රාජිතගේ හෙළිදරවු ගැන විමර්ශනය කරනවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-03

රාජිතගේ හෙළිදරවු ගැන විමර්ශනය කරනවා

සීඅයිඩීය අධිකරණයට දන්වයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා තවත් දෙදෙනකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මිනීමැරීම්, පැහැරගෙන යෑම්, වධහිංසා පමුණවීම, අතුරුදන් කිරීම , අයුතු සිරකර තැබීම, සොරකම් කිරීම හා ඕනෑකමින් තොරතුරු දැනුම් නොදීම ආදී අනාවරණ සම්බන්ධ විමර්ශන පවත්වන බවට රහස් පොලීසිය ඊයේ (2) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ කරුණු අධිකරණයට වාර්තා කරමින් රහස් පොලීසිය 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ 124 වගන්ති ප්‍රකාරව එම මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන විමර්ශන සඳහා ලබාදෙන ලෙස විද්යුත් මාධ්‍ය ආයතන කිහිපයක සභාපතිවරුන්ට නියෝග නිකුත් කිරීමට අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඉකුත් 10වන දින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා තවත් දෙදෙනෙකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මිනීමැරීම්, පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම අතුරුදන් කිරීම, අයුතු සිරකර තැබීම, සොරකම් කිරීම හා තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම, සැකකරුවන්ට නවාතැන්දීම සම්බන්ධ කළ අනාවරණය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට අංක 1068 කුමාරගේ මාවත, බත්තරමුල්ල ලිපිනයේ පදිංචි සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ගංගොඩවිලගේ කුමුදු ප්‍රදිප් සංජිව පෙරේරා රහස් පොලීසියට කළපැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස්පතිවරයා ද විමර්ශනයක් පවත්වන ලෙසට ඉකුත් 26වන දින නියම කර ඇති බවට රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සාකච්ඡා සම්බන්ධ විමර්ශන සිදු කරන ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය ද මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර තිබේ.

ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු යනඅය අතුල සංජිව මදනායක යන දෙදෙනා මෙම සාකච්ඡාවට හවුල්ව සිටි බවත්, ඔවුන් කළ ප්‍රකාශයන් ද රහස් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරමින් පවසන්නේ ඉදිරි විමර්ශන සඳහා මෙහි සංස්කරණය නොකළ දර්ශන පට ලබා දෙන ලෙසට මාධ්‍ය ආයතන වෙත නියෝග නිකුත් කරන ලෙසය.

දණ්ඩ නිති සංග්‍රහයේ 102,113, (ආ) 199, 209, 296, 314, 315, 331, 354, 355, 367 හා 98 අංක 15 දරණ ජනපතිවරයකු තොරාපත් කර ගැනීමේ පනතේ 83(1) වගන්ති ප්‍රකාර වරදවල් බවට ද රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. අදාළ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සාකච්ඡාවට අදාළ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් විඩියෝ පට රහස් පොලීසිය වෙත ලබා දෙන ලෙසට මාධ්‍ය ආයතන සභාපතිවරුන්ට නියෝග නිකුත් කෙරිණි.

සිරන්ජනි කුමාරි


No comments:

Post a Comment

Post Bottom Ad

Pages