හේමසිරි ප්‍රනාන්දු ගැන මතකද? ඔහු ගැන නොදත් දෙයක් මෙන්න - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-20

හේමසිරි ප්‍රනාන්දු ගැන මතකද? ඔහු ගැන නොදත් දෙයක් මෙන්න

ඒ එක්දහස් නමසිය අසූපහ වසරේ මැදය. ත්‍රිකුණාමලයට කිලෝමීටර හතළිහක් උතුරින් පිහිටි කුච්චවේලි නාවික හමුදා අනුඛන්ඩයය. එහි අණදෙන නිලධාරීයා වූයේ එකල තරුණ ලුතිනන් කමාන්ඩර්වරයෙක් වූ හේමසිරි ප්‍රනාන්දුය. එක්දහස් නමසිය හැත්තෑ දෙකේ අධිකාරීලත් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට බැදුණු ඔහු කුච්චවේලි කදවුර භාරගන්නා විට ගෙවා දමමින් සිටියේ සිය රාජකාරී දිවියේ දහ තුන්වැනි අවුරුද්දය. ක්‍රීඩකයෙකු මෙන්ම රයිෆල් ශූරයෙකු ලෙස ඔහු නාවික හමුදාවේ ගරු සම්භාවනාවට පාත්‍රවී සිටියේය.

ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂ උපාධිධාරියෙකු ලෙසය. දැන් මෙන් නොව එකල එවැනි අධ්‍යාපන සුදුසුකමක් තිබූ අයෙකුට කරන්නට සුව පහසු රැකියා අවස්ථා ඔනෑතරම් තිබුණි. එහෙත් ඔහුගේ තේරීම වූයේ නාවික හමුදාවයි.

කොළඹ නාලන්දා විදුහලෙන් අධ්‍යාපනය ලද හේමසිරිගේ ප්‍රාථමික පාසල් කාලය ගෙවී ගියේ බොරැල්ලේ සීවලී විදුහලේය. පැටි වයසේදී ඔහුට වැළදී තිබුණේ කෝච්චි පිස්සුවකි. විදුහල අසල බේස්ලයින් දුම්රිය පාරේ දුම්රියක් දුවන විට පන්ති කාමරයෙන් එළියට දුවවිත් කෝච්චිය දෙස බලමින් සිටින පුරුද්දක් ඔහුට තිබුණේය. ඒ පුරුද්ද නිසා ඔහු විදුහල්පතිවරයාගෙන් ගුටි කෑවේය. එහෙත් කිසිදු දිනක ඔහු විසින් නොමඩනා ලද එම ආසාව අවසානයේදී ලංකාවට මහත් ආර්ථික ප්‍රතිඵල අත්පත් කරදුන් කදිම ආයෝජනයක් විය. ඒ ගැන කතා කිරීම පසුවකට තබා අපි යළිදු වරක් කුච්චවේලි කදවුරට යමු.

එක්දහස් නමසිය අසූ පහේ මැයි මාසය කුච්චවේලි ගමට සුබ නොවීය. එල්.ටී.ටී.ඊ. ය එල්ල කළ ප්‍රහාරයකින් පොලීසියේ තිස් දෙනෙකු මිය ගොස් තිබුණි. ඒ අතරේ එල්.ටී.ටී.ඊ. ය සිය ඉතිහාසයේ මුල් වරට නාවික කදවුරක් ඉලක්ක කර පහර දෙන්නට පිඹුරුපත් සකස්කරමින් සිටියහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ කුච්චවේලි නාවික කදවුරය. ඒ වන විටත් එල්.ටී.ටී.ඊ. ය උතුරේ පොලීසි රැසක් බිමට සමතලා කර තිබුණි. එහි සිටි පොලිස් නිලධාරීන් ද ඝාතනය කර අවි ආයුධ ද පැහැර ගත්හ.

එවැනි පසුබිමක එල්.ටී.ටී.ඊ. ය කල්පනා කරන්නට ඇත්තේ කුච්චවේලි නාවික කදවුරත්
බිමට සමතලා කරන්නට වෙන්නැතිය. එල්.ටී.ටී.ඊ. ය කුච්චවේලි කදවුරට පහර දෙන විට ලුතිනන් කමාන්ඩර් හේමසිරි ප්‍රනාන්දු හුන්නේ නිවාඩු ලබා ගෙදරය. අද මෙන් නිලධාරීහු රැසක් එකල ත්‍රිවිධ හමුදාවේ සිටියේ නැතනාවික හමුදාවේ එවකට සම්පූර්ණ නිලධාරීන් හා නාවිකයින් සංඛ්‍යාව දස දහසකටත් වඩා අඩු විය. එකල ඇතමුන් අවධානම් ප්‍රදේශවල කදවුරු භාර ගැනීමට කැමැතිවූයේ නැත. තවත් සමහරු බිරිදගේ කීමට හමුදාවෙන් ඉවත් වී රට අතහැර ගියහ. එහෙත් කුච්චවේලි ප්‍රහාරය එල්ලවනවාත් සමග සිය නිවාඩු අතහැර හේමසිරි ප්‍රනාන්දු සිය කදවුරට වාර්තා කළේය.

වීරත්වය ඔහුගේ ඇගේ තිබුණ ද හේමසිරි ප්‍රනාන්දුගේ දෛවය අනුව ඔහුගේ දස්කම් ලියවී තිබුණේ රණබිමේ නොවේ. කොමාන්ඩර් නිලයේදී ඔහු නාවික හමුදාවට සමුදුන්නේය. ඉනික්බිතිව ඔහු යළිදු වරක් "කෝච්චි පිස්සුවට" හිත යොමු කළේය. වසර ගනනාවක් ඔහු වෙහෙස මහන්සිවූයේ අගුරු කකා වතුර බිබී දුවන යකඩ යකෙකුට යළි පණදීමටය. එමගින් ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මනා ආයෝජනයක් කළ හැකි බව ඔහුගේ කල්පනාව විය. එකල ඔහු නැගී එන සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකි. පසුකලෙක හේමසිරි ප්‍රනාන්දු මේ කතාව අළෙලා "වයිස්රෝල් ස්පෙෂල්" නමින් කදිම කෘතියක් ලීවේය. ලංකාවේ දුම්රිය වංශකතාව අලලා ඔහු විසින් රචිත එකම කෘතිය මෙය පමණක් නොවේ. ඔහු තවත් කෘතීන් දෙකක් ලීවේය. මේ කෘතීන් තුනම ඔහු විසින් ලියන ලද්දේ ඉංග්‍රීසි බසිනි. දැන් එය සිංහල පාඨකයින්ට රස විදීමට සිංහලටද පරිවර්තනය කර ඇත.

ලංකාවේ කෝච්චි ඉතිහාසය පිළිබද සිටින ප්‍රාමාණිකයින් අතරින් මුලින්ම කියවෙන්නේ හේමසිරි ප්‍රනාන්දුගේ නමය. එහෙත් බොහේ දෙනෙකුට හේමසිරි ප්‍රනාන්දු කෝච්චි, එසේත් නැතිනම් ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතකු ලෙස මතක් වන්නේ නැත. එහි වරද හේමසිරි ප්‍රනාන්දුගේමය. ඒ ඔහුගේ නම හදුන්වන්නට ඇති දුසිම් ගණනක් වන තනතුරු හා තාන්න මාන්න නිසා ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබද ඔහු සතු දැනුම රට්ටුන්ගේ මතකයෙන් යටපත්වී ඇති සෙයකි.

හේමසිරි දක්ෂ පරිපාලකයෙකි. සිරිමාවෝ මැතිණිය දාහත් වසරකට පසුව අනූ හතරේ අග්‍රාමාත්‍ය පදවියට පත්වු කල්හි ඇය අගමැති ලේකම් ධූරයට තෝරාගත්තේ හේමසිරි ප්‍රනාන්දුය. ජනාධිපති ලේකම් ධූරයට පමණක් දෙවැනි අගමැති ලේකම් පුටුවේ ධූරය දරා ඔහුට ගෙදර යන්නට රජය ඉඩ දුන්නේ නැත. ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ හිටපු සභාපතිය. තැපැල් හා විදේශ අමාත්‍යාංශයේ ලේකම්ය. මහජන බැංකුවේ සභාපතිය. ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා. ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයාය. ආර්ථික අමාත්‍යාංශයේ හිටපු ලේකම්ය. ජනාධිපති හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියාය. ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයෙකි. ඔහු දැරූ තනතුරු සියල්ල ලිවීමට විශාල ඉඩක් අවශ්‍යය. අදටත් පීපල්ස් ලීසිං සමාගමේ සභාපතිවරයාය.

ඉදින් මෙවැනි තනතුරු දුසිමක් පමණ ඔහුගේ නම ඉදිරියේ ලියවෙන විට ඔහු කෝච්චි ලෝලියකු බව දැනගත්තේ කෙසේද. ලංකාවේ පරිපාලන නිලධාරීන් ආයතන සංග්‍රහය හා මුදල් නීති අතරේ සිරවී සිටියදී හේමසිරි ප්‍රනාන්දු එය වෙනස් කළේය.

පරිපාලන නිලධාරින් රාමුව කඩන්නට සිතන්නේ නැත. එබැවින් ලංකාවේ පරිපාලන නිලධාරින් බහුතරයක් රසවතුන් වන්නේද නැත. නිර්මාණශීලීත්වය අතින් ඔවුන් බෙලහීනය. එබැවින් අලුත් අදහස් ඔවුන් ළග නැත.

එහෙත් හේමසිරි ප්‍රනාන්දු ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රයේ උඩුගං බලා පිහිණුවේය. ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් පුටුවේ වාඩිවූ කාලයේ සන්නිවේදන ක්ෂේත්‍රය තිබුණේ දුප්පත් තත්ත්වයකි. දුරකතන සමබදතාවයක් අවැසිවූ විටෙක මිනිසුන් වසර ගණනාවක් ලයිස්තුවේ සිටිය යුතුය. පළාතේ මන්ත්‍රීගේ ලිපියක් දුරකතන සබදතාවය ගන්නට ඔනෑවිය. හේමසිරි ඒ සියල්ල කණපිට හැරවීය.



"වයිස්රෝල් ස්පෙෂල්" සේම විදුලි සංදේශ ක්ෂේත්‍රයේද අලුත් පිටුවක් ලීවේය. දැන් හැමදෙනාටම දුරකතන ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසය. හේමසිරි ශ්‍රී ලංකා ටෙලිකොම් මුල් පුටුවට යන විට ලක්ෂයක් වන දුරකතන සම්බන්ධතාවයන් ලක්ෂ පහ දක්වා වර්ධනය කළේ ඔහුගේ පස් අවුරුදු කාල සීමාවේදීය.

ලංකාවේ තැපෑල එකල තිබුණේ ලියුම් යවන්නට පමණි. එහෙත් තැපැල් අමාත්‍යාංශයේ ලේකම් පදවිය භාරගත් හේමසිරි ප්‍රනාන්දු තැපෑලෙන් මිනිසුන්ට බොහෝ වැඩ ගන්නට හැකි ආයතනයක් බවට පත් කළේය. ලංකාවේ දේශපාලන සංස්කෘතිය අනුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉහළ තනතුරු දැරූ පරිපාලකයින්ට යූ.ඇන්.පී ආණ්ඩුවකදී වන්නේ "සයිබීරියාවට" යාමටය. එහෙත් හේමසිරි ප්‍රනාන්දුට එසේ නොවීය. කුමන ආණ්ඩුවක් වුවද ජනාධිපතිවරුන්ට හා අගමැතිවරුන්ට හේමසිරිගේ සේවය අවශ්‍ය විය.

රාජ්‍යත්වයට කැදවීම් ලැබුණි.

මැතිනියගේ විශ්වාසවන්තම නිලධාරියා වූ හේමසිරි, රනිල් වික්‍රමසිංහ යටතේ මහජන බැංකුවේ සභාපති ලෙස පත්වීම් ලබන්නේ එබැවිනි. රාජ්‍ය බැංකුවක් කී විට අපට සිහිවන්නේ ගනුදෙනුකරුවන්ට අපාය සිහිවන ස්ථානයකි. එසේ ඔහු මහජන බැංකුව ඩිජිටල්කරණයට ලක්කර ගනුදෙනුකරුවන්ට හොදින් සලකන සුරපුරයක් බවට මහජන බැංකුව පත් කළේ හේමසිරි ප්‍රනාන්දුය.


ශ්‍රි ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය දරමින් සුසන්තිකා, දර්ශා, සුගත්ලා ලංකාව රනින් බබළවන විට ඔවුන් පිටුපස සිටියේ හේමසිරි ප්‍රනාන්දුලා බව අපට අමතක වන්නේ ජයග්‍රාහකයා මිසක් ජයග්‍රහණය පිටුපස සිටින සෙවනැලි අගය කරන ක්‍රමයක් තුන්ලෝකයේවත් නැති බැවිනි. ඔහු ලංකාවේ ක්‍රීඩාවට කළ සේවය දැන් ජාත්‍යන්තරයට ලබාදෙන්නේ ආසියානු ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයා ලෙසය.



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්ධූරයට කැදවන්නේ මෙවැනි පසුබිමක් තුළය. ඇතැම් කාරණාවලදී අවසන් තීන්දුව ගත යුත්තේ ලේකම්වරයා නොව ඇමැතිය. ලේකම්වරයා වූ කලි පරිපාලනයකි. යුද්ධය ද සාමය ද යන්න තීරණය කරන්නේ සේනාධිනායකයාය. එය ව්‍යවස්ථාවෙන්ම ඔහුට පමණක් හිමි බලයකි. ලේකම්වරයාගේ කාර්ය සිය ප්‍රධානියාගේ තීරණ ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීමය. දේශපාලනික කුණාටුවක් පැවැති සමයක විධායකය හා ව්‍යවස්ථායකය විරසකව ඇති කලෙක හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්ධූරයට පත්වන්නේ එකම සාකච්ඡා මේසයකට රටේ නායකයන්වත් කැදවා තබා ගැනීමට නොහැකි වටපිටාවකය. 


හේමසිරි ප්‍රනාන්දු ක්‍රීඩා පරිපාලකයෙක් පමණක් නොව දක්ෂ ක්‍රීඩකයෙකි. රයිෆල් ශූරයෙකි. වසර ගණනාවක්ම ශ්‍රී ලංකා රයිෆල් ශූරයා බවට පත්වූ ඔහු 1982 වසරේදී නවදිල්ලියේ පැවති ආසියානු ශූරතාවලියේ හයවැනි ස්ථානය දිනාගත්තේය.

ව්‍යාපාර ක්ෂේත්‍රය, පරිපාලනය, ක්‍රීඩාව, සාහිත්‍ය ආදී එකිකෙනට වෙනස් ඉසව් ගණනාවකදී ම එකවර වැඩ කරන හේමසිරි ප්‍රනාන්දුත් හරියට මුහුණ සයක්, අත් දොළසක් ඇති කතරගම දෙවියන් සේය. අප කාටත් තේරෙන ක්‍රිකට් භාෂාවේ එක වදනකින් ඔහු හදුන්වන්නේ නම් හේමසිරි ප්‍රනාන්දු තුන් ඉරියව් ක්‍රිඩකයෙකි.

අපේ පැරැන්නන් කී‌වේ "ලොවෙන් එකෙක් එක් දෙයක වෙයි සමත" යනුවෙනි. එහෙත් හේමසිරි ප්‍රනාන්දු විෂයෙහි ඒ කතාව අදාල නැත. ඔහු එම කතාව බොරු කළ ජීවමාන සාක්ෂියයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages