වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය රන්ජන්ගේ සිට හසිත දක්වා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-14

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය රන්ජන්ගේ සිට හසිත දක්වා

14 සැප්තැම්බර්, 2019

සිහිලැල් නේත්‍ර අ‍බේකෝන්, ප්‍රශාන්ත ඇල්පිටිය

ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් මුදල් මතම දිවයන නිසා මෙයින් ක්‍රීඩාව වගේම විනය ගරුකභාවය, මනුෂ්‍යත්වය වැනි උතුම් ගුණාංග ආරක්ෂා වෙන්න ඕනෑ. ඒ නිසා ම‍ා යෝජනා කරනවා ඊළඟ සම්මාන උලෙළේ ඉඳලා හොඳම විනය ගරුක පාසල් ක්‍රිකට් කණ්ඩායම තෝරා එයටත් සම්මානයක් පිරිනැමීම වැදගත් කියලා.

 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රන්ජන් මඩුගල්ලේ මෙකී යෝජනාව ගෙන එන්නේ 30 වැනි ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස 2008 එකී උලෙළට එක්වෙමින්ය. එකී යෝජනාව මල්ඵල ගන්වමින් 2009 දී එනම් 31 වැනි ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උලෙළේ දී කොළඹ නාලන්ද විද්‍යාලය හා පුරා කියා මෙකී සම්මානයට හිමිකම් කීවේය. රන්ජන් මඩුගල්ලේ මෙකි සම්මාන උලෙළේ සුවිශේෂි තරුව වන්නේ, පළමු සන්ඩේ ඔබ්සර්වර් සම්මාන උලෙළේ වසරේ ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙමින්ය.

 

රන්ජන් මඩුගල්ලේ දැනට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 189, එක්දින තරග 359 ක සහ විස්සයි 20 තරග 99ක තරග තීරක වරයා ලෙස සමස්ත තරග 647 ක කටයුතු කරමින් නොමැකෙන සටහනක් ද අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයට එක් කර තිබේ. සිය අන්තර්ජාතික ක්‍රිකට් දිවියට විසිනවවන වියේදී සමු දුන් රන්ජන් ලාංකේය ටෙස්ට් වංශ කතාවේ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී අගනා අර්ධ ශතකයක් ද රැස් කර ගැනීමට සමත්වීය. 1988 දී හතර වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ රන්ජන් එක්දින නායකයන් අතර පස් වැනියා වෙමින් තරග 13කදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙරටු කරගෙන පිටියට පිවිස තිබේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය ක්‍රිකට් දිවිය පෝෂණය කරගත් රන්ජන් රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් පළමු ඔබ්සර්වර් ක්‍රිකට් ක්‍රීඩකයා කිරුළ හිමිකර ගැනීමට සමත්විය.

 

96 ලෝක ශූරයෝ

 

1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ගනිද්දී එකි කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, කුමාර් ධර්මසේන සහ මුත්තයියා මුරලිදරන් මෙකී සම්මාන උලෙළේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස සම්මානය දිනා ගෙන තිබීම විශේෂත්වයකි.

 

අර්ජුන රණතුංග 1980 සහ 82 දී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මෙකී සම්මානය දිනා ගෙන තිබේ. ආනන්ද විද්‍යාලය නියෝජනය කරද්දීම ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගයට එක් වූ අර්ජුන රණතුංග පළමු අර්ධ ශතකලාභියා ලෙස ද ඉතිහාසගතය. ටෙස්ට් තරග 93ක් සහ එක්දින තරග 269ක් ක්‍රීඩා කර තිබේ. ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ හයවැනි ටෙස්ට් සහ එක්දින නායකයා ලෙස කටයුතු කර ඇති අර්ජුන රණතුංග ටෙස්ට් තරග 56 ක සහ එක්දින තරග 193ක නායකත්වය දරා තිබේ. එමෙන්ම ටෙස්ට් සහ එක්දින වැඩිම තරගවල නායකත්වය දැරූ ලාංකීය ක්‍රීඩකයා වන්නේ ද අර්ජුන රණතුංගයි. අර්ජුන 1999 දී විස්ඩන් ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර වී තිබේ.

 

රොෂාන් මහානාම

 

නාලන්ද විද්‍යාලයේ රොෂාන් මහානාම අඛණ්ඩව වසරේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේ 1983 – 84 දීය. මෙකි සම්මානය අඛණ්ඩව වසර දෙකක් දිනාගත් පළමු ක්‍රීඩකයා වන්නේද රොෂාන් මහානාමයි. මහානාම මේ පිළිබඳ සිය වේදනාත්මක සමු ගැනීමේ කෘතියේ එක් තැනක මෙසේ සටහනක් තබා ඇත.

 

එම ක්‍රීඩා වාරය (1983) තුළදී සියලුම ඉහළ පෙලේ පාසල්වලට එරෙහිව ලකුණු රැස් කිරීමට සමත් වූයෙමි. ශාන්ත අන්තෝනි 100, ශාන්ත තෝමස් 80, ශාන්ත පීතර 62, ශාන්ත ජෝශප් සමඟ තරගයේ ලකුණු 82න් 50 ක්ද විය. ක්‍රීඩා තරග වාරය තුළ පිත්තෙන් දැක් වු දස්කම් මෙන්ම පන්දු රැකිමේ දස්කම් නිසා ඔබ්සර්වර් පුවත්පත සංවිධානය කරන ලද සම්මාන උලෙළේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා, දක්ෂතම පන්දු රකින්නා ලෙස නම් කළේය. ඊළඟ වසරේද (1984) එම ශූරතා දිනා ගැනීම සුවිශේෂ ජයග්‍රහණයක් විය. ඊට අමතරව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ පාඨකයන්ගේ ඡන්දයෙන් ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා ලෙස ද තෝරාපත් කර ගත්තේය.

 

1997 අගෝස්තු 02-06 අතර ඛෙත්තාරාම පිටියේ පැවැති ඉන්දු - ලංකා ටෙස්ට් තරගයේදී දෙවැනි කඩුල්ලට මහානාම සහ සනත් ජයසුරිය ගොඩනැගු වාර්තාගත ලකුණු 576 ක සම්බන්ධතාව 2006 දී මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර දකුණු අප්‍රිකාවට එරෙහිව තෙවැනි කඩුල්ලට ගොඩනැගු ලකුණු 624ක සම්බන්ධතාවය තෙක්ම පැවැතුණි. රොෂාන් මහානාම (225) සනත් ජයසූරිය (340) දෙවැනි කඩුල්ලට ගොඩනැගු මේ සම්බන්ධතාව වසර 22කටත් අධික කාලයක් නොබිඳි පැවැතීම ද විශේෂත්වයකි. රොෂාන් කලක් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ තරග තීරකවරයකු ලෙසද කටයුතු කළේය. රොෂාන් මහානාම අඛණ්ඩව නාලන්ද විද්‍යාලට ගෙන ගිය වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය තෙවැනි වරටත් 1985 දී රැගෙන ගියේ අසංක ගුරුසිංහයි. අසංක ගුරුසිංහ 1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අගනා අර්ධ ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයේ සුවිශේෂ කොටස් කරුවකු විය.

 

ICC විනිසුරු

 

2012 දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සම්මාන උලෙළේ විශිෂ්ටම විනිසුරුවාගේ සම්මානයට පාත්‍ර වූ කුමාර් ධර්මසේන 1989 දී නාලන්ද විද්‍යාලය නියෝජනය කරමින් මේ සම්මානය දිනා ගත්තේය. තුන් ඉරියව්වෙන්ම දක්ෂයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ ධර්මසේන වර්තමානයේ විනිසුරුවකු ලෙස අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ කීර්තිමත් නාමයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ.

 

දැනට ටෙස්ට් තරග 61ක. එක්දින තරග 103ක සහ විස්සයි 20 තරග 22ක විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ. 2012 ට අමතර ව 2018 එනම් පසුගිය වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හොඳම විනිසුරු සම්මානය ද දිනා ගැනීමට සමත් වූයේ කුමාර් ධර්මසේනයි.

 

සොහොයුරෝ

 

අර්ජුන රණතුංග 1980 සහ 1982 දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ආනන්ද විද්‍යාලයට රැගෙන ගියාට පසු එකී සම්මානය නැවත වතාවක් ආනන්ද විද්‍යාලයට උරුම කර දුන්නේ සංජීව රණතුංගයි. සංජීව රණතුංග 1988දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේය. ඔබ්සර්වර් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන ඉතිහාසයේ සොයුරන් දෙදෙනකු මෙකි සම්මානයට හිමිකම් කියූ එකම සහ ප්‍රථම වතාවද මෙය වෙයි.

 

සිය පළමු ටෙස්ට් ඉනිම් හයේදී බිංදු පහක්ම සටහන් කරගත් මාවන් අතපන්තු සිය පළමු ටෙස්ට් ලකුණ වාර්තා කර ගත්තේ සිය හතරවැනි ඉනිමේදීය.

 

අර්ජුන - සංජීව, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ආනන්ද විද්‍යාලයට රැගෙන ගියාට පසු එකී සම්මානය නැවත වතාවක් ආනන්ද විද්‍යාලයට මාවන් රැගෙන ගියේ 1990දීය. අර්ජුන - සංජීව සහ මාවන් ඥාතින් වීමද විශේෂත්වයකි. බිංදුවෙන් පටන් ගත් මාවන් සිය ටෙස්ට් දිවිය නිමා කළේ ද්වි ශතක පහක් සමඟ ලකුණු 5502 ක් රැස් කරමින්ය. ශතක 16 කි. ටෙස්ට් තරග 16ක, එක්දින තරග 63කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබේ.

 

මුරලි

 

1990 දක්වා කොළඹට කේන්ද්‍රගත වූ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හා පුරා කියා කොළඹින් බැහැරට ගෙන ගියේ 1991 දී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ මුත්තයියා මුරලිදරන්ය. ටෙස්ට් සහ එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභියා වන මුරලි ක්‍රිකට් ලෝක ශූරයන් (1996), අනුශූරයන් (2007-11) ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ එකම ක්‍රීඩකයායි. එමෙන්ම වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගෙන ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරග තුනකට ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා වන්නේ ද මුරලියි.

 

අඛණ්ඩ ජයග්‍රහණ

 

ආනන්ද විද්‍යාලයේ තිලාන් සමරවීර 1994,1995 දී ශාන්ත පීතර විද්‍යාලයේ ලහිරු පීරිස් 2004 – 2005 දී, රාජකීය විද්‍යාලයේ භානුක රාජපක්ෂ 2010 -2011 දී රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක 2015- 2016 දී අඛණ්ඩව ඔබ්සර්වර් සම්මාන උලෙළේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දෙවතාව බැගින් දිනා ගෙන තිබේ.

සදීර සමරවික්‍රම (2015)
දකුණත් පිතිකරුවෙකි. කඩුලුත් රකියි. 2014 සිට අන්තර්ජාතිකව ක්‍රීඩා කරයි. ටෙස්ට් තරග 04 - ලකුණු 125 - උඩපන්දු 04 කි. එක්දින ජගත් තරග 06 - ලකුණු 132 - උඩපන්දු 01 කි. 20 - 20 තරග 06 - ලකුණු 85 - උඩපන්දු 03 - ස්ටම්ප් කිරීම් එකකි. 
රොෂාන් මහානාම (1983 / 84)
ඉතා විශිෂ්ට පන්දු රකින්නෙකි. දකුණත් පිතිකරුවෙකි. අන්තර්ජාතිකව 1986 - 99 අතර ක්‍රීඩා කළේය. ටෙස්ට් තරග 52 - ලකුණු 2576 - උඩපන්දු 56 - එක්දින ජගත් තරග 213 - ලකුණු 5162 - උඩපන්දු 109 කි. ඔහු 1994 එක්දින නායකත්වය දැරීය. 2004 - 15 අතර අයි.සී.සී. තරග තීරකවරයකු වශයෙන් කටයුතු කළේය. ඊට ටෙස්ට් තරග 61, එක්දින ජගත් තරග 222 සහ 20 - 20 තරග 35 කි.
 
නිරෝෂන් දික්වැල්ල (2012)
වමතින් පන්දුවට පහර දෙයි. කඩුලු රකින්නෙකි. ජගත් තරග වරම 2014 වසරේදීය. ටෙස්ට් තරග 33 - ලකුණු 1738 - උඩපන්දු 81 - ස්ටම්ප් කිරීම් 18 කි. එක්දින ජගත් තරග 52 - ලකුණු 1571 - උඩපන්දු 38 - ස්ටම්ප් කිරීම් 09 කි. 20 - 20 තරග 21 - ලකුණු 424 - උඩපන්දු 10කි.
මුත්තයියා මුරලිදරන් (1991)
ටෙස්ට් සහ එක්දින තරගවල වැඩි ම කඩුලු ගණනක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාවල වත්මන් හිමිකරුවාය. දකුණතින් පිට දඟ පන්දු යැවීය. දකුණත් පිතිකරුවෙකි. 1992 - 2011 අතර අන්තර්ජාතිකව ක්‍රීඩා කළේය. එහිදී ටෙස්ට් තරග 133 - ලකුණු 1261 - උඩපන්දු 72 - කඩුලු 800 කි. එක්දින ජගත් තරග 350 - ලකුණු 674 - උඩපන්දු 130 - කඩුලු 534 කි. 20 - 20 තරග 12 - ලකුණු 01 - උඩපන්දු 01 - කඩුලු 13කි. ඔහු 1999 විස්ඩන් වසරේ ක්‍රීඩකයෙකි.

මාවන් අතපත්තු (1990)
අලංකාර පිතිහරඹයක් සතුව තිබූ දකුණත් පිතිකරුවෙකි. පා දඟ පන්දු යැවීය. ජගත් තරග කාලය 1990 - 2007 අතරය. ටෙස්ට් තරග 90 - ලකුණු 5502 - උඩපන්දු 58 - කඩුලු 01කි. එක්දින ජගත් තරග 268 - ලකුණු 8529 - උඩපන්දු 70 කි. 20 - 20 තරග 02 - ලකුණු 05 කි. ඔහු 2002 - 06 අතර ශ්‍රී ලංකා නායකත්වය දැරීය.


 

තිලාන් සමරවීර (1994/95)
දකුණත් පිතිකරුවෙකි. දකුණතින් පිට දඟ පන්දු යැවීය. ජගත් තරග කාලය 1998 - 2013 දක්වාය. ටෙස්ට් තරග 81 - ලකුණු 5462 - උඩපන්දු 45 - කඩුලු 15 - එක්දින ජගත් තරග 53 - ලකුණු 862 - උඩපන්දු 17 - කඩුලු 11 කි.
කුමාර් ධර්මසේන (1989)
තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වූයේය. ඒ දකුණත් පිතිකරුවෙක් සහ දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් වශයෙනි. ඔහුගේ අන්තර්ජාතික තරග කාලය 1993 - 2004 අතරය. ටෙස්ට් තරග 31 - ලකුණු 868 - උඩපන්දු 14 - කඩුලු  69 කි. එක්දින ජගත් තරග 141 - ලකුණු 1222 - උඩපන්දු 34 - කඩුලු 138කි. ඔහු 2009 වසරේ සිට ජගත් ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසට කටයුතු කරයි. දැනට ටෙස්ට් තරග 61 - එක්දින තරග 103 සහ 20 - 20 තරග 22 කි.

 

 

 

 

 

 



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages