කාසල්රි පිටාර ජලයට නොර්වුඩ් නිවාස 30ක් යටවේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-02

කාසල්රි පිටාර ජලයට නොර්වුඩ් නිවාස 30ක් යටවේ

Author(s): 
අසේල කුරුළුවංශ

අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගැලිමෙන් නොර්වුඩ් ප්‍රදේශයේ කෙසෙල්ගමු ඔය ආසන්නයේ පහත් බිම්වල පිහිටි නිවාස 30 ක් ජලයෙන් යටවීම නිසා පවුල් තිහකට අයත් සාමාජිකයින් 125 දෙනෙකු අවතැන්ව සිටින බව නොර්වුඩ් පොලීසිය පවසයි.

ඔය පිටාර ගැලීමත් සමඟ පෙරේදා (30) රාත්‍රි 11.00 ට පමණ පහත බිම් ප්‍රදේශය ක්ෂණිකව ජලයෙන් යටවීම නිසා අඩි තුනක පමණ උසක් දක්වා නිවාස තුළ ජලය පිරී ඇත.

පැය තුනක පමණ කාලයක මෙම තත්ත්වය පැවැති බවත් ගෘහ උපකරණ රැසක් ජලයෙන් යටවූ බවත් ප්‍රදේශවාසීහු පසවති.

නොර්වුඩ් ග්‍රාමසේවා කාර්යයලය හා සමෘද්ධි කාර්යාලයද ජලයෙන් යටවී තිබේ.ජලය බැස යාමත් සමඟ නිවාස වල තැන්පත්ව තිබූ රොන් මඩ ඉවත් කිරීමේ කටයුුතු ඒවාහි පදිංචිකරුවන් විසින්ම සිදු කරගනු ලැබූ බව පොලීසිය පවසයි.

කෙසෙල්ගමු ඔය ආරම්භ වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයට පෙරේදා (30) පස්වරුවේ සිට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ යෑමෙන් මෙම ආපදා තත්ත්වය නිර්මාණයවී ඇත.

අධික වර්ෂාවක් ඇස හැලෙන සෑම අවස්ථාවකම ඔය පිටාර ගැලීම සිදුවන නිසා එය වලක්වා ගැනීම පිණිස අපදා කළමණාකරණ ඒකකය මගින් විශාල මුදලක් වැයකර ඔය පුළුල් කළද ඉන් පලක්වී නොමැති බව ඒ අවට පදිංචිකරුවෝ පවසති.

කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. අපදා තත්ත්වයෙන් අවතැන් වූවන්ට අවශ්‍යය පහසුකම් සැලසීමට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකය කටයුතු කර ඇත. අවතැන් වූවන්ට පිසූ ආහාර පිළියෙළ කිරිමට නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින් සහයෝගය ලබාදී තිබේ.

ඡායාරූප- අසේල කුරුළුවංශ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages