කලාකරුවන් කියන්නේ අහසින් වැටුණු මිනිස්සුද? මාතලෙන් පාර්ලිමේන්තු යන්න සැරසෙන ගයාන් කියන කතාව - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-11

කලාකරුවන් කියන්නේ අහසින් වැටුණු මිනිස්සුද? මාතලෙන් පාර්ලිමේන්තු යන්න සැරසෙන ගයාන් කියන කතාව

ඒක අන්තිම මෝඩ කතාන්දරයක් විදිහටයි මම දකින්නේ
මම යමක් කරන්න ගත්තොත් ඒක අතහරින්නේ නැහැ

ගයාන් වික‍්‍රමතිලක. හැමදාම අපි ඔහුත් එක්ක කතා කළේ ඔහුගේ රංගනය ගැන. එහෙමත් නැතිනම් ඔහුගේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය ගැන. ඒ එකක්වත් නැතිව තවත් අවස්ථාවක ඔහුගේ අධ්‍යක්‍ෂණ කාර්යය ගැන. මේ හැමදෙයක්ම කලාවට බද්ධයි. කලාව එක්ක විතරක් නෙමෙයි ගයාන්ගේ ජීවිතය ඉදිරියේ දී තවත් ක්‍ෂේත‍්‍රයක් සමග බද්ධවෙන්නයි යන්නේ. ඒ මොකක්ද කියලා දැනගන්න අපි ගයාන් එක්ක කරපු මේ කතාව කියවලා බලන්නම වෙනවා.

ගයාන් මේ දිනවල කලා කටයුතුවලට වැඩි බරක් දෙන්නේ නැහැ කියන්නේ ඇත්තද?
දෙන්නේ නැත්තේ නැහැ. දීලා තියෙන වෙලාව මම උපරිමයෙන්ම දෙනවා. නමුත් ඒකට වෙන්කරගන්න තියෙන දින ප‍්‍රමාණය අඩුයි.

මොනවාද ඇත්තටම කරන කලා වැඩකටයුතු ?

මේ දිනවල සිරස නාලිකාවේ රැස් කියලා ටෙලිනාට්‍යයකට දායක වෙලා ඉන්නවා. ඊට අමතරව රූපවාහිනී නාලිකා කිහිපයක වැඩසටහන් කිහිපයක් කරගෙන යනවා.

මේ දිනවල වැඩිපුරම ඉන්නේ මාතලේ කියන්නේ ඇත්තද?


ඔව්. ඇත්ත. මාතලේ.

මාතලෙන් පාර්ලිමේන්තු යන්න උත්සාහ කරනවා කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?

උත්සාහ කරනවා කියන්නේ මාතලෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අදහස් කරලා තියෙන හින්දා ඒ වෙනුවෙන් මේ දිනවල කටයුතු සූදානම් කරමින් යනවා.

ඇයි දේශපාලනයට එන්න අදහස් කළේ ?

මේක අද ඊයේ ගත්තු තීරණයක් නෙමෙයි. ඇතැමුන්ට ඒක මැජික් එකක් වගේ වෙලා තිබුණාට මම කාලයක් තිස්සේ හිතනමින් හිටපු බලාපොරොත්තු වුණ දෙයක් තමයි මේ සිද්ධ කරගෙන යන්නේ. ඒක නිසා මේක මට විශේෂ දෙයක් නෙමෙයි.

කලාකරුවන් පාර්ලිමේන්තු යනවා කියන කාරණාවට මේ දිනවල හරියට මඩ ප‍්‍රහාර එල්ල වෙනවා නේද?

ඒක අන්තිම මෝඩ කතාන්දරයක් විදිහටයි මම දකින්නේ. ඒ වගේම හරිම පටු විදිහට හිතන පිරිසක් තමයි එහෙම කතා ගොතන්නේ. ඔය කියන අයට කලාකරුවන්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැහැ කියන්න තියෙන අයිතිය මොකක්ද?. අනික වෘත්තිකයෙකුට තියෙන අයිතිය අහුරන්න තවත් වෘත්තිකයෙකුට තියෙන අයිතිය මොකක්ද?. ඒ වගේ පටු ආකාල්පවලට යන තාක්කල් අපි රටක් විදිහට ඔළුව උස්සන්නේ නැහැ. බෙදීම තමයි හැමදේකටම ප‍්‍රශ්න වෙලා තියෙන්නේ. බෙදෙන්න ඕනෑ හො`ද හෝ නරකට මිසක්වත් ආගමිකයන් අනුවත් ජාතියක් අනුවත් වෘත්තිකයන් අනුවත් බෙදෙන්න වුවමනාවක් නැහැ. සාධාරණය සහ අසාධාරණය අන්න ඒක තමයි බෙදීම.

මේ මඩ ගැසීම් තරයේ හෙළා දකිනවා. එහෙමද?

කලාකරුවන් කියන්නේ අහසින් වැටුණු මිනිස්සුද?. නැහැ. මේ රටේම වෘත්තිකයන් පිරිසක්. ඔවුන්ට දේශපාලනයට එන්න අයිතියක් නැතිද?.

මේවා පටු කතා.

ගයාන් දේශපාලනය කරන්නේ කලාව වෙනුවෙන් යමක් කරන්නද?

කලාව වෙනුවෙන් විතරක් නෙමෙයි මගෙන් මේ රටේ හැම ක්‍ෂේත‍්‍රයකටම යමක් වෙන්න ඕනෑ හින්දා ඒ වෙනුවෙන් යමක් කරන්න තමයි මම දේශපාලනය කරන්නේ.

එතකොට රඟපෑමෙන් ඉවත්වෙනවාද?

නැහැ. එහෙම ඈත්වීමක් නැහැ. කරන්න ඕනෑ කලා කටයුතු ඉදිරියේදී කරනවා. ඒ අතර වැඩිපුර කාලයක් දේශපාලනය වෙනුවෙන් යොදවන්න තීරණය කරලා තියෙනවා. කොහොමත් මම කකුලක් ඉස්සරහට තිබ්බොත් ආපස්සට ගන්න කෙනෙක් නෙමෙයි. ඒ ගමන ඉදිරියටම යන කෙනෙක්.

ගයාන් වැඩකට අතගැසුවොත් අතහරින්නේ නැහැ ?

නැහැ. මම යමක් කරන්න ගත්තොත් ඒක අතහරින්නේ නැහැ. ඒ දේ හොඳ පැත්තෙන් උපරිමයට ගෙනියන්න තමයි තීරණය කරන්නේ.

ඡන්දය ඉල්ලනවා කියන කාරණයට ඔබට පුද්ගලිකව ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

ඉතාමත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් මාතලේ ජීවත්වන මගේ නෑදෑයින්, මාතලේ ජනතාව ඉතා හරසරින් මාව පිළිගෙන තියෙනවා.

මාතලේ කියන්නේ ඔබ උපන් ගම?

ඔව්. මම උපන් ගම.

ඔබ කාලයකට පස්සේ නේද ගමට යන්නේ ? ඔබව ගමේ මිනිස්සු පිළිගනීවි කියලා විශ්වාස කරනවාද?

නැහැ. මම කාලයකට පස්සේ ගමට යන්නේ නැහැ. මම උපන්දා සිට හිටියේ මාතලේ. ඉස්කෝලේ ගියේ මාතලේ. හැදුණේ වැඩුණේ මාතලේ. ඊට පස්සේ රඟපාන්න මම කොළඹ ඇවිත් හිටියාට නිතරම මාතලේ ගියා. කාලයකට පස්සේ මාතලේට ගියා කියන කතාව මම පිළිගන්නේ නැහැ. කාලෙකට පස්සේ එහෙට නත්තල් සීයා යනවා වගේ වැඩක් එහේ එහෙම නම් තියේවි. එහේ එහෙම දෙයක් නැහැ. මාතලේ ඉඳලා උදේ පාන්දර තුනහමාරට හතරට ෂූූටින් යන්න බැහැ. අවශ්‍ය දවස්වලට මම කොළඹ හිටියා. අනෙක් දවස්වලට මම ගමට ගියා. එච්චරයි.

දේශපාලන වැඩවලට චතුරිකාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇයගෙන් වෙන්න ඕනෑ සියලූම යුතුකම් ඉෂ්ඨවෙනවා.

අලූත් කලා කටයුතු පටන් ගන්නේ නැතිද?

අලූත් කලා කටයුතු වෙනුවෙන් කාලය වෙන්කර ගන්න අමාරුයි. මේ මැතිවරණ ව්‍යාපාරයත් එක්ක මම හරිම කාර්යබහුලයි.

මේ දිනවල ඔබගේ දුවගේ ඡුායාරූප කිහිපයක් අන්තර්ජාලයේ සැරිසරනවානේද?

ඒ අපි අපේ උත්සවයකදී ගත්තු පින්තූර වගයක්. මීට කලිනුත් අපේ පින්තූර වගයක් එලෙස ප‍්‍රචාරය වුණා. මම දැක්කා ඒ පින්තූරවලට හදවතින්ම සුභ පැතුම් එකතු කරපු අයත් හිටියා. තවත් සමහර මිනිස්සු ඉතාම පහත් මට්ටමේ ප‍්‍රතිචාර දක්වලා තිබුණා. ඒ පිළිබඳව ලොකු කලකිරීමක් තියෙනවා. මෙහෙමත් මිනිස්සු මේ රත්තරන් මහපොළවේ ජීවත්වෙනවාද කියලාත් ප‍්‍රශ්නයක් තියෙනවා.

දේශපාලන කටයුතු හින්දා අධ්‍යක්‍ෂණ කාර්යයන්වලින් පවා ඈත්වෙලාද?

අධ්‍යක්‍ෂණය කරපු වැඩ මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ. අනිත් එක අධ්‍යක්‍ෂණය කරනවා කියන්නේ ඒක වෙනම රාජකාරියක්. පළමු චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්න හිටියා මේ ජනවාරි මාසයේ. ඒක තාවකාලිකව කල්දැමුවා.

මේ වැඩ හින්දා භාරගත්තු ටෙලිනාට්‍ය රඟපෑම් එහෙම අතපසුවෙන්නේ නැතිද?

නැහැ. එහෙම දේවල් සිද්ධවෙන්නේ නැහැ. රඟපෑම් කටයුතුවලට ලබාදෙන්න ඕනෑවෙලාවල් කලින් ලබාගෙන ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙනවා. එතකොට ලොකු ගැටලූවක් ඇතිවෙන්නේ නැහැ.

දිනේෂ් විතාන
ඡායාරූප - හසිත නිලූපුල්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages