හරි නම් මං යන්න ඕන පොලීසියට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-11

හරි නම් මං යන්න ඕන පොලීසියට

11 ජනවාරි, 2020

කොතෙක් කාර්ය බහුල වුවද කාංචනා කලබල නොවෙයි. වෛද්‍යවරයා රෝගියකු පිරික්සා ඔසු නියම කරන්නාක් මෙන් ම ඒ ඖෂධ ව‍ට්ටෝරුව අනුව නිවැරැදිව ඒවා ලබාදීම ද බැරෑරුම් හා වගකීම් සහගත කාර්යයකි. වරදකට ඉඩ තැබිය යුතු නොවන්නේ ජීවිතය හා මරණය සමඟ බැඳුණු කාර්යයක් බැවිනි.

ඔසුසලේදී පෞද්ගලික කරුණු කාරණා මුළුමනින් ම අමතක කර දැමීම ඇගේ සිරිතය. බොහෝ විට ඖෂධ වට්ටෝරුව මිස එය රැගෙන එන්නා ඇගේ අවධානයට ලක් නොවෙයි. එහෙත් ඖෂධ නාමයක් වෙනුවට කිසියම් පෞද්ගලික ලිපියක් නෙත ගැටීමෙන් ඇය තිගැස්සුණාය. එහෙයින් දෑස විහිදා එය දිගු කළ තැනැත්තා දෙස බැලුවාය. ඔහු හඳුනා ගන්නට වැඩි වේලාවක් ගත නොවූ අතර ඇය විමතියෙන් ඇගළුණාය.

“අංකල්..?”

“හරි නම් මං යන්න ඕන පොලීසියට. ඔය ළමයා හින්දයි මං මෙතෙන්ට ආවෙ..”

ඔහු කතා කළේ පහත් හා සන්සුන් හඬිනි. එහෙත් ඒ ආයාසයෙන් ආරූඪ කර ගත්තක් බව ඇයට පෙනිණ. ඇය ඖෂධ වට්ටෝරුවකැයි වරදවා වටහා ගත් ලිපිය ගත්තේ සැලෙන දෑතිනි. එහි වූයේ ඇගේ මවගේ අත් අකුරුය.

“මමී..?”

ඔසුසලේ සේවය කරන සේවිකාව හා සේවකයාගේ පමණක් නොව මුදල් කවුන්ටරය් සිටින්නියගේ කුහුල්බර නුවන් ද තමා වෙත යොමු වන අයුරු ඇය දුටුවාය. ලිපිය අතපත් කෙණෙහි ඇය හිතා මතා නොවූවත් වටපිට බැලූ බැවිනි.

“මට විනාඩියක් දෙන්න අංකල්” යි ආචාරශීලීව ඉල්ලා හුන් ඇය කවුන්ටරය වෙත ගියාය.

සිරිමාන්න නිහඬව ඔසුසලෙන් පිට විය. පියෙකු ලෙස ආවේගාත්මකව හැසිරිය යුතු වුවද ඔහු තවමත් සන්සුන්ව පසු වෙයි. කාංචනාට දොස් පැවරීමෙන් පලක් නැතැයි ඔහු සිතයි. ඇය සොහොයුරා ද මව ද අතර අසරණ වූ එකියකි.

“එතන මුකුත් කතා කරන්න බෑ නෙ අංකල්”

ඉක්මන් ගමනින් ඔහු වෙත ආ තරුණිය සමාව අයදින බැල්මක් හෙළුවාය.

“කතා කරන්න දේකුත් දැං ඉතුරු ‍ෙවලා නෑ කාංචනා...” යි කියමින් ඔහු ඔසුසල ඉදිරිපිට නවතන ලද මෝටර් රිය වෙත ගියේය. ඇය ඔහු පසුපස ඇදී යමින් “එහෙම කියන්න එපා අංකල්.. අපි කතා කරමු” යි පැවසුවේ බැගෑපත් හඬිනි.

මෝටර් රියට ගොඩ වූ මිනිසා ඉදිරිපස දොර විවර කළේය. ඇය හැකි තාක් කඩිනමින් වාහනයට ‍නැංගාය. හිඳ ගත් සැණින් ලිපිය වෙත දෑස යොමු කළාය.

“සිරිමාන්න මහත්මයෝ.... අමාලි ඉන්නෙ මා එක්ක.. බයවෙන්න එපා. පොලීසි යන්නත් එපා. ඔබතුමාට නොදන්වා ඔබතුමාගේ දුව පැහැරගෙන යෑම‍ ලොකු වරදක් තමා.. මගේ පුතා කවදා හෝ විවාහ ‍විය යුත්තේ අමාලි සමඟයි. ඒ ගැන යළිත් සිතා බලන්න.”

මේ ශ්‍රීමා.

කාංචනාට ඒ ලිපිය ඇදහිය නොහැකිය. ඇය රියැදුරු අසුනේ සිටින සිරිමාන්න දෙස බැලුවාය.

“මොකක්ද මේ අපේ මමී කරලා තියෙන්නේ..? කොහොමද අංකල් මේක වුණේ? මමී අංකල්ලගෙ ගෙදර ගිහිල්ලද..? මට නම් මේ මුකුත් තේරෙන්නෙ නෑ...”

ඇය කිසිවක් නොදන්නා බව ඒත්තු යෑමෙන් ඔහු තුළ හටගත්තේ කිසියම් අනුකම්පා සහගත හැඟීමකි. කොහොමටත් ඇගේ මව සිය දියණිය සහ පුත්‍රයා සමඟ කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මේ සිදුවීම දකින්නට ඔහු කැමැති නැත. රමේෂ් පවා මෙහිදී අහිංසක බව ඒකාන්තය. අවංක තරුණයෙකු නොවී නම් අමාලි විවාහ කර ගැනීමේ අභිප්‍රායක් තමා තුළ නැතැයි නොවළහා හෙළිදරව් කරනු ඇත්ද?

“අම්මලා දූලා පුතාලා එකතු වෙලා කුමන්ත්‍රණය කළාද කියලත් මට නොහිතුණා නෙමේ කාංචනා... මම පොලීසි යන්නමයි හැදුවෙ. ඒත් පොලීසිය ළඟට ගිහිල්ලත් හැරිලා ආවා මිස මට හිත දුන්නෑ පැමිණිල්ලක් කරන්න. හැබැයි ඔයාගෙ අම්මා මේ බලහත්කාරෙන් ඇරං ගිහිං තියෙන්නෙ මගේ දුව.. මගේ එක ම දුව..”

කාංචනා නිරුත්තරය. කිව යුතු යමක් මුව’ග නොනැඟිණ.

“මොකක්ද මමී මේ කළේ...?” යි හඬ ගා අසන්නට ඇයට වුවමනා විය. එහෙත් සිර වී තෙරපී ගිය ළයත් උගුරත් ඇයට වචනයකට ඉඩක් නොදෙයි.

“මං දැං මොකද කරන්නෙ කාංචනා..?”

ඔහු ඇය දෙස එක එල්ලේ බැලුවේය.

“අපි දැං මොකද කරන්නෙ කියලා අහන්න අංකල්”

ඇගේ සෝබර හඬ ඔහුගේ කෝපය තුනී කර දමයි.

“මගෙ දුව වගේ ම ඔයාගෙ මමීත් අතුරුදහන් වෙලානෙ...”

ඇගේ දෑසට කඳුළු නැඟිණ.

“ඒ.. ඒක තමා.. අනේ අංකල් අපි හොයමු.. අපි ඒ දෙන්නවම හොයා ගමු... ප්ලීස් පොලීසි යන්න එපා..”

ඔහු කල්පනාකාරි මුහුණින් හිස සැලුවේය.

“එහෙනං ඉතිං හෙවිල්ල පටන්ගන්න වෙන්නෙ ඔයාලගෙ ගෙදරින් ම තමා....”

“මං හිතන්නෙ නෑ අංකල්.”

“කොහෙ‍ද එතකොට මේ මනුස්සයා මගෙ කෙල්ලව ඇරං යන්න ඇත්තේ..?”

ඒ වේදනාබර හඬ ආදරණීය පියෙකුගේ මිස විදුහල්පතිවරයෙකුගේ නොවේ. ඇය සිය නෑදෑ හිත මිතුරන් සිහිකරන්න වෙහෙසුණාය. සියල්ලට පළමුව තමා මවට ඇමතුමක් ලබාගත යුතු බව පවා ඇයට අමතකව ගියේය.

“මං අමාට කී සැරයක් කතා කළාද.. කෝ ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ ‍ෙන්..”

ඔහු කල කිරුණු ස්වරයෙන් කීවේය.

“අනේ දෙවියනේ මං මමීට කතා කළේ නෑනේ” යි කී කාංචනා සිය දුරකථනයේ කැළුම් දෙන තිරය මත ඇඟිලි තුඩු ඔබන්නට වූවාය. කීප වරක් උත්සාහ කළද ශ්‍රීමා සම්බන්ධ කරගත නොහැකි වූයෙන් “අයියෝ” යි අපේක්ෂා භංගත්වයෙන් හඬ නැඟුවාය.

“තවත් බලා ඉඳලා බෑ කාංචනා.. එක්කො අපි පොලීසියට යන්න ඕන. එහෙම නැත්තං මේ දෙන්නව හොයන්න ඕන..”

සිරිමාන්න කතා කළේ නොඉවසිල්ලෙනි.

“මමී අමාට ආදරෙයි අංකල්..”

“ඒ හිංදා තමා මම මේ තරම් ඉවසන්නේ..”

සිය මව අමාලි කැටිව යන්නට ඇත්තේ කොහිදැයි සිතමින් කාංචනා අතකින් නළල පිරිමැද්දාය. ඇගේ දුරකතනය නාද විය. ඇය මෙන් ම සිරිමාන්නද මහත්සේ කැලඹුණේය.

කාංචනා “හෙලෝ” යි කීවේ ආයාසයෙනි. ඇගේ හඬ සැලිණ. එහෙත් ඒ ඇමතුම ශ්‍රීමාගෙන් හෝ අමාලිගෙන් නොවේ.

“මමී ගෙදර ද...?”යි ඇය වෙනසක් නොපෙන්වා ඇසුවාය.

“ඔයා ඉක්මනට එන්නකෝ ෆාමසියට” යි කියමින් ඇය ඇමතුම හමාර කළාය.

“මමී ගෙදර නෑ අංකල්. මල්ලි මුකුත් දන්නෙ නෑ. ෆෝන් එකෙන් කියන්නත් බෑ නේ. ඒකයි මම එන්න කීවේ...” යි ඇය පැහැදිලි කළේ ඔහුගේ නොසන්සුන් සහගතව බව වටහා ගනිමිනි.

“එහෙනම් ඔයයි මල්ලියි ටිකක් හොයලා බලන්න. මාත් අමාගෙ යාළුවන්ගෙ ගෙවල්වල බලන්නම්.”

ඇය ඔහු දෙස බැගෑපත් බැල්මක් හෙළුවාය.

“අනේ සමාවෙන්න ඕන අංකල්... දහස් වතාවක් සමාවෙන්න ඕන අපට... මමී මෙහෙම දෙයක් කරයි කියලා අපි කවදාවත් හිතුවෙ නෑ...”

ඔහු සුසුමක් හෙළුවේය.

“මම ඔයාලව වගේ ම අපේ අමාවත් අඳුනනවා කාංචනා. එයා මීට කලිනුත් මට මේ දුක දීලා තියෙනවා. එයාගෙ අම්මා හිටියා නම් එයා මේ තරම් හිතුවක්කාර වෙන එකක් නෑ... ඒත් ඉතිං අපේ ජීවිතේ හැමදේම අපට ඕනෑ විදියට සිද්ධ වෙන්නෙ නෑ නේ.”

ඇය ඉමහත් පශ්ච­ාත්තාපයෙන් ඔහු දෙස බලා සිටියාය. බැරෑරුම් හා දරදඬු මිනිසෙකු තුළ ද හඬා වැටෙන හදවතක් තිබෙනවා නේදැයි ඇයට සිතිණ. ඇය දොර විවෘත කළේ වරදකාරී හැඟීමෙන් පීඩා විඳිමිනි.

“ඕන නම් අ‍පේ ගෙදර ගිහින් බලමු අංකල්..” යි ඇය යෝජනා කළේ මෝටර් රියෙන් බසින අතරතුරය.

“මට ඔයාලව විශ්වාසයි කාංචනා. අනිත් එක ඔයාලගෙ මමී මෝඩ නෑ අමා එක්කගෙන ගෙදර යන්න. මට පාඩමක් උගන්නන්න නේ මගේ කෙල්ල ඇරං ගිහිං තියෙන්නෙ... මං කැමති වුණත් රමේෂ් ගැන ආයෙමත් හිතන්න ඒ යෝදයා කැමති වෙයිද මගේ කෙල්ල ගැන හිතන්න?”

කාංචනා පෑ දුක්බර මඳහස රමේෂ්ගේ නෙත ගැටිණ. ඔහු ත්‍රීවීලරයෙන් බට සැණින් ඇය සම්මුඛ වූ බැවිනි. කුහුලින් ද විමතියෙන් ද ඔහු ඇය දෙස බලාගත්වනම සිටියේය.

 

 

ලබන සතියට‍...



from silumina sithmalyaya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages