අහිංසක හිනාව - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-11

අහිංසක හිනාව

11 ජනවාරි, 2020

දිවා විවේකය එළැඹියේ ය. කැන්ටිමට යනු පිණිස මම පඩිපෙළ බසින්නට වීමි.

පඩිපෙළ පාමුල සිටි ඔහු මට අහිංසක ලෙස සිනාවක් පෑවේ ය. මම ද සිනාසුණෙමි.

“සර්”

ඔහු මා ඇමතුවේ ය. මම නැවතුණෙමි. ඔහු රහසක් කියන්නට මෙන් මා කැඳවාගෙන අඳුරු පෙදෙසකට ගියේ ය.

“මං සර්ව හම්බවෙන්ඩමයි මෙතන බලාගෙන හිටියෙ”

ඒ ඇයි දැයි මම විමසීමි. ඔහු දිගු විස්තරයක් කළේ ය.

“සර්, අපේ අම්මට විස කටුවක් ඇනිල කකුල නරක්වෙලා. ඔපරේෂන් කීපයක්ම කෙරුව. ඒවයෙ වියදම දැරුවෙ මගෙ අක්කල දෙන්න. දැන් තව ඔපරේෂන් එකක් කරන්ඩ වෙලා. ඒගොල්ලොත් හිරවෙලා හින්ද මං ඒ වගකීම බාරගත්ත. සල්ලිත් ටිකක් එකතු කරගත්ත. ආයතනෙන් ලෝන් එකකුත් දැම්ම. ඒක හම්බවෙන්නෙ ලබන සතියෙ. ඒත් සර් ඩොක්ටර් ඔපරේෂන් එක ඉක්මන් කරල. හරි වැඩේ උණේ! යාළුවොත් සල්ලි ටිකක් එකතු කරල දුන්න. ඒත් මදි. ලෝන් එක ගත්තම දෙනකං සර්ට පුළුවන්ද මට රුපියල් පන්දාහක් දෙන්ඩ?” ඔහු දැඩි ආයාචනාත්මක් බැල්මක් හෙළුවේ ය.

මම කල්පනා කළෙමි. මා අතේ එපමණ මුදලක් නැත. හෙට උදේ ම බැංකුවට ගොස් මුදල ගෙනැවිත් ඔහුට දිය හැකි ය. මම ඒ යෝජනාව කළ විට ඔහු එකඟ විය. පසු දා උදේ මම යුතුකම ඉටු කළෙමි. ඔහු මට පින් දී මුදල අතට ගත්තේ ය. අමාරුවේ වැටුණු කෙනෙකුට පිහිට වූ සතුටින් මම සැනසිල්ලක් ලදිමි.

ඉන් පසු සති කිහිපයක් ගෙවී ගියේ ය. ඔහු කොයි මොහොතේ හෝ මා සොයා එනු ඇතැයි මම සිතීමි. එහෙත් ඔහු නාවේ ය. මාස තුන හතරක් ද ගෙවී ගිය පසු මම ඔහු ගැන විපරම් කරන්නට වීමි. ආයතනය විශාල වූවකි. දහස් ගණනක් එහි වැඩ කරති. ඔහු වැඩ කරන අංශය තබා ඔහු ගේ නම වුව මම දැන නොසිටියෙමි. එතැන් සිට මම කෙටි විවේකයක් ලද හැම මොහොතේ ම විවිධ අංශවලට ගොස් ඔහු ගේ හැඩහුරුකම කියා ඔහු සෙවීමේ වැඩපිළිවෙළකට අවතීර්ණ වීමි. දිනක් හදිසියේ ම ඔහු මට හදි ගැසිණ. මම “හලෝ” යි කියත් ම ඔහු ලිස්සා ගියේ ය. මම ලැජ්ජාව සඟවාගෙන ආපසු ආවෙමි. තවත් දිනෙක කැන්ටිමේ කලබලයක් ඇති විය. මම ද එය බැලිමට ගියෙමි. මා මෙන් විපරම් නෙත් හෙළමින් සිටියවුන් අතර ඔහු ද විය. මම වහා ම ඔහු ගේ අත අල්ලා ගතිමි. ඔහු මා අත ගසා දමා යන්නට ගියේ ය. මා තුළ කෝපයක් වැඩිණ. මම ඔහු පසු පස ඔහු ගේ වැඩබිමට ගියෙමි. ආරක්ෂකයෙක් මා නතර කළේ ය. මම කරුණු කියා මට කට්ටි පනින තැනැත්තා ගේ විස්තර දැන ගතිමි.

“අදම ලොක්කට පැමිණිලි කරන්ඩ! එයත් බලාගෙන ඉන්නෙ ඕකගෙ බෙල්ලෙං අල්ල ගන්ඩ” ඔහු මට උපදෙසක් ද දුන්නේ ය.

මා ආපසු ආවේ එසේ කළ යුතු ය යන සිතුවිල්ලෙනි. එහෙත් දුරට හිතන විට මා තුළ ඇති වූයේ නොසන්සුන්කමකි. රුපියල් පන්දහසකට මිනිසකු ගේ අනාගතය නැති කිරීම නොමනා යැයි සිතූ මම සිද්ධිය අමතක කර දැමීමට උත්සාහ ගතිමි. වසරක් ද ඉක්ම ගියේ ය. දිනක් යහළුවකු හා යෙහෙළියක සමඟ පෞද්ගලික අත්දැකීම් බෙදාහදා ගන්නා මොහොතක මේ කතාව මගේ කටින් පැන්නේ ය. ඊට වඩාත් සංවේදී වූ යෙහෙළිය

“ඔයා වගේ කෙනෙකුට මෙහෙම කරන්ඩ ඉඩ දෙන්ඩ බෑ‘යි කියමින් එවෙලේ ම වගකිවයුතු කෙනෙකුට ඇමතුමක් ගත්තේ ය. එහි ප්‍රතිඵලය වූයේ මට වෙනත් අංශයක ප්‍රධානයකු ඉදිරියේ පෙනී සිටීමට සිදුවීම ය. යෙහෙළිය ද මා කැටුව ආවා ය. අප පිළිගෙන වාඩි ගැන්වූ නිලධාරියා වහා ම චූදිතයා කැඳෙව්වේ ය. ඔහු ආවේ බියෙනි. ඔහුට මා පෙන්වූ ප්‍රධානියා මා හ‍ඳුනනවා දැයි ඔහු ගෙන් ඇසුවේ ය.

“අඳුනනව සර්”

“තමුං මේ මහත්තයගෙන් මුදලක් ඉල්ල ගත්තද?”

“පන්දාහක් ඉල්ල ගත්ත සර්”

“අවුරුද්දක් ගිහිනුත් ආපහු නොදුන්නෙ ඇයි?”

ඔහු බිම බලා ගත්තේ ය.

“තමුං මෙදා පඩියෙං ඒ ගාණ ගෙවන්ඩ ඕනැ! හරිද?”

“කොටසක් ගෙවන්නං සර්”

“කොටසක්ද මිනිහො මේ මහත්තය තමුංට දුන්නෙ?”

“පන්දාහක් දුන්නොත් මට ජීවත් වෙන්ඩ විදිහක් නෑ සර්”

“තමුං හරියකට වැඩට එන්නෙත් නෑ. ඒ හින්ද නෝපේවලට පඩියෙං බාගයක් කැපෙනව. ඒ ඇවිල්ලත් මනුස්සයන්ට පොලු තියනව. තමුං දන්නවද තමුංට විරුද්ධව පැමිණිලි කීයක් ඇවිල්ල තියනවද කියල? මෙදා පඩියෙං මේ ගත්තු ණය නොගෙව්වොත් තමුංට රස්සාවත් නැතිවෙනව! හරිද?”

මම කැලඹී ගියෙමි. ඔහු සිය ප්‍රධානියා දෙස නොබලා මදෙස රළු බැල්මක් හෙළා ගෙන සිට පිට ව ගියේ ය. ඔහු ගේ රැකියාවට හානියක් වීමට ඉඩ නොතබන ලෙස මම නිලධාරියා ගෙන් ඉල්ලා සිටිමි.

“මහත්තේලගෙයි අපෙයි තියන ඔය අනුකම්පාව තමයි මහත්තයො මේ යකා වැරදි විදිහට පාවිච්චි කරන්නෙ. අපි හොයල බැලුව. එයාගෙ අම්මට කිසි ඔපරේෂන් එකක් කරල නෑ. එයා යස අගේට ඉන්නව. ඒ තියා ඔය යකා අවුරුදු ගාණකිං තමුංගෙ අම්මව බලන්ඩ ගිහිල්ලත් නෑ!” නිලධාරියා අවධාරණය කළේ ය.

 

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.

 



from silumina sithmalyaya

No comments:

Post a Comment

Post Bottom Ad

Pages