තරු බබළන රැයේ පායන සුපිරි තරුව අරවින්ද - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-09-14

තරු බබළන රැයේ පායන සුපිරි තරුව අරවින්ද

14 සැප්තැම්බර්, 2019

‘ගොඩක් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් මේ එන්.සී.සී. භූමියෙන් බිහි වුණා. මේ ක්‍රීඩාගාරයට, මේ පිට්ටනියට අන්තර්ජාතික මට්ටමේ ඉහළම දස්කම් දැක් වූ ක්‍රීඩකයන්ගේ පහස ලැබුණා. අරවින්ද ද සිල්වා මම හිත‍න්නේ ඔහු තමයි ලංකාව බිහි කළ හොඳම පිතිකරුවා. මගේ ලොව හොඳම පිතිකරුවන් පස් දෙනා අතරත් ඔහු ඉන්නවා.” ක්‍රිකට් ලොවට ශ්‍රී ලංකාව දායාද කළ තවත් විශිෂ්ටයකු වූ කුමාර සංගක්කාර අරවින්ද පිළිබඳ මේ මතකය අවදි කළේ එන්.සී.සී. පිටියේ පැවැති උත්සවයකදීය.

ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී එංගලන්තයට එරෙහිව 1984 දී ටෙස්ට් වරම් හිමිකර ගත් අරවින්ද ද සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය 2002 දි කොළඹ දී බංග්ලාදේශයට එරෙහිව නිමා කරන්නේ ලකුණු 6361 ක් රැස් කරමින්ය. ඊට ශතක 20 ක් සහ අර්ධ ශතක 22ක් ඇතුළත්ය. එක්දින අන්තර් ජාතික තරග 308 ක් ක්‍රීඩා කළ අරවින්ද එහිදී ලකුණු 9284ක් රැස් කරන අතර ඊට ශතක 11ක් සහ අර්ධ ශතක 64ක් අයත්ය. පන්දු යැවීමේදී ටෙස්ට් කඩුලු 29 ක් බිඳ දමා ඇති අරවින්ද එක්දින තරගවලදී බිඳ දමා ඇති කඩුලු ප්‍රමාණය 106 කි.

අරවින්ද ටෙස්ට් තරගවල රැස් කළ ශතක 20 අතර ද්විශතක 2කි. නවසිලන්තයට එරෙහිව වෙලින්ටන් හිදී 1991 දී රැස් කළ ලකුණු 267 වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර, දෙවැනි ද්විශතකය රැස් කර ඇත්තේ බංග්ලාදේශයට එරෙහිවය.

ටෙස්ට් තරග හයක නායකත්වය දරා ඇති අරවින්ද ශ්‍රී ලංකාවේ පස්වැනි ටෙස්ට් නායකයායි. ඒ 1991 – 99 කාලය තුළදීය. 1992 – 96 දී එක්දින තරග 18ක නායකත්වය දරා ඇති අරවින්ද එහිදී තරග 6ක් ජය ගෙන ඇති අතර පරාජිත තරග සංඛ්‍යාව 12කි. ශ්‍රී ලංකාවේ 8 වැනි එක්දින නායකයායි. ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කතාවේ සිවු වැනි වැඩිම ලකුණුලාභියා වන්නේද අරවින්දයි. සංගා 12400, මහේල 11814, සනත් 6973කි. වැඩිම ශතකලාභීන් අතර සිවුවැන්නා වන්නේද අරවින්දයි.

එක්දින තරග පිටියේ ශ්‍රී ලංකාවේ පස්වැනි වැඩිම ලකුණුලාභියා වන අරවින්ද ලකුණු 9284ක් රැස් කර තිබේ. සංගා 13975,සනත් 13364, මහේල 12381, ඩිල්ෂාන් 10290කි. අරවින්ද 1996 විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මානලාභියෙකි. අරවින්ද ඉතා අලංකාර පිතිහරඹයක් සහිත දකුණත් පිතිකරුවෙකි. එමෙන්ම කඩුලු දවා ගැනීමටත් හැකියාවක් තිබූ දකුණත් පිට දඟ පන්දු යවන්නෙකි. හෙතෙම ශ්‍රී ලංකාව ලෝක ශූරයෝ වූ 1996 තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග වීරයාය. එම ලෝක ශූර කණ්ඩායමේ නායකය‍ා වූයේ අර්ජුන රණතුංග විසිනි. එහිදී අරවින්ද උපනායකයා විය.

1996 ලෝක කුසලානයේ ප්‍රථම අවසන් පූර්ව තරගය පැවැත්වූයේ කොල්කටාවේ ඊඩන් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණයේදීය. ඒ මාර්තු මස 13 වැනි දාය. එහිදී සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරග කළේය. තරගයේ ජය ශ්‍රී ලංකාවට පිරිනැමීමට ප්‍රධාන තරග තීරක ක්ලයිව් ලොයිඩ් තීරණය කළේය. ඒ නරඹන්නන්ගෙන් තරගයට බාධා එල්ල වූ බැවිනි. ලොයිඩ් 1975,79 ලෝක ශූර සහ 1983 ලෝක අනුශූර බටහිර ඉන්දීය කොදෙව් දූපත් නායකයා ය.

පිතිහරඹයේදී අරවින්ද ඉතා අනඟි පිතිහරඹයක නිරත විය. ඒ ලකුණු 66 ක් රැස් කරමිනි. ඊට පන්දු 47කි. 4 පහර 14කි. ඔහුගේ ඉනිම නිමා වූයේ දකුණතින් පා දඟ පන්දු යැවූ අනිල් කුම්බ්ලේගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ලට දකුණත් පිතිකරු රොමේෂ් කළුවිතාරණ ලකුණු නොලබා දැවී ගි‍යේය. එවිට ශ්‍රී ලංකාව ලකුණු 01ට කඩුල්ලකි. එය ලකුණකට කඩුලු 2ක් බවට පත් විය. ඒ වමත් පිතිකරු සනත් ජයසූරිය ලකුණකට දැවී යාම නිසාවෙනි. තෙවන කඩුල්ල ලකුණු 35දී බිඳ වැටුණි. ඒ වමත් පිතිකරු අසංක ගුරුසිංහ ලකුණකට දැවී යාමෙනි.

එහෙත් අරවින්ද ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළේ ඉතා විශිෂ්ටතම පිතිහරඹයක නිරත වෙමිනි. හෙතෙම සිවුවැනි කඩුල්ල ලෙසට දැවී ගියේය. එවිට ශ්‍රී ලංකාවේ මුළු ලකුණු ගණන 85කි. එක්දින ජගත් තරග ඉතිහාසයේ විශිෂ්ටතම පිතිහරඹයක් ලෙසට ඉහත අරවින්දගේ ඉනිම සැළකෙයි. අරවින්දගේ පන්දු යැවීම ඕවර 2 – 0 - ලකුණු 03ට කඩුල්ලකි. ඔහු දවා ගත්තේ දකුණත් පිතිකරු නයන් මොන්ගියාවයි. ලකුණක් ලබා සිටි මොන්ගියා අරවින්දගේ පන්දුවකට සනත් ජයසූරිය‍ට උඩපන්දුවක් ලබා දෙනු ලැබීය. 1996 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වූයේ මාර්තු 17 වැනිදාය. ඒ පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදීය. එහිදී ශ්‍රී ලංකාව කඩුලු 07කින් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත් විය. එහිදී අරවින්ද තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages