කොරෝනා රෝගය සුරතල් සතුන්ගෙන් බෝ වන්නේ නැහැ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-03-24

කොරෝනා රෝගය සුරතල් සතුන්ගෙන් බෝ වන්නේ නැහැ

 
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
ජාතික රෝහල මහනුවර
 
චීනයෙන් ඇරඹි කොරෝනා වෛරස් බිය දැන් ශ්‍රී ලංකාවේද පැතිර යමින් තිබේ.මෙරට සංචාරය කළ චීන ජාතික කාන්තාවකට වෛරසය ආසාදනය වී තිබෙන බව හෙළි වීමෙන් පසු සිදුකළ ප්‍රතිකාර වලින් ඇය සුවය ලැබුවාය.ඉන් අනතුරුව කෙටි කලක් යනතුරු අප අස්වැසිල්ලක් ලැබුවේ ලෝකයේ වෙනත් රටවල් කොවීඩ් -19 වෛරසය නිසා මුහුණ දෙමින් තිබූ ප්‍රශ්න අප හමුවේ නොතිබූ බැවිනි.එහෙත් දැන් රටක් ලෙස අප කොවීඩ් -19 වෛරසයේ ගොදුරක් බවට පත්ව ඇත.දිනෙන් දින අසාධිත රෝගීන් වාර්තා වෙමින් තිබෙන අතර වෛරසය ශරීරගත වූ බවට සැක කරෙන දෙසීයකට අධික පිරිසක් රෝහල් වලට ඇතුළත්ව සිටිති.තවත් පිරිසකට නිවෙස් වල සිට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී තිබේ.තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති මෙම කෝවීඩ් -19 වෛරසය ශරීර ගතවූ පිරිස් අතරින් මරණයට පත්වන්නේ 3% ක පමණ පිරිසකි.දැනට ලෝකයෙන් වාර්තා වන ලක්ෂ දෙකකට වැඩි  වෛරස් ආසාදිතයින් අතරින් මරණයට පත්ව තිබෙන්නේ හත් දහසක් පමණ වන අතර සුවය ලද පිරිස අති විශාලය.කෙසේ වුවත් අද වනවිට අප සමජය තුළ මේ සම්බන්ධයෙන් දැන් මතුව තිබෙන්නේ දැඩි නොසන්සුන්තාවකි.පාසැල් හා විශ්ව විද්‍යාල වසා දැමීමට රජය මුලින් පියවර ගත්තේ වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීමේ එක් පියවරක් ලෙසිනි.පසුව උද්භිද උද්‍යාන,සතුන් වත්ත,සිනමාශාලා ඇතුළු මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන තාවකාලිකව වසා දැමීමට රජය පියවර ගත්තේය.මේ ඔස්සේ ඇතිවූ උණුසුම්කාරී වටපිටාවත් සමඟ ජනතාව සුපර් මාර්කට් වලට රොද බැඳ පැමිණ ඒවාහි ඇති ආහාර ද්‍රව්‍යය රැගෙන ගොස් නිවෙස් වල ගබඩා කිරීමට පටන් ගත්තේය.
 
සමජය තුළ මේ ආකාර කැළඹිලි ස්වභාවයක් ඇතිවූ විට නොයෙකුත් මිත්‍යා මත සමාජ ගත කරමින් ජනතාව නොමඟ යැමීමට උත්සහ කරන පිරිසක් අප රටේ පමණක් නොව ලොව සෑම රටකම සිටිති.විශේෂයෙන් සමාජ මාධ්‍යය මගින් නොයෙකුත් වැරදි මත ජනගත කිරීමට මොවුන් උත්සහ කරන්නේ මානසික රෝග තත්ත්වයක් නිසාද,දේශපාලන අවශ්‍යතාවක් මතද නැතහොත් වෙනත් කාරනයක් හේතුවෙන්ද යන්න සොයා බැලිය යුතුය.වෛරසය හා එය පැතිරෙන ආකාරය සම්බන්ධ විද්‍යාත්මක නොවන නොයෙකුත් කතා සමාජ ගත වූයේ මෙම පසුබිම තුළය.කොවීඩ්-19 ආසාදිකයින් අප රටින් වාර්තාවී තිබෙන්නේ පනහකටත් අඩු සංඛ්‍යාවකි.එය වසංගත තත්ත්වයක් ලෙස සලකා ජන ජීවිතය අඩාල කරගත යුතු නැත.කළ යුත්තේ වෛරසයෙන් ආරක්ෂා වීම පිණිස සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ඒ අයුරින් පිළිපැදීමය.වෛරසයෙන් ආරක්ෂා වීමට නම් පෙරුම්කායම් ආහාරයට ගැනීම හෝ සමේ ගෑවෙන පිරිදි එම කැබල්ලක් පැළඳ ගැනීම සුදුසු බවට පැතිර ගිය මතයත් සමඟ දේශීය ආයුර්වේද ඖෂධ අළෙවි කරනු ලබන වෙළෙඳ සැල් අසළ දිගු පොලීම් ඇතිවූයේ ජනතාව අවිචාරවත් අන්දමින් පෙරුම්කායම් මිලට ගැනීමට පෙළඹීම නිසාය.මෙය කිසිදු ආකාරයකින් විද්‍යාත්මකව තහවුරු කළ කාරනයක් නොවන්නේය.
 
වෛරසය බහුලව ව්‍යාප්ත වන්නේ  ආසාදිත පුද්ගලයෙකු කිවිසන හෝ කහින විට නිකුත් වන කුඩා කෙළ බිඳිති වෙනත් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළු වීමෙනි.මෙම වෛරසය වාතයට එක්වීමෙන් පසු ගමන් ගන්නේ මීටරයකටත් අඩු දුරකි.එම දුර තුළ පවත්නා පෘෂ්ඨයක් මත පතිතව තිබෙන විට එය ස්පර්ශ කිරීමෙන් අප වෛරස් ආසාදිතයෙකු බවට පත් වීමට පුළුවන.පුද්ගලයින් අතර මීටරයක පරතරක් තබා ගන්නා ලෙසත් හැකි සෑම අවස්ථාවකම විෂබීජ නාශකයක් මගින් අත් සෝදා ගන්නා ලෙසත් උපදෙස් ලබාදී තිබෙන්නේ මේ නිසාය.
 
සත්ත්ව ආහාර මගින් වෛරසය පැතිර යන බවට තවත් වැරදි මතයක් පසුගිය දිනවල සමාජ ගතව තිබිණි.විශේෂයෙන්ම අපේ ආහාර රටාවට අනුව සෑම ආහාරයක්ම පිළියෙළ කරනු ලබන්නේ ඉහළ උෂ්ණත්වයක් යටතේ රත්කිරීමෙනි.මෙමගින් සියලුම ආකාරයේ රෝගකාරක විෂබීජ විනාශ වෙයි.එලෙසින්ම පූසන් බල්ලන් වැනි නිවෙස් වල සුරතලයට ඇති කරනු ලබන කිසිදු සතෙකුගෙන් මිනිසාට කොරෝනා වෛරසය  ආසාදනය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.
 
එසේ නොවුනේ නම් මේවන විට සමාජ මාධ්‍යය වැරදි ලෙස භාවිත කරන පුද්ගලයින් අපේ රටේ බල්ලන් හා පූසන් ද පරළොව යවන තැනට සමාජය පත්කරනු නොඅනුමානය.
 
මෙම වෛරසය සෙල්සියස් අංශක 26 -27 ට වඩා ඉහළ උෂ්ණත්වයකට නිරාවරණය වූ විට  විනාශ වන අතර අපේ රටේ බොහෝ ප්‍රදේශයන්හි උෂ්ණත්වය පවතින්නේ එම අගයට වඩා ඉහළ අගයකය.ජනාකීර්ණ කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 කට වඩා වැඩිය.මේ නිසා රෝගය පැතිර යෑමේ ඉඩකඩ පවතින්නේ ඉතා අවම මට්ටමකය.නමුත් වායු සමීකරණය කර තිබෙන ආයතන තුළ සහ මගී ප්‍රවාහන බස් හා වෑන් රථ තුළ මෙම වෛරසය විනාශ නොවී සැලකිය යුතු කාලයක් සජීවීව පැවතීමේ හැකියාවක් පවතී.හැකි සෑම විටම වායුසමනය කර තිබෙන  පොදු ස්ථාන වලින් ඈත්ව සිටීම,සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස ඇති පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන විට මීටර් දෙකක පමණ දුරක් පවත්වා ගැනීම,අතට අත දී සුබ පැතීමෙන් වැළකීම,නිරතුරුව සබන් හෝ විෂබීජ නාශක දියරයක් යොදා දෙඅත් සෝදා ගැනීම රෝගයෙන්  ආරක්ෂා වීමට ගත හැකි පියවර කීපයකි.ජනතාව වැඩිපුර ගැවසෙන  ස්ථාන වලට ගමන් කිරීම සුදුසු නොවන්නේය.
 
රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහල් වලට අත්‍යවශ්‍ය කාරනයක් නොමැති නම් නොයා සිටීම වැදගත්ය.කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව,කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් තමන් ගෙන් වෙනත් පුද්ගලයන්ට රෝගය ආසාදනය වීම වැළැක්වීම පිණිස මුඛ ආවරණ පැළඳීම අතවශ්‍යය කාරනයකි.ලේන්සු වෙනුවට ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසි භාවිතා කිරීම වැදගත්ය.කිවිසුම් යැවීමේදී  හෝ කැස්ස ඇතිවන විට මුඛය අතේ වැලමිට ප්‍රදේශයෙන් ආවරණය කර ගැනීමද රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට හේතුවනු ඇත.මුදල් නෝට්ටු මෙන්ම කාසි ඇල්ලූ පසුව අනිවාර්යෙන්ම දෑත්  පිරිසිදු කරගැනීම වැදගත්ය.අධ්‍යාපන චාරිකා,විනෝද චාරිකා,විදෙස් චාරිකා වලින්  හැකි පමණ වැළකී සිටීමත් සුහද හමු පැවැත්වීම නොපැවැත්වීමත් මේ අවස්ථාවේ කළ යුතුව තිබෙන දෙයකි.රෝගය පැතිර යාම මර්දනය කිරීම සඳහා  මිත්‍යා මතයන්ට ගොදුරු නොවී විචාරශීලීව බුද්ධිමත් ව කටයුතු කිරීම ඉතාම වැදගත්ය.
 
සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මේ මොහොතේ සිදු කරනු ලබන සේවය සුවිශාලය.රෝගීන්ට ප්‍රතිකාර කිරීම,රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධව රට වැසියා දැනුවත් කිරීම ඇතුළු අංශ ගණනාවක් සෞඛ්‍ය අංශ මගින් සිදු කරනු ලබද්දී ආරක්ෂක අංශ මගින් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම,පුද්ගල කණ්ඩායම් ඒකරාශි වීම වැලැක්වීම,නිරෝධායනයට ලක්විය යුතු පුද්ගලයින් සොයා මෙහෙයුම් දියත් කිරීම වැනි කටයුතු ක්‍රියාත්මක කරයි.කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සෞඛ්‍ය අංශ වලට පමණක් තනිව කළ නොහැකිය.අද වෛරසයේ ගොදුරු බවට පත්ව තිබෙන සියලු රටවල් ඉන් ගොඩ ඒමට උත්සහ කරන්නේ සාමුහිකව කටයුතු කිරීමෙනි.මෙම අවස්ථාවේ තනිව තනිව ගත් කළ සෑම පුරවැසියෙකුටම වගකීමක් තිබේ.ඒ වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම පිණිස සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරීමය.රට බැරෑරුම් අවස්ථාක පවතින මොහොතක සියල්ල රජයෙන් ලබාදෙන තුරු බලා නොසිට තම තමන්ට හැකි පරිදි ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට විවිධ කණ්ඩායම් කටයුුතු කිරීම ප්‍රශංසනීයය.රට තුළ පැවැති මුඛ ආවරණ හිඟයට පිළියමක් ලෙස විවිධ කණ්ඩායම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඒවා නිෂ්පාදනය කර නොමිලේ බෙදා හැරීමට කටයුතු කරනු ලැබූහ.රෝහල් කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇඳුම් සකසා ගනු ලැබුවේ ඉවතලන පොලිතීන් වැනි දේ භාවිත කරමිනි.
 
වෛද්‍යවරුන්,හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල වෛරස් ආසාදිතයින් වෙත ගොස් ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ අවධානමක් සමඟය.ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ නිලධාරීන්ට මෙම අවධානම ලබා ගනිමින් කටයුතු කරති.මේ නිසාම අදවන විට වෛද්‍යරයෙකුට හා හමුදා නිලධාරියෙකුටද වෛරසය ආසාදනය වී තිබේ.මෙම දෙපාර්ශවයම උත්සහ කරන්නේ වෛරසය තවත් අය වෙත පැතිර යාම වලක්වා ගැනීමටත් වෛරසය ආසාදිතව සිටන පුද්ගලයින්ගේ ජීවිත බේරා ගැනීමටත්ය.තමන් වෙනුවෙන් සේවය කරන්නට සිටින අය වෛරසයේ ගොදුරු බවට පත් වීමට ඉඩ නොතැබීම සෑම පුරවැසියෙකුගේම වගකීමය.ඉතාලියේ මේවන විට කොවීඩ්-19 වෛරසයට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කරන්නට ගිය වෛද්‍යවරු 13 දෙනෙකු මියගොස් ඇත.ශ්‍රී ලංකාව කුඩා දූපතකි.ජනගමණයට සාපේක්ෂව අපේ රටේ වෛද්‍ය හිඟයක් තිබෙන බව රටද දන්නා කරුණකි.කිසියම් පුද්ගලයෙකුගේ නොසැලකිල්ල නිසා වෛද්‍යවරයෙකු වෛරස් ආසාධිතයෙකු බවට පත්වීම අපට දරාගත නොහැකි තත්ත්වයකි.මේ නිසා කොවීඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට යම් අයෙකුට සැක සිතෙන්නේ නම් ඔහු ආරක්ෂාකාරී උපදෙස් පිළිපදිමින් රොහල් ගත වීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය කාරනයකි. 
 
සටහන-අසේල කුරුළුවංශ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages