සාග් ජයගත්තෝ දහසින් බැඳි පියලි ලද්දෝ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-16

සාග් ජයගත්තෝ දහසින් බැඳි පියලි ලද්දෝ

නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකර දීමට සමත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් පෙරේදා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට පදක්කම් 251ක් හිමිකර දෙමින් දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම පදක්කම් සංඛ්‍යාව හිමිකර දීමට සමත්වූ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන් ද මෙහිදී ඇගයීමට ලක්වූ අතර ඔවුන් වෙනුවෙන් ජාතික ක්‍රීඩා අරමුදලින් රුපියල් මිලියන 85ක මුදල් ත්‍යාග පිරිනැමුණි.

මෙවර ක්‍රීඩා උළෙලේ වැඩිම පදක්කම් ලාභියා වූ පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ රන් පදක්කම් 7ක් දිනා දීමට සමත්වූ අතර ඉන් හයක් කේවල ඉසව්වන්ගෙන් හිමිකර ගත්හ. මීටර් 200 නිදහස් ආර ඉසව්වේ රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සමාජිකයකු ද වූ ඔහුට ඒ සඳහා රුපියල් ලක්ෂ 32ක මුදලක් පිරිනැමුණු අතර පිහිනුම් ඉසව්වේදී මීටර් 100 සහාය නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වූ අකලංක පීරිස් රිදී පදක්කම් 3කට සහ ලෝකඩ පදක්කම් 3කට හිමිකම් කියමින් හිමිකරගත් මුදල රු.1625000කි.

මලල ක්‍රීඩා ඉසව්වෙන් වැඩිම රන් පදක්කම් දිනාගත් දිල්ෂි කුමාරසිංහ රුපියල් එකොලොස් ලක්ෂ විසිපන්දහසක මුදලක් හිමිකර ගත්තාය. ඇය මීටර් 400 සහ මීටර් 800 ඉසව්වල රන් පදක්කම දිනාගත් අතර මීටර් 400 සහාය ජයගත් කණ්ඩායමේ සාමාජිකාවක්ද වූවාය. එමෙන්ම රන් ද්විත්වයකට හිමිකම් කී නිලානි රත්නායකට රුපියල් මිලියනයක් පිරිනැමුණි.

වසර 1991 කොළඹ පැවැති 5 වැනි ක්‍රීඩා උළෙලේ පසුව ශ්‍රී ලංකාව හිමිකරගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව ද විය. කොළඹ පැවැති එම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 44ක් හිමිව තිබිණි. මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 40ක් දිනාගත් අතර ඒ සඳහා දායක වූ ක්‍රීඩක ක්‍රීඩිකවෝ 49 දෙනකුට මුදල් ත්‍යාග පිරිනැමුණි.

එම රන් පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දීමට දායකත්වය සැපයූ පුහුණුකරුවන් 55ක් ද මෙහිදී ඇගයීමට ලක්වූ අතර එහිදී පිහිනුම් ශූර මැතිව් අබේසිංහගේ මෙන්ම සහාය පිහිනුම් ඉසව් කිහිපයක පුහුණුකරු වූ මනෝජ් අබේසිංහ මහතා රුපියල් දොලොස් ලක්ෂ පනස් හයදහස් දෙසිය පනහක මුදලක් හිමිකර ගත්තේය.

මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් 83ක් දිනාගත් අතර ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 169 දෙනකු දායකත්වය හිමිවූහ. ඉන් 45 දෙනකු තනි ඉසව් සඳහා රිදී පදක්කමකට ලබාදුන් රුපියල් ලක්ෂ 3 බැගින් හිමිකරගත් අතර සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කණ්ඩායම් ඉසව් වෙනුවෙන් මුදල් ත්‍යාග ලබාගත්හ. ඔවුන්ගේ පුහුණුකරුවන් 31 දෙනකුද එහිදී ඇගයීමට ලක්වුහ.

ශ්‍රී ලංකාව මේ ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම් 128ක් දිනාගත් අතර ඊට දායක වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 178දෙනකුටද මුදල් ත්‍යාග පිරිනැමුණි. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 56 දෙනකු තනි ඉසව් සඳහා පදක්කමකට ලබාදුන් රුපියල් ලක්ෂ 2 බැගින් හිමිකරගත් අතර අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කණ්ඩායම් ඉසව් වෙනුවෙන් ලෝකඩ පදක්කම් සඳහා මුදල් ත්‍යාග ලැබූහ. ඔවුන්ට පුහුණුව ලබාදුන් පුහුණුකරුවන් 37 දෙනකුද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

මේ අවස්ථාවට ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහත්වරුන් සමගින් ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ඔලිම්පික් කමිටුව ඇතුළු ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

නිරෝෂාන් ප්‍රියංකර

ඡායාරූප-සුලෝචන ගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages