මාලිංග ක්‍රිකට් පොත අලුත් කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-09

මාලිංග ක්‍රිකට් පොත අලුත් කරයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

මාලිංගගේ වාර්තා පොත

*විස්සයි20 තරග බිමේ කඩුලු 100ක් සම්පුර්ණ කළ පළමු පන්දු යවන්නා

*ටෙස්ට්, එක්දින හා විස්සයි20 මුහුණුවර 3දිම කඩුලු 100 ඉක්මවූ ලොව එකම පන්දු යවන්නා

*ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු ත්‍රිත්වයන් 5ක් වාර්තා කළ එකම පන්දු යවන්නා (එක්දින 3යි. විස්සයි20 2යි)

*ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවතාවක්ම පන්දු 4කදී කඩුලු 4ක් දවාලූ එකම පන්දු යවන්නා (එක්දින හා විස්සයි20)

*විස්සයි20 තරග බිමේ කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කියන එකම පන්දු යවන්නා

පන්දු හතරක් ඇතුළත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් බිහි කරමින් නවසීලන්තයට එරෙහිව පල්ලෙකැලේ පිටියේ පැවැති තුන්වැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 37ක ජයක් අත්කර දීමට නායක ලසිත් මාලිංග සමත් විය.

පිට පිට තුන්වැනි වරටත් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 8කට රැස් කළ ලකුණු 125 හඹා ගිය නවසීලන්ත කණ්ඩායම ඕවර 16කදී ලකුණු 88කට දැවී ගියේ මාලිංගගේ විස්මිත පන්දු යැවීම හේතුවෙනි.

තුන්වැනි තරගය ආරම්භ වනවිටත් තරග 2-0කින් නවසීලන්තය හමුවේ විස්සයි20 තරගාවලිය පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා පිල තුන්වැනි තරගයේදී ද පළමුව පන්දුවට පහරදී ලකුණු 125කට දැවී යාමෙන් පසුව ජයග්‍රහණය පහසු වනු ඇතැයි සිතමින් පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන්ට සිදුවූයේ මාලිංගගේ යෝකර් විජ්ජාව හමුවේ අසරණ වීමටය.

නවසීලන්ත ඉනිමේ තුන්වැනි ඕවරය යැවීමට මාලිංග පන්දුව අතට ගනිද්දී කිසිවකු නොදැවී ලකුණු 15ක් ලබා සිටි අතර ඕවරය නිමාවට පත්වෙද්දී ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 4කට ලකුණු 15ක් ලෙසිනි. ඉන් පසුව පස්වැනි ඕවරය යවමින් ටිම් සයිෆර්ඩ් දවාලූ මාලිංග විස්සයි20 තරග බිමේ හොඳම පන්දු යැවීම සටහන් කිරීමෙන් පසුව අකිල ධනංජය යැවූ 9 වැනි ඕවරයේදී තවත් කඩුලු 3ක්ම බිඳ වැටිණි. 10 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් වනිඳු හසරංග හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී ටොඩ් ඇස්ල් දැවී යද්දී නවසීලන්ත ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 9කට 52ක් ලෙසිනි. එහෙත් 10 වැනි කඩුල්ලට සෙත් රාන්ස් සමග එක්ව ලකුණු 36ක් රැස් කිරිමට නායක ටිම් සවුති සමත්වූයේ ලක්ෂාන් සඳකැන් යැවූ ඉනිමේ 13 වැනි ඕවරයේදි හයේ පහරවල් 3ක්ම එල්ල කරමිනි. 16 වැනි ඕවරය යවමින් සඳකැන් විසින් රාන්ස් දවාගැනීමත් සමග තරගය නිමාවට පත්විය.

ලකුණු 12ක් ලබා සිටි කොලින් මුන්රෝ තුන්වැනි ඕවරයේ මාලිංග යැවූ පළමු පන්දු 2කින් කඩුල්ල බේරා ගැනීමට සමත්වූවත් යෝකර් පන්දුවක් ලෙස පතිත වූ තුන්වැනි පන්දුව හමුවේ නිරුත්තර විය. එය ඔහුගේ පා ඉන්න ගලවා දැමුවේ විස්මිත ආකාරයෙනි. ඉතිරි පන්දු 3දී මාලිංගගේ යෝකර් විජ්ජාවට හසුවීමෙන් තවත් පිතිකරුවන් තිදෙනකුම හිස් අතින් ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ කට උත්තර නැතිවය. දැවී ගිය පිතිකරුවන් අතර පළමු තරග 2දීම නවසීලන්තයේ ජයග්‍රහණයට උරදුන් මැදපෙළ පිතිකරු කොලින් ඩි ග්‍රැන්ඩෝම් සහ පළමු තරගයේදී විශිෂ්ට පිතිහරඹයක යෙදුණු රොස් ටේලර් ද විය. මාලිංගගේ දෙවැනි ගොදුර බවට පත්වූයේ අත්දැකීම් අඩු නවක පිතිකරු හමීෂ් රදෆර්ඩ්ය.

‘මම ඕනෑම තරගයකට එන්නේ මට තනිවම තරගය හරවන්න පුළුවන් කියලා හිතලා. මොකද මට විකට් ගන්න තියෙන හැකියාව සහ පාලනය කරන්න තියෙන හැකියාව අනිත් ක්‍රීඩකයන් එක්ක බැලුවාම අත්දැකීමුත් එක්ක මට වැඩියි. ඒක කවුරු පිළිගත්තත් නැතත් මම ඒක පිළිගන්නවා. ඒක නිසා මම බලන්නේ පන්දුව අතට ගත්ත පළමු ඕවරයේදිම ගේම් එක මගේ පැත්තට ගන්න.’ තරගයේ වාසිය එහෙම පිටින්ම ශ්‍රී ලංකා පිල දෙසට හරවා තබමින් නවසීලන්ත පිලේ බිඳ වැටුණු පළමු කඩුලු 5ම දවා ගත් මාලිංග එසේ කීවේ තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

‘පළමු කඩුල්ල ලබාගත්තට පස්සේ මට අවශ්‍යතාව වුණා අලුතින් එන වමත් පිතිකරුවා පළමුවෙනි පන්දුවෙන්ම දවාලන්න ඕනේ කියන එක. ඉතිං ඒකට හොඳම දේ තමයි ඉන්ස්විංග් යෝකර් එක. ඉතිං මං ඒක භාවිතා කළා. ඒකට ඔහු දැවී ගියා. ඊට පස්සේ ආවේ අපිට නිතරම කරදර කළ දෙන්නෙක්. ග්‍රැන්ඩෝම් සහ ටේලර්. ඒ කඩුලු දෙක අපිට අවශ්‍ය වෙලාවේදි දවාගන්න කාටවත්ම හැකිවුණේ නෑ. මගේ එකම බලාපොරොත්තුව වුණේ කොහොමද මේ දෙන්නගේ කඩුලු ලබාගන්නේ. ලබාගත්තොත් තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක. ඒක නිසා තමයි මම හිතුවේ මට යෝකර් දෙකක් දාපු මට තුනක් දාන්න බැරිවෙන්න විදියක් නෑ කියන එක. මම කාලය නිවැරදිතාවය සියල්ල හොඳින් තබාගත්තු නිසා තුන්වැනි කඩුල්ලත් ලබාගත්තා. තුන ගත්තට පස්සේ හිතුවා ඇයි මට හතර බැරි කියලා. ඒ නිසා ඒ හා සමාන පන්දුවක් දැම්මා.’ තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ මාලිංග තරගය සැලසුම් කළ අයුරු එසේ කීවේය.

‘කණ්ඩායමට අවශ්‍ය දේ මොනවද ලකුණු කීයක් ගියත් මම ඒ දේ උත්සාහ කරනවා. අවදානම කියන දේ මට හැමදාම තිබුණා. ක්‍රීඩාවෙදිත් ඉන් පිටතදිත්. ඉතිං ඒක නිසා මම හිතනවා මේක බලා ඉඳලා පොඩි ක්‍රීඩකයන් පවා හිතේවි අවදානමක් ගන්න ඕනා කියලා. අවදානමක් ගත්තොතින් තමයි තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ.’ ඔහු සඳහන් කළේය.

පන්දු හතරක් ඇතුළත ජාත්‍යන්තර තරග බිම උඩුයටිකුරු කළ මාලිංග ඒ අතරතුර මිනිත්තු කිහිපයේදි වාර්තා රැසක් අයිති කරගැනීමට සමත්වූයේ විස්මිත ආකාරයෙනි.

‘ඒක මගේ ක්‍රිකට් දිවියේ තවත් කඩඉමක් විතරයි.‍ මොකද හෙට මට ලකුණු ගැහුවොත් මේ කඩඉමත් ඉවරයි. ගත්තු හතරත් ඉවරයි. ඒ නිසා සෙල්ලම් කරන තාක්කල් මට උපරිම කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාම සාර්ථක වෙන්නේ නෑ. සාර්ථක වෙන දවසට මැච් එකක් ඉවර වෙන්නම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතිං ඒ වගේ වෙලාවට සමහර විට හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. විස්සයි20දිත් පන්දු හතරකදී කඩුලු 4ක් දවාලීමට හැකිවීම ගැන සතුටුයි. මොකද මගේ දැන් අන්තිම කාලේ ක්‍රීඩා කරන්නේ.මාත් එක්ක හිටපු සියළුම පොඩි ක්‍රීඩකයන්ට ඒක එයාලගේ ඇස් දෙකින් දැකබලා ගන්න ලැබුණා. ඒක දැකලා එයාලත් ආසා වෙන්න ඇති මේ වගේ කඩඉමක් එයාලත් කවදාහරි මේ වගේ ඉඩඉමකට ළඟාවෙන්න ඕනේ කියලා. ඒක තමයි ක්‍රීඩකයකුට අවශ්‍ය වෙන්නේ යම්කිසි දෙයක් බලලා ඒ ඔස්සේ පුහුණුවිම් කටයුතු කරන්න. මං හිතනවා අද වුණු දෙයින් පොඩි ක්‍රීඩකයන්ට ඉදිරි අනාගතයට හොඳ දෙයක් වුණා කියලා.’ මාලිංග කියා සිටියේය.

විස්සයි20 තරගාවලියේ පළමු තරග 2ම පරාජයට පත්ව සිටියද, තම කණ්ඩායම දැක්වූ දස්කම් පිළිබඳ මාලිංග දැඩි සතුටකින් යුතුව කතා කළේය.

‘පළමු තරග දෙක ප්‍රතිඵලයක් හැටියට ගත්තොත් අපි පරාදයි. හැබැයි අපි ක්‍රීඩා කළ විලාශය. අවසන් ඕවරය දක්වා තරගය අරගෙන ගිය විදිය. හැමෝම දන්නවා මේ කණ්ඩායමේ විස්සයි20 තරග අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් හරිම අඩුයි. ඉතිං ඒ වගේ ටීම් එකක් එක්ක නවසීලන්තය වගේ අත්දැකීම් බහුල, ලීග් තරගවලට ගිහින් සෙල්ලම් කරන තමන්ගේ රටේ ලීග් එකක් තියෙන ඒ වගේ ක්‍රීඩකයන් එක්ක මේ වගේ කරට කර ක්‍රීඩා කිරීම ගැන හරිම සතුටුයි. මං හිතනවා 2020 වෙද්දී ලංකාවේ හොඳ විස්සයි20 කණ්ඩායමක් නිර්මාණය කරන්න පුළුවන් වේවි. කවුරු කැප්ටන් වුණත් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මට ඕනේ කොහොමහරි හොඳ ක්‍රීඩකයන් ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට විස්සයි20 කියන්නේ මොකක්ද, කොහොමද ක්‍රීඩා කළ යුත්තේ මොනවගේ දේවල් ද භාවිත කළ යුත්තේ කියලා කියලා දෙන එක පමණයි. ඉන් එහාට මගේ ලොකු බලාපොරොත්තු නෑ. ලොකු ආසාවල් නෑ.’ ඔහු පැවැසීය.

මීට පෙර 2007 ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාලීමට මාලිංග සමත් විය.

මේ අතර මාලිංග මේ තරගයේ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අතර ස්ථාන 20කින් ඉදිරියට ඒමට සමත්ව තිබේ. මේ තරගයට පෙර 41 වැනි තැන සිටි ඔහු මේ වනවිට 21 වැනි ස්ථානයේ පසුවෙයි.

ඡායාරූප - රුක්මාල් ගමගේ

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages