ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් පහසුකම් සපයන්න නේපාලයට රු.මිලියන 73ක් දුන්නා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-02

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් පහසුකම් සපයන්න නේපාලයට රු.මිලියන 73ක් දුන්නා

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල කියයි

මෙවර නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතුවල විශාල අඩුපාඩු පවතින බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ලෙස අපහසුතා ඇතිවූ බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා පවසයි.

කත්මන්ඩු නුවර දී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හමුවේ ධම්මික මුතුගල මහතා කියා සිටියේ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් සහ සෙසු පහසුකම් සැපයීමට ආසියානු ඔලිම්පික් කමිටුවේ මැදිහත් වීමෙන් නේපාල ඔලිම්පික් කමිටුවට මුදල් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයට සිදුවූ බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවාතැන්, ආහාර සහ ප්‍රවාහන පහසුකම් සඳහා මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 73ක් නේපාලයට ලබාදී ඇතැයි ඔහු කියා සිටියේය.

‘අපි ආසියානු ඔලිම්පික් කමිටුවේ මැදිහත් වීමෙන් නේපාලයට රුපියල් මිලියන 73ක් ලබා දුන්නා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පහසුකම් වෙනුවෙන්. එහෙත් අපි අපේක්ෂා කළ පරිදි පහසුකම් ලැබුනේ නැහැ. මෙහේ තියෙන සංවිධාන කටයුතු ඉතාමත් අසංවිධානාත්මකයි. ඒ නිසා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ අපිට විශාල අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවුණා. විශේෂයෙන්ම මලල ක්‍රීඩා භූමිය තවමත් සකස් කෙරෙමින පවතිනවා. පිහිනුම් තටාකයේ වැඩ තවම ඉවර වෙලා නැහැ. කොහොම වුණත් රන් පදක්කම් 35ක් ඉක්මවා යෑමට අපි අපේක්ෂා කරනවා’

කෙසේ වුවත් යම් යම් කනගාටුදායක තත්ත්වයන් හේතුවෙන් රන් පදක්කම් කිහිපයක් අහිමිවී තිබේ. පිහිනුම් පදක්කම් බලාපොරොත්තු විය හැකි කිමිකෝ රහීම් සහ චෙරන්ත ද සිල්වා ආබාධ හේතුවෙන් මෙවර ක්‍රීඩා උළෙලට එක් නොවන අතර අනතුරක් හේතුවෙන් නිමාලි ලියනාරච්චි නොපැමිණීමත්, විදූෂා ලක්ෂානීගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක පැවැතීමත් නිසා රන් පදක්කම් කිහිපයක් අවිනිශ්චිතය. එමෙන්ම නේපාලයට පැමිණීමෙන් පසුව මේ වනවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු අසනීප තත්ත්වයෙන් ද පසුවෙති.

ශ්‍රී ලංකාවේදී මලල ක්‍රීඩා කණ්ඩායමට පුහුණුවීම කටයුතු සඳහා සියලු පහසුකම් ලබාදී සුගතදාස හෝටලයේ නවතා තිබියදී ඉන් පිටතට යෑමෙන් සිදුවූ නිමාලි ලියනාරච්චිගේ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට මලල ක්‍රීඩා සංගමයට දැනුම් දෙන බවද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීය.

ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් සම්බන්ධ කටයුතුවලදී විශේෂයෙන්ම මලල ක්‍රීඩා කණ්ඩායමට ගැටලු ඇතිවී තිබේ. මලල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රවාහන කටයුතු සඳහා විශාල බස් රථ ලබාදී තිබුණත් ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටල් අසලට යෑමට මාර්ග පුළුල් නොවීමෙන් ගැටලු රැසක් ඇතිව තිබිණි. කත්මන්ඩු ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම්, ඉන්දියාවේදී සිදුවූ අපහසුතා හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නේපාලයට පැමිණීමේදී විශාල අපහසුතාවලට මුහුණදීමට සිදුවිය. එමෙන්ම කෙසේ වෙතත් ඉසව් 27ක් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් නේපාලයට පැමිණෙමින් සිටින අතර මේ වනවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 403 දෙනකු පැමිණ සිටිති. මීට අමතරව මෙහි පවතින දේශගුණය ඔවුන්ට විශාල අභියෝගයක් වනු ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය මේ ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා, පිහිනුම්, බර ඉසිලීම, කබඩි, බීච් වොලිබෝල්, බීච් කබඩි සහ සටන් ක්‍රීඩා වලදී විශේෂයෙන්ම පදක්කම් දිනා ගැනීමට බලාපොරොත්තු වෙන් සිටී. ඒ සඳහා පසුගිය ක්‍රීඩා උළෙලට 12ටම වඩා ශ්‍රී ලංකා මේ ක්‍රීඩා උළෙලට හොඳින් සූදානම් වූබවත් කී මුතුගල මහතා අවාසනාවන්ත තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම ශ්‍රී ලංකාවේ නතර කර ඒමට සිදුවූ බවත් ඉන් කිසියම් ආකාරයක බලපෑමක් වනු ඇති බවත් ඔහු පැවැසීය.

ක්‍රීඩා උළෙලට එක්ව ඇති නිලධාරීන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුතුගල මහතා පැවැසුවේ මේ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් එක්ව ඇති නිලධාරීන් සංඛ්‍යව 46ක් පමණක් බවයි. ‘මම වගකීමෙන් කියනවා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මෙහෙට ගෙනාවේ නිලධාරීන් 46ක් විතරයි. ඒ කණ්ඩායමට ජාතික ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, සාග් මෙහෙයුම් කාර්යාලය, ක්‍රීඩා වෛද්‍ය ඒකකය, ජාතික තේරීම් කමිටුව සහ නේපාලයේ පැවැත්වෙන අපොස සා.පෙළ විභාගය සඳහා වන නිලධාරීන් ඇතුළු පිරිසක්.’ මුතුගල මහතා කීය.

මෙවර අපොස සා.පෙළ නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකු මේ ක්‍රීඩා උළෙලට එක්ව සිටීම විශේෂ සිදුවීමක් වන අතර ඔවුන්ට කත්මන්ඩු නුවර තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දී ඇත. මේ කටයුත්තේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී දම්පත් ප්‍රනාන්දු මහතා විශාල වෙහෙසක් දරමින් ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු පිළිබඳ කටයුතු කර තිබිණි. එහෙත් මෙහි පවතින දුර්වල සංවිධාන කටයුතු එයට ද හරස්වී ඇති අතර අමාත්‍යාංශයේ වියදමින් සහ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් එම කටයුතු සපයාගෙන ඇත.

මේ මාධ්‍ය හමුවට එක්වූ ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පැවැසුවේ මෙහි පවතින අඩුපාඩු පිළිබඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කළ බවත්, ඒවා විඳ ගනිමින් රට දිනවීමට කටයුතු කළ යුතු බවත්ය.

‘අපි පැහැදිලිවම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වේලාසනින්ම කිවුවා මෙහෙ පහසුකම් අඩුයි කියලා. මේ රට තවමත් දියුණුවන රටක්. මේ ක්‍රීඩා උළෙල යළිත් කල් දැමිමට උත්සහ කළත් රටවල් හතේම එකඟවීමෙන් තමයි ක්‍රීඩා උළෙල මේ දිනවල පැවැත්වීමට කටයුතු කළේ.’

ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී විවිධ යෝග්‍යතා වැනි තරග පැවැත්වීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපහසුතාවට පත්වන බැවින් ඉදිරියේදී ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදුවන බවයි.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී දම්පත් ප්‍රනාන්දු, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරතන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages