ජවිපෙ භූමිකාව කුමක්ද? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-11-11

ජවිපෙ භූමිකාව කුමක්ද?

මේ දවස්වල ඡන්දය උඩ දිවා රෑ නොබලා අපි දුවනව. ඒත් ඉවරයක් නෑ. ඒ අස්සේ ගෝඨාගේ පරාජය නවත්වන්න තවත් පැත්තකින් සටනක් ඇති වෙලා. ඒ අනුර දිසානායකගේ ප්‍රකාශය. උන්නැහේලා කියන්නේ ගෝඨාගේ දිනුමට විරුද්ධව සටන් කරන බවයි. එහෙම ඇත්ත උවමනාවක් තියෙනව නම් ලිබරල් මතයේ නැත්තනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතය තුළ සටන් වදින සජිත්ට උපකාර කරන්නට යන්නේ නැතිව වෙනම ඡන්දයට ආවේ ඇයි? ඔහු දන්නව දිනන ඡන්දයක් එයාට ඇත්තටම නැති බව. නමුත් යම් ඡන්දයක් මඟින් අවුලක් ඇති කරන්නට පුළුවන්. මෙවැනි අවස්ථා ලෝකය තුළ වෙන කාලවකවානුවලත් ඉදිරිපත් වුණා. හොඳම උදාහරණය ජර්මනියේ පළමු ලෝක යුද්ධයෙන් පසුව ඇති වුණ තත්ත්වය.

එදා බලයට ආපු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් වැරදි වැඩ කළා. ඇත්තටම වමේ උදවිය මැරුම් කෑවා. ඒ වුණත් ෆැසිස්ට්වාදීන් ශක්තිමත් වෙන විට සියලු මානවවාදී නායකයන් වමේ කොමියුනිස්ට්වාදීන්ට කිව්වේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අය සමඟ එකතු වෙලා ජාතිවාදී හිට්ලර් පරාජය කළ යුතු බවයි. එහෙත් කොමියුනිස්ට් පක්ෂය එයට එකඟ නොවී වෙනම තරග කළා. ඒ අවකාශය උඩ හිට්ලර්ට බලයට එන්න ඉඩ පෑදුනා. ඒ ජයග්‍රහණයත් සමඟ ඇතිවූ ඵලය වුණේ වාමාංශිකයන් මරා දැමීම. කොමියුනිස්ට්වාදීන් මරුවාට බිලි වුණා.

මේ රට තුළත් ඒ වගේ කථාවක් ඇතිවෙන්න පුළුවන්. දැනට සජිත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ක්‍රියාකාරීව වැඩ කරනවා. තම පක්ෂය තුළ සටන් කරල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ඇසින් බැලීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. මේක බලවත් පිම්මක්. අද දවසේ මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරල තියෙන්නේ ඇමරිකාවේ බර්නි සෝන්ඩර්ස් මෙන්ම එංගලන්තයේ ජෙරමි කෝර්බින් කියන කම්කරු පක්ෂ නායකයෝ. ඒ අය අනුව සටනට ඇවිත් ඉන්න සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සජිත්ට විරුද්ධව ඡන්ද කැඩීමට තුන්වැනි අපේක්ෂකයෙක් ලෙස අනුර ඉදිරිපත් වීම සටන පාවාදීමක්. මොකද, අනුරට එකතුවෙන සෑම ඡන්දයක්ම ගෝඨාට විරුද්ධව දෙන ඡන්දයක්. ඒවා සජිත් පරාජය කළ යුතුය කියල කියන ඡන්ද නොවෙයි.

ඒ අනුව ගෝඨාට විරුද්ධව තියෙන ඡන්ද එක ගොඩකට නොවැටී ගොඩවල් දෙකක් ඇති වෙනවා. ඒ අනුව ලක්ෂ 10කට කිට්ටු ඡන්දයක් අනුර ලබා ගත්තොත් නිකම්ම ගෝඨාට පළමු වටයෙන්ම ජයගන්න පුළුවන්. අනුර, සජිත් එකට වැටුණු විට ලැබෙන විශාල ඡන්දයකින් ගෝඨා පරාජය කළ යුතුව තිබියදී බෙදී තරග කිරීමෙන් අනුර, සජිත් දෙදෙනාටම පරාජය ඇතිවෙන්න පුළුවන්.

අනෙක් අතට අනාගතයේ දී හැමෝම වාමාංශිකයින්ට දෙස් දෙවොල් කියයි. මේ දවසේ පාවාදීම ගැන. අනුර - සජිත් අතර ඡන්ද පරතරය ලොකු තැන්නම් කෙනෙකුට කියන්න පුළුවන් සජිත් ඉවත්වෙලා අනුරට ඉඩ දෙන්න කියල. ඒත් ඉතාම සරලව බැලුවත් සජිත් ගෝඨා සමඟ කරට කර සටනක ඉන්න බව හැමෝම පිළිගන්නවා. එහෙයින්ම කළ යුතු එකම දේ අනුර, සජිත්ට ඉඩ දීමයි. එය නොකළොත් හිට්ලර්ට පාර කැපූ ජර්මානු කොමියුනිස්ට් කාරයන්ගේ ඉරණම ම අනුරටත් විඳගන්න වේවි.

සජිත් පිළේ ඇතැම් අය අනුරට ඡන්ද ලක්ෂයකට එහා ගන්න බැරි කෙනෙක් ගැන දඟලන්නේ මොටද කියල හිතනව. ඒත් තත්ත්වය එයට වඩා වෙනස් බව මේ ඇත්තන්ට දකින්න පුළුවන් වෙන්නේ ඡන්ද ප්‍රතිඵල ලැබුනට පස්සෙයි. කොහොමටත් දේශපාලනය නොදන්න උදවිය හිතන හිදියටම හිතන්න අනුරට අයිතියක් නෑ. මොකද ඔහු දේශපාලනය යම් අයුරකින් දන්න කෙනෙක් නිසා. එම නිසා අපට චෝදනා එල්ල කරන්නම වෙන්නේ අනුර දිසානායක වෙත පමණයි. ජාතිවාදී පිළිවෙත් රාජපක්ෂ පවුලටයි විමල් වීරවංශටයි බාර දීල දාල වමට පියවර ගත් අනුර දැන් මේ සටනෙදි ජාතිවාදී ෆැසිස්ට්වාදීන්ට උඩගෙඩි දීල රටට වින කළොත් සදහටම උත්තර බඳින්න වේවි. ජර්මන් කොමියුනිස්ට්වාදීන්ට උන දෙයම මෙයාලටත් විඳින්න වේවි.

අනෙක් අතට සජිත්ගේ සහායකයන් මේ ප්‍රශ්නය ගැන නොදැනුවත්කමින් වැඩ කිරීමෙන් ඇතිවෙන්නෙත් හානියක් ඔවුන් හිතන්නේ බලවත් ඡන්දයක් අනුරට නෑ කියල. එහෙම වුණත් සටන් පෙරමුණ වෙනුවෙන් එකට සිටීම උදෙසා වැඩපිළිවෙළක් දියත් කළ යුතුව තිබෙනවා. ජය අතට අරන් වගේ වැඩ කිරීම විහිලුවක් වෙන්න පුලුවන්. සෑම අතින්ම බලල වැඩිම ඡන්දයක් ලබා ගැන්මට උපාය උපක්‍රම යෙදීමට සිදුවන යුගයක්නේ මේක. එනිසා සාකච්ඡා මඟින් මෙම ප්‍රශ්නයට උත්තර ලබා ගැන්මට උත්සාහ කරන්න වෙනවා. කවුරුත් දන්නව ගෝඨා බලය ගතහොත් එතැන් සිට ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන් ගැනීම බිඳවැටෙනවා. ඒ විදියට විපතක් වුණොත් ජනතාවට කියන්න දෙයක් නෑ. අමාරු කාල පරිච්ඡේදයකට යන්න වෙනවා.

මේ සටන ධර්මය පිළිබඳ සටනක්. ඒ උදෙසා හැමෝම තම උපරිම සහාය දිය යුතුයි. දැනට යූ.ඇන්.පී නායකත්වය වෙන කවරදාටත් වඩා ලිබරල්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ඇසකින් වැඩ කරන බව පැහැදිලියි. ඒක ලොකු වෙනසක්. පරණ ලිබරල්වාදී දැක්මට වඩා ප්‍රබල දැක්මක් එම පක්ෂය තුළට ඇවිත් තියෙනවා. එය ඉදිරියට තල්ලු කිරීම මගින් යමක් බලාපොරොත්තු විය හැකියි. එයට අත ගැසිය යුතුයි.

ආචාර්ය
වික්‍රමබාහු කරුණාරත්න 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages