රාජකීය සම්ප්‍රදායට පිටුපෑ හැරී-මේගන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-01-29

රාජකීය සම්ප්‍රදායට පිටුපෑ හැරී-මේගන්

සුජීව තේවහෙට්ටි

ස්වාභාවික සෞන්දර්යයෙන් විචිත්‍රවත් වූ, එංගලන්තයේ නොෆො‍්ක් හි පිහිටි සැන්ඩ්‍රිහැම් මාලිගයට පසුගියදා බ්‍රිතාන්‍ය මහ රැජන සැපත් වූණේ සිය පවුලේ සාමාජික සාමාජිකාවන් සියල්ලන්ම පිරිවරාගෙනයි.

19 වැනි සියවසේ දී ඉදි කෙරුණු මේ ප්‍රතාපවත් ගොඩනැගිල්ලට රාජකීයයන් සියලුම දෙනා පැමිණියේ රජ පවුලේ විශේෂ කටයුත්තක් වෙනුවෙන් නැත්නම්... රජ පවුලෙන් ඈත්ව ස්වාධීනව ජීවත්වීමට බලාපොරොත්තු වන හැරී කුමරු සහ මේගන් කුමරිය පිළිබඳ තීරණයක් ගැනීම වෙනුවෙනුයි.

හැරී - මේගන් යුවළ කල්යල් බලමින් පසුවන්නේ රජ පවුලෙන් ඉවත් වී කැනඩාවේ පදිංචි වීමටලු. කෙසේ වෙතත් මෙය බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායට ඉඳුරාම පටහැණි ක්‍රියාවක් හැටියටයි සැලකෙන්නේ.

“අද මගේ පවුලේ සියලු දෙනාම එකට එක් වී මේ ගැන අදහස් පළ කළා. මගේ මුනුපුරා සහ ඔහුගේ පවුලේ අය බලාපොරොත්තු වෙනවාලු ස්වාධීනව ජීවත් වෙන්න. මගේ පවුලේ සියලු දෙනාම හැරීට සහ මේගන්ගේ අලුත් ජීවිතයට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ වුණත් අපි වඩාත්ම කැමැතියි, රාජකීය පවුලේ උදවිය හැටියට කටයුතු කරනවා නම්. අපි ඔවුන් දෙදෙනාගේ ස්වාධීන යුග දිවිය ගැන අවබෝධයෙන් සිටිනවා. එයට ගරු කරනවා. එහෙත්, රාජකීය පවුලේ වටිනාකම් තේරුම් අරගෙන කටයුතු කිරීම වැදගත්”.

රාජකීයයන්ගේ සාකච්ඡාවෙන් පසුව මහ රැජන විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද නිවේදනයෙන් එවැන්නක් පැවසුණද තතු දත් උදවිය පවසන්නේ ඇය, තම මුනුපුරාගේ සහ මිනිබිරියගේ අදහසට දැඩි ලෙස එරෙහි වී ඇති බවයි. මේ සාකච්ඡාවට හැරී සහ මේගන් සහභාගී වී නැහැ. ඒ වන විට ඔවුන් කැනඩාවේ සංචාරයක යෙදී සිටියා.

“හැරී සහ මේගන් ප්‍රකාශ කරන්නේ මහජන මුදලින් තව දුරටත් නඩත්තු වීමට ඔවුන් අකැමැති බවයි. මේ කාරණා මගේ පවුලේ සංකීර්ණ තත්ත්වයක් මතු කරලා. ඒ නිසා මේ ගැන ඉදිරියටත් යම් යම් දේ සිදු කරන්නට වේවි. කෙසේ වෙතත් තීරණයක් ගැනීමට පෙර, දින කිහිපයක සංක්‍රාන්ති කාලයක් ගත කිරීමට සිදු වේවි. මේ කාලය ඇතුළත යම් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.”

හැරී සහ මේගන් යුවළ පවසන්නේ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජික යුවළක් හැටියට රැජනට පූර්ණ ගෞරවය ලබා දෙමින් ස්වාධීනව ජීවත්වීමට අදහස් කරන බවයි.

අපි දැන් සැලසුම් කරන්නේ අපේ කාලය කැනඩාවේ සහ බ්‍රිතාන්‍යයේ සමබරව ගත කිරීමටයි. රැජනටත්, පොදු රාජ්‍ය මණ්ඩලයටත්, අපේ හිතවතුන්ටත් ගෞරව කරමින්”.

හැරී - මේගන් යුවළ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි එලෙස සටහනක් තබා තිබුණා. මේ අතර ඇතැම් ආරංචිවල සඳහන් වන්නේ හොලිවුඩ් නිළියක ලෙස ජනප්‍රියත්වයක් දිනා ගත් මේගන් යළි සිනමා රංගනයට එක් වන්න පෙරුම් පුරන බවයි. මේ වන විටත් හැරී සමඟ ඩිස්නි චිත්‍රපට සමාගම වෙත ගොස් ඇති මේගන් එහි නිලධාරීන් සමඟ කතා බහ කර තිබෙනවාලු.

හැරී - මේගන් කැනඩාවේ පදිංචියට යයි ද ? කැනඩා රජය ඔවුන් පිළිගනියිද ? කවුරු කවුරුත් විමසන්නේ එයයි. රාජකීය පවුලේ සාකච්ඡාවෙන් පසු කැනඩාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් කිහිපයක්ම ප්‍රකාශ කළේ තරුණ රාජකීය යුවළ භාර ගැනීමට කැනඩා රජය අක­ැමැති වනු ඇති බවයි. එයට ප්‍රධාන හේතුව රාජකීය යුවළට පුරවැසිකම් ලබා දීම එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි වීමයි.

“අපි ඔබ දෙදෙනාව සාදරයෙන් පිළිගනිමු. නමුත් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් හැටියට කැනඩාවේ පදිංචි වීමට ඉඩ දිය නොහැක. කැනඩාවට සංක්‍රමණය වීම දෙරටේම දීර්ඝ ඉතිහාසය කෙලෙසීමක් වනු ඇත.”

කැනඩාවේ පුවත්පතක කතුවැකියක එලෙස සටහන්ව තිබුණා.

රාජකීය සාකච්ඡාවෙන් පසු ඔවුන් සියලු දෙනාම ගත කළේ කැලඹුණු සිත් ඇතුවයි. හැරී - මේගන් යුවළ රජ පවුලෙන් වෙන් වීමට තීරණය කළේ හැරීගේ සොහොයුරු විලියම් කුමරුගේ ඇතැම් ආකල්ප නිසා යැයි සමහරු පවසනවා. නමුත් එම කතාවල ඇත්තක් නැතැයි විලියම් කුමරු දැඩිව ප්‍රකාශ කර තිබුණා.

දැන් කවුරුත් බලා සිටින්නේ දෙවැනි එලිසබත් මහ රැජනගේ අවසන් තීරණය දෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages