ශ්‍රී ලංකාවට විශේෂඥ විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගැනීමට සූදානම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2019-12-03

ශ්‍රී ලංකාවට විශේෂඥ විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගැනීමට සූදානම්

ශ්‍රී ලංකාව තාක්ෂණය මත පදනම් වූ දියුණු රටක් බවට පරිවර්තනය කිරීම සඳහා විශේෂඥ විද්‍යාත්මක දැනුම තම අමාත්‍යාංශය මෙහෙයවීමේ දී උපයෝගී කරගන්නා බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසීය. 
 
ඊයේ (02) මහා සංඝරත්නයේ ආශීර්වාදය සමගින් සිය අමාත්‍යංශයේ රාජකාරි අරඹමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.
 
“තාක්ෂණය හා නවෝත්පාදනය මත ගොඩනැඟෙන ආර්ථික සංවර්ධනයක් සඳහා ලාභ ශ්‍රමය වෙනුවට උසස් අධ්‍යාපනයට, උසස් තාක්ෂණයට ආයෝජනය කළ යුතු වෙනවා. ජාත්‍යන්තර තලයේ  සිටින කීර්තිමත් අපේම විද්වතුන් සැමවිටම මග පෙන්වන්නේ තාක්ෂණික සංවර්ධනය ඉලක්ක කර ආයෝජනය කිරීම, අනාගත ආර්ථික සංවර්ධනයට  උර දෙන බවයි. මේ නිසා තේ, පොල්, රබර් වැනි  සාම්ප්‍රදායික අපනයනයන්ට සීමානොවී උගත් බුද්ධිමත් ශ්‍රමය තුළින් ලෝක වෙළඳපොලේ තරඟ කළ හැකි තාක්ෂණික නිර්මාණ සිදුකළ යුතු වෙනවා. ”  
 
අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ද පෙන්වා දී ඇති ආකාරයට තාක්ෂණය පදනම් කරගත් සමාජයක් නිර්මාණය කිරීම රජයේ මූලික ඉලක්කයක් වන බැවින් ඒ සඳහා අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට තම අමාත්‍යංශය තුළින් ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍යතුමා පැවසීය. නිසි සැලැස්මක් අනුව තාක්ෂණය පදනම් කරගත් දියුණු රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය ආයෝජනය සිදු කිරීම තුළින් නුදුරු අනාගතයේදී ම කොළඹ නගරය ආසියාවේ අග නගරය බවට පත්කර ගැනීමට හැකිවන බවද අමාත්‍යතුමා විශ්වාසය පළ කළේය.
 
ජාත්‍යන්තර තලයේ සිටින කීර්තිමත් විද්වතුන්  වන නාසා ආයතනයේ සේවයේ නියුතු ආචාර්ය සරත් ගුණපාල, හිටපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වී විශේෂ දේශන පැවැත්වූ අතර තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ඉදිරි පියවර සඳහා කොන්දේසි විරහිතව අවශ්‍ය සහයෝගය සහ මගපෙන්වීම ලබාදීමට සූදානම් බවද මෙහි දී ඔවුන්  ප්‍රකාශ කළහ.
 
මෙහි දී මහාචාර්ය තිස්ස විතාරණ මහතා,
 
“මෑත අතීතයේ දී ලෝකයේ උසස් තාක්ෂණ කීපයක්ම දියුණු වී පැමිණියත් අපි රටක් ලෙස ඒවා හරිහැටි ග්‍රහණය කර ගත්තේ නැහැ. අප දැන් සිටින මැදි ආදායම් තත්ත්වය ජය ගනිමින් ඉහළ ආදායම් තත්වයට යාමට නම් අනිවාර්යෙන් උසස් තාක්ෂණයක් ග්‍රහණය කරගත යුතු වෙනවා. අතිශය තරගකාරී ලෝක වෙළඳපොළේ තරග කිරීමට උසස් තාක්ෂණය යොදාගත් තාක්ෂණික නිපැයුම් අත්‍යවශ්‍යයි. එවැනි තාක්ෂණයන් යොදා ගැනීමෙන් අපේ අමුද්‍රව්‍ය වලට වැඩි වටිනාකමක් ලබා දීමට හැකි වෙනවා. මානව සම්පත දියුණු කරන අතරම නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, කෘතිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් වැනි ඉහල තාක්ෂණයක් යොදා ගැනීම තුළින් පමණයි අපට මේ අභියෝගය ජයගත හැකි වන්නේ ”  යනුවෙන් පැවසීය.
 
මහාචාර්ය සරත් ගුණපාල මහතා,
 
“තායිවානය, දකුණු කොරියාව වැනි රටවල් කෙටි කාලයක් තුළ මානව සම්පත විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය කිරීම තුළින් සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්කරගෙන තිබෙනවා. මේක ශ්‍රී ලංකාවටත් වටිනාම අවස්ථාවක්. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශය හරහා උසස් තාක්ෂණය යොදා ගනිමින් තාක්ෂණ හා නවෝත්පාදනයේ ඉදිරි භූමිකාව නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින තත්ත්වයේ සිට සංවර්ධිත තත්ත්වයට ගෙන යාමට හැකි වෙනවා” යනුවෙන් පැවසීය.  
 
මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන්, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි යන මහත්වරුන්, විද්‍යාඥයින්, තාක්ෂණවේදීන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.    
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages