ඔයා හැමදේම දකින්නෙ වෙනස් විදිහට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-14

ඔයා හැමදේම දකින්නෙ වෙනස් විදිහට

14 සැප්තැම්බර්, 2019

කාමරයට පිවිසෙන සුනන්දාද ලයාන්විත ගී හඬින් විමතියට පත් වෙයි.

“හානේ.. ඔයා රේඩියෝ එකක් ගෙනාවද?”

“ඉස්සෙල්ලම පඩියෙන් මම මටත් තෑග්ගක් ගන්න ඕනනේ..”

මාසික වැටුප ලත් දින අමාලි ගෙන ආ තෑගි බෝග අතර සාරි දෙකක් තිබිණ.

“පිස්සුද ළමයො මට සාරි දෙකක්ම අරං ආවෙ...?”

සුනන්දා විමතියද කෝපයද නොඅඩුව පළකළාය.

“එකක් ඔයාට. අනික අම්මට”

දියණියගෙන් ලද පළමු ත්‍යාගය දෑතින් ගත් සිරිමාන්නගේ මුහුණ අඳුරුව ගියේය. ඔහු වහා සිය කාමරයට වැදුණේය. සුනන්දා වචන සොයා තැතනුවාය.

“අමා...”

අමාලි ඇයට බාධා කළාය.

“ඔයා සුපුරුදු වචන සෙට් එක මට දැන් කටපාඩම් නිසා ආපහු කියන්න ඕන නෑ නැන්දේ... ඔයයි තාත්තයි කොහොම කිව්වත් මට හොඳටම විශ්වාසයි අම්මා කොහේ හරි ඉන්නවා කියලා.”

“ඉන්නවා නම් ඇයි ගෙදර එන්නෙ නැත්තෙ...? තමුන්ගෙ එකම දරුවා දාලා ඉන්න පුළුවන්ද අම්මෙකුට?”

අමාලිට යමක් කියන්නට ඉඩ නොදුන් සිරිමාන්න “නංගි” යි හඬ ගෑවේය. ඒ ස්වරයෙහි අණ හැඳිනගත් සුනන්දා නිහඬ වූවාය.

“ඔය ඇති. චම්පා ගැන කතා කරන්න එපා”

ඒ “නංගී” යන ආමන්ත්‍රණයෙහි සැඟව නමුදු තිරසාර ලෙස ඉස්මතු වූයේ ඒ නියෝගයයි.

සිය මව වෙනුවෙන් ගෙනා සාරිය අල්මාරියෙහි ලන කල පවා අමාලිගේ දෙනෙත කඳුළක් නොනැඟිණ. කඳුළු සලා හඬා වැටුණේ සුනන්දාය.

“සමහර වෙලාවට අපට කඳුළු නවත්තගන්න බෑ තමා. ඒත් කඳුළට ඉඩ දීලා බෑ.. එතකොට කඳුළු අපිව නවත්තනවා. මට ඕන දිගට ම ඉස්සරහටම යන්න...” යි යුවතිය කීවේද ශෝකී සරින් නොවේ. ඒ කතාවද ඒ ස්වරයද සුනන්දාගේ සිතෙහි තදින් සටහන් විය. ඇගේ දෙනෙත කඳුළු වියළා දමන සැඩ සුළඟක් විය අමාලිගේ කතාව.

“මහ පුදුම ළමයෙක්! කිව්වොත් කියන්නෙ අපට වරුවක් හිතල බලන්න ඕන කතාවක්..” යි කොඳුරමින් ඇය නෑනණ්ඩියගේ මතකයෙන් ගැලව ගත්තාය.

“දැං එතකොට රේඩියෝ අහන්නද කල්පනාව...?”

කුඩා වුවද හුරුබුහුටි ගුවන්විදුලි යන්ත්‍රය අතපත ගාමින් සුනන්දා සාඩම්බර යුවතිය දෙස බැලුවාය. සැබැවින් ම තමා විසින් උපයන ලද මුදලකින් භාණ්ඩයක් මිලට ගැනීම පිළිබඳව ඇය උදම් වූවාය.

“ටී.වී. බලනවාට වඩා හොඳයි රේඩියෝ අහන එක”

“ඒ මොකද...? අහනවට වඩා හොඳ නැද්ද අහන බලන එක.”

“නෑ නැන්දෙ... සේරම වැඩ අතෑරලා ටී.වී. එක ඉස්සරහ වාඩිවෙනවට වඩා වැඩ කරන ගමන් අහන්න පුළුවන්නෙ රේඩියෝ එක. අනික් එක තමා අපට චිත්ත රූප මවාගන්නත් පුළුවන්. ඒක මොන තරම් ෂෝක්ද...”

සුනන්දා හිස සැලුවේ එකඟත්වය පළ කරන සිතින් නොවේ.

“ඔයා හැමදේම දකින්නෙ වෙනස් විදියට. අනිත් අය හිතන විදියට ඔයාට හිතන්නම බැරිද අමා...?”

ඒ ප්‍රශ්නය අමාලිට සිනාවට කරුණකි. ඇය හඬ නඟා හිනැහුණාය. මියුරු ගීතයද ඇගේ හඬින් යටපත්ව ගියේය.

“හැමෝම හැමදේම එකම විදියට දකින්න ඕන කියලද නැන්දා හිතන්නෙ?” යි ඇය ඇසුවේ ඇ‍ඳේ වැතිරෙමිනි.

“අනේ මේ වාද කරන්න කලින් ඔය ලයිට් එක නිවලා ඉන්න”

“මට බෑ.. මම නිදි...”

සුනන්දා විදුලි පහන නිවා දමමින් “ඔයාගෙ සිංදු පෙට්ටියත් නවත්තන්නද අමා?” යි ඇසුවාය.

“එපා... එපා... සිංදුවක් අහන ගමන් නිදාගන්න එක හරි මිහිරියිනෙ නැන්දේ... ඇයි අපි ඒ මිහිර නොවිඳින්නේ...?”

සුනන්දා නින්දට සැරසුණේ මැඩගත් සිනාවෙනි.

“අනේ මංදා මෙහෙම ළමයෙක්. කිසිදේක බරක් පතළක් ඇත්තෙත් නෑ.. හැබැයි කියන්නෙ නං මහ බරසාර කතා.. වෙලාවකට විකාර කියවනවා වගේ හිතුණත් පස්සෙ හිතලා බලපුවහම ඇත්තක් නැත්තෙත් නෑ...”

ඒ වචන මුවින් පිට කරන්නට ඇය මැළි වූවාය. අමාලි සමඟ වාද විවාද කරන්නට නිදිබර දෑස ඉඩ නොදෙයි. අලුයම අවදි විය යුතුය. පාසලට යන පියාට ද ඔසුසලට යන දියණියට ද බත් පාර්සල් දෙකක් ඔතා දීම ඇගේ දෛනික චර්යාවේ අතිශයින් වැදගත් අංගයකි.

කාංචනාගේ මව මෙල්ල කරගන්නට හැකි වීමෙන් ලද සොම්නස බෙදා ගන්නට කාංචනා පැමිණෙන තෙක් අමාලි නොඉවසිල්ලෙන් බලා සිටියාය.

සිය සොහොයුරා අමාලිට හඳුන්වා දෙන්නට කාංචනා නොපැකිළුණාය.

දිගු කලක් විදෙස්ගතව සිටියද ඔහු ආටෝප සාටෝප ආදියෙන් තොරව අමාලි සමඟ කතා කළේය. ඔහු වෙතින් උතුරා හැලුණේ සරල හා සැහැල්ලු සහනදායි බවකි. එය ඇගේ සිත් ගත්තේය. ඇය කොහොමටත් බැරෑරූම් ගැඹුරු මිනිසුන්ට කැමති නැත. නලින් වෙතින් ඇය ඉවතට අඳින්නේ ද ඒ බැරෑරුම් සහගත බවය. කෙළිලොල් නොවන ඒ ඈත ගම්දොර නිහඬ තරුණයා තමාගේ ආකර්ෂණය දිනා ගත්තේ කෙලෙසදැයි ඇය වරෙක කල්පනා කරයි. ඔහු නිහඬ වුවද ගැඹුරු බවක ගිලී නැත්තේය. හිරු කිරණ පතිතව බබළන දියකඩිත්තක් තරමට ඔහු පැහැදිලිය. සඟවා ගන්නට යමක් ඔහු වෙත නැත්තේය. ඔහු නොනැවත බුලත්විට සපයි. එහෙත් ගිජු බවකින් වෙළෙමින් නොවේ. කිසිවකට ගිජු නොවීම ඔහු සතු විශේෂත්වයකැයි ඇයට සිතිණ. ඔහු සිය උරත ලගින තිරිසන් සත්ත්වයා කෙරෙහි පවා අනවශ්‍ය ආකාරයෙන් බැඳී නැත්තේය.

“මං මේ කල්පනා කරන්නෙ අමා අපේ අම්මා ළඟට එක්ක යන්නෙ කොහොමද කියලා මල්ලිව.”

සිය‍ සේවිකාව කිලෝමීටර් සිය ගණනක් ඔබ්බෙහි අහිගුණ්ඨික තරුණයෙකු පිළිබඳව සිතන බව නොදත් කාංචනා ළතැවිල්ලෙන් හඬ නැඟුවාය.

“මට මමී ළඟට යන්න දෙන්න අක්කෙ... ඔයා වොරි වෙනවා වැඩියි.”

“අනේ රමේෂ් පොඩ්ඩක් ඉන්න. ඔයා දන්නෙ නෑ. ඔයා යද්දි හිටපු මමී නෙමෙයි එද්දි ඉන්නෙ. මම ඔයාට ගොඩක් දේවල් කියලා නෑ. ඔයාගෙ හිත රිද්දන්න මට ඕන වුණේ නෑ..”

අක්කා ම‍ලෝ අතර කතාබහට තමා මැදිහත්වීම අනුචිත දැයි සිතමින් වුව අමාලි සමාව අයැද්දාය.

“එක්ස්කියුස් මී...”

“ඔව් අමාලි කියන්න.”

කාංචනා උනන්දුවෙන් ඇසුවාය.

“මම පොඩ්ඩක් ට්‍රයි කරන්නද?”

රමේෂ් සිනාසුණේය. ගැහැනු කොහොමටත් කුඩා දේවල් විශාල කරගන්නා බව ඔහු සිතයි.

“ඔයාට පරක්කු වෙයි කියලා හිතලයි මං නොකීවෙ අමා. අනේ පුළුවන් නම් ටිකක් බලන්න..”

අමාලි අර අරුමැසි ස්ත්‍රිය කරා යන්නට පයක් එසෙව්වාය.

“මොන විකාරයක්ද මේ..? මට මගෙ මමී ළඟට යන්න තව කෙනෙකුගෙ උදව්ව ඕනද...? දැන් නම් මේක ඕනවට වැඩියි අමාලි.”

ඔහු අමාලි දෙසද රවා බැලුවේය. එහෙත් රැවුමකින් පසුබාන එකියක නොවූ ඇය කාංචනාගේ මව වෙත ගියාය.

මැහැල්ලක නොව තරුණියක පරිද්දෙන් කන්නාඩි මේසය අබියස හිඳගෙන ආලේපන විලවුන් තවරනු දැකීමෙන් ඇය පුදුමයට පත් නොවූවාය. එක මොහොතක් නිසලව පසුවන ස්ත්‍රියක අපේක්ෂා කළ නොහැකි බව අමාලි දැනටමත් දනියි. වහලය මත නැග සිටියද පුදුම විය යුතු නැති බවද ඇය සිතයි.

“හායි ස්වීටි...”

“මම උදව් කරන්නද මැඩම්..?”

“අපේ කාංචනා නම් කැමති නෑ මම මේකප් කරනවට”

දැරියක මෙන් පැමිණිලි කළාය.

“එයත් ආසයි මැඩම් ලස්සනට ඉන්නවට... මා එක්ක කියනවා අපේ මමී හරිම ලස්සනයි කියලා..”

අමාලි කීවේ මුසාවක්මත් නොවේ. කාංචනා විටෙක සිය මව පිළිබඳ කතා කරයි.

“අපි අපේ මමී වගේ ලස්සන නෑ. අපි ඩැඩා වගේ. මමී තාමත් ලස්සනයි අමා.. තරුණ කාලෙ කොයිතරම් ලස්සනට ඉන්න ඇද්ද...”

ඒ වචන අසන කල පවා ඇගේ සුන්දර මව දැක බලා ගැනීමේ ආශාවක් අමාලි තුළ පහළ නොවීය. එහෙත් අනපේක්ෂිත ලෙස ඒ සුන්දර මහලු ස්ත්‍රිය සමඟ කටයුතු කරන්න සිදුව තිබේ.

“මම කියුටෙක්ස් ගාන්නම්.”

දෑතේ දෙපයේ නිය වර්ණ ගන්වන්නට අමාලි මහත් කැමැත්තෙන් ඉදිරිපත් වූවාය.

“වෙරි ගුඩ්. ඔයා හරි හොඳ ළමයෙක්”

 

ලබන සතියට‍...



from silumina sithmalyaya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages