සිහිබුද්ධියෙන් ඡන්දය භාවිත නොකළොත් ජනතාවට එහි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-11

සිහිබුද්ධියෙන් ඡන්දය භාවිත නොකළොත් ජනතාවට එහි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවෙයි

ඇමැති අකිල විරාජ් කාරියවසම්

වත්මන් ආණ්ඩුව ලබා දුන් අසීමිත නිදහස හා ඊට පෙර පැවැති නිදහස කොපමණදැයි සංසන්දනය කර ජනතාව ජනාධිපතිවරණයේදී සිහිබුද්ධියෙන් කල්පනා කර ඡන්දය පාවිච්චි කළ යුතු බවත්, එ‍ෙස් නොකළොත් එහි ප්‍රතිඵලය ද ජනතාවටම භුක්ති විඳීමට සිදුවන බවත්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අධ්‍යාපන ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

අද භුක්ති විඳින නිදහස වෙනස් වූ දිනෙක ජනතාවට තමන් අත්විඳින ලද නිදහස කොපමණදැයි වැටහෙනු ඇති බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

මහලේකම්වරයා එසේ සඳහන් කළේ එක්සත් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංසදයේ නියෝජිත පිරිසක් සමඟ සිදුකළ සාකච්ඡාවකදී ය.

තරුණ පරපුරට අවශ්‍ය රැකියා ජනිත කිරීම රජයක වගකීම බවත්, ශ්‍රී ලංකාවට පමණක් සීමා වන හුදකලා වූ තරුණ පරපුරක් නොව සීමා මායිම් ඉක්මවා ගිය විශ්වයටම ගැලපෙන තරුණ පරපුරක් බිහි කිරීම සඳහා රජය කටයුතු කරගෙන යන බවත්, හෙතෙම සඳහන් කළේය.

වසර පහකට ආසන්න කාලයේ සිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයකින් අපේක්ෂා ක‍ෙළ් 13 වසරක සහතික කළ අධ්‍යාපනයෙන් පසු දේශීය රැකියා වෙළෙඳ පොළ පමණක් නොව ලෝක රැකියා වෙළෙඳ පොළටද ගැළපෙන පුහුණු ශ්‍රමිකයන් පිරිසක් ජනනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණ විෂයයන් හඳුන්වාදීමටයි. මේ විෂයයන් සඳහා විධිමත් න්‍යායික ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් රාශියක් ඉදිරිපත්ව සිටින බවත්, මෙම පුහුණුව ලද සිසුන් රැකියා සඳහා බඳවා ගැනීමටද එම සමාගම් සූදානමින් සිටින බවත් පැවසූ මහලේකම්වරයා, එහෙත් විධිමත් පුහුණුවෙන් හා උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව පමණක් ඔවුන්ට මේ අවස්ථා ලබාදිය හැකි බවට අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් තමා නිලධාරින්ට උපදෙස් දුන් බවත් පැවසුවේය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පමණක් පුහුණු ශ්‍රමිකයන් නොමැතිවීම නිසා රැකියා ඇබෑර්තු 20,000 කට වඩා පවතින බවත් මෙහිදී මහලේකම්වරයා අවධාරණය කළේය.

රටේ අනාගත සැලසුම් කෙසේ සකස් විය යුතු දැයි යෝජනා සහිත ලියවිල්ලක් ලබාදෙනවා නම් එය ප්‍රතිපත්ති සම්පාදනය කරන අවස්ථාවේදී යොදා ගත හැකි බව ඇමැතිවරයා සඳහන් ක‍ෙළ් සරසවි සිසුන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි‍.

යුගයට ගැළපෙන අධ්‍යාපන පනතක් අලුතින් සකස් කරන තිබෙන බවත්, ගුරුවරුන් බඳවා ගැනීමේදී හා ගුරු පුහුණුවේදී ලෝකයේ දියුණු රටවල අනුගමනය කරන ක්‍රමවේද භාවිත කිරීමේ අවශ්‍යතාවත් සඳහන් කළ ම‍හලේකම්වරයා, ජනපතිවරණයෙන් පසු එළැඹෙන ඉදිරි අවුරුදු පහේදී මෙරට අධ්‍යාපනයේ දැවැන්ත පරිවර්තනීය වෙනස සිදුකළ හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

වර්තමාන ආණ්ඩුව කෙටි කාලයක් තුළ සිදුකරන ලද සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කළ මහලේකම්වරයා, අධ්‍යාපනය, සෞඛ්‍යය , මහාමාර්ග අමාත්‍යාංශවලින් සිදුකළ දැවැන්ත ව්‍යාපෘති අතර හතලිස් පන්ලක්ෂයක් වන පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණය ලබාදීම, ළඟම පාසල හොඳම හොඳම පාසල වැඩසටහන යටතේ නව පාසල් ගොඩනැගිලි 3,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීම, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන, ඖෂධ මිල අඩුකිරීම, අධිවේගී මාර්ග තනා නිමකිරීම වැනි ව්‍යාපෘතිවලින් රටට ලබාදුන් ප්‍රතිලාභ සිහිපත් කළේය.

ශිෂ්‍ය නියෝජිතයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් වූවත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ අන්‍ය ජාතීන් හැමදෙනාම ජීවත්වුණා. එහෙත් අද ජාතිවාදය රට ඉතා නරක තැනකට ගෙන යනවා. එය කූට උපායකින් බලය ලබාගෙන තම මඩි තරකරගැනීම සඳහා කරන උපක්‍රමයක් පමණක් මිස බුද්ධාගමට ඇති ඇල්ම නිසා සිදුකරන්නක් නොවේ. ඔවුන් හැසිරෙන්නේ බුදුන්වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව ද නොවේ. තරුණයන් වශයෙන් ඔබ මේ පිළිබඳ බුද්ධිමත්ව සිතා බලන්න.

අනාගත තරුණ පරපුර ගැන සිතා අවශ්‍ය වෙනස සිදුකළ යුතුයි. ඇතැම් දේශපාලන චරිත ඔවුන් මතුපිටින් පෙන්වන චරිත ‍නොවේ. අතීතය දෙස බලන්න. තාජුඩීන් ඝාතනය, වැලිකඩ බන්ධනාගාර සිරකරුවන් ඝාතනය කිරීම, යොවුන් පෙරමුණේ රොෂාන් චානක වැනි තරුණයන් ඝාතනය කිරීම ආදී සිදුවීම ගැන කල්පනා කර බලන්න, අද එවැනි දේ සිදුවන්නේ නැහැ. අද උපරිම නිදහසක් හැම කෙනෙකුටම තිබෙනවා. මේ නිදහස වෙනස් වූ දිනෙක ජනතාවට තමන් භුක්ති විඳින ලද නිදහස කොච්චර දැයි වැටහේවි.

අපේ ආණ්ඩුව පත්කරන ලද විවිධ ආයතනවල සමහර ප්‍රධානීන් පවා විවිධ හේතු නිසා කරුණු යට ගැසුවා. අපට විශේෂ අධිකරණ පිහිටුවීමට සිදුවූයේ ඇයි? පවතින නීතියේ දුර්වලකම් හා පවතින අධිකරණ මඟින් සිදුකර ගැනීමට අපහසුවීම නිසයි. FCID වැනි ආයතනවල විශ්වාසය නැතිවුණේ ඇයි? ඒ ආයතනවල අය කරන දේවල් පවා දැන් හෙළිවී තිබෙනවා. ඒවා නැවැත්වීමට හෝ සැඟවීමට අවශ්‍ය වුණා නම් විශේෂ අධිකරණ ඇති කරන්න වුවමනාවක් නැහැ. අපටත් අවශ්‍ය වුණේ දඬුවම් ලබාදීමටයි. එහෙත් නොහැකි වුණා. ඒවාට විශේෂ හේතු තිබුණා. වෙනත් රටවල සමහර නායකයන් පවා දඬුවම් වින්දේ අවුරුදු ගණන් ගත වූ පසුවයි. අපිට කරන්න පුළුවන් උපරිම වේගෙන් අපි කටයුතු කළා.

දැන්වීම් ප්‍රචාරණය සඳහා පැවැති කලින් ආණ්ඩුව කෝටි ගණන් මුදල් වැය කළා. අප එසේ කළේ නැහැ. එක්තරා සීමාවකට පමණක් ප්‍රචාරණය සඳහා මුදල් වැය කිරීමට අපේ ආණ්ඩුව තීරණය කළා. ඒ නිසා අපට මේ දැවැන්ත සංවර්ධනය ගැන විශාල ප්‍රචාරයකට අවස්ථාව ලැබුණේ නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages