මම එක පුතෙක් නෙමෙයි පරපුරක්ම හැදුවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-05

මම එක පුතෙක් නෙමෙයි පරපුරක්ම හැදුවා

දෙසැම්බර් 5, 2019

කලාකරුවන් අතර එකතුවීමක් සැබවින්ම අවශ්‍යයයි

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ

 

කලාසුරී ගුණදාස ලියනගේ මහතා සහ කථිකාචාරිනී චන්ද්‍රලතා ලියනගේ මහත්මියගේ ජ්‍යේෂ්ඨ පුතු වන ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ සුප්‍රකට සන්නිවේදකයෙකි. ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකා රැසක් ඔස්සේ ශ්‍රාවක ප්‍රේක්ෂක සමූහයා පිනවූ ප්‍රවීණ නිවේදකයෙකු වන ශ්‍රීමත් විසි වසරකට වැඩි කාලයක් ලේක් හවුස් ආයතනයේ ද සේවය කළේය. සිළුමිණ, තරුණි, දිනමිණ, යොවුන් ජනතා පුවත්පත්හි උප කතුවරයෙකු ලෙස සිය ප්‍රතිභාව මනාව ප්‍රකට කළේ ය. ගුවන් විදුලි නාට්‍ය සිය ගණනකට හඬ එක් කළ හෙතෙම අතිශය ජනාදරයට පත් රූපවාහිනී මාලා නාටක, චිත්‍රපට රැසක සිය භාව පූර්ණ හඬින් ජනතාවට සමීප කිරීමට වරම් ලැබීය. රංගනය, නිවේදනය, ලේඛනය, චිත්‍ර කලාව, නර්තනය, ගායනය හඬ කැවීම් ආදී ක්ෂේත්‍රයන් ස්පර්ශ කරලීමට තරම් ඔහු වාසනාවන්ත විය. ඔහුගේ නවතම කලා කටයුතු පිළිබඳව සරසවිය සමඟ යෙදුණු සොඳුරු කතාබහකි මේ...

 

ඔබ කලා ක්ෂේත්‍ර‍යේ දිගු ගමනක් ඇවිත් තිබෙනවා. එහි මුලාරම්භය ගැන කතා කළොත් ?

මගේ කුඩා කාලයේ අපේ ගෙදර වෙන ළමයින්ට වගේ සෙල්ලම් බඩු තිබුණෙ නැහැ. මට දකින්න ලැබුණෙ මගේ පියාගේ පොත්. ඒ හුරුව නිසා කුඩා කාලයේ ඉදන්ම මම පොත්පත්වලට ආදරය කළා. ඒ පොත් පරිශීලනය කළා. මම පහ වසර දක්වා ඉගෙනුම ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ. එයින් පසුව කොළඹ නාලන්දා විදුහලට ඇතුළත් වුණා. එමගින් මට ලැබුණු පන්නරය කියා නිම කළ නොහැකියි. කලා කටයුතු රැසකට මම සම්බන්ධ වුණා. බොහෝ ජයග්‍රහණ පවා හිමි කර ගත්තා. මෙහිදී විශේෂ යමක් සිහිපත් කළ යුතුයි. අප විද්‍යාලයේ පැවති වජ්‍ර ජයන්ති කලා උළෙලේදී ප්‍රධාන නිවේදක ලෙස කටයුතු කරන්නට මට අවස්ථාවක් ලැබුණා. එදා ඒ උත්සවයට පැමිණි ගුණරත්න අබේසේකර මහතා මගේ නිවේදන හැකියාව ගැන පැහැදී එකළ ගුවන් විදුලියේ පැවති සරස්වතී මණ්ඩපයට මාව සහභාගී කර ගත්තා. ඒ තුළින් ළමා වියේදීම විවිධ නිර්මාණවලට දායක වීමට ලැබීම ජීවිතයේ මම ලබපු ලොකුම භාග්‍යයක්.

 

මම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නෙ 1990 වර්ෂයේ. එයින් පසුව ස්වදේශීය සේවය, සිටි එෆ් එම්, අධ්‍යාපන සේවය, මැදපෙරදිග සේවය, ජාතික රූපවාහිනිය , සිරස එෆ්. එම්, සිරස ටීවී, ධ්ඊව්, ඊව්ඹ්, ර්ඊඍ, ර්ඒඔ ඊඍ, ර්ඒඔ අඒච්ධ්ර්‍ණ හා තවත් නාළිකා බොහොමයක් ඔස්සේ ශ්‍රාවක ප්‍රේක්ෂක සමූහයාට ආමන්ත්‍රණය කළා. ඒ වගේම මම හොඳ රසවතෙක්. ගවේෂකයෙක්. සැබෑ සන්නිවේදකයෙකුට යා නොහැකි දුරක් නැහැ. හැකියාව තියෙනවානම් රැකියාවට බිය විය යුතුත් නෑ. අද මම ගොඩක් දුර ඇවිත්. ඒ ගැන තියෙන්නෙ නිහතමානී සතුටක්.

ගෙවීගිය පුවත්පත් කලා දිවිය ගැන ඔබට දැනන්නේ කොහොමද?

මම පුවත්පත් කලාවේදියෙක් ලෙස වසර ගණනාවක් සේවය කළා. ඒ අත්දැකීම් ඇත්තටම මිහිරියි. ජීවිතයට අමතක නොවන අත්දැකීම් සමූයක් ලැබුවා. දිනමිණ, සිළුමිණ, තරුණි, යොවුන් ජනතා පුවත්පත්වල සේවය කිරීමෙන් මා ලබාගත් පන්නරය ජීවිතයට ලොකු ආශීර්වාදයක් වුණා.

හඬකැවීමේ කලාවට ඔබ වඩාත් දක්ෂයි?

මම මෙරට ජනප්‍රිය රූපවාහිනී ආයතන රැසකටම සම්බන්ධ වී වැඩ කටයුතු කළා. විවිධ කතා මාලාවලට පසුබිම් හඬ සැපයූවා. හිරු ටීවී ඔස්සේ විකාශය වන ශනි කතා මාලාවේ ප්‍රධාන චරිතය වන සුර්ය දෙවියන්ට හොඳ ප්‍රතිචාර ලැබුණා. සමහරු ඒ පිළිබඳව විවේචනය කළා. ප්‍රවීණා හි බලාජි, හැරී පෝටර්හි මායාකාරයා, බේ වොච් ෂෝන් මොන්රෝ, ලෝඩ් ඔෆ් ද රිංග්ස් එල්රොන්ඩ්, 24, ස්පිරිට්,ශාන්ති, අබා, පූජනීයයි ආදරේ, මායාවරුන්ගේ ලෝකය(රැංති රජු), ඉසිවර වෙදැදුරු, මහා භාරත්, ගෞතම සිද්ධාර්ථ, රජ වැඩකාරයෝ වැනි බොහොමයක් නිර්මාණවලට මම දායක වෙලා තියෙනවා.

ඔබ එතකින් නොනැවතී “කටහඬ” ත් සමඟ සමාජමය වගකීමකට උර දෙනවා. අපි ඒ ගැනත් මතක් කරමු.

ඔව්. “කටහඬ” කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවේදක පාඨමාලාව. 1998 අගෝස්තු 1 වෙනිදා එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී තමයි එය ආරම්භ කළේ. අලුත් පරම්පරාවට විවිධ කෙනෙහිලිකම් කරන කාල වකවානුවක ඔවුනට ජාතික වේදිකාවක් ගොඬනැගීමේ අරමුණ තමයි මෙයට මුල් වුණේ. තාත්තා කීවේ එක දෙයයි “පුතේ තනියම නැඟිටින්න. නැගිටලා අන් අයට අතදෙන්න.” මාධ්‍යවේදීන්, දේශපාලඥයින්, ගුරුවරුන්, පරිපාලන නිලධාරීන්, ව්‍යාපාරිකයන් ආදී බොහෝ පිරිසක් මේ ඔස්සේ බිහි කරලා තියෙනවා. අද වන විට “කටහඬ” විසල් නුග රුකක් වගේ. මාධ්‍ය ක්ෂේත්‍රයට දැවැන්තයින් ගණනාවක් තිළිණ කරලා තියෙනවා. චීන කියමනක් තියෙනවා මිනිහෙක් සාර්ථක වෙන්න නම් ගහක් හිටවන්න ඕනෙ. පොතක් ලියන්න ඕනෙ. පුතෙක් හදන්න ඕනෙ. මම පුතෙක් විතරක් නෙමෙයි පරපුරක්ම හැදුවා. අද වන විට “කටහඬ” ඔස්සේ නර්තනයද හැදෑරීමට හැකියි. මේ පාඨමාලාවේ 237 වැනි කණ්ඩායම මේ දිනවල බඳවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා.

“කටහඬ” කලා කේෂ්ත්‍රයේ බොහෝ පිරිසක් ඇගයිමට ලක් කළා. ඒ ගැන කියනවානම්?

එච්. එම් ගුණසේකර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියාට සම්මාන ප්‍රදානය කිරීමත් ආරම්භයේදීම සිදු කළා. රුපියල් 2500 කුත් සමඟ. මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ට අපි සම්මාන ප්‍රදානය කළා. ඒ අතර ලංකාවේ ප්‍රථම නිවේදිකාව වන ප්‍රභා රණතුංග, ආරියදාස පීරිස්, පාලිත පෙරේරා, ටයිටස් තොටවත්ත, නිව්ටවන් ගුණසේකර, සුමනා ජයතිලත, සුමනා නෙල්ලම්පිටිය, වසන්ත කුමාර වැනි බොහොමයක් පිරිසක් ඇගයීමට ලක් කළා. 2009 දී ප්‍රථම වතාවට යුද විරුවන්ට සම්මාන ප්‍රදානය කළා. “මාතෘ ප්‍රේම අභිනන්දන” නමින් බෞද්ධයා නාළිකාවේ ප්‍රශස්ත සේවය වෙනුවෙන් දරනාගම කුසලධම්ම ස්වාමින් වහන්සේටත් ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භ කිරීම නිමිත්තෙන් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේටත් “කටහඬ ප්‍රසාද ප්‍රණාම” සම්මාන පුද කළා. ඒ වගේම විශාරද නන්දා මාලනි, ජැක්සන් ඇන්තනී ඒ වගේම අලුත් පරම්පරාව නියෝජනය කරමින් කිංස්ලි රත්නායක, චතුර ද අල්විස්, චමින්ද ගුණරත්න යන අයටද සම්මාන ප්‍රදානය කළා. ඒ ඇතුළු තවත් බොහෝ පිරිසකට සම්මාන ලබාදුන්නා.

වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය හා කලාකරුවන් ගැන ඔබේ අදහස?

මාධ්‍යවේදියා සතු වගකීම සහ වගවීම ඉතා වැදගත්. හැම මාධ්‍යවේදියකුටම ජාතික වගකීමක් තිබෙනවා. කට අරින තුරු නොම දනිති ගොන්කම කියලා කතාවක් තියෙනවා. අද බොහෝ මාධ්‍යවේදීන් හත් පොලේ ගා ගන්නෙ භාෂාව නිසි ආකාරව නොදන්නාකමින්. මෙරට සංස්කෘතික හර පද්ධතිය පුරුෂාර්ථ ගැන බොහෝ අයට හරි හැටි වැටහීමක් නැහැ. අනාගතය නොදැකීම, සල්ලාලකම, බේබදුකම, කුහකකම නිසා කලාකරුවන්ට යම් තැනක වැරදිලා කියලයි මට හිතෙන්නේ. කලාකරුවන් අතර එකතු වීමක් සැබවින්ම අවශ්‍යයයි. මුදල් හොයන්නට තමන්ට පමණක් විමානයක් හදාගන්නට තමයි බෙහෝ අය වෙහෙසෙන්නෙ. බහුතරයක් එසේ වුණත් සුළුතරයක් ගැන සුබවාදීව සිතිය හැකියි. අඳුරටම ශාප කරනවාට වඩා එක පහනක් හෝ දැල්වීම යුගයේ අවශ්‍යතාවයක්.

මෙරටට ආනයනික ටෙලිනාට්‍ය ගැන බොහෝ විවේචන එල්ල වෙනවා. ඒ ගැන ඔබ දරන මතය?

අද වන විට ආනයනික ටෙලිනාට්‍ය ගැන බරපතළ චෝදනා පවතිනවා. මමත් මෙරට ප්‍රමුඛ නාළිකාවල ප්‍රධානම චරිත සඳහා හඬ මුසු කළ පුද්ගලයෙක්. නමුත් යමක් කිව යුතුයි. ඒ නාට්‍යම අනුකරණය කරමින් අපේ රටේ නිෂ්පාදනය වන දීර්ඝ ටෙලිනාට්‍ය ඊටත් වබා බාල තත්ත්වයකට වැටිලා. බොලිවුඩ් පුරයේ ටෙලිනාට්‍ය අපේ රටට හොඳයි කියලා මම කියන්නේ නැහැ. ප්‍රමිතිගත කිරීමක් අනිවාර්යනේ අවශ්‍යයයි. නමුත් කතා වස්තුව අතින් ගත්තාම ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් සුරැකෙන අන්දමින්. අපේ බොහෝ කතාවල එවැන්නක් මා දකින්නේ නැහැ.

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

ලබන වසරේ මාර්තු 12 වැනිදාට මගේ පියා නැතිවී වසර 22 ක් වෙනවා. ඒ නිමිත්තෙන් නව රඟහලේදී “ගුලි ගුණ සුවඳ” නමින් සමරු උලෙළක් පැවැත්වෙනවා. ඒ වගේම ලබන වසරේදී ගුලිගේ පුස්තකාලය අප නිවසේදී විවෘත වෙනවා. මෙය ඕන කෙනෙකුට පරිශීලනය කළ හැකියි. ඒ වගේම දෙසැම්බර් 11 වෙනිදා මගේ ජන්ම දිනය නිමිතිකොට ගෙන පිටකෝට්ටේ සංහිඳ වැඩිහිටි නිවාසයේ විශේෂ සංග්‍රහයක් පැවැත්වෙනවා වැඩිහිටියන් වෙනුවෙන්. මගේ පියාගේ දෝන කමලාවතී නවකතාව සිනමාවට රැගෙන ඒමට මේ දිනවල නිෂ්පාදන කටයුතු සිදු කරමින් ඉන්නවා. සන්නිවේදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙන්ම දරුවන් උදෙසා ළමා කතන්දර පොත් කිහිපයක්ද එළි දැක්වීමට නියමිතයි. මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයද සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කියන්න ඕනෙ ලබන අවුරුද්දෙ පෙම්වතුන්ගේ දිනයට මම කෘතියක් එළි දක්වනවා "මම ඔබ සිඹිමි" නමින්. එය ශෘංගාරාත්මක කෘතියක්.

 

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ නම් නිහතමානී කලාකරුවා සමඟ ගත කළ සොඳුරු නිමේෂය අවසන් වුණේ මේ විදිහට. අන් අය වෙනුවෙන් තමාට ඕනෑම වෙලාවක උපකාර කළ හැකි බව මතක් කරමින් ඔහු අපෙන් සමුගත්තා.

077 374 9767 දුරකථන අංකය ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගැනිමට ඔබට හැකියි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages