මට තරගයක් තිබුණා නම් ඒ දරුවන්ට ඉගැන්වීමයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-05

මට තරගයක් තිබුණා නම් ඒ දරුවන්ට ඉගැන්වීමයි

මල්කාන්ති ජයසිංහ
දෙසැම්බර් 5, 2019

‘හුස්ම වැටෙන මල්’ ටෙලි නාට්‍යයේ ඉස්කෝලේ හාමිනේ. ඈ තරමක් නපුරු මවක් ලෙස ඔබට දැනෙනවා නියත ය. ගැහැනු ළමයින් තිදෙනෙකු සමඟ ගෙවන ජීවිතයේ ඔවුන් පෙළ ගැස්සවීමට ඈ තනන්නේ ද ඇගේ ජීවන අභිලාෂ අනුව ය. ඒ රටාව නිසා ම දරුවන්ගේ ද ජීවිත ද වරදින තැනට පැමිණෙන විට කාලය ගෙවී හමාර ය. ඒත් ඒ තම තනි තීරණ නිසා ඇති වුණු වැරැද්ද අවබෝධ කරගත් මේ මව අපේ මවුවරුන්ට ද ගෙනෙන්නේ අපූරු ආදර්ශයකි. ඒ අවසානයේ සිය වැරැදි සිතිවිලි නිවැරැදි කරගැනීමට උත්සාහ දරන ආකාරයයි. අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමට සිතන මේ අමුතු ඉස්කෝලේ හාමිනේ සොයාගෙන මම පසුගිය දිනෙක ඇගේ කලල්ගොඩ පිහිටි නිවෙස වෙත ගියෙමි.

“ඉස්කෝලේ හාමිනේ එක්වරම වයසට ගිහිල්ලා.”

ඈ දුටු සැණෙකින් මගේ සිතට පිවිසි සිතිවිල්ල වදනට පෙරළුණේ මටත් නොදැනීම ය.

“කොණ්ඩයට මොක ද වුණේ”

කවුරු වුවද දකින විට ඇගේ උවනේ නැඟෙන සිනහවෙන්ම මා පිළිගත් ඉස්කෝලේ හාමිනේ හෙවත් මල්කාන්ති ජයසිංහ රංගන ශිල්පිනියගෙන් මගේ සිත පුදුමයට පත් කළ ප්‍රශ්නයට පිළිතුරු ලැබිණි.

“පසුගිය දවස්වල මා සිටියේ අසනීපයෙන්. ඒ අසනීපයේ බලපෑම නිසයි මගේ කොණ්ඩය සුදු වුණේ. ජීවිතය කියන්නේ ඔහොම තමයි. ”

මෙතෙක් කල් කළු පැහැතිව තිබූ කොණ්ඩය අහම්බයෙන් සුදු පැහැති වීම ගැන මල්කාන්ති ජයසිංහ කතාබහ කළේ ජීවිතය මේ යැයි අවබෝධ කරගෙන සිටින්නියක ලෙස ය. ඒ නිසාම වන්නට ඇත රඟපාන චරිත වඩාත් ප්‍රේක්ෂකයන්ට දැනෙන්න රඟපාන්න ඈට හැකි වනුයේ. මේ දිනවල සති අන්තයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ජයප්‍රකාෂ් සිවගුරු නාදන්ගේ ‘හුස්ම වැටෙන මල්’ ටෙලි සිත්තමේ මල්කාන්ති කරන චරිතය ගැන ද ඈට ඇත්තේ වෙනස් ම හැඟීමකි.

“අම්මා කෙනෙක් විදියට මටත් ජීවිතය දැනෙන විදියක් තිබෙනවා. මේ නාට්‍යයේ ඉස්කෝලේ හාමිනේ ජීවත් වෙන්නේ දූවරු තුන්දෙනෙක් එක්ක. ඈ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් වුණත් බොහොම වෙනස්. අර කියන්නේ බෝතලයක් අස්සේ ඉඳගෙන බලනවා කියලා. ඇත්තටම එහෙම ගුරුවරුත් අප අතර ඉන්න පුළුවන්. ලෝකය ගැන දැනුමක් ඇතුව වගේම එහෙම නැතුව හිරවුණු කෙනෙක් විදියටත් ඉන්න අය. ඈත් අන්න ඒ වගේ කෙනෙක්. පස්සේ ඈ ජීවිතය හඳුනා ගන්නවා. මොකද අද ඉන්න බොහෝ මවුපියන් තමන්ගේ වැරැදි නිවැරැදි කරගන්න උත්සාහ කරන්නේ නැහැ නේ. ඒත් මේ අම්මා ඒ සඳහායි උත්සාහ ගන්නේ. මේ නිසා බෞද්ධ දර්ශනය ඇතුළේ කියැවෙන බොහෝ දේවල් ඒ නාට්‍යයේ තිබෙනවා කියලා මා සිතනවා. ඉස්කෝලේ හාමිනේගේ මහත්තයා ජීවිතයට එන්න ඉඩදීලා බලාගෙන ඉන්න ජීවිතය මේ යැයි අවබෝධ කරගත්ත චරිතයක්. මා බොහොම කැමැත්තෙන් රඟපෑව චරිතයක්.”

සිවා අයියාගේ බොහෝ නිර්මාණවල සිටින නළු නිළියන් කිහිපදෙනකු අතර මල්කාන්ති ජයසිංහ ද ප්‍රධාන ය. එහෙම අවස්ථාව ලැබෙන්නේ බොහෝ මඳ වශයෙනි.

“විශේෂයෙන් සිවා කියන්නේ වෙනස් ම දර්ශනයක් තිබෙන අධ්‍යක්ෂවරයෙක්. මා ගොඩක් අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරලා ඒ හැමෝගෙන්ම ගොඩක් දේවල් ඉගෙන ගෙනත් තිබෙනවා. ඒ අතුරින් සිවගුරුනාදන් කියන්නේ වෙනස් කෙනෙක්. ඔහුට ඕනෑම විදියේ නිර්මාණ කරන්න පුළුවන් කෙනෙක්. දුක තියෙන ඒවා ද, ගහ මරාගන්න එකක් වුණත්, කොමඩි විදියේ නිර්මාණයක් වුණත් කරන්න හැකි විශාල පරාසයක් කරා යා හැකි අධ්‍යක්ෂවරයෙක්. එවන් අධ්‍යක්ෂවරයකු සමඟ වැඩ කරන්න ලැබෙන එක ගැන සතුටුයි. මේ නාට්‍යය අරගෙන යන විදියත් බොහොම වෙනස්. පිටපත ලියන රසිකත් විශාල වැඩකොටසක් මෙහි කරනවා. ඒ විදියට මාව නිතරම නිර්මාණවලට සහභාගි කරගන්න දිලුකවත් මේ අවස්ථාවේ මතක් කළ යුතුයි.”

මෙපමණක් නොවේ. මල්කාන්තිගේ රුව මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම ඔබට දැක්ක හැකිය. දිලූක ප්‍රසාද්ගේ ‘පාවෙනා වලාකුළේ’ ඉන් තවත් එකකි. ඊයේ පෙරේදා පටන් ගත් සාරංග දිසාසේකර නිෂ්පාදනය කරන ‘ලන්සු පතිනියෝ’ අනෙක ය.

“ මා කුමන හෝ නාට්‍යයක ඉඳලා තිබෙනවා නම් ඒ නිර්මාණය සමාජගත වෙනවා. ඒ නාට්‍යය ගැන මිනිස්සු කතාබහ කරනවා. මා රඟපෑ නාට්‍යයක් ප්‍රතික්ෂේප වුණා කියන්න මට ඇත්තේ නැහැ. ඒක ගැන මට සතුටුයි. එවැනි අවස්ථා හැමෝටම ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක මට ලැබිලා තිබෙන යම් වාසනාවක් බවයි. ඒ වගේම රංගන ජීවිතයේදී විවිධ විදියේ චරිතයි මට රඟපාන්න ලැබී තිබෙන්නේ. නානාප්‍රකාර මානසික මට්ටම්වල ඉන්න අයගේ චරිත ඒ අතර තිබෙනවා. ඒ නිසා මගේ රංගන ජීවිතය ගැන මට දැනෙන්නේ සතුටක්.”

මේ කුමන රඟපෑමක නියැළී සිටිය ද ඈ වේදිකාව අමතක කර නැත. තවමත් ඈ වේදිකාවේ සජීවව ජීවත් වන චරිතයකි.

“මා කිසිම දවසක වේදිකා නාට්‍ය අතහැර නැහැ. මගේ ළමයි චූටි කාලයේ වත්. මා නිතරම හිතන්නේ මාව පෝෂණය කරන්නේ වේදිකාව කියලා. අද තිබෙන තරගකාරී සමාජයත් එක්ක අධ්‍යාපනයක් ලබා ගන්න තිබෙන ඉඩකඩ අඩුයි. එතකොට වේදිකාවේදියි අපි චරිතයක් සොයා බලන්න, පුහුණු වීම් එක්ක යන ගනුදෙනුවක් තිබෙන්නේ ඒ කාලයේයි. ඒ කාලයේ ඒ වෙනුවෙන් මැරීගෙන ගිහින්, අනෙක් ශිල්පීන් සමඟ බොහොම සුහදව ගනුදෙනු කරමින්, ප්ලේන්ටියක් බීලයි කටයුතු කරන්නේ. කියන වෙලාවට විනාඩි දහයක්වත් කලින් ගිහින්, සුවපහසුව ඉඳීමින් චරිතය සොයා ගන්නයි අප උත්සාහ කරන්නේ. චාලක රණසූරියගේ ‘මාරක ළිඳේ සවාරියක්’, අඛිල සපුමල්ගේ ‘මඟුල් කපුවා’, කුමුදු නිශාන්තගේ ‘කළුම කළු මහත්වරු’ කියන නිර්මාණත් සමඟයි මා මේ දවස්වල වේදිකාවේ රැඳීි සිටින්නේ. ඒවාට අමතරව අඛිලගේ නිර්මාණ දෙකකටත්, මධුශාන් හත්ලහවත්තගේ නාට්‍යයකටත්, සමීර හසුන්ගේ ටෙලි නාට්‍යයකටත් මට කතා කරලා තිබෙනවා.”

මේ පැමිණි රංගන ගමන් මඟේ මල්කාන්ති ජයසිංහ ගෙවන්නේ තිස්හත්වැනි වසරයි. ඒ පැමිණි ගමන ගැන ඈට ඇත්තේ වෙනස් ම හැඟීමකි.

“මගේ රංගන ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දි දුක් වෙන්න දෙයක් නෑ කියලයි මට හිතෙන්නේ. මා හිතෙන්නේ අපගේ ජීවිතයට කරදර ආවට පස්සේ නේ අපි දුක් වෙන්නේ. මම නිතර සිතන්නේ මගේ ජීවිතයට කරදර එන්නේ මට යහපතක් වෙන්න බවයි. ජීවිතය අවබෝධ කරගන්න බවයි. ඒ වුණු අවස්ථාවේ දුක් වෙනවා තමයි. අපි හැමෝම මනුස්සයො නේ. එතැනින් එහාට එහෙම නැහැ. අනෙක් කාරණේ මා හැම වෙලාවෙම තදින් විශ්වාස කරන දෙයක් තමයි හැම කළු වලාකුළකම රිදී රේඛාවක් ඇත කියන එක. මා කවදාවත් ජීවිතයේදි වැටුණු කෙනෙක් නොවෙයි. වැටුණත් ඒ සැණින් ම මා නැඟිටිනවා.”

කොහොමත් ඈ බෞද්ධ දර්ශනයත් එක්ක බැඳී සිටින්නියකි. ඇගේ ජීවිතය හැඩගැසී තිබෙන්නේ ඒ දර්ශනයට මූලික බව ලබාදෙමිනි.

“බෞද්ධ දර්ශනයේ තිබෙන හේතුවට ඵලය කියන දේ මා හරියට විශ්වාස කරනවා. අපේ උපත කෙළවර වෙන්න ඕන නම් නිවෙන්න ඕන කියන දේ මා විශ්වාස කරන කෙනක්. නිතර ම අපි ගිනි ගන්නවා. මේ දාහය නිවුණාමයි අපි නිවුණා කියන්නේ. අපි ඇතුළ නිවා ගන්න ඕන. අපේ ගිනි අපි නිවාගෙන, පිටත තිබෙන ගින්නත් අපට නිවන්න පුළුවන් නම් කොයිතරම් හොඳ ද? නිතරම අප හේතු හදා ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. එවිට අපට දුකක් දැනෙන්නේ නැහැ. ඒ නිසාම අපට නිවී යා හැකියි.”

ඒ කටයුත්තේ නියැළීමට ඇයට ලෙහෙසි පහසු වන්න නැත. ඒ ඈ සිටින වෘත්තියත් සමඟ වෙනස්ම විෂයයන් දෙකක් වන නිසා ය.

“ඒක එහෙම තමයි. ඒත් මා සිතන්නේ ඒ දෙක ම සමබරව අරගෙන යන බවයි. රංගන ජීවිතයේදි මට කිසිම දවසක තරගයක් තිබුණේ නැහැ. වෙන කෙනකු වගේ ගෙයක් හදන්න, ඒ වගේ වාහනයක් ගන්න ඒ වගේ අදහස් මට තිබුණේ නැහැ. තිබුණා නම් තිබුණේ දරුවන් දෙන්නාට උගන්වන එක ගැන පමණයි. පුතේ බලන්න අනෙක් අය ඉගෙන ගන්න විදිය. එයාලා හොඳට ඉගෙන ගන්නවා. ඔයාලත් ඉගෙන ගන්න බලන්න. ඒත් මා ඒ අයට වුණත් නිතරම ඒක කිය කිය හිරිහැර කළේ නැහැ. නීති දාලා මේක කරන්න කියලා බල කරලා නැහැ. ඉදිරි අනාගතය ගැන වුණත් මා ඔවුන්ට තීරණය කරන්න අවසර දීලයි තිබෙන්නේ. ගැළපෙන කෙනෙක් සොයාගන්න. ඔයා තමයි එයත් එක්ක ජීවත් වෙන්නේ කියන අදහස මා ඔවුන්ට දුන්නා.”

මල්කාන්තිට සිටින්නේ දරුවන් දෙදෙනෙකි. පුතා හිරණ්‍ය චන්ද්‍රගුප්ත ය. දියණිය අමන්දි නවෝද්‍යා ය.

“පුතා ලබන අවුරුද්දේ විවාහ වේවි. එයා නැවක සේවය කරන්නේ. දුව 2021දියි ඒලෙවල් කරන්නේ. ඒ දෙන්නා ගැන ම මට සතුටුයි. ඒ අයගේ වැඩ එයාලට කර ගන්න පුළුවන්. ඒ සියලු දේ කරගන්න තරම් ශක්තියක් ඔවුන්ට තිබෙනවා. ඒ ගැන මට විශ්වාසයි. මොක ද මා නිතරම ජීවත් වුණේ ශක්තිවන්තවයි. ඒ ගුණය ඔවුන්ට තිබෙන බව මා දන්නවා. දුවගේ කටයුතු අවසන් වුණාට පස්සේ මගේ ජීවිතයේ මා යන්න අදහස් කරගෙන සිටින ගමනක් තිබෙනවා. ඒ බෞද්ධ දර්ශනයට අනුව. රඟපෑමත් එක්ක ඒ සියලු කටයුතු කරගෙන යන්න මා කැමැතියි. වෛරය ද්වේශය අඩු කරගෙන අපට සමාජයට දිය හැකි දේ මොනවා ද යන්න මා සෙවීමට කැමැතියි.”

අමන්දි නවෝද්‍යා පාසල් යන්නේ කොටහේන ගුඩ්ෂෙපඩ් කොන්වන්ට් එකට ය. ඈ භාෂා කිහිපයක දැනුමැත්තියකි. කොරියන්, ඉංග්‍රීසි භාෂා ඈට හොඳට කතා කළ හැකිය. ජපන් ඉගෙන ගැනීමට ද ඈ සිටින්නේ බොහෝ කැමැත්තෙනි. මල්කාන්තිගේ සැමියා ලාල් චන්ද්‍රසිරි ය. ඔහු සෙන් බෙනඩික් කොලේජයේ ගුරුවරයෙකි. දැන් විශ්‍රාමික ය. එහෙත් ඔහු තවමත් එහි වෙනත් කටයුත්තක නිරත වෙයි.

ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ, පතිරාජ එල්. එස්. දයානන්ද, රංජිත් ධර්මකීර්ති, කේ. බී. හේරත් ඇතුළු ප්‍රවීණ නිර්මාණකරුවන් රැසක් සමඟ කටයුතු කිරීමට මල්කාන්තිට හැකි වෙයි. මේ සම්මානලාභී රංගන ශිල්පිනියගේ නාට්‍ය ගුරුතුමිය අන් කවුරුත් නොවේ. ප්‍රවීණ නාට්‍යවේදීනී සෝමලතා සුබසිංහයි.

“මෙතෙක් මා පැමිණි ගමනේ දී බොහෝ දෙනකේ සහය දැක්වූවා. මා මෙතක් වැඩකළ අධ්‍යක්ෂවරු සියල්ලන්, නළු නිළියන්ගේ සහයෝගය හා ඒ නිර්මාණවල තේ හදන ශිල්පියාගේ පටන් අනෙක් සියල්ලන්මත් මගේ දියුණුවේ පිටුපස සිටින අයයි. ඔවුන් සියලු දෙනාටම ස්තුතියි. මාව ජීවත් කරන්නේ ඔවුන්ගේ ආදරය හා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයයි.”

ඈ සිය ජීවිතය ගැන කතා කරන්නේ තෘප්තිමත් හැඟීමෙනි. ඒ හැඟීමෙන් උදම් වන්නට ඇයට ඉඩහසර ඉතිරි කර මම ඇයට සමුදුනිමි.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages