රජයේ සේවක වැටුප දෙගුණ කළත් තවත් ඉල්ලනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-30

රජයේ සේවක වැටුප දෙගුණ කළත් තවත් ඉල්ලනවා

වර්ජකයන් ඉල්ලන පඩි වැඩිවීම දීමෙන් ඉදිරියේ ආර්ථික කඩා වැටීමක් ඇති වෙනවා

සෑම රජයේ සේවකයකුගේම වැටුප 2015 වසරට සාපේක්ෂව දෙගුණ වී තිබියදී වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කිරීම කනගාටුවට කරුණක් බවත් මෙම ඉල්ලන වැටුප් වැඩිවීම ලබා දීම සඳහා ආණ්ඩුවට සෑම වසරකම බිලියන 115 ක අමතර වියදමක් දැරීමට සිදුවන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙම වැටුප් වැඩිවීම ලබා දුනහොත් මේ ආණ්ඩුව පමණක් නොව ඕනෑම ආණ්ඩුවක් ආර්ථික බර දරා ගැනීමට නොහැකිව කඩා වැටෙන බවද ඒ මහතා කීය.

මහනුවර බහුමාදිලි මගී ප්‍රවාහන පර්යන්තයේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඊයේ (26) ඇමැතිවරයා මේ බව පැවසුවේය. මෙම සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අමාත්‍යාංශය රුපියල් මිලියන 196 ක මුදලක් වැය කිරීමට නියමිතය.

කාර්යාල කාර්ය සහයකයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වාත් පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පති දක්වාත්, හමුදා සෙබළාගේ සිට හමුදාපති දක්වාත් මේ වැටුප් දෙගුණ වීම සිදුවූ බවත් එසේ සිදුව තිබියදී මෙලෙස වර්ජන රැල්ලක් දියත් කිරීම අසාධාරණ බවත් හෙතෙම අවධාරණය කළේය.

ගොඩ ගැසී ඇති ලක්ෂ 71/2 ක් පමණ වන නඩු සංඛ්‍යාව කඩිනමින් අවසන් කිරීම පිණිස නීතිපති දෙපාර්තුමේන්තුවට අලුතින් බඳවා ගත් නීතිඥයින් පිරිසකට විශේෂ දීමනාවක් ලබා දීමට යෝජනා වූ බවත් එය පදනම් කර ගනිමින් නීතිඥයින්ට දෙනවා නම් අපටත් දීමනා අවශ්‍යය බව කියමින් රාජ්‍යය පරිපාලන සේවාව, ගණකාධිකාරිවරු, වෛදවරු, ඉංජිනේරුවරු වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් කී ඒ මහතා මොවුන් මෙය සිදු කරන්නේ වැටුප් මදි නිසා හෝ ජීවන වියදම දරා ගැනීමට නොහැකිව නොවන බවද අවධාරණය කළේය.

මේ වැටුප් වැඩි කිරීම් සිදු කිරීමට අනිවාර්යයෙන්ම ජනතාවට බදු පැන වීමට සිදුවන බවත් බෝඩ් උස්සගෙන පිකටින් කරන අය මේ ගැනත් කල්පනා කර බැලිය යුතු බවත් ඒ මහතා කීය.

වැඩකරන ප්‍රමාණය අනුව දීමාන ලබාදීම කළ යුතු බවත් හැමෝටම එකලෙස දීමනා ප්‍රදානය කිරීමට තරම් ආර්ථිකය ශක්තිමත් නොමැති බවත් කී ඒ මහතා මිලට ගන්නා කිරිපිටි වලට, පාන් ගෙඩියට බදු ගැසීමෙන් පෙරළා එම මුදල් බර දැරීමට සිදුවන්නේ ජනතාවටම බවද පැවසුවේය.

නීතිපති දෙපාර්තුමේන්තුවේ නීතීඥයින්ට ලබාදුන් එම දීමනාවෙන් යුක්තිය ඉටු නොවුණු බවත් ඔවුන් කඩිනමින් නඩු විසඳීමට ක්‍රියා නොකළ බවත් කී ඇමැතිවරයා මේ සම්බන්ධවද රජය කල්පනා කර බැලිය යුතු තිබෙන බවද පැවසුවේය.

ඇවන්ගාඩ් රජයට පවරා ගැනීමෙන් දිනකට ලක්ෂ 80 ක පමණ මුදලක් නාවික හමුදාව උපයන බවත් එම මුදල් ඒකාබද්ධ අරමුදලකට අද බැරවෙන බවත් චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

එදා එක් පුද්ගලයෙකුගේ ගිණුමකට ගිය මේ මුදල් එක්තරා ප්‍රභූ පවුලක වියදම් සඳහා වැය කළ බවත් මෙම ආයතනය මගින් රජයට පාඩුවක් සිදු නොවුණු බව කවුරුන් හෝ කියන්නේ නම් 2015 සිට මේ දක්වා නාවික හමුදාව ලබා ඇති ආදායම ගණන් බලන ලෙස තමන් තමන් ඒ අයගෙන් ඉල්ලීමක කරන බවත් කී ඒ මහතා මෙය භයානක වංචාවක් බවද අවධාරණය කළේය.

මේ සිද්ධියට ආදාළව සිදුකළ පරීක්ෂණ මගින් රටේ අවි ආයුධ 5000 හමුවූ බවත් පතුරමක් අතේ තිබුණත් ගිනි අවි ආඥාපනත යටතේ හිරේ දැමිය හැකි වුවත් කිසිවෙකු මේ සිදුවීමේදී හිරේ නොගිය බවත් ඒ මහතා කීය.

හැමෝම දේශපාලනඥයින්ට ඇඟිල්ල දිගු කළත් නීතිපති දෙපාර්තුමේන්තුවේ ඇතැම් අය මෙන්ම පොලීසියේ ඇතැම් අයද මේ දූෂණයේ හවුල් කරුවෝ බවට පත්ව තිබෙන බවත් එවැනි අයට තරාතිරම නොබලා දඬුවම් කළ යුතු බවත් ඇමැතිවරයා පැවසුවේය.

ගෝඨාභය සතු හැකියාව හා නොහැකියාව ගැන දැනුමක් තමන්ට තිබෙන බවත් විදේශ පුරවැසියෙකු යටතේ ජීවත් වෙන්නත් සුදු වෑන් වල ගොස් අතුරුදන් වීමටත් මාධ්‍යය ආයතන ගිනි තියා ගන්නටත් ජනතාව අකැමැති බවත් ඒ මහතා පැවසුවේය. රාජ්‍යය ව්‍යාපාර සියල්ල ශ්‍රීලංකන් එයාර් ලයින්ස් මිහින් ලංකා එයාර් ලයින්ස් වගේ බංකොලොත් වීමෙන් ඒ සියලු බර ජනතාව මත පැටවෙනවාට ජනතාව බය යැයිද හෙතෙම කීය.

මෙම අවස්ථාවට එජාප පාතදුම්බර සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, ගලගෙදර සංවිධායක පද්මලාල්ද අල්විස්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන තුෂාර ස්වර්ණතිලක, හිදායිත් සක්තාර්, ලාෆීර් හාජියාර්, රජා උස්වැටකෙයියාව යන මහත්වරුද සහභාගි වූහ.

අසේල කුරුළුවංශ හා මධ්‍යම පළාත් සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages