නවෝද්ගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ගෙන යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-09

නවෝද්ගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ගෙන යයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

පිට පිට දෙවැනි ජයග්‍රහණය අත්කරගත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ සමත් විය.

කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ ‘බී’ කාණ්ඩයෙන් ඊයේ පැවැති තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 52කින් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා පිල මේ අවස්ථාව උදාකර ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් එමීර් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල අර්ධ ශතක 3කින් සවිමත් වීම හේතුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 326ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය එමීර් පිලට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 274ක් පමණි.

ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන, අහන් වික්‍රමසිංහ සහ නායක නිපුන් ධනංජය ශ්‍රී ලංකා ඉනිමට අර්ධ ශතක එක් කළහ. ලකුණු 46කට කඩුලු 2ක් බිඳ වැටීමෙන් පසු නවෝද් සමග එක්වූ අහන් තෙවැනි කඩුල්ලට ලකුණු 113ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 159 දක්වා ඉදිරියට ගෙන ගියේය. අහන් දවාගනිමින් එම සබඳතාව බිඳ දැමූ එමීර් ක්‍රීඩකයෝ ලකුණු 2ක් තුළ ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කළහ.

නවෝද් පන්දු 60කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 61ක් රැස්කළ අතර වේගවත් පිතිහරඹයක නිරතවූ අහන් ලකුණු 73ක් රැස්කළේ පන්දු 52කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් වර්ණවත් විය.

ඉන් අනතුරුව ඉනිම ගොඩනැගීමේ කාර්යයට එක්වූ නායක නිපුන් ධනංජය සෙසු පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා පිල ලකුණු 300 සීමාවට රැගෙන ගියේය. ලකුණු 299 දී ඔහු ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට හතරේ පහර 5ක් සමග පන්දු 69කින් ලකුණු 60ක් රැස්කර තිබිණි. 7 වැනි කඩුල්ලට රොහාන් සංජය (36) සමග එක්ව ලකුණු 75ක සබඳතාවක් පිහිටුවීමටද නිපුන්ට හැකිවිය.

පන්දු යැවීමේදී රිෂාබ් මුකර්ජි කඩුලු 3ක් සහ පලනියාපන් මයියප්පන් කඩුලු 2ක් දවා ගත්හ.

අන්ෂ් ටැන්ඩන් නොදැවී ශතකයක් රැස් කරමින් එමීර් පිල ජයග්‍රහණය කරා ගෙන යෑමේ සටනක නිරතවූවද එය අසාර්ථක විය. පන්දු 102කදී හතරේ පහර 8ක් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත් ටැන්ඩන් ලකුණු 105කට කඩුලු 4ක් බිඳ වැටී තිබියදී ඔසාමා හසන් සමග එක්ව ලකුණු 121ක සබඳතාවක් පිහිටුවීමට සමත් විය. මුළු ලකුණු 226 දී ඔසාමා, නායක නිපුන් ධනංජයගේ පන්දුවක් හමුවේ දැවී යෑමත් සමග එම සබඳතාව නිමා විය. පන්දු 46කට මුහුණදුන් ඔසාමා හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 55ක් රැස් කළේය.

පන්දු යැවීමේදී නවෝද් පරණවිතාන කඩුලු 4ක් බිඳ දැමු අතර රොහාන් සංජය සහ නිපුන් ධනංජය කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිල සහභාගීවන මූලික වටයේ අවසන් තරගය හෙට (10) බංග්ලාදේශය සමග මොරටුවේදී පැවැත්වෙයි.

මේ අතර ඊයේ කොළඹ පී.සරා ඕවල් පිටියේ ‘බී’ කාණ්ඩයේ අනෙක් තරගයෙන් නේපාල කණ්ඩායම පරාජය කරමින් බංග්ලාදේශයද වේලාසනින්ම අවසන් පූර්ව වටයට පිවිසියේය.

තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් නේපාලය ලබාදුන් ලකුණු 261ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු 4ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්හ.

නායක අක්බාර් අලී නොදැවී ලකුණු 98ක් සහ ටොහිඩ් හරිඩෝයි ලකුණු 60ක් ඉනිමට එක් කළහ.

පවන් සරෆ් ලකුණු 81ක් රැස්කරමින් පළමුව පන්දුවට පහරදුන් නේපාල ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර වේගවත් ඉනිමක් දියත් කළ සන්දීප් ජෝරා පන්දු 37කින් ලකුණු 56ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේ දී ටැන්සිම් හසන් සහ ෂහින් අලාම් කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ අතර පෙරේදා පැවැති ‘ඒ’ තරගවලින් ජයගත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන්කර ගත්හ.

ඉන්දියාව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පාකිස්තානය ලකුණු 60කින් පරාජය කළ අතර ඇෆ්ගනිස්තානය හමුවේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කුවේට් පිල කඩුලු 7කින් පරාජයට පත්විය.

ඇෆ්ගනිස්තානය ජයග්‍රහණ 2ක් සමගින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන අතර ඉන්දියාව දෙවැනි තැන අත්කරගෙන ඇත්තේ ද ජයග්‍රහණය ද්විත්යක් සමගිනි. ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය සහභාගීවන මූලික වටයේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගය අද (9) සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages