ස්ථිරයි ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි එහෙනම්... - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-21

ස්ථිරයි ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි එහෙනම්...

මැයි 21, 2020

 අභිෂේකා විමලවීර ගයන
 
 මාතෘ ස්නේහයට පිදෙන උත්තරීතර ගීය

 
 අම්මා කෙනෙකුගේ ආදරේ ගැන කියන්න වචන හොයන්න මම දන්නේ නෑ. දුවෙක් වෙනුවෙන් හිතේ උපදින ඒ ආදරේ මේ ලෝකේ තවත් කිසිවකට සමාන කරන්නත් බෑ. තරාතිරම කුමක් වුවත් මව් සෙනෙහසේ මහිමය එක හා සමානයි. ඒක උසස් පහත් , දුප්පත් පෝසත් බේදයකින් තොරයි.මව් සෙනෙහස ආශ්චර්යයක් කියලා මට හිතෙන්නේ ඒ හින්දයි. ගැහැනියකගේ ජිවිතයේ ළඟාකර ගත හැකි උසස්ම කිරුළ මව් පදවිය. ඉන් එහා රජ කිරුළක් හිමි වුණත් , දරු සෙනෙහස වෙනුවෙන් මවකට රජ කිරුළකුත් අත්හැරිය හැකියි. මවකුත් දුවෙකුත් අතර ඇතිවන මේ අසීමිත සෙනෙහස් බැම්ම කිරි ශිරා දිගේ සවිමත් වෙන අති උතුම් බැඳීමක් අම්මා ගෙදර බුදුන් වන්නේ ඒ නිසා. එවන් අම්මාවරුන් ගැන කියවුණු මේ ගීතය අහලා මගේ අම්මා මැදින් තවත් සුවහසක් මව් වරුන් දැක මගේ සිත සසල වුණා.
 
 නේත‍්‍රා රැළි හංගන්නට
 
 ගැල්වු සායම් දියර ඇත්නම්
 
 කුසේ ගින්දර නිවන බත්පත
 
 පිළුණු වි ලඟ තියෙනවා නම්
 
 තුනට හතරට නැමුව මගෙ රුව
 
 පසුම්බියේ තනි රකිනවානම්
 
 ස්ථිරයි ඔය නිදා ඉන්නේ
 
 මගේ අම්මා තමයි එහෙනම්
 
 පැළුණු දෙතොළඟ සිනා කඳුළක්
 
 හොයා ගන්නට බැරිම වේ නම්
 
 නාලගිරි මත්වෙලා ඇවිදින්
 
 ඇන්ද සළකුණු පිටේ ඇත්නම්
 
 දැනුණ හින්දා- දුකම හින්දා
 
 මැරුණු බව සිවිලිම කියයි නම්
 
 ස්ථිරයි ඔය නිදා ඉන්නේ
 
 මගේ අම්මා තමයි එහෙනම්
 
 ගල්වලේ වැඩ කරපු දවසක
 
 කැඩුණු සුළැඟිලි කොටය ඇත්නම්
 
 ඇදුම එනවට හදිස්සියකදි
 
 ගන්න පෙතිටික හම්බුණානම්
 
 මඟදි අහුලපු වෙරළු සියඹලා
 
 ඉනේ පැත්තක තියෙනවා නම්
 
 ස්ථිරයි ඔය නිදා ඉන්නේ
 
 මගේ අම්මා තමයි එහෙනම්

 
 මේ ගීතය පසුගිය දා මම ඇහුවේ යූ ටියුබය හරහායි. හදවත රිදවන රූප රචනයකුත් එක්ක. රෝහලෙන් එන දුරකථන පණිවිඩයකුත් එක්ක මෝචරිය කරා දිව යන දියණියකගේ රූපයකින් ඇරඹෙන ගීතය ගායනා කරන්නේ අභිෂේකා විමලවීර. ඒ හඬ ඇහෙනකොට මට දැනණෙ මේ රටේ සියළු අම්මාවරුන් වෙනුවෙන් නැගෙන මේ හඬ කොයි තරම් සංවේදනා රැුගෙන එනවද කියලයි.
 
 ඇගේ හඬ මෙසේ ගීතවත් වුණේ වසර දෙක හමාරක පමණ දිර්ඝ නිහැඬියාවකින් පසුව. නමුත් ඒ නිහැඬියාව තුළ ඇය නිර්මාණ ලෝකයේ ඉහළ තලයක රුඳවිය හැකි ගී නිර්මාණයක් අපට තිළින කර තිබුණා.
 
 ”පසුගිය කාල වකවානුව මම කලා ලෝකයෙන් ඈත්ව ටිකක් නිහඬව හිටියා. නේත‍්‍රා කියන මේ අලූ‍ත් ගිතය මම නිකුත් කළේ වසර දෙකහමාරකට විතර පස්සේ. පහුගිය කාලය මම මගේ ජිවිතේ ළඟා කරගත යුතු වෙනත් දේවල් වෙනුවෙන් කැප වුණා.විශේෂයෙන් මම අධ්‍යයන කටයුතු වලට යොමුවෙලා හිටියා. කැළණිය විශ්ව විද්‍යාලයෙන් උත්තර භාරතිය රාගධාරී සංගීතය විෂය කරගෙන මම ශාස්ත‍්‍රපති උපාධිය හැදෑරුවා. ඒ සඳහා ඉදිරිපත් කල පර්යේෂණ ග‍්‍රන්ථය වුණේ සරසවිය සම්මාන උළෙලේ සම්මානිත ගීතයන්හි ප‍්‍රශස්ත භාවය පිළිබඳවයි. ඉදිරියේදී එය ග‍්‍රන්ථයක් වශයෙන් එළි දක්වන්නට මගේ බලාපොරොත්තුවක් තිබෙනවා.”
 
 අභිෂේකා කලා ක්ෂේත‍්‍රයට පැමිණෙන්නේම සංගිතය පිළිබඳ විෂයයක් වශයෙන් හැදෑරීමෙන් ලද අධ්‍යාපනයත් සමඟයි. එසේම ඇය එදත් අදත් කවදත් තරගකාරී ලෝකයත් මඟ ගැටෙමින් නිර්මාණකරණයේ යෙදෙන්නට කැමැති වූවෙක් නොවේ. හැමදාමත් විවේක බුද්ධියෙන් නිර්මාණ තෝරා බේරාගෙන , කලබලයකින් තොර ගමනක යන්නට ඇය උත්සාහ කළා. නේත‍්‍රා නමින් මේ කරපු ගීතයත් ඒ ගමන් මෙඟ් තවත් එක් සන්ධිස්ථානයක්.
 
 ”ඇත්තටම මම දවසක් රාත‍්‍රී ”සිහිනයකි ?” ප‍්‍රසංගය නරඹමින් ඉන්නකොට එතැනට පැමිණි ආරාධිත අමුත්තෙක් ගී පද රචනාවන් ගැන කතා කරමින් කවි 8 ක කවි පංතියක් ඉදිරිපත් කළා. මම බලාගෙන උන්නා ඒ කවි හරිම ලස්සනයි. ඒ කවි පෙලේ අන්තිම කවිය මගේ හිතට තදින් වැඳුණා. මේක ලියලා තිබුණේ ”ජනිත්” කියලා මල්ලි කෙනෙක්. මම අමාරුවෙන් ඒ මල්ලිගේ නොම්මරය හොයාගෙන කතා කළා. එයාට මම කිව්වා මේ කවිය ගීතයක් කරන්න මට ආසයි කියලා. ඊට පස්සේ අපි ඒ කවි පංතියේ සමහර කොටස් අරගෙන අලූ‍තින් මේ ගීතය ලිව්වා. මේ රටේ ඉන්න සමස්ත අම්මලා ගැන තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. ගීතය පටන් ගන්නේ කෝල් එකකින් . එතැන ඉඳලා මෝචරියට යන ගමනෙදි තමයි මේ සියළුම අම්මාවරුන් මතක් කරන්නේ.”
 
 අභිෂේකා ගීතයේ පසුබිම ගැන අපට කිවුවා. මේ ගීතයට පද රචනයෙන් , ගායනයෙන්, දෙන වර්ණවත් බවට තවත් අලංකාර වර්ණයක් එකතු කරන්නේ විෂුවල් එක කියලා මට හිතුණා.ටෙලි සිතුවම් මවන කතන්දර කලාවක් තියෙන ගීත රූප රචනා අතර මේ ගීතය විශේෂ වෙන්නේ ඉන් මිදුණු වෙනසක් ඒ තුළින් දුටු නිසයි. ගීතයේ සංගිත අධ්‍යක්ෂණය දිලූ‍ම් තේජන හෙට්ටිආරච්චි ගෙන්. ජනිත් විතාරණ ගේ පද රචනයට රූප රචනාව චමිල් පතිරණ ගේ.
 
 අභිෂේකා කොළඹ විශ්ව විද්‍යාලයේ සංගීතය පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක් විදියට කටයුතු කරනවා. ඒ අතරම ඇය ඇගේ රුපලාවන්‍යාගාරයේ කටයුතු වෙනුවෙන් කාර්ය බහුල වෙලා ඉන්නවා. මේ වෘත්තිය ජීවිත ගෙවන අතරේ තමයි ඇගෙන් මෙවැනි අපූරු නිර්මාණයකුත් අපට අහන්න දකින්න අවස්ථාව ලැබෙන්නේ.
 
 ”කොහොමත් මම නිර්මාණයක් කළේ වසර දෙක තුනක අධ්‍යයනයකින්, නිහැඬියාවකින පසව තමයි. නිර්මාණයක් කරන්න මට කවදත් කලබලයක් තිබුණේ නෑ. එදා ඉඳන් මම ආපු විදියක් තිබුණා. ඒ විදියට තමයි අදත් කල් ගත කරන්නේ.
 
 අභිෂේකා අපේ රටේ සිටි ප‍්‍රවීණතම ගීත රචකයෙක් වූ සුනිල් විමලවීරයන්ගේ ආදරණිය දියණිය. අභිෂේකාට මේ ගමන එන්න ඔහුගෙන් මහා ලොකුශක්තියක් ධෛර්යයක් ලැබුනා. එහෙත් අද ඇගේ පියා ඈ අසල නැහැ.ඇගේ කලා ජිවිතේ පුරාම ඇගේ පියත් මවත් දැවැන්ත සෙවණැලි දෙකක් වුණා.
 
 ”තාත්තා ගෙන හිස් වුන මගේ ජිවිතේ තාත්තට තිබුණ තැන ගැන කියන්න මට වචන නැහැ. මේ හිස් බව දිහා බලන්නේ මම වෙන විදියකට. ඒ හිස්තැන මට ඇතිවුණේ එයාගෙන ලැබෙන්න තිබුණ දේ ගැන හිතලා නොවෙයි. තාත්තා මගෙන් බලාපොරත්තු වුණු දේට මම අද ලඟාවෙලා තියෙනවා. මේ දේවල් පෙන්න ගන්න මට අද තාත්තා නැතිවුණු එක ගැන දුකයි. ඒයා හිටියා නම් මේවා දැකලා හරියට සතුටු වෙයි. මගේ හිතේ ඒ ගැන ලොකු පසුතැවිමක් තියෙනවා.”
 
 ඇ කිව්වේ තාත්තා ගැන අසිමිත ආදරයකින් කියලා සංවේදි වුණු ඇගේ හඬින්ම තේරුණා. ජිවිතේ හැටි එහෙම තමයි. කොයි තම් ආදරණිය බැඳිම් අපි ඇති කර ගත්තත් ජිවිතෙන් යන්න ඕන වෙලාව ආවම අපි යන්න ඕන. ඒක තමයි ස්වභාව ධර්මය. ඒත් අපි ජිවත්වෙලා ඉන්න කාලය තුළ ඇති කර ගන්න ආදරණිය බැඳිම් සදාකාලිකවම හිත්වලට ආදරේ පුරවනවා.
 
 
 

 අනුෂ්ක සංජය පෙරේරා

No comments:

Post a Comment

Post Bottom Ad

Pages