නරුම ශිෂ්‍ය සංගම්වල සිසු මැරයන්ගේ නවක වද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-14

නරුම ශිෂ්‍ය සංගම්වල සිසු මැරයන්ගේ නවක වද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්

අපි එහෙම බස්වල එද්දී අහවල් ගෑනු විධියට අපිව තේරුම් ගන්න උදවියගෙන් කරදර වුණා සර්
නවක වදය මුවාවෙන් සිදුවන කෘෘර අතිශයින්ම අමානුෂික ක්‍රියාවලිය

මේ විශ්වවිද්‍යාල තුළ වැටමාර පොලු සහ ටයර් රඟ දෙන කාලයක්! ප්‍රිය පාඨකය; අප කතා නායකයා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර සිසු පසිඳු හිරුෂාන් සිල්වා මුහුණ දුන් සිදුවීම සහ ඉන් මත්තට සිදුවූ දෑ පිළිබඳව කතා බහක නියැළෙන්නට පෙර විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ සිදුවූ අතිශයින්ම අමානුෂික කළු පැල්ලම් කිහිපයක් කරා අවධානය යොමු කර සිටිමු.

1975 වර්ෂයේදී මහ ඒදණ්ඩ, ඇල්පිටිය සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයට පැමිණෙන රූපා රත්නශීලී රාමනධන් ශාලාවෙන් දෙවැනි තට්ටුවෙන් බිමට පනින්නේ ඇයගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළු කොට ලබාදුන් අමානුෂික කෘෘර ලිංගික නවක වදය ඉවසා දරා ගත නොහැකිව. එම සිදුවීමෙන් පසු පූර්ණ අබ්බගාත තත්ත්වයට පත්වන ඇය 2002 වර්ෂයේදී සිය දිවි නසා ගන්නේ ලෝකයාට රහස් රැසක් සඟවමිනි. 
ඇය මෙලොවින් සමුගත් වර්ෂයේදීම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඕවිටිගල විතානගේ සමන්ත ඝාතනය වන්නේ විශ්වවිද්‍යාලයීය සංවිධානාත්මක කල්ලියක් ඔහුගේ හිසට කම්පියුටර් මොනිටරයකින් පහර දීමෙන් පසුව. මියගිය සමන්තගේ සිරුර වටකොටගෙන එම කල්ලිය එදවස රැඟුමුත් පෑවාලු! සැලකිය යුතු අවධානයක් මෙම සිදුවීම් කරා යොමු වූ 1975 වර්ෂයේ සිට මේ දක්වා විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයන් තුළ අමානුෂික නවක වදයට ගොදුරු වුණු පිරිස් කෙතරම්ද? ඔවුන්ගේ ජීවිත අද අන් තැනක නොවේද? 1997 වර්ෂයේදී නවක වදය ඉවසා ගනු බැරිව මිය ගිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිරෝෂාන් සම්පත්ද සමඟ.... 2011 වර්ෂයේදී සදාකාලික අබ්බගාත තත්ත්වයට පත් වුණු රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුවියද සමඟ....

රුහුණ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් දෙදෙනා පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍යයට පැවැසූ යුරු, ඔවුන්ද තම ආයතන පද්ධතිය තුළින් නවක වදය මුලිනුපුටා දැමීම සඳහා හිත ඇත්තන්. ඒ ඔවුන් මුහුණ දුන් අතීත අත්දැකීම් සමුදායක එක්කාසුවක් සමඟින්. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා තම විශ්වවිද්‍යාල තුළට (රුහුණ විශ්වවිද්‍යාලය) නවක සිසුන්ගේ පැමිණීම සිදුවී ඔවුන් මහා ශිෂ්‍ය සංගමයේ බලකිරීම මත එකම ඇඳුමකින් සැරසී රබර් සෙරෙප්පු පල¼දා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට පැමිණීම පවා අප්‍රිය කරන්නෙක්. “අපි එහෙම බස්වල එද්දී අහවල් ගෑනු විධියට අපිව තේරුම් ගන්න උදවියගෙන් කරදර වුණා සර්” සිදුවීම් පෙළ සාරාංශ ගත කරන එක් සිසුවියක් එලෙස පවසා සිටියා යැයි මහාචාර්යවරයා පවසා සිටිනවා. ඒ ශාරීරික වද හිංසා අතරතුර. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය අනුව ශාරීරිකව සිදුවන තුවාල 11ක් පිළිබඳ ප්‍රායෝගික ලෙස නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට නොව සිවිල් නීතිය ක්‍රියාත්මක කරන පොලිසියට බවයි මහාචාර්ය මතය. 

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නැවත වරක් තමන් නවක වදය සම්බන්ධයෙන් ලද අත්දැකීමක් මෙලෙස සවිස්තර කරනු ලබනවා. ඔහු වෛද්‍යවරයෙක් ලෙස සීමාවාසික පුහුණුව කොළඹ ජාතික රෝහලේ 41 වාට්ටුවේ ලබමින් සිටියදී එම වාට්ටුව ඇතුළු වූ හිමිනමක් පිළිබඳව. එම හිමිනමට කැලණිය විශ්වවිද්‍යාලයේදී අමානුෂික නවක වදය ලබාදී ඇත්තේ විදුලි පරිපථයකට සම්බන්ධ කළ සවිචයකට මුත්‍රා කිරීමට සැලැස්වීමෙන්. මුත්‍රා දිගේ ඇදී ආ විදුලිය එම හිමිනමගේ ලිංගේන්ද්‍රය පුලුස්සා දමා තිබූ ආකාරය අතිශයින්ම හද දවාලන සිදුවීමක් යැයි උපකුලපති මහාචාර්යවරයා පවසා සිටිනවා. 

ප්‍රිය පාඨකය! විශ්වවිද්‍යාල තුළ නවක වදය මුවාවෙන් සිදුවන කෘෘර අතිශයින්ම අමානුෂික ක්‍රියාවලියට පණ පොවන්නේ විශ්වවිද්‍යාල සිසුන් නම් මම ඔබට මෙලෙස යෝජනාවක් කරන්නට කැමැත්තෙමි.! 

1992 වර්ෂයේදී කැලණිය විශ්වවිද්‍යාලය පරිශ්‍රය තුළදී පුෂ්පා මධුවන්ති සිසුවියගේ 11 තැනකට පිහියෙන් ඇන ඇය ඝාතනය කළ ඇයගේ නූගත් කටගස්දිගිලියේ පෙම්වතා මෙම නවක වදය ලබාදෙන ජේ‍යෂ්ඨයන් සමඟ සන්සන්දනය කරන්න කියා. වෙනසක් තිබිය හැකිද? 

විශ්වවිද්‍යාල තුළ අමානුෂික නවක වදයට සහ ලිංගික අපහරණයන්ට නවක සිසු සිසුවියන් ලක්වන බව සැබෑ නම් විශ්වවිද්‍යාලය පාලනාධිකාරිය එය දැඩිව හෙළා දකිනවා නම්, පොදු මහජන සිතුවිල්ල, විශ්වවිද්‍යාලය පරිශ්‍රයට පැමිණෙන නවක සිසු සිසුවියන් අනාරක්ෂිත යැයි යන්න නොවේද? මෙලෙස විශ්වවිද්‍යාල සිසු සිසුවියන් අනාරක්ෂිත වන්නේ ඔවුන් තම දේශපාලන අතකොළු බවට පත්කර ගන්න මාන බලන දේශපාලන පක්ෂවල විශ්වවිද්‍යාල ඒජන්තයන් ක්‍රියා කරන නිසා නම් සිදු කළ යුත්තේ එම දේශපාලනික පිංගුත්තර බවට තිත තැබීමය. තවත් පුද්ගලයකුගේ වෙනස විවේචනාත්මකව භාර නොගන්නා බල ධූරාවලියක්ම විශ්වවිද්‍යාල තුළ තවදුරටත් ක්‍රියාත්මක වීමට ඉඩ ලබානොදිය යුත්තේ එම ඔළමොට්ටළ බල ධූරාවලියට සම මට්ටම් සමාජයක් නිර්මාණය කිරීමට නොහැකි බව කරුණු කාරණා සහ, ඉවසා දරා ගත නොහැකි කතා ප්‍රවෘත්තීන් සමඟ පැහැදිලි වී ඇති නිසාවෙනි. 

මෙම ඔළමොට්ටළ බල ධූරාවලිය සමඟ හැම විටෙකදීම නොඉඳ ඉඳීමක් සිදු කරන ජනනා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය වැනි දේශපාලන පක්ෂ ඒ පිළිබඳව කුමන අදහසක් දරන්නේද? එම දේශපාලන පක්ෂවල විශ්වවිද්‍යාල බල ධූරාවලිය නියෝජනය කරන මහා ශිෂ්‍ය සංගම් සහ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩල අතීත ක්‍රියාකාරකම් සහ හැසිරීම් නිරීක්ෂණ කරන විට පෙනී යන්නේ ඔවුන් විශ්වවිද්‍යාලවලින් පිටදී මෙම පක්ෂ දෙකේ කාඩර්වරු ලෙස පූර්ණකාලීන දේශපාලන ගමනක් අරඹා ඇති බවකි. තරුණ නැඟිටීම් සිදුවූ 1971 වර්ෂය 88/89 වර්ෂයන්වල අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය යනු පූර්ණ විකසිත ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ක්‍රියාධරයන් නොවේ යැයි කිව හැක්කේ කාටද? ලියුම්කරුගේ ඡන්දයද වැටහීම් නොව තෝරා ගැනීම් ලෙස සංකල්පය මත ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන්නද මෙම විවේචනය සිදු කිරීමට ඇති අයිතිය කෙරේ එය කිසිදු අයුරකින් බල නොපාන බව කිව යුතුය. දේශපාලනය යනු මිනිසුන් වෙනස් කිරීමේ කලාවක් නම් එම කලාව තුළ නිරත විය යුත්තේ අනෙකා යටපත් කර පාගා දමා නොව සහෝදරත්වයෙන් වැලඳගෙන බව තේරුම් ගත යුතුව ඇත. 

ඉහත කතා ප්‍රවෘත්තීන් හිස දරා අප කතා නායක වන පසිඳු හිරුෂාන් සිල්වා වෙත එළැඹෙමු. ශාන්ත පීතර විදුහලෙන් (මිනුවන්ගොඩ ශාඛාව) අපොස උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටි පසිඳු එම විභාගයෙන් ‘ඒ’ තුනක සාමාර්ථයක් ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළු වන්නේ අන් හැම සිසු සිසුවියක මෙන් තම අනාගතය සුරක්ෂිත කර ගැනීමේ බලාපොරොත්තු පෙරදැරිවය. පසිඳු විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන්ගේ නවක වදයට ලක්වුවද එය එතරම් කොට ගෙන තම හිතවතුන් සහ නිවෙසේ උදවියට නොකියන්නේද විශ්වවිද්‍යාලය තම ජීවිතය ජය ගැනීමට එකම මඟ ලෙස ගත් නිසා විය හැකිය. නවක වදය නම්, අනෙකා මඟින් පිට දමන මානසික ආතතියේ අවසන් දින රැය මහා ශිෂ්‍ය සංගම් ජේ‍යෂ්ඨයන් සමරනු ලබන්නේ ජයවර්ධනපුර සරසවිය තුළ සාමූහික උත්සවයක් ලෙසය. නවක වදයේ අවසන් දින රාත්‍රිය පසිඳු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා ගාරයේ පහළ මාලයේ රැඳී සිටියදී ඉහළ මාලයේ සිට තල්ලු කර එවූ ටයරයක ගැටී තුවාල ලබන්නේ එදින අලුයම 1.30 පමණය. එම සිදුවීම සිදුවන විට මහා ශිෂ්‍ය සංගම් ජේ‍යෂ්ඨයන් ක්‍රීඩාගාරයේ ඉහළ මාලයේ මත්පැන් සාදයක් පවත්වමින් සිසුන් ලෙස තම අඳබාලකම් ප්‍රදර්ශනය කරමින් සිට තිබේ.

ඉහළ මහලයේ සිට පැමිණි ටයරය පසිඳුගේ හිසේ ගැටී ඔහු ක්‍රීඩාගාරය තුළ ඇද වැටෙන අතර එම සිදුවීම සිදුවන විට එම ස්ථානයේ සිටි සිසු සිසුවියන් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකළද වෛද්‍ය මතය වන්නේ යම් බලයක් යොදා ඉහළ සිට පහළට තල්ලු කර එවූ ටයරයක ගැටී පසිඳුගේ හිස් කබලට දැඩි හානි සිදුවී ඇති බවය. කළුබෝවිල ජාතික රෝහලෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට මාරු කර එවන ලද පසිඳු තත්ත්වය මුද්‍රණයට යන මොහොත දක්වා ජීවිතය, මරණය බෙදා වෙන්කොට ඇත්තේ යන්ත්‍ර කිහිපයක ආධාරයෙනි.

ප්‍රිය පාඨකය; මෙවන් අවාසනාවන්ත සිදුවීම් හුදු අහම්බයක් ලෙස අප ගත යුතුද? අතීත අත්දැකීම්ද සමඟින් පසිඳු තම ජීවිතය සහ මරණය අතර සටනක නිරත වෙමින් සිටියදී පොදු සමාජය ලෙස අප මෙම සිදුවීම නාමකරණය කළ යුත්තේ එක්තරා අනතුරක් ලෙස පමණද? මෙම සිදුවීම පිළිබඳව මහත් හිත් ඇති පසිඳුගේ සොහොයුරා වන ලක්ෂාන් සිල්වා වෙත යොමුවීමට කලියෙන් අප පසිඳු පිළිබඳව කාරණා කිහිපයක් දැනකියා ගමු. 

ශාන්ත පීතර විදුහලේ (මිනුවන්ගොඩ ශාඛාවේ) අපොස උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිට එම විභාගයෙන් ‘ඒ’ තුනක සාමාර්ථ ලබාගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළු වන්නේ අන් හැම සිසු සිසුවියක් මෙන්ම පෙර සඳහන් කළ ලෙස තම අනාගතය සුරක්ෂිත කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. ඒ පිළිබඳව කරුණු කාරණා දැන ගැනීම සඳහා පසිඳුගේ වැඩිමහල් සොහොයුරා වන ලක්ෂාන් සිල්වා වෙත යොමු වෙමු.

“මගේ මල්ලි දැන් ඉන්නේ දැඩි ජීවිත අවදානමක. පසුගිය 5 වැනිදා ඉඳලා මල්ලිට සිද්ධ වුණේ මොකක්ද කියන්න රටම දන්නවා. මම ඉල්ලා සිටින්නේ මගේ මල්ලිට සාධාරණයක් ඉටු කරන්න කියා. එය විශ්වවිද්‍යාලය ප්‍රවේශය ලබාගෙන උසස් අධ්‍යාපන ලබන හැම කෙනකුටම කරන සාධාරණයක්. මල්ලි අනතුරට පත්වුණු දවසේත් පාන්දර 4.30ට පමණ මට ආරංචිය ලැබුණා. මම මල්ලිගේ සම වයස් මිත්‍රයන් වෙත ඇමැතුම් ලබාගත්තා. ඒ අය පවසා සිටියේ රාත්‍රි 1.30ට පමණ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරයේ පහළ මාලයේ මල්ලී රැඳී සිටින විට ඉහළ සිට පැමිණි ටයරයක් නිසා මගේ මල්ලි අනතුරට පත්වුණු බවයි. මෙම අනතුර හදිසි අනතුරක් ලෙස පෙන්වා දෙන්න අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු උදාර ස¼දරුවන් පවා උත්සාහ ගත්තා. නමුත් මෙය අපට ලැබෙන තොරතුරු අනුව හදිසි අනතුරක් නෙවෙයි. ටයර් එක අඩි 25ක දුර ඉඳලා බලයක් යොදා තල්ලු කළ නිසයි මෙතරම් හානියක් මගේ මල්ලිට සිදුවෙලා තිබෙන්නේ. මල්ලි මට විශ්වවිද්‍යාලයේ නවක වදය ගැන යම් යම් දේවල් පවසා තිබෙනවා. 

ක්‍රීඩාගාරය තුළ සිදුවූ දෙය කුමක් දැයි කියා මා දන්නේ නැහැ. නමුත් මගේ මල්ලි ඉලක්ක කරගෙන ටයරයක් එවීමට තරම් සිදුවීමක් එහි සිදුවී තිබෙනවා. නවක වදයේ අවසන් දින උත්සවය සංවිධානය කළ මහා ශිෂ්‍ය සංගමය මෙම අනතුර පිළිබඳව වගකීම ගත යුතුයි. මහා ශිෂ්‍ය සංගමයේ උදවිය පවා මට කතා කළා. ඒ අය විශ්වවිද්‍යාල සිසුන් ලෙස හිටිය යුතු අය නෙවෙයි. විශ්වවිද්‍යාලයෙන් පිටතට නොගොස් විශ්වවිද්‍යාල තුළ වයිරසයක් ලෙසයි ඒ අය හැසිරෙන්නේ. මේ පිරිස් විශ්වවිද්‍යාලයෙන් පිටමං කර දාලා අලුතින් එන නවක සිසුන් නිසි ආකාරව හදා ගත්තොත් අතීතයේ දවසක අපට මේ නවක වදය කියන අමිහිරි අත්දැකීම ගැන, මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන අත්දැකීම ගැන කතා කරන්නට නොහැකි විය හැකියි. 

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිමෙන්ති බංකුවක් මත වාඩි වී සිටින පසිඳුගේ වැඩිමහල් සොහොයුරු ලක්ෂාන් සිල්වා පවසා සිටින්නේ එවැන්නක්. ලක්ෂාන් සිල්වා පවසා සිටින ලෙස පසිඳු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සිදුකරන ලද නවක වදයට ලක්වූ අයෙක්. ඔහු එය විඳ දරාගෙන අත්තේ කෙලෙස හෝ තම අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින්. එවැනි සිසු සිසුවියන් කෙතරම් සිටිත්ද? පසිඳු විශ්වවිද්‍යාලය ප්‍රවේශය ලබා ගන්නේ ඔහුගේ උත්සාහයෙන් වුවද එයට දිරි ලබාදෙන තවත් පිරිසක්ද වේ. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ පසිඳුගේ වැඩිමහල් සොහොයුරිය ජේ.ඒ. ශර්මිලාද සිල්වාය. ඇය වෘත්තියෙන් නීතිඥවරියකි. අප ඇයට සවන් දෙමු.

“මම පවුලේ වැඩිමලා. පසිඳු මගේ පවුලේ බාලයා. වැඩිමහල් සහෝදරිය විධියට මට වුවමනා වුණා එයාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. මොකද එයා පුංචි කාලේ ඉඳලම අධ්‍යාපනයට, ක්‍රීඩාවට දක්ෂයි. මම විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙද්දී එයා කිව්වා මමත් අක්කා වගේ කවදා හරි විශ්වවිද්‍යාලය ලබා ගන්නවා කියලා. අපි සාමාන්‍ය පවුලක්. ආර්ථික ප්‍රශ්න තිබුණත් මගේ අම්මා තාත්තා ඒවා අපට පෙන්නුවේ නැහැ. හැබැයි ඒ නිසාම අපි අනවශ්‍ය වියදම්වල බර ගෙදරට දුන්නෙත් නැහැ. මටත් වඩා එතැනදී මුලින්ම හිටියේ පසිඳු. එයා හොඳ කතෝලිකයෙක් විධියට එයාගේ සම වයසේ සහෝදරයන්ට ආදර්ශයක් වුණා. පසිඳු උසස් පෙළින් ‘ඒ’ තුනක් සාමාර්ථ ගත්තා. ඒ අතරින් ආර්ථික විද්‍යාවට එයා හරි දක්ෂයි. එයාගේ මිත්‍රයෝ ගොඩ දෙනෙක් මම දන්න විධියට පසිඳුගෙන් තමයි ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලු විස¼දා ගත්තේ. අපේ අම්මා පිළිකාවකින් පීඩා විඳිද්දී අපි දැන ගත්තා අම්මා කෙටි කාලයකින් අප අතහැර දමා යන විත්තිය. එතකොට පසිඳු අම්මා එක්කමයි. මම ඒ ගැන කල්පනා කළා. පසිඳු එක්කත් කතා කළා. හැබැයි එයත් දැනගෙන හිටියා අපේ අම්මා වැඩිකල් ජීවත් නොවන බව. මට එදා පසිඳු ගැන ලොකු ගෞරවයක් ඇති වුණා. බාලම සහෝදරයා විධියට එයා හොඳින් එයාගේ අනාගතයට මුහුණ දේවි කියන විශ්වාසයක් ඇති වුණා. මගේ අම්මා මිය ගියේ පසිඳු උසස්පෙළ විභාගයට මුහුණ දෙන්න සති දෙකකට කලියෙන්. ඒ තිබූ පරිසරය පසිඳුගේ මානසිකත්වයත් එක්ක මම හිතුවේ නැහැ පසිඳු උසස් පෙළින් ‘ඒ’ තුනක සාමාර්ථ ලබා ගනියි කියලා. නමුත් එය එලෙස සිදුවුණා.

අනෙක් කාරණාව පසිඳු බොහොම ආදරණීය සහෝදරයෙක්. සහෝදරයෙක් විධියට අපට පමණක් නෙවෙයි ඔහු සමාජයටම ආදර්ශයක්. පසිඳු පෞද්ගලිකව කිසිම කෙනෙක් එක්ක ගැටුමකට යන්නේ නැහැ. ඒකයි මම මේ සිදුවීමේදී මගේ මල්ලි නිවැරැදියි කියලා විශ්වාස කරන්නේ. එයාට අසාධාරණයක් වුණත් එයා නිශ්ශබ්ද වෙනවා. ඒක එයාගේ හැටි. තාත්තා මට ඉගැන්නුවෙ ගොඩක් දුෂ්කරතා මැද. මම ඉගෙන ගත්තායින් පස්සේ මට වුවමනා වුණේ මගේ සහෝදරයෝ දෙන්නාගේ අනාගතය සුරක්ෂිත කරන්න. ඒත් මේ සිදුවීම අපේ සියලු බලාපොරොත්තු විනාශ කළා. විශ්වවිද්‍යාලවල නවක වදයෙන් ඒ අය හදන්න හදන සම සමාජය මොකක්ද? අපිත් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් ජීවිතයේ යම් දුරක් ආපු අය. ඒ වගේ පවුල්වල දරුවෝ නේ ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලට එන්නේ. මම හිතන්නේ නැහැ යම් ක්‍රියාවලියක් මඟින් නැති කරලා දාන්න තරම් පරතරයක් එතැන තියෙනවා කියලා. මගේ මල්ලිට සිදුවුණු අසාධාරණය වෙනුවෙන් මම පෙනී හිටිනවා. තවත් මෙවැනි සහෝදරයකුට එවැන්නක් නොවෙන්න. මේ පිළිබඳ මූලික පරීක්ෂණ සිදුකළ මිරිහාන පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යම් පරීක්ෂණයක මූලික අඩිතාලම වැටෙන්නේ එවැනි ක්‍රියාමාර්ගයක් නිසා මම මේ පිළිබඳව අවධානයෙන් සිටින්නේ. වෛද්‍ය මතය මත පසිඳුට නැවත වරක් එයා ගත කළ ජීවිතය ගත කරන්න බැරි වේවි. කවුද මේ පිළිබඳ අවදානම ගන්නේ. 

පසිඳුගේ සොහොයුරිය එලෙස පවසද්දී ඇය පසෙකින් සිටිනා පසිඳුගේ පියා තම දරුවා පිළිබඳව සහ ඔහුට අත්වුණු ඉරණම පිළිබඳව පවසා සිටින්නේ මෙවැන්නක්. 

“මගේ නම ජේ.ඒ.බී. ඔගස්ටීන් සිල්වා. මේ සිදුවීම සිදුවෙලා දවස් කිහිපයක් නිසා සහ මේ පිළිබඳ තොරතුරු පුවත්පත්වල පළවූ නිසා අප කෙළින්ම අදාළ කාරණය වෙත යොමු වෙමු. මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කළා මේ සිදුවීම හදිසි අනතුරක් කියා. මම අහන්නේ ක්‍රීඩා පිටියක ක්‍රීඩාවක නිරත නොවී සිටියදී හදිසි අනතුරක් සිදුවන්නේ කෙසේද කියා. ටයර් එක කවුරු හරි මගේ පුතාව ඉලක්ක කරලා තල්ලු කළ නිසයි මෙවැනි තත්ත්වයක් ඇති වුණේ. 

මේ තත්ත්වය ගැන නොයෙකුත් දෙනා නොයෙකුත් දේ කියනවා. අපේ ළමයාට වඩා ජේ‍යෂ්ඨ ළමයි එදා රාත්‍රියේ මත්පැන් පානය කර සිටියාලු. ඒ ළමයි මගේ දරුවාට වතුර අදින්න කිව්වාලු! මගේ දරුවා ඒක ප්‍රතික්ෂේප කරලා නවාතැනට යන්න හැදුවාලු! එවැනි වටපිටාවකදී තමයි ඔය සිදුවීම සිදුවෙන්නේ. එදා පාන්දර ජාමයේනේ මේක සිදුවෙන්නේ. හරියට කිව්වොත් පාන්දර 1.30ට විතර. ඒ වෙලාවේ මොන මනුස්සයාද නැඟිටලා ඉන්නේ. අපට මේ සිද්ධිය ආරංචි වුණේ පාන්දර 5.00ට විතර. ඒ කියන්නේ 6.00ට විතර .මමයි ලොකු පුතයි විතරයි ගෙදර ඉන්නේ. අපි තකහනියෙන්ම කොළඹ ගියා. අනෙක් කාරණය කැම්පස්වල ඉන්නේ උගත්තුනේ. ඒ අය අතින් මෙහෙම අනතුරක් වෙන්න පුළුවන්ද. ඔය උගත්තුන්ට පුළුවන්නේ අනතුර කරපු කෙනා සොයා ගන්න. මම කියන්නේ ඒ කෙනාට නිසි දඬුවම් ලබා දිය යුතුයි කියා. ඔය කියන ශිෂ්‍ය සංගම් නිවැරැදි නම් ඒ අයට පුළුවන් වැරැදිකාරයා නීතිය ඉදිරියට ගේන්න. එයාලා කියනවා මේ සිදුවීම වෙද්දී ඒ අය විශ්වවිද්‍යාල තුළ රැඳී සිටියා කියා. එහෙම නම් අනතුර සිදුවුණේ කොහොම කියලා ඒ අය දන්නවා ඇති. 

මගේ පුතා බොහොම නිශ්ශබ්දයි. විභාගයට සති දෙකකට කලින් එයාගේ අම්මා නැති වුණා. (ජී.ටෙක්ලා පීරිස්) අවසන් කටයුතු සිදුකරලයි පුතා විශ්වවිද්‍යාලයට ගියේ. හැම සිකුරාදාවකම හවස ගෙදර ඇවිත් පාඩම් කරලා කාරිය සඳුදා උදේ පුතා ආපසු යනවා. ඔය අතරතුර නවක වදය ගැන පුතා එයාගේ අයියාට යම් යම් දේවල් කියලා තිබුණා. ඒත් අපි ඒක ලොකු කාරණයක් විධියට ගත්තේ නැහැ.

පුතා උපන්නේ 1999යේ. එයා ගම එක්ක බොහොම හිතවත්. අදත් කඹරගමුවේ අන්තෝනි මුනිද්‍රයන්ගේ සුරුවම ගාව ගම්මු යාඥා කරනවා. එයාලා ඇඬ­ූ කඳුළින් ඉන්නේ. අපිත් යාඥා කරනවා. අපි වෙන කාට කියන්නද? ‍ෙදාස්තර මහත්තුරු මගේ පුතාට බොහොම හොඳින් ඇප උපස්ථාන කළා. මට මගේ දරුවා ගැන උහුලන්න බැරි දුකක් තියෙන්නේ. එයා අධ්‍යාපනයට දක්ෂයි. ක්‍රීඩාවටත් එහෙමයි. එයා ක්‍රීඩාවෙන් කප් ගහපු කෙනෙක්. ශාන්ත පීතර විදුහලේ ගුරුවරු, ෆාදර්ස්ලා පසිඳුට බොහොම ආදරෙයි. දැනට මම වත්ත පිටියෙන් ආදායම් ලබා ගන්නා ගොවියෙක්. 2001 වර්ෂය වන විට මම තුල්හිරිය පෙහෙ කම්හල් සේවකයෙක්. පෙහෙ කම්හල වසා දැම්මාට පස්සේ පවුලක් විධියට අපි ආර්ථික අපහසුතාවලට මුහුණ දුන්නා. මගේ ලොකු දෝනි නීතිඥ රස්සාවට ගියාට පස්සේ තමයි අපිට මේ තත්ත්වයට එන්න හැකි වුණේ. අම්මා නැති වුණාට පස්සේ සහෝදරයෝ දෙන්නාට අම්මා වුණේ ලොකු දුව. 

මගේ දරුවෝ තුන්දෙනාම එක වගෙයි. එක්කෙනකුට එක්කෙනෙක් නැතිව ඉන්න බැහැ. ලොකු පුතා මීගමුව අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන්නේ. පසිඳු මේ අනතුරට මුහුණ දුන්න දවසේ ඉඳලා ලොකු පුතා එයා ගාව. උදේ පාන්දර යනවා. රෑ වෙලා එනවා. මම තාත්තා කෙනෙක් විධියට වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටින්නේ මගේ පුතාට සාධාරණයක් ඉෂ්ට කරනවා වගේම මේ වගේ අවාසනාවන්ත සිදුවීමක් නොවෙන්න වගබලා ගන්න කියා. දරුවා දවස් පහක් යනකම් ඉස්පිරිතාලේ සිටියත් කිසිම කෙනකුගේ අවධානයට යොමු වුණේ නැහැ. එතකම් එයා රෝගියෙක් විතරයි. සිදුවූ සිදුවීම පිළිබඳ වගකීම ගන්න කෙනෙක් හිටියේ නැහැ. 

මිරිහාන පොලිසියට අපේ ප්‍රසන්න රණතුංග ඇමැතිතුමා කතා කරලා දරුවාගේ තත්ත්වය විමසුවාට පසුවයි ඒ අය නීතිය ක්‍රියාවේ යෙදෙව්වේ. මේ වෙනකම් අපිත් එක්ක දුක සැප බෙදා ගන්න හිටිය හිතවතුන්ට, කාදිනල්තුමා ඇතුළු පියතුමාට මම ස්තුතිවන්ත වෙනවා. 

පසිඳු තවමත් ජීවිතය සහ මරණය අතර සටනකය. අප කුමක් කීවත්, කුමක් ලීවත් මම ඔබෙන් මෙසේ අසමි. සොබාවික මානව වෙනස්කම් නොපිළිගන්නා ඒවා ලෙස උගන්වන මාක්ස් වාදය මිථ්‍යාවක්ද? ප්‍රිය පාඨකය, 

කතාව පින්තූර 

ප්‍රභාත් අත්තනායක

No comments:

Post a Comment

Post Bottom Ad

Pages