නෙළුම්විල - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-14

නෙළුම්විල

14 සැප්තැම්බර්, 2019

පරණ ගෝලයා

ඔහු උන්නතිකාමී මිනිසුන් අතර සිටි තවත් එක් මිනිසෙක් විය. ඔහු ජීවිතය ඇරඹුවේ මේසන්බාස් උන්නැහැලාගේ අත්උදව්කරුවකු හැටියට ය. ඉක්මනින් ම බාස් වැඩේ ද අල්ලා ගැනීමට වාසනාව ලද ඔහු කෙමෙන් මේසන් වෘත්තියෙහි නිපුණයකු බවට පත් විය. වැඩි කල් යන්නට පෙර ඔහු ගේ තත්ත්වය තවත් ඉහළ ගියේ ය. ඒ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු හැටියට ය. ඔහු මේසන් බාස්ලා යොදවා වැඩ කරන්නට පටන් ගත්තේ ය.

ඒ අතර ම ඔහු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක් ද ඇරඹුවේ ය. තනි ව වැඩ කිරීම අමාරු බව දත් ඔහු තමා දන්නා කියන ගැටයකු කැඳවා ගත්තේ ය.

‘මල්ලි, උඹට පුළුවං නේද මාත් එක්ක හාඩ්වෙයාර් එකේ වැඩ කරන්ඩ? මං පඩි දෙන්නං’

‘හොඳයි බාසුන්නැහැ‘

ගෝලයා වැඩට හොඳ විය. එහෙත් ඔහු තමාට බාසුන්නැහැයි ඇමතීම ඔහු නොරිස්සුවේ ය. භාණ්ඩවල මිල අමතක වන රෝගයෙන් පෙළුණු ගෝලයා

‘බාසුන්නැහැ මේව කීයද?’

යැයි නිතර නිතර ඇසීමට පුරුදු ව සිටියේ ය. පාරිභෝගිකයන් ඉදිරියේ ගෝලයා මෙසේ තමන් ඇමතීම වත්මන් වෙළඳසල් හිමිකරුට අවමානයක් විය.

‘මෙහෙ වරෙං!’

ඔහු ගෝලයා කැඳ වූයේ ය.

‘ඇයි බාසුන්නැහැ’

ගෝලයා වහා ළඟට ආවේ ය.

‘යකෝ, මට බාසුන්නැහැ කියන්ඩ එපා! ඒක මොන ලැජ්ජාවක්ද?’

‘එහෙනං මක්කියන්ඩද කියන්නෙ?’

‘ඇයි දන්නෙම නැද්ද?’

‘නෑ’

‘සර් කියපං!’

ගෝලයා ගේ කට ඇරිණ. මුහුණ අවඥාසහගත සිනාවෙන් පිරී ගියේ ය.

‘මොකද උඹ හිනාවෙන්නෙ?’

‘නෑ සර් නිකං’

වැඩි කලක් නොසිටි ගෝලයා වෙනත් රැකියාවක් සොයා ගියේ ය. ටික කලකට පසු අතරමගදී දෙදෙනා අහම්බෙන් මුණ ගැසුණහ.

‘ආ බාසුන්නැහැ කොහොමද?’

පරණ ගෝලයා ගේ කටින් යළිත් ඒ වචනය එළියට පැන්නේ ය.

වෙළෙඳසල් හිමිකරු නොමනාපයෙන් යන්නට ගියේ ය. ගෝලයාට වැඩේ තේරුණේ සෑහෙන වෙලාවකට පසු ව ය.

 

හලාවත, එම්. ඩබ්ලිව්. අනුර ශාන්ත පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

*****************

මත්වීම

ගම් පෙදෙස පුරා පෝස්ටරයක් ඇලවී තිබිණ.

මත් විරෝධී සම්මනත්‍රණය!

ගම්මු එදෙස බලා තමතමන් ගේ වැඩකටයුතු සඳහා ගියහ. ඇතැම්හු ඒ පෝස්ටරයේ තිබූ එක්තරා වැකියක් දෙස වුවමනාවෙන් බලා සිටියහ.

සහභාගි වන සැමට මුදල් දීමනාවක්!

සම්මන්ත්‍රණය ඇරඹෙන වෙලාව ළං විය. බීමට ඇබ්බැහි වී සිටි සැමියෙක් ගෙයින් එළියට බැස්සේ බිරියට ඇසෙන්නට මෙසේ කියාගෙන ය.

‘මාත් අර සම්මන්ත්‍රණේ පැත්තට ගිහිං එන්නං’ ඔහු නොපෙනී යන තුරු බිරිය බලා සිටියේ පුදුමයෙනි.

‘ඔය සම්මන්ත්‍රණේ හින්දවත් මෙයා හැදුණොත් ලොකු දෙයක්’ ඈ සිතුවා ය.

ඉහළ ජන සහභාගිත්වයකින් සම්මන්ත්‍රණය ඇරඹිණ. මුල් දේශනය පැවැත් වූයේ වෛද්‍යවරයෙකි. බීමෙන් මොළයට හා ස්නායු පද්ධතියට සිදුවන හානිය ඔහු අගේට පහදා දුන්නේ ය. ඊළඟ දේශකයා බීමෙන් සිදුවන පවුල් අවුල් ගැන හරවත් කතාවක් කළේ එහි බරපතළකම වටහා දෙමිනි. පන්සලේ නා හිමියෝ ද හොඳ අනුශාසනාවක් කළහ. ඉන්පසු එළඹියේ මතට එරෙහි සංවිධානයක් මගින් සහභාගි වූවන්ට දීමනාව ලබා දෙන අවස්ථාව ය. ගම්මුන් ඒ සඳහා පොරකන අයුරු දිස් විය. සම්මන්ත්‍රණය අවසන් විය. කවුරුත් සතුටින් විසිර ගියහ. රාත්‍රි ආහාරය වේලාසන ම පිස නිම කළ අර ගැමි බිරිය සැමියා අලුත් මිනිසකු වී ගෙදර එන හැටි බලන්නට මිදුල දෙසට ආවා ය. සැඳෑ අඳුරේ සුපුරුදු පරිදි වැනෙමින් ආ සැමියා දුටු බිරිය කෝප වූවා ය.

‘බොන්ඩ කොහෙන්ද සල්ලි?’ ඇය ගිගිරුවා ය.

‘අතිං මිටිං ගියේ නෑ. සම්මන්ත්‍රණේන්ම හම්බඋණා’

ඔහු සුපුරුදු ගීයම ගයන්නට පටන් ගත්තේ ය.

පාදුක්කේ, අරුක්වත්තේ ඇල්. කුලරත්න මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.



from silumina sithmalyaya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages