ශ්‍රී ලාංකේය ප්‍රතිමා ශිල්පයේ විශ්වකර්ම තිස්ස රණසිංහ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-11

ශ්‍රී ලාංකේය ප්‍රතිමා ශිල්පයේ විශ්වකර්ම තිස්ස රණසිංහ

නූතන ශ්‍රී ලාංකේය මූර්ති කලාවේ විශ්වකර්ම ලෙස අවිවාදයෙන් හැඳින්විය යුතු තිස්ස රණසිංහ හොර රහසින් මෙන් අප අතරින් වෙන් වී ගොස් ඇති බව දැනගත් මොහොතේ මා තුළ ඇතිවූයේ උහුලාගත නොහැකි ශෝකයකි. ශ්‍රී ලාංකේය මූර්ති කලාව තුළ දොළොස්වන සියවසෙහි පොළොන්න‍රුවේ මූර්ති ශිල්පීන්ගෙන් පසු එනම් වසර 800 ක් පමණ කාලයකට පසු බිහිවූ ප්‍රථම ප්‍රතිභාපූර්ණ මූර්ති ශිල්පියා ලෙස ඔහු විචාරක සම්භාවනාවට ප්‍රාප්ත වී සිටියේය.

තිස්ස රණසිංහ උපදින්නේ කොළඹින් සැතැපුම් 30 කට පමණ උතුරින් සඳලංකාවට නුදුරින් පිහිටි යෝගියාන නම් පිටිසර ගමෙහි ය. එය සිංහල සංස්කෘතියත්, බුදු දහමත් නිසා අතිශය සරල ජීවන ක්‍රමයකට හුරු වූ ගොවි ජනයාගේ ගමක් විය. තිස්ස කුඩා කාලයේදී චිත්‍ර ඇඳීමෙහි විශේෂ උනන්දුවක් දැක්වූවෙක් නොවීය. ඔහුගේ සිත ඇදී ගොස් තිබුණේ කෘෂිකර්මාන්තය දෙසටය. ශිෂ්‍යත්වයක් ලැබ පේරාදෙණියේ කෘෂිකර්ම විද්‍යාලයට ඇතුළත් වූ ඔහු 1946 දී එහි ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළේය. අනතුරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බැඳී දිවයිනේ ප්‍රදේශ ගණනාවක සේවය කළේය.

කෙසේ වුව ද පසුව ඔහුගේ සිත චිත්‍රකර්මය වෙත ඇදී යන්නට විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාවෙන් ඉවත්ව කොළඹ හේවුඩ් කලායතනයට ඇතුළත් විය. පසුව රජයේ කලායතනය නමින් හැඳින්වුණු එම ආයතනයේ අධිපති වූ ජේ. ඩී. පෙරේරා, ඩේවිඩ් පේන්ටර් සහ ස්ටැන්ලි අබේසිංහ යන සුප්‍රසිද්ධ කලා ශිල්පීන්ගේ නොමඳ උපදෙස් හා සහයෝගය ලැබීමට තිස්ස වාසනාවන්ත විය. ඒ තිදෙනාම ලන්ඩනයේදී චිත්‍ර කලා අධ්‍යාපනය ලැබූවෝ වූහ. විශේෂයෙන් තිස්සගේ අනාගත කලා දිවියට ජේ. ඩී. ඒ. පෙරේරා ඇදුරුතුමන්ගේ මඟපෙන්වීම බෙහෙවින් බලපෑවේ යයි කිව හැකිය.

ජේ. ඩී. ඒ. පෙරේරා මහතා තිස්සට කියා සිටියේ චිත්‍ර ශිල්පීන් බොහෝ සිටියත් මූර්ති ශිල්පීන් දුලබ හෙයින් තිස්ස මූර්ති ශිල්පය හැදෑරීමට උනන්දු විය යුතු බව ය. මේ අරමුණ සාර්ථක කර ගැනීම පිණිස බ්‍රිතාන්‍ය රජයේ ශිෂ්‍යත්වයක් ලබාගැනීම සඳහා තිස්ස උත්සාහ ගත් නමුත් එය ඉටුවූයේ නැත. ඉන් අධෛර්ය නොවුණු තිස්ස තමන්ගේ වියදමින් එංගලන්තයට ගොස් චෙල්සි කලායතනයට ඇතුළත් විය. ඒ 1954 වර්ෂයේදී ය. ඊළග වසරේ පැවැති චෙල්සි කලායතනයේ වාර්ෂික කලා ප්‍රදර්ශනයේදී මුර්ති අංශයෙන් ප්‍රථම ස්ථානය ලැබුණේ ඔහුට ය. 1954, 1955, 1956, 1957 යන වර්ෂවල ලන්ඩන් නුවර පැවැති ප්‍රදර්ශන ගණනාවකට ඔහුගේ කෘතීන් ඇතුළත් විය.

තිස්ස රණසිංහ 1969 දී රජයේ කලායතනයේ අධිපති වශයෙන් වැඩ බාරගත්තේ ‍විශාල වෙනස්කම් රාශියක් ඇතිකිරීමේ අපේක්ෂාවකින් යුතුව ය. නිසි ලෙස අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්‍යාවශ්‍ය වූ බොහෝ දේ ලබාදීමට ඔහු මහත් උනන්දුවකින් කටයුතු කළේය. කෙසේ වුව ද රජයේ කලායතනයේ පැවැත්ම සඳහා වෙන්කෙරුණු ප්‍රතිපාදන එහි දියුණුව ඇතිකිරීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ඒ අතර ඇතැම් ශිෂ්‍ය කණ්ඩායමක් ඔහුගේ අලුත් වෙනස්කම්වලට විරුද්ධව කටයුතු කිරීමට තරම් අනුවණ වූ බව ද පෙනිණ. ශ්‍රී ලංකාවේ කලාවේ අභිවර්ධනය සඳහා ඔහුගේ මැදහත්වීමේ වැදගත්කම රජය හෝ ශිෂ්‍ය ප්‍රජාව තේරුම් නොගන්නා බව තිස්සට මැනවින් වැටහෙන්නට විය. 1971 ජනවාරි මාසයේ ඔහු රජයේ කලායතනයේ අධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළේය.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට අධික පිරිසක් ඔහුගේ ඉල්ලා අස්වීමෙන් නොසතුටට පත් ව විරෝධය පෑම සඳහා පංති වර්ජනයක් ද ආරම්භ කළහ. තිස්ස රණසිංහ තම බිරිඳ ද දරුවන් දෙදෙනා ද සමඟ ආපසු එංගලන්තය බලා ගියේය. ඔහු ලන්ඩන් නුවර රාජකීය කලායතනයේ ලෝකඩ වාස්තු අංශයට සම්බන්ධ වීය. කලාකරුවන්, සිසුන් හා විචාරකයන් සපිරි සමාජයක ආදරයත්, ගෞරවයත් ලබමින් ප්‍රතිමා ශිල්පයේ නව මං සොයා යාමේ වාසනාව එහිදී තිස්ස රණසිංහට නොමඳව ලැබුණේය.

විදෙස්ගතව ජීවත්වීමෙන් සිය මවුබිම සමඟ පැවැති ආධ්‍යාත්මික හා සෞන්දර්යාත්මක සම්බන්ධය නොමැකී ගිය බවත් ඔහු හැමදාම යෝගියානේ දරුවකු වූ බවත් හදවත තුළින් සිංහලයෙකු වූ බවත් ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ට විචාරකයෙකු වූ මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන සූරීන්ගේ නිගමනය සපුරා නිවැරදි බව තිස්ස ඇසුරු කිරීමේ වාසනාව ලද ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට නොවළහා වැටහෙනු නො අනුමානය. ඔහු මුණගැසීමේ වාසනාව මට උදාවූයේ 1981 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතනයේදී බ්‍රිතාන්‍යයේ මහ රැජින අතින් විවෘත වූ ශ්‍රී ලංකාවේ අතීත උරුමය දැක්වෙන ප්‍රදර්ශනය සම්බන්ධ රාජකාරි කටයුතු සඳහා මා ලන්ඩනයට ගොස් සිටියදීය. මා එහි යන බව තිස්ස රණසිංහ දැනගෙන තිබුණේ ඔහුගේ ද මගේ ද පොදු මිත්‍රයෙකු වූ තායිලන්තයේ ජීවත් වූ මයිකල් රයිට් නම් ප්‍රකට විචාරකයා මඟිනි.

මා කිසි දිනක දැක නොසිටි තිස්ස පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතනයට පැමිණ මා සොයා විත් සිය දෑතින් මගේ සුරත අල්ලාගත් විට මම මවිතයටත් අමන්දානන්දයටත් පත් වීමි. මේ නම් කොයි තරම් නිහතමානී මිනිසෙකු ද? මේ හමුවීම කොයි තරම් උණුසුම් ආශ්චර්යයක් ද? මට සිතුණේ එසේ ය. යළිත් වතාවක ලන්ඩනයට ගිය මම ඔහු මුණගැසීමට එකල ඔහු සේවය කරමින් සිටි ලන්ඩන් හි රාජකීය කලායතනයට ගියෙමි. ඔහු මා කැඳවාගෙන එහි වාත්තු කම්හලට ගොස් දර කොට දමමින් ගිනි උඳුන දල්වමින් සිටි යුරෝපීය ශිෂ්‍යයෙකු පෙන්වමින් Òමම මෙයාලට ‍අපේ ක්‍රමයට ලෝහ වාස්තු ශිල්පය ද කියා දෙනවාÓ යි කීවේ මා තුළ අමුතු ප්‍රබෝධයක් ඇතිකරවමිනි.Ó තිස්සගේ හද තුළ හැමවිට ම සිංහලයා ජීවත් වී යැයි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන කළ ප්‍රකාශය මට ඒ වේලාවේත් සිහිපත් විය.

කොළඹ හේවුඩ් කලායතනයේ උගෙන ගනිද්දී ඔහුගේ වැඩි අවධානය යොමු වී තිබුණේ චිත්‍ර ශිල්පය වෙතය. දිය සායම් මාධ්‍යයෙන් කරන ලද Òමුතු මැණිකÓ නම් ග්‍රන්ථයේ පිටකවරයත් Òසිංහලයේ උපතÓ නම් චිත්‍රයත් නිර්මාණය කොට තිබුණේ රේඛා කර්මයට මුල්තැන දුන් මහනුවර ශෛලීයගත චිත්‍ර සම්ප්‍රදායට අනුව ය. Òනුවර පෙරහැරÓ යනුවෙන් නම් කර ඇති මුල් කාලයේ ඔහු විසින් අඳින ලද චිත්‍රය නූතන කලාවේ ලක්ෂණ විශිෂ්ට ලෙස පිළිබිඹු කරන්නකි. තිස්ස රණසිංහ අතින් වේගවත් ලෙස නිරමාණය වූ රේඛා චිත්‍ර සිය ගණනක් වේ. ඉන් සමහරක් ඔහුගේ මූර්ති නිර්මාණ සඳහා අඳින ලද කටුසටහන් ය. කුමන අරමුණකින් අඳින ලද වුව ද ඒවායින් පිළිබිඹු වන්නේ නිදහස් වේගවත් බවකින් යුතු යමක් චිත්‍රනය කිරීමට ඔහු තුළ වූ නිසඟ කුසලතාව යි. Òතරුණ බුරුම භික්ෂුහුÓ හා Òලව්රේ කෞතුකාගාරයේ මිදුලෙහි පරෙයියන්ට කෑම දෙන කාන්තාවÓ වැනි චිත්‍ර සටහන් මේවාට කදිම නිදසුන් ය.

තිස්ස රණසිංහගේ නිර්මාණ කෞශල්‍යය වඩාත් පැහැදිලි වන්නේත් ඔහු දෙස් විදෙස් කලා විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වන්නේත් විශිෂ්ට ගණයේ ප්‍රතිමා ශිල්පියෙකු වශයෙනි. මුල් ම කාලයේ ඔහු විසින් නිර්මාණය කරනු ලැබ ගල්ඔය ව්‍යාපෘතියේ ඉඟිනියාගල වැව් බැම්මේ ගලක් මත පිහිටුවා ඇති මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ උඩුකය මූර්තිය ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ප්‍රකට නිර්මාණයකි.

මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක අගමැතිතුමාගේ ප්‍රතිමාවක් 1957 දී පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල පිහිටුවන ලදී. එය නිර්මාණය කළේ ජේම්ස් වුඩ්ෆෝර්ඩ් නම් බ්‍රිතාන්‍ය මූර්ති ශිල්පියා ය. 1957 මාර්තු 07 වන දින ඔබ්සර්වර් පත්‍රයෙහි කර්තෘ වාඛ්‍යයෙන් Òමේ බියජනක අස්වාභික ප්‍රතිමාව ඉවත්කොට ඩී. ඇස්. සේනානායක මහතා පිළිබඳ මතකයට ගැළපෙන ප්‍රතිරූපයක් පිහිටුවන්නැ'යි ඉල්ලා සිටියේය. එය නිර්මාණය කළ මූර්ති ශිල්පියා සේනානායක අගමැතිතුමා කිසිදින දැක නොසිටි අතර එතුමා සිය රට වෙනුවෙන් කළ මහඟු සේවය පිළිබඳ පුළුල් අවබෝධයක් ද ඔහු තුළ නොතිබෙන්නට ඇත.

ලන්ඩනයේ මූර්ති ශිල්පය හදාරා අවසන් කළ තරුණ මූර්ති ශිල්පියෙකු වූ තිස්ස රණසිංහ විසින් නිර්මාණය කරන ලද සෙ. මී. 101 උස් වූ ඩී. ඇස්. සේනානායක ප්‍රතිමාව දැන් එතැන දක්නට හැකිය. එහි දකුණු අතෙහි Òදෙවො වස්සතු කාලෙනÓ යන සුප්‍රකට ගාථාව ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද පරිවර්තනයක් ද සමඟ කොටන ලද කඩදාසියක් දැක්වෙයි. මේ ප්‍රතිමාව ශ්‍රී ලාංකේය මූර්ති ශිල්පියෙකු විසින් කරන ලද එම වර්ගයේ මුල්ම කෘතිය හැටියට සම්භාවනාවට ප්‍රාප්ත විය යුත්තකි. ශ්‍රී ලංකාවේ තවත් ජනනායකයන් කිහිපදෙනෙකුගේ ප්‍රතිමා ද තිස්ස අතින් නිර්මාණය වී ඇත. ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක යන දේශපාලනඥයන්ගේ සහ බෞද්ධ පුනර්ජීවනයේ නියමුවකු වූ හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමාගේ ප්‍රතිමා ඒ අතර වේ.

තිස්සගේ නිර්මාණ තුළ වූ විශේෂ ලක්ෂණයක් වූයේ අතීත සම්ප්‍රදාය සමකාලීන විඥානය සමඟ මනා සේ ගළපා තිබීමයි. ඔහුගේ Òවිශ්වකර්මÓ නම් මූර්තිය මෙයට කදිම නිදසුනකි. එහි අලුත් අංග ගණනාවක් ඇතුළත් වේ. එහි එක් අතක කැමරාවකි. තවත් අතක ඡායාරූප පටලයකි. එහි එක් අංශයක ආභරණවලින් මැනවින් සැරසුණු කාන්තාවකි. සකල කලාවන්ට අධිපති දෙවියාගේ හරය පිළිබඳ නූතන කියවීමක් තිස්ස අතින් නිර්මාණය වන්නේ එපරිද්දෙනි. ගණදෙවි, ත්‍රිත්වය, නන්දි, අර්ධනාරීශ්වර, භගීරතන වැනි සම්භාව්‍ය හින්දු ප්‍රතිමා මෙන්ම බුද්ධ ප්‍රතිමාව ද මෙම ලක්ෂණයෙන් අර්ථවත් වන හැටි පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.

වත්මන් ලෝකයේ කලාකරුවෙකුට ලැබිය හැකි උසස්ම සම්මාන හා උපහාරවලින් තිස්ස රණසිංහට අඩුවක් නොවීය. ශ්‍රී ලංකාවේ ප්‍රතිමා ශිල්පය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තව තවත් ප්‍රතිභා පූර්ණ කලාකරුවන් බිහිවිය යුතු බව අදහස් කළ ඔහු ඒ සඳහා බො‍හෝදෙනෙකුට ආධාර කළේය. මහාචාර්ය සරත් චන්ද්‍රජීව එසේ ඔහුගේ අවධානයට ලක්ව අනුග්‍රහය ලද කෙනෙකි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ තිස්ස එංගලන්තයේ පදිංචිව ජීවිතය ගතකළත් දේශ දේශාන්තර තුළ කීර්තියට හා බුහුමනට ප්‍රාප්ත වුවත් යෝගියාන ගම්මානයේ සරල චාම් ගැමි බව ඔහු තුළ නොනැසී පැවතියේය. තිස්සගේ කලාවත්, ඔහුගේ ජීවිතයත් ගැන සලකා බලන විට පුවත්පතක පළවන මෙවැනි ලිපියක් හැඳින්විය යුත්තේ පරසතු මලින් පිදිය යුත්තෙකු පිදීමට තැබූ වනපස මලක් ලෙසිනි.

ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages