බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දරුණුතම මතකය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-20

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දරුණුතම මතකය

20 ජුනි, 2020

දරුවන් යනු මෙලොව වටිනාම සම්පතය. ඒ බව දන්නේ දරුවන් ඇත්තවුන්ය. ඉදින් දරුවන් කිසියම් විපතකට මුහුණ දෙයි නම් එතැන් සිට දෙමාපියන්ට, වැඩිහිටියන්ට මෙන්ම පොදුවේ දරු සෙනෙහස දැනෙනා අයට ද දැනෙන කණගාටුදායක හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකිය.

අදින් අවුරුදු සියයකටත් එපිටදී මහා බ්‍රිතාන්‍ය හැඬවූ වික්ටෝරියා ශාලාවේ ඛේදවාචකයද එවැනිය. හරියටම කියන්නේ නම් ඒ 1883 ජූනි මස 16 වැනිදාය. ස්ථානය මහා බ්‍රිතාන්‍යයේ, එංගලන්තයේ සන්ඩර්ලෑන්ඩ් ප්‍රදේශයයි.

එම ප්‍රදේශයේ මෝබරි උද්‍යානයට මුහුණ ලා පිහිටා ඇති වික්ටෝරියා විවිධ ප්‍රසංග ශාලාව මේ ඛේදවාචකයේ සාක්ෂිකරුවා විය. එදින සවස තුනට කුඩා දරුවන් වෙනුවෙන් විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට නියමතව තිබූ අතර ප්‍රසංගයේ මෙහෙයවීම සංචාරක විනෝදාස්වාද සම්පාදකයන් දෙදෙනෙකු වූ ෆේ යුවළ විසින් සිදුකිරීමට නියමිත විය.

මේ බව දැනුම් දෙමින් දැන්වීමක්ද ප්‍රදේශය පුරා අලවා තිබූ අතර එහි පැහැදිලිව සඳහන් කර තිබුණේ ප්‍රසංගය අවසානයේ දරුවන් සඳහා විශේෂිත ත්‍යාගයන් කිහිපයක්ද ලබා දීමට සූදානම් කර ඇති බවයි. එම ත්‍යාගයන් අතර පොත්,සෙල්ලම් බඩු සහ තවත් සිත් ඇදගන්නා දේ ඇතුළත් බවයි.

මේ දැන්වීම වෙත මුළු මහත් ප්‍රදේශයේම දරුවන්ගේ අවධානය යොමු වූ අතර බොහෝ දෙනා තම ටිකට්පත් කල්තබාම වෙන් කර ගැනීමට උත්සුක වූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ජූනි මස 16 වන දින සවස තුන වන විට වික්ටෝරියා ශාලාව දරුවන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබීමය. පසුව ගණන් බැලූ අන්දමට ශාලාවේ තදබදවී තෙරපී දරුවන් 2000ක් අසුන් ගෙන සිට ඇත.

හරියටම සවස තුන වන විට ෆේ මහතා සහ මහත්මිය ප්‍රසංගය ආරම්භ කළ අතර දරුවන්ගෙන් ඊට ඉතා උණුසුම් ප්‍රතිචාරද හිමිවිය. දරුවන් ප්‍රසංගය මනාසේ වින්දනය කළ අතර පුංචි සිත් බොහොමයක ප්‍රසංගය අවසානයේ ලබා දෙන ත්‍යාගය කෙරෙහිද බලාපොරොත්තු පවතින්නට ඇතිවාට සැක නැත.

ප්‍රසංගයේ අවසානය ළඟා වත්ම ෆේ මහතා සහ මහත්මිය ටිකට පත් අංක පවසමින් වේදිකාව මතට එම ටිකට් පත් අංක සහිත දරුවන් කැඳවමින් ත්‍යාග ලබා දෙන්නට විය. මේ වන විට බොහෝ පුංචි සිත් සැලෙමින් තිබූ අතර තමන්ටත් ත්‍යාගයක් හිමිවේදෝ යන බලාපොරොත්තුව සමග ත්‍යාගයක් අහිමි වේදෝ යන බියද පුංචි සිත් තුළ මෝදු වෙමින් තිබුණාට සැක නැත. එබැවින්ම බොහෝ පොඩිත්තෝ ත්‍යාගයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වේදිකාවට ප්‍රවිෂ්ට වන දොරටුව අසලට පොදි කන්නට වූහ.

මේ වේදිකාව අසල කුඩා දොරටුව සැබවින්ම කුඩා එකක් වූ අතර එය වරෙක එක් දරුවකුට ගමන් කළ හැකි වන තරමට අවහිර කර තිබිණි. ශාලාවට පිවිසෙන ප්‍රවිෂ්ටයද එයම වූ බැවින් ටිකට් පත් පරීක්ෂා කිරීමේ අරමුණෙන් එම දොරටුව එක් දරුවකුට ප්‍රමාණවත් ලෙස අවහිර කර සකසා තිබිණි. පොත් පිංචක් හෝ කුඩා සෙල්ලම් බඩුවක් බලාපොරොත්තුවෙන් වේදිකාවට ළඟා වූ පොඩිත්තෝ මේ කුඩා දොරටුවෙන් ඇතුළු වීමට එකිනෙකා පරයමින් උත්සාහ දැරූහ. ඒ මුළු මහත් එංගලන්තයම සසල කළ කණගාටුදායක මොහොතක් විය.

පොඩිත්තෝ සිය ගණනක් දොරටුව දෙසට එක්වරම දිව එන්නට වූ අතර ප්‍රථමයෙන්ම දොරටුවට ළඟා වූවෝ පැවති සුළු ඉඩෙන් වේදාකවට ප්‍රවිෂ්ට වීමට නොහැකිව දොර ළඟ තෙරපෙන්නට වූහ. මේ අතර තවතවත් දරුවන් දොරදෙසට පැමිණෙන්නට වූ අතර ඔවුන්ගේ පැමිණීමෙන් දොර අසල සිටි දරුවෝ තවතවත් තෙරපෙන්නට වූහ. මේ මහා තෙරපුම කිසිවකුටත් පාලනය කර ගත නොහැකි වූ අතර දොර අසල සිටි දරුවෝ තම පණ බේරා ගැනීමට වෙර දරන්නට වූහ.

මේ බව දුටු වැඩහිටියෝ ‌වහා පැමිණ දොර විවෘත කිරීමට උත්සාහ දැරුවද දොර විවෘත වන්‍නේ දරුවන් සිටි පැත්තට බැවින් එය දරුවන් වෙත අමතර තෙරපුමක් ගෙන දෙන්නට විය.

විනාඩි කිහිපයක් ගත වත්ම මුළු එංගලන්තය පමණක් නොව මුළු මහත් බ්‍රිතාන්‍යම වැළපෙන්නට විය. වික්ටෝරියා ශාලාවේ දොර අසල කුඩා දරුවන් 183 දෙනෙකු මරු වැළඳ ගෙන සිටි අතර මේ පොඩිත්තන් වෙනුවෙන් වැඩිහිටියන්ට කළ හැකි කිසිවක්ම නොවීය. මේ පොඩිත්තෝ වයස අවුරුදු 3 – 14 අතර වයසේ පසු වූහ.

ශාලාවේ යතුරු බාරව සිටි ෆෙඩ්රික් ග්‍රහැම් මේ තෙරපුමට හසු නොවී සිටි දරුවන් 600ක් පමණ ආරක්ෂිතව ඉවතට ගැනීමට සමත් වූයේය. එහෙත් ශාලාවේ හදිසි පිටවීමේ දොරටු යනුවෙන් කිසිවක් නොවීය. පුංචි තෑග්ගක් ලබා ගැනීමේ සුවහසක් බලාපොරොත්තු සිතින් දරා ගනිමින් පයට පෑගුණු පොඩිත්තන්ගේ තැලී පොඩිවී ගිය සිරුරු කිසිවකුටත් දැකීමට හැකි දර්ශනයක් වූයේ නැත.

එවකට සිටි වික්ටෝරියා මහා රැජිනද සිදුවීමෙන් කම්පාවට පත්ව දරුවන්ගෙ දෙමාපියන් වෙත කණගාටුව පළ කර සිටියාය. දරුවන්ගෙ අවමගුල් වෙනුවෙන් දසතින් ආධාර ලැබෙන්නට විය. එහෙත් ඒ සියල්ලට අමතරව මෝබරි පාක් හි විකෝටොරියා ශාලාවට හදිසි අවස්ථාවකට ජනතාව ආරක්ෂිතව පිටතට ගැනීමේ පහසුකම් ඇති කිරීම වෙනුවෙන්ද මුදල් වෙන් කෙරිණි. එපමණක්ද නොව පොදු ජනතාව එක්රැස්වන ස්ථානවල අවශ්‍ය ප්‍රමාණයට පහසුකම් ලබා දීම පිළිබඳව බ්‍රිතානය තුළ ජාතික මට්ටමේ කතාබහක්ද ඇති විය.

කුඩා දරුවන් පයට පෑගි මියගියද ඔවුන්ගේ සමුගැනීම තවත් බොහෝ පිරිසකගේ ආරක්ෂාවට හේතු වූ පියවර ගැනීමට හේතුපාදක විය. ඛේදවාචකයක් සනිටුහන් කළ වික්ටෝරියා ශාලාව 1941 දක්වාම පැවති අතර එම වසරේදී දෙවැනි ලෝක යුද්ධයේ ජර්මන් හමුදාව විසින් බ්‍රිතාන්‍යය ඉලක්ක කළ පැරිෂුට් බෝම්බයක් මගින් එය විනාශ වී ගියේය.

එහෙත් අහිමි වූ දරුවන් වෙනුවෙන් වැළපුණු දෙමවුපියන් විසින් ස්ථාපිත කරන ලද මියගිය දරුවා ළෙහි හොවාගත් මවගේ රුව සහිත වික්ටෝරියා ශාලාවේ ඛේදවාචකය ස්මරණය කළ පිළිරුව මේ දක්වාම වරින් වර අලුත් වෙමින් එහෙත් දිගින් දිගටම පවතින්නේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව පරම්පරා ගණනක් වැඩිහිටියන්ගේ අවධානය යොමු කරවමිනි.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages