වෝනර්-ෆින්ච් වාර්තාගත පිතිහරඹයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-16

වෝනර්-ෆින්ච් වාර්තාගත පිතිහරඹයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්

වාර්තාගත පිතිහරඹයක නිරතවූ ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් ඉන්දියාවට එරෙහිව පෙරේදා මුම්බායි නුවර පැවැති පළමු දිවා රාත්‍රී එක්දින තරගයෙන් කඩුලු 10ක ජයක් ඔස්ට්‍රේලියාවට අත්කර දීමට සමත්වූහ. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0කින් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානුවෝ සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ වාරය ඉන්දියානු පිලට ලබාදුන් ඔස්ට්‍රේලියාව සිය පන්දු යවන්නන්ගේ සාර්ථකත්වයෙන් සත්කාරක පිල ඕවර 49කුත්, පන්දුවකදී ලකුණු 255කට සීමා කිරීමට සමත්වූ අතර අවශ්‍ය ඉලක්කය ඕවර 37.4කදී සපුරා ගැනීමට ද සමත්විය.

ඉන්දීය පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත්වූ ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 258ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර ඉන්දියාවට එරෙහිව එක්දින ඉනිමකදී කඩුලු අතර ගොඩනැගුණු ඉහළම සම්බන්ධතා වාර්තාවට හිමිකම් කීවේය. මේ ජයග්‍රහණය වාර්තාපොතට එක්වූයේ ඉන්දීය භූමියේදි ඔස්ට්‍රේලියානු පිල පිට පිට ලැබූ සිවුවැනි එක්දින තරග ජයග්‍රහණය ලෙසටය.

ඩේවිඩ් වෝනර් පන්දු 112කදී හතරේ පහර 17ක් සහ හයේ පහර 3ක් සමග නොදැවී ලකුණු 128ක් රැස් කළ අතර නායක ෆින්ච් නොදැවී ලකුණු 110ක් රැස් කළේ පන්දු 114කිනි. ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. වෝනර්ගේ එක්දින තරග දිවියේ 18 වැනි ශතකය වාර්තා වූයේ පන්දු 88කිනි. ෆින්ච්ගේ 16 වැනි එක්දින ශතකය වාර්තා වූයේ පන්දු 108කිනි.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 13ක්ව තිබියදී රෝහිත් ෂර්මා ලකුණු 10කට දවාලීමට මිචෙල් ස්ටාක් සමත්වූ අතර ඔහු ඉන්දීය ඉනිමෙන් කඩුලු 3ක්ම උදුරා ගත්තේය.

ශිකර් ධවාන් සමග එක්වූ ලෝකේෂ් රාහුල් දෙවැනි කඩුල්ලට ලකුණු 121ක සම්බන්ධතාවක් ගොඩ නගමින් ඉනිම පිළිසකර කළත් ලකුණු 47ක් ලබා සිටියදි රාහුල් දවාලීමට ඇෂ්ටන් අගාර් සමත්වීමෙන් පසුව මුළු ලකුණු සංඛ්‍යාව 164ක් වෙද්දී ඉන්දීය පිලේ පස්වැනි කඩුල්ලත් බිඳ දැමීමට ඔස්ට්‍රේලියානුවෝ සමත්වූහ. ධවාන් ලකුණු 74ක් රැස් කළ අතර නායක විරාත් කෝලිට ලබාගත හැකිවූයේ ලකුණු 16ක් පමණි.

රිෂ්බා පාන්ට් සහ රවීන්ද්‍ර ජඩේජා එක්ව ඉන්දීය ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙනයාමට සමත්වූවත් මුළු ලකුණු 213දී පාන්ට් දැවීයාමෙන් පසුව ඉතිරි පිතිකරුවන් දැඩි පීඩනයකට ඇද දැමීමට ඔස්ට්‍රේලියානුවෝ සමත්වූහ.

සිය ඉනිම අතරතුර එක්දින ලකුණු 5000 සීමාව පසුකළ ඩේවිඩ් වෝනර් ලෝක එක්දින ක්‍රිකට් තරග බිමේ වේගවත්ම ලකුණු 5000 රැස්කළ ඔස්ට්‍රේලියානුවා ලෙසත්, ලොව සිවුවැනි පිතිකරුවා ලෙසත් වාර්තා පොතට එක්විය.

ඔහුට මේ කඩඉම පසු කිරීමට ඉනිම් 115ක් වැයවූ අතර එම වාර්තාවේ පෙරමුණේ පසුවන දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා එම වාර්තාව තැබුවේ ඉනිම් 101කිනි. එහි දෙවැනි තැන ඉනිම් 114කින් ලකුණු 5000 සම්පූර්ණ කළ කොදෙව් පිලේ හිටපු පිතිකරු ශ්‍රීමත් විවියන් රිචඩ්ස් හිමිකරගෙන සිටින අතර ඉන්දීය පිලේ නායක විරාත් කෝලි ඉනිම් 114කින් එම කඩඉම පසු කරමින් තුන්වැනි තැනට පත්ව සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages