයේ ටෙස්ට් කඩුලු 800ක් බිඳ හෙළ­මිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‍ඩා­යම කණ්ඩා­ය­මක් වශ­යෙන්ද ලෝක වාර්තා රැස­ක­ටම හිමි­කම් කියයි. මෑත­කා­ලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංර­ක්ෂණ දෙකක් බවට ලෝකය පුරා ප්‍රසිද්ධ වූ මහේල ජය­ව­ර්ධන සහ කුමාර් සංග­ක්කාර දෙප­ළද ලෝක ක්‍රිකට් වාර්තා අතර සිය නම සට­හන් කර­ගත් ක්‍රීඩ­ක­යෝය. පිති­ක­ර­ණ­යට නව සොයා­ගැ­නී­මක් එක් කළ ක්‍රීඩ­ක­යකු බවට ටී.එම්. ඩිල්ෂාන් පත් විය. ඔහු­ටම ආවේ­ණික පහ­රක් වූ ‘ඩිල්ස්කූප්’ නමැති පහර වර්ත­මා­නයේ බොහෝ ක්‍රීඩ­ක­යන් අනු­ක­ර­ණය කර­න්නකි.

ඉන් පසු මෙර­ටින් බිහි වන්නේ ලෝක­යේම දැඩි අව­ධා­නය දිනා­ගන්නා පන්දු යවන විලා­ස­යකි. ලසිත් මාලිංග විසින්ම නිර්මා­ණය කරන ලද ‘සිල්ංගා’ පන්දුව අද ක්‍රිකට් ලෝකය වෙනත්ම මාව­ත­කට හැර­වී­මට සමත් වී තිබේ. එලෙස යෝකර් පන්දු­ව­කට සමාන පන්දු­වක් එල්ල කරන ලසිත් ඕනෑම අව­ස්ථා­වක යෝකර් පන්දු 3-4ක් යැවී­ම­ටද දක්ෂ­තාව දක්වයි. මෙලෙස පන්දු යැවූ කිසිදු ක්‍රීඩ­ක­යකු ක්‍රිකට් ඉති­හා­සයේ පහළ වී නැති අතර, වර්ත­මාන ක්‍රිකට් ලෝක­යේද සිටින්නේ ලසිත් මාලිං­ගම පම­ණක් වීම විශේ­ෂ­ත්ව­යකි.

එවන් දු­ර්ලභ ක්‍රීඩ­ක­යකු වූ මාලිංග ඉකුත් සතියේ අව­සන් වූ නව­සී­ලන්ත - ශ්‍රී ලංකා තර­ගා­ව­ලි­යේ­දීද සුවි­ශේෂ ලෝක වාර්තා කිහි­ප­ය­ක­ටම එක­වර වග­කී­වේය. ඔහුගේ නම ඉදි­රියේ ඇති මේ ලෝක වාර්තා බොහෝ කාල­යක් යන තුරු කිසි­ව­කුට බිඳ හෙළනු හැකි වෙතැයි සිතිය නොහැ­කිය.

ශ්‍රී ලංකා - නව­සී­ලන්ත අව­සන් ‘ටී-20’ ක්‍රිකට් තර­ගය නුවර පල්ලෙ­කැලේ අන්ත­ර්ජා­තික ක්‍රිකට් ක්‍රීඩා පිටි­යේදී ඉකුත් සෙන­සු­රාදා (6) පැවැ­ත්විණි. මේ තර­ගයේ නාය­ක­ත්ව­යද හිමිව තිබුණේ ලසිත් මාලිං­ග­ටය. විස්සයි විස්ස තර­ග­යක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම මෑත කාල­යේදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 125 කිසි­සේත්ම නව­සී­ලන්ත පිති­ක­රු­වන් පර­දවා-ලීමට සෑහෙන ලකුණු ප්‍රමා­ණ­යක් නොවීය. එහෙත් තර­ගය උඩු-යටි­කුරු කර­මින් ලසිත් මාලිංග තමා යැවූ පන්දු හත­රක් තුළ ලෝක වාර්තා තුනක් තබ­මින් මේ තර­ගය තමාගේ තර­ග­යක් බවට පත් කර­ගැ­නී­මට සමත් විය. පන්දු 120ක් තුළ ලකුණු 125ක් තරම් අති­ශය පහසු ඉල­ක්ක­යක් හඹා ගිය නව­සී­ලන්ත පිති­කරු බළ­ඇ­ණිය පන්දු 96කදී ලකුණු 88කට ක්‍රීඩා­ගා­ර­යට හරවා යැවී­මට මාලිං­ගට හැකි විය. තමා යැවූ දෙවන පන්දු වාර­යේදී පිට පිටම කඩුලු 4ක් දවා ගැනී­මට ලසිත් මාලිං­ගට හැකි විණි.

අන්ත­ර්ජා­තික ක්‍රිකට් ක්‍රීඩා­පි­ටියේ 5 වන වතා­ව­ටත් කඩුලු ත්‍රිත්ව­යක් හිමි කර­ගත් ක්‍රීඩ­කයා බවට පත් වීමට මේ තර­ග­යේදී ඔහුට හැකි විය. මෙය ඔහු පන්දු 4කදී පිට පිට කඩුලු 4ක් දවා­ගත් දෙවන අව­ස්ථා­වය.

මෙතෙක් ලෝකයේ විස්සයි විස්ස ක්‍රිකට් තර­ග­ව­ලදී වැඩිම කඩුලු දවා­ගත් පන්දු යවන්නා වශ­යෙන් පත්වී­ම­ටද මාලිං­ගට මෙම තර­ග­යේදී හැකි විය. මේ දක්වා ඒ වාර්තා­වට හිමි­කම් කීවේ පාකි­ස්තාන ජාතික සයිඩ් අෆ්රි­ඩිය (කඩුලු 98). වාර්තා­ගත මේ තර­ගයේ (පන්දු 24කදී ලකුණු 6ක් පම­ණක් දී දවා­ගත්) කඩුලු 5ත් සමඟ මාලිංග කඩුලු 104ක් හිමි කර­ගෙන තිබේ.

ත්‍රිත්ව කඩුලු වාර්තා පහ

2007 දී දකුණු අප්‍රි­කා­වට එරෙ­හිව එක්දින ක්‍රිකට් තර­ග­ය­කදී ලසිත් පළමු වරට කඩුලු 4ක් පිට පිට ලබා ගැනී­මට සමත් විය. මෙතෙක් ඒ ලෝක වාර්තාව අන් කිසිදු ක්‍රීඩ­ක­ය­කුට බිඳ­හෙ­ළිය නොහැකි වූ අතර ඔහුම වසර 12කට පසුව තමා­ගේම වාර්තාව සම කිරීම සුවි­ශේෂ අව­ස්ථා­වකි.

2011 වස­රේදී කෙන්යා­වට එරෙ­හිව කොළ­ඹදී පැවති තර­ග­ය­කදී ලසිත් කඩුලු ත්‍රිත්ව­යක් ලබා­ගත් අතර එය ලෝක කුස­ලාන තර­ග­යක ලසිත් දවා­ගත් ප්‍රථම කඩුලු ත්‍රිත්වය බවට පත් විය.

ඒ වස­රේ­දීම නැවත වතා­වක් ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව ශ්‍රී ලංකා­වේදී තරග වැදුණු එක්දින ක්‍රිකට් තර­ග­යේදී ලසිත් කඩුලු ත්‍රිත්ව­යක් දවා­ගත් අතර, 2017දී බංග්ලා­දේ­ශය සමඟ කොළ­ඹදී පැවති තර­ග­ය­කදී කඩුලු ත්‍රිත්ව­යක් ලබා ගැනී­මට සමත් විය. ඒ තර­ගය විස්සයි විස්ස අන්ත­ර්ජා­තික තර­ග­ය­කදී ලසිත් කඩුලු ත්‍රිත්ව­යක් ලබා­ගත් ප්‍රථම අව­ස්ථා­වයි.

නව­සී­ල­න්ත­යට එරෙ­හිව ඉකුත් සතියේ පල්ලේ­කැලේ ක්‍රීඩාං­ග­ණ­යේදී ලසිත් පස්වන වතා­ව­ටත් කඩුලු ත්‍රිත්ව­යක් ලබා­ගත් අතර, ඒ පන්දු වාරයේ සිවු­වන පන්දු­වෙන්ද කඩු­ල්ලක් ලබා­ගැ­නී­මත් සමඟ පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවා­ගත් දෙවන අව­ස්ථාව ඔහු විසින්ම සිදු කිරීම කැපී පෙනෙන වාර්තා­වකි.

ලසිත් මෙලෙස කඩුලු ත්‍රිත්වය ලබා­ගන්නා සෑම අව­ස්ථා­ව­ක­දීම ඔහුගේ ගොදුර බවට පත්වන පිති­ක­රු­වන් ලෝක පූජිත පිති­ක­රු­වන් මෙන් ම දක්ෂ පිති­ක­රු­වන් වීම ලසිත්ගේ පන්දුව කොත­රම් බිහි­සු­ණුද යන්න මනා­වට කියා­පායි.‍ ශෝන් පොලොක්, ජැක් කලිස්, රොස් ටේලර් වැනි පිති­ක­රු­වන් මෙහිදී එලෙස දැවී ගිය පිති­ක­රු­ව­න්ගෙන් කිහිප දෙනෙකි.

අන්ත­ර්ජා­තික පිටි­යෙන් මෙපිට වාර්තා

අන්ත­ර්ජා­තික තර­ග­ව­ලට අම­ත­රව ක්‍රීඩා සමාජ අතර තර­ග­ව­ලදී ලසිත් දක්ෂ ලෙස පන්දු යවා ඇති අවස්ථා රැසක් ඔහුගේ ක්‍රීඩා වාර්තා අවුස්සා බලන කල අපට හමු වෙයි. එහිදී කඩුලු හතක් ලබා­ගත් විස්සයි විස්ස තර­ගද මේ අතර වීම විශේ­ෂ­ත්ව­යකි.

විස්සයි විස්ස ක්‍රිකට් තර­ගා­වලි අතර ප්‍රබ­ලම තර­ගා­ව­ලි­යක් වන ඉන්දීය ප්‍රිමි­ය­ර්ලීග් තර­ගා­ව­ලියේ (අයි­පී­එල්) 2019 අව­සන් මහා තර­ගයේ ජය­ග්‍ර­හ­ණය ලසිත්ගේ පන්දු­වක් මත තීර­ණය විය. මුම්බායි ඉන්දි­යන් සහ චෙන්නායි සුපර් කිං කණ්ඩා­යම් අතර පැවති මේ තර­ග­යේදී ලසිත් නියෝ­ජ­නය කළ මුම්බායි කණ්ඩා­ය­මට එරෙ­හිව ජය අත් කර­ගැ­නී­මට ප්‍රති­වාදී පිලට අව­ශ්‍යව තිබු‍ණේ අව­සන් පන්දු­වේදී ලකුණු දෙකක් පමණි. එහෙත් හෙණ පහ­රක් වන්ව එල්ල වූ ලසිත්ගේ යෝකර් පන්දු­වෙන් පිති­ක­රුගේ කඩුල්ල සුනු­වි­සුනු වී ගියේ මුම්බායි කණ්ඩා­ය­මට කුස­ලා­නය අත්ප­ත්කර දෙමිනි.

ගාල්ල රත්ගම ප්‍රදේ­ශයේ උපත ලැබූ ලසිත් මාලිංග විද්‍යා­ලෝක විද්‍යා­ල­යේදී සහ මහින්ද විද්‍යා­ල­යේදී අධ්‍යා­ප­නය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා­වද හැදෑ­රීය. මේ වන විට ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් පිටි­යට සමු දී සිටින ලසිත් මාලිංග තව­මත් පසු වනුයේ 36 හැවි­රිදි වියෙ­හිය. ටෙස්ට් තර­ග­ව­ලින් සමු­ගන්නා විට ඔහු ටෙස්ට් තරග 30කදී කඩුලු 101ක් දවා ගැනී­මට සමත්ව සිටි අතර, එක්දින තරග 226කදී කඩුලු 33ක්8 හිමි කර­ගෙන තිබේ. විස්සයි විස්ස තරග 76කදී කඩුලු 104ක් ලබා­ගැ­නී­ම­ටද ලසිත් සමත් වූ අතර, අවස්ථා කිහි­ප­ය­ක­දීම පිති­කරු භූමි­කාවේ යෙදෙ­මින්ද ශ්‍රී ලංකා කණ්ඩා­යමේ ජය­ග්‍ර­හ­ණ­යට සිය දාය­ක­ත්වය දක්වා තිබේ.

මෙවන් සුවි­ශේෂ දක්ෂතා රැස­කින් පිරි­පුන් මේ ක්‍රිකට් ක්‍රීඩ­කයා කාගේ හෝ වර­දින් වස­ර­කට වැඩි කාල­යක් ජාතික ක්‍රිකට් කණ්ඩා­ය­මෙන් ඉවත් කර තිබූ අතර, රටේ වාස­නා­වට ඔහු යළි කණ්ඩා­ය­මට කැඳ­වීම නිසා ලෝක වාර්තා තුනක් බිහි කිරී­මට ඔහුට හැකි විය. කණ්ඩා­ය­මට ඉතා සුදුසු පුද්ග­ල­යකු වූ තමන් කණ්ඩා­ය­මෙන් ඉවත් කිරී­මට පිය­වර ගත් සියලු බල­ධා­රීන්ට යෝකර් පන්දු­ව­කින්ම පිළි­තුර දීමට ලසිත් මාලිංග නම් ඒ සුවි­ශේෂී ක්‍රීඩ­ක­යාට හැකි විය.

අසීරු මොහො­තක ලසිත්ගේ ආද­ර්ශය

විස්සයි විස්ස කණ්ඩා­යමේ නාය­කයා වශ­යෙන් තම උප­රිම කැප­වීම කණ්ඩා­ය­මට දැක්වූ ලසිත් මාලිංග වස­ර­කට පසු ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට විස්සයි විස්ස තර­ග­යක ජය­ග්‍ර­හ­ණය අත් කර­දී­ම­ටද නාය­ක­ත්වය දීම සුවි­ශේෂ අව­ස්ථා­වක් ලෙස හඳු­න්වා­දිය හැකි ය.

“ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට ක්‍රීඩා කරන හැම අව­ස්ථා­ව­ක­දීම මා උත්සාහ කරන්නේ මට හැකි උප­රිම දේ සිදු කිරී­මයි. මා මේ දැක්ව‍ූයේ එක් දක්ෂ­තා­වක් පම­ණයි. දැන් ඒ දේ කරලා ඉව­රයි. හෙට මගේ පන්දු­ව­ලට ලකුණු ගොඩක් ලබා­ග­ත්තොත් මම ලබා­ගන්න කඩුලු හතර ගැන කිය­වෙන්නේ නැතැ” යි ලසිත් මාලිංග පැව­සීය‍. ලසිත් තම දක්ෂ­තාව සහ ක්‍රිකට් පිළි­බඳ මෙසේද කීය:

“මගේ ක්‍රිකට් ක්‍රීඩාවේ අව­සන් කාලය මේ ගෙවී යන්නේ. ඒ අව­සන් තර­ග­යේදී කඩුලු හත­රක් ලබා­ගැ­නීම පිළි­බඳ මම ගොඩක් සතුටු වෙනවා. අපේ කුඩා ක්‍රීඩ­ක­යන්ට හොඳ ආද­ර්ශ­යක් දෙන්න මේ තුළින් මට හැකි වුණා. අප තර­ගා­ව­ලිය පරා­ජය වුණත් අව­සන් පන්දු­වා­රය දක්වාම තර­ගය අර­ගෙන ගියා. මගේ විස්සයි විස්ස කණ්ඩා­යමේ සිටින්නේ අත්දැ­කීම් අඩු ක්‍රීඩ­ක­යන්. නව­සී­ල­න්තය කියන්නේ අත්දැ­කීම් තියෙන, ලීග් තරග ක්‍රීඩා කරන කණ්ඩා­ය­මක්. එවැනි කණ්ඩා­ය­මක් සමඟ අප කරට කර ක්‍රීඩා කළා. 2020 වෙන කොට අපට හොඳ කණ්ඩා­ය­මක් හදා­ගන්න පුළු­වන්.

“අප ක්‍රිකට් ක්‍රීඩා කරන්න මොන තරම් කැප වෙන­වාද, මොන තරම් මහන්සි වෙන­වාද යන්න පිළි­බඳ අද බුද්ධි­මත් ප්‍රේක්ෂ­ක­යන් දන්නවා. ඔවුන් ඉතා බුද්ධි­මත් ලෙස තරග නර­ඹ­නවා. බාහිර බල­පෑම් සහ බොරු පණි­විඩ පිළි­බඳ ඔවුන් හොඳින් දන්නවා.

“ළාබාල ක්‍රීඩ­ක­යන් ක්‍රීඩා කරන කොට එක ජය­ග්‍ර­හ­ණ­යත් වැද­ගත්. එත­කොට තමයි ළාබාල ක්‍රීඩ­ක­යන්ට ජය­ග්‍ර­හ­ණයේ වටි­නා­කම දැනෙන්නේ. ප්‍රේක්ෂ­ක­යන් ඉදි­රි­යේදී මෙය ඉතා හොඳින්ම දැනෙ­නවා.”

අව­සන් වරට ක්‍රීඩා කර ලෝක වාර්තා තුනක් බිහි කළ තර­ගය පිළි­බඳ මාලිංග දැරූ ඒ අද­හස් ඕනෑම ක්‍රීඩා­වක නියැ­ළෙන ක්‍රීඩ­ක­ය­කුට ඉතා වැද­ගත් බව පෙන්වා ‍දිය හැකිය. ලසිත්ගේ එඩි­තර බව, ඕනෑම අව­දා­න­මක් ක්‍රීඩ­ක­යකු ගත යුතු බව මෙන්ම අධි­ෂ්ඨා­නය පිළි­බ­ඳ­වද ඔහු ආද­ර්ශ­යකි.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages