“දෙපයින් නැගිටින ශ්‍රී ලාංකිකයන්” වෙනුවෙන් කැපවෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-20

“දෙපයින් නැගිටින ශ්‍රී ලාංකිකයන්” වෙනුවෙන් කැපවෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

20 ජුනි, 2020

දිස්ත්‍රික්ක 17 ක ස්ථාපිතව තිබූ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු ජාලය 1998 දී පළාත් මට්ටමින් ප්‍රධාන බැංකු හයක් දක්වා පුළුල් කෙරුණා

ග්‍රාමීය ප්‍රදේශවල පවතින සම්පත් නිසිපරිදි කළමනාකරණය කිරීම තුළින් එකී ප්‍රදේශවල පවතින දරිද්‍රතාව අවම කිරීමටත්, නිෂ්පාදනය වර්ධනය කිරීමටත්, ඒ තුළින් සමස්ත ආර්ථිකයට විශාල දායකත්වයක් අත් කරගැනීමත් අරමුණු කරගනිමින් 1985 වසරේදී ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු ආරම්භය සිදු විය. එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොනී ද මෙල් මහතාගේ හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය වර්ණසේන රාසපුත්‍ර මහතාගේ මඟපෙන්වීම හා උපදේශකත්වය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙකී ග්‍රාමීය සංවර්ධන බැංකු ක්‍රමය ආරම්භ කිරීමට කටයුතු යොදන ලදී.

ආරම්භයේදී කළුතර, මාතර, කුරුණැගල, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල මෙම ග්‍රාමීය සංවර්ධන බැංකු පිහිටුවීමට කටයුතු යෙදුණු අතර,ජාතික ආර්ථිකයේ වර්ධනයට එමඟින් ලද පන්නරය හේතු කොටගෙන පසුකාලීනව දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක වලද ප්‍රාදේශිය ග්‍රාමීය සංවර්ධන බැංකු ක්‍රමය ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව උනන්දු විය.

ග්‍රාමීය ජනතාවට අවශ්‍ය බැංකු හා මූල්‍ය සේවා ඉතා විශිෂ්ට ලෙස සපයමින් ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ආ මෙම බැංකු ජාලය 1997 වසර වන විට දිස්ත්‍රික්ක 17 ක් තුළ ස්ථාපිතව තිබුණු අතර ඒ වටා විශාල ගනුදෙනුකරුවන් පිරිසක්ද ඒකරාශී වී තිබුණි.

මෙම ගනුදෙනුකරුවන්ගේ බැංකු හා මූල්‍ය අවශ්‍යතා පිළිබදව විමසා බැලීමෙන් පසු දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත කර තිබුණු ප්‍රාදේශිය ග්‍රාමීය සංවර්ධන බැංකු ජාලය 1998 වසරේදී පළාත් අනුව ඒකාබද්ධ කරමින් ප්‍රාදේශිය සංවර්ධන බැංකු 06 කට එනම් රජරට, කඳුරට, ඌව, රුහුණ, වයඹ, සබරගමුව වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරුණි. වසර ගණනාවක් පළාත් මට්ටමින් සිය සේවා ලබාදෙමින් සිටි එම ප්‍රාදේශිය සංවර්ධන බැංකු හය ජාතික හා ව්‍යවස්ථාපිත අවශ්‍යතා මත 2008 අංක 41 දරණ ප්‍රාදේශිය සංවර්ධන බැංකු පනත මගින් ජාතික තලයේ තනි බැංකුවක් ලෙස ස්ථාපිත කර ”ප්‍රාදේශිය සංවර්ධන බැංකුව (RDB)”ලෙස 2010 වසරේ සිට සිය බැංකු හා මූල්‍ය සේවා කටයුතු වඩා කාර්යක්ෂම ලෙස සිය ආදරණීය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලදී. ගත වූ කාලය තුළ මෙරට බැංකු පද්ධතිය තුළ ක්‍රියාත්මක සුවිශේෂ රාජ්‍ය බැංකුවක් ලෙස තමන්ට පැවරුණු යුතුකම් හා වගකීම් මනාව ඉටු කළ ප්‍රාදේශිය සංවර්ධන බැංකුව; (RDB)මේ වන විට රටේ සෑම ජන කොටසක්ම නියෝජනය වන පරිදි ඔවුන්ගේ සකසුරුවම හා ඉතිරිකිරීමේ පුරුද්ද වැඩි දියුණු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ ප්‍රමුඛ ආයතන කීපයක්ම සමඟ අත්වැල් බැඳගනිමින් ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ වැඩසටහන් රාශියක්ම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් පසුගිය කාලය පුරාවටම ක්‍රියාත්මක කර ඇත. එමගින් ජනතාවගේ ඉතුරුම් නැමියාව වර්ධනය වීම සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව විවිධ මූල්‍ය පහසුකම් ඔස්සේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සමඟ සවිබල ගැන්වීමට අවස්ථාවක්ද නිර්මාණය වීම විශේෂත්වයක් විය. එපමණක් නොව අලුත උපන් බිළිදාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරැවැසියා දක්වා සමාජයේ ජීවත්වන විවිධ වයස් මට්ටම් හා කණ්ඩායම් වෙනුවෙන්ම මනා ලෙස සැලසුම් කරන ලද තැන්පතු උපකරණ මඟින් සිය බැංකුව හා බැඳුණු ගනුදෙනුකරුවන්ගේ ඉතුරුම් අවශ්‍යතා සපුරා දීමටද ප්‍රාදේශිය සංවර්ධන බැංකුවට අවස්ථාව ලැබී ඇත.

සිය ආදරණීය ගනුදෙනුකරුවන් සඳහා ඉහළ පොලියක් ඇතුළු ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් ලබා දෙන ප්‍රාදේශිය සංවර්ධන බැංකුව මේ වන විට එම ගනුදෙනුකරුවන්ව තම බැංකුව සමග ඉතිරි කිරීමට යොමු කරවීමේ අරමුණින් ඉතිරි කිරීම් ගිණුම් වර්ග ගණනාවක් හඳුන්වා දීමටද කටයුතු කර තිබේ. RDB කැකුළු, RDB 14 Plus,RDB ලිය සවිය Plus, RDB New Life විශ්‍රාම සැලසුම, RDB ආයෝජන, RDB උත්තම ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම යන එම ඉතිරි කිරීමේ විශේෂ ගිණුම් සමඟ මෙන්ම RDB Victory,RDB ස්ථාවර තැන්පතු හා RDB ජය නිධාන යන වෙනස් මගක් ගත් ආයෝජන ගිණුම් සමග මෙන්ම RDB දොරින් දොර ඈත ගම් දනව් වල ගෙයින් ගෙට යන බැංකු සේවය සමඟද වැඩිම ගනුදෙනුකරුවන් පිරිසක් සම්බන්ධව සිටියි.

මෙම සේවා පමණක් නොව විදේශ රටවල සිට අප රටට ඉතා පහසුවෙන් මෙන්ම වේගයෙන් මුදල් එවිය හැකි වෙස්ටර්න් යුනියන් සේවාව සමගද, ලංකා මනි ට්‍රාන්සර් සේවාවද ප්‍රාදේශිය සංවර්ධන බැංකුව අත්වැල් බැඳ ගෙන ඇති අතර එම බැංකුවේ රටපුරා ස්ථාපිත සියලුම ශාඛා මගින් එම සේවය ලබා ගැනීමටද පහසුකම් සලසා තිබේ.

එසේම ප්‍රාදේශිය සංවර්ධන බැංකුව මේ වන විට Lanka Pay ජාලය සමඟ සම්බන්ධව මුළු දිවයිනම ආවරණය කරමින් සිය ATM සලසා තිබීමද විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් වේ.

මීට අමතරව කර්මාන්ත, ධීවර, කෘෂිකර්ම, කිරි ගොවීන්, සංචාරක වැනි විවිධ ක්ෂේත්‍රයන්හී කටයුතු කරන ගමේ, නගරයේ, කඩපිලේ වාණිජ කටයුතු වල නිරත ස්වයං රැකියාලාභීන් මෙන්ම සුළු, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ සියලුම ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය ණය යෝජනා ක්‍රම රැසක්ම මේ වන විටත් ප්‍රාදේශිය සංවර්ධන බැංකුව විසින් නම්‍යශීලී කොන්දේසි හා ඉතා සහනදායී පොලී අනුපාත යටතේ හඳුන්වා දීමට කටයුතු යොදා තිබීමද ප්‍රශංසනීය වේ. විශේෂයෙන්ම ග්‍රාමීය සංවර්ධනය හා ව්‍යාපාර උදෙසා රජය හා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති විවිධ අඩු පොලී සහන දායි ණය හා ප්‍රති මුල්‍ය ණය ක්‍රම වැඩිවශයෙන් ජනතාව අතරට ගෙන යනු ලබන්නේ ප්‍රාදේශිය සංවර්ධන බැංකුව මගිනි.

මීට අමතරව නිවාස ණයද මේ වන විටත් බොහෝ පිරිසකට මෙම බැංකුව මගින් ලබා දී ඇති අතර අනෙකුත් බැංකු හා මූල්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන ලීසිං පහසුකම් ලබාදීම් මෙන්ම උකස් සේවාද සිය බැංකුවේ කීර්තිය හා ප්‍රතිරූපය ඉස්මතු වන ලෙස ප්‍රාදේශිය සංවර්ධන බැංකුව විසින් ඉතා සාර්ථක ලෙස දැනටද ඉටු කරමින් සිටියි.

ආහාර සුරක්ෂිතතාව හා කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් පසු අස්වනු තාක්ෂණය ඉතා වැදගත් වේ. මේ පිළිබදව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව,මුදල් අමාත්‍යාංශය හා එක්ව ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ සේවාව ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් කාර්යභාරය ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් සිදුකරන අතර මේ යටතේ ධාන්‍ය ගබඩා 06 ක් බුත්තල, අනුරාධපුර, මන්නාරම, ඇඹිලිපිටිය, පොලොන්නරුව, කිලිනොච්චිය යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබේ. ගොවීන්ගේ වී ඇතුළු ධාන්‍ය සඳහා ගබඩා පහසුකම් එමගින් සපයා ඇත.

තවද ගොවීන්ගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබාගැනීමට මෙන්ම අලෙවි කිරීමේ පහසුකම්ද මෙමඟින් සැලසී ඇති අතර, ප්‍රාදේශිය සංවර්ධන බැංකුව සමඟ අත්වැල් බැඳගත් ගොවීන් හට ඒ හරහා මහඟු සේවාවක් සැලසෙන බවද සදහන් කළ යුතුය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තම ගනුදෙනුකරුවන් වෙත වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ වේගයෙන් දියුණු වන නවීන තාක්‍ෂණ ක්‍රමවේද හා යෙදවුම් වෙතද යොමුවෙමින් සිටි.

ඒ අනුව අනෙකුත් බැංකු හා මූල්‍ය සේවා ආයතන වලට නොදෙවෙනුව තම බැංකුව හා සමඟ සම්බන්ධව කටයුතු කරන සියලුම ගනුදෙනුකරුවන්ට එම බැංකුවේ සේවාවන් පහසුවෙන් මෙන්ම වේගයෙන්ද සැපයීම අරමුණු කර ගනිමින් ඩිජිටල් බැංකුකරණයට වෙත ප්‍රවේශ වීමටද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මේ වන විටත් කටයුතු කරමින් සිටී.

-----------------------------

මේ මොහොතේ අපේ ආදරණීය ගනුදෙනුකරුවන් වෙනුවෙන් අපි අපේ යුතුකම හා වගකීම අඩු නැතිව ඉෂ්ට කරනවා

ප්‍රාදේශීය සංවර්ධන බැංකු‌ෙව් සභාපති මහින්ද සාලිය

ග්‍රාමීය ප්‍රදේශ වල බොහෝ පිරිසක් මේ වන විටත් අවිධිමත් ක්‍ෂුද්‍ර මුල්‍ය ණය නිසා පීඩා විඳින බව අපි දන්නවා. රාජ්‍ය අංශය යටතේ පාලනය වන වගකිවයුතු රාජ්‍ය බැංකුවක් ලෙස අපේ අරමුණ ජනතාව ගිනි පොළියට ණය අරගෙන අපහසුතාවලට හා පීඩාවන්ට පත්වීම නතර කර ඒ අයට සරණක් වීමයි,අස්වැසිල්ලක් ලබා දීමයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන කාර්ය භාරය ජනතාව ණයකාරයන් කරවීම නොවේ. ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ ප්‍රමුඛ අරමුණ වන්නේ අඩු ආදායම්ලාභී ජනතාව ණය බරින් මුදවා ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය පරිසරය සකස් කර දිමයි.

දුප්පත්කම වැඩිවන විට ඊට සාපේක්‍ෂව ණය බරද වැඩි වෙනවා. අනෙක් අතට ණය බර වැඩි වන විට දුප්පත් කමද වර්ධනය වෙනවා. දුප්පත් කමට ප්‍රධාන හේතුව වන්නේ අනවබෝධයයි. දැනුම, අධ්‍යාපන තත්ත්වය මෙන්ම ආකල්ප වල පවතින දුර්වලතා අනවබෝධයට හේතු වේ. අඩු ආදායම් ලැබීම හා දුප්පත්කම සමාජයේ ඉදිරි දියුණුවට බාධාවක්. එබැවින් විවිධ වු හැකියාවන් හා අවස්ථාවන් පවතින ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවත්, අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාවත් සමඟ එම ප්‍රදේශවල පවතින සමිපත් උපයෝගී කරගනිමින් අවශ්‍ය මුල්‍ය පහසුකම් හා උපදේශන සහය සපයමින් ඵලදායි ක්‍රියාවලියකට ජනතාව පෙලඹවීම අපගේ කාර්යභාරයයි. මෙහිදී නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් ආදායම් උත්පාදනය, සකසුරුවම ඉතිරිකිරීම හා ආයෝජනය පිළිබඳ ජනතාව සජීවීකරණය කිරිමේ වැඩසටහන්ද අප විසින් ක්‍රියාත්මක කරනවා.

මේ වන විට දිවයින පුරාම අපගේ බැංකු ශාඛා 276 ක් ක්‍රියාත්මක වන අතර, කාර්ය මණ්ඩලය 2700 කට අධිකයි. ලක්‍ෂ 40 ට අධික ක්‍රියාකාරි ගනුදෙනුකරුවන් පිරිසක් අප සමඟ බැඳී සිටිනවා. මීට අමතරව 600 ක් පමණ වන සහය සේවා සපයන දොරින් දොර ක්ෂේත්‍ර සහායක නමින් කණ්ඩායමක් මෙන්ම ග්‍රාමීය නායක නායිකා කණ්ඩායමක්ද රට වටා ක්‍රියාත්මකයි. මේ අය හරහා ඉතිරිකිරීම් වර්ධනය කිරීම හා කුඩා ව්‍යවසායක ණය පහසුකම් සැපයීම, බැංකුව ආශ්‍රිත සම්බන්ධතා පවත්වා ගනිමින් විවිධ වු සේවා ගණුදෙනුකරුවන්ගේ දොරකඩටම සැපයීම අප බැංකුව මගින් සිදු කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් ගොවිණය වශයෙන් හඳුන්වන “නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය“ හා “සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය“ ක්‍රියාත්මක කරන බැංකුවක් ලෙස අප බැංකුව මේ වන විට පෙරමුණේම සිටිනවා. මීට අමතරව, කෘෂිකාර්මික, කුඩා කර්මාන්ත, සත්ව පාලන, වාණිජ හා ව්‍යාපාර, ධීවර, ස්වයං රැකියා වැනි ක්ෂේත්‍ර සදහා මුල්‍ය පහසුකම් වාර්ෂික පොළිය 4% සිට 8% දක්වා වූ ඉතා අඩු පොලී අනුපාත යටතේ අප ලබා දෙනවා.

ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ වර්තමානය පිළිබඳව කතා කරනවා නම් කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට හා දුෂ්කරතාවයන්ට පත් අපගේ ගනුදෙනුකාර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයින්ට හා විවිධ මට්ටමින් අපගේ ණය පහසුකම් ලබා ගත් අනෙකුත් ගනුදෙනුකරුවන් ලක්‍ෂ තුනකට අධික පිරිසකට ණය වාරික ප්‍රමාද කර අය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව සහන සැලසීම අප බැංකුව විසින් දැනටමත් කරනවා.

ඇත්ත වශයෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය සඳහා යොමු වූ අප වැනි බැංකුවකට එලෙස කැපකිරීම් කිරීම ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. ඒ වගේම මෙම පහසුකම සලසා දීම සඳහා ලක්‍ෂ තුනක් පමණ වන ගනුදෙනුකරුවන් පිරිසකගේ ගිණුම් වල සංශෝධන කිරීමත් සරල කටයුත්තක් නොවේ. නමුත් අප බැංකුවට මේ තැනට එන්නට නිබඳව අත හිත දුන් සෑම අවස්ථාවකම අප සමග රැදී සිටි ඒ ආදරණීය ගනුදෙනුකරුවන් වෙනුවෙන් අපි අපේ යුතුකම හා වගකීම අඩු නැතිව ඉෂ්ට කළ යුතුයි.

ඒ වගේම කොවිඩ් වයිරසය නිසා ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ සමස්ත කාල සීමාව තුළ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම ඈත එපිට ගම්මානවල ගනුදෙනුකාර ප්‍රජාවට සිය බැංකු කටයුතු සිදුකරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේදී ජංගම බැංකු සේවාව තුළින් සහයවීමට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ලෙස අප ඉතා විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කළා. ඒ වගේම අසීරුතාවයට පත් ව්‍යාපාර ක්‍රියාත්මක තත්වයට පත් කිරිම සඳහා හඳුන්වා දුන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා 04 % ක් වු වාර්ෂික පොලි ප්‍රතිශතය යටතේ තාවකාලික ණය සහන ඉල්ලුම් කරන ලද 3,500 ක් පමණ වන පිරිසකට එම කාරක ප්‍රාග්ධන ණය ලබා දීමේ කටයුතුද මේ වන විටත් සිදු කරමින් පවතිනවා .

එමෙන්ම සිය ව්‍යාපාරික කටයුතු නැවත පණ ගන්වා ගැනීමට මුල්‍ය සහය බලාපොරොත්තු වන දෛනික ජීවනෝපාය බිඳවැටුණ කුඩා ව්‍යවසායකයින් හා නිෂ්පාදකයින්ට 4% වාර්ෂික පොළියක් යටතේ වසරක් තුළ නැවත ගෙවා දැමිය යුතු විශේෂ ණය ප්‍රදානයක් ලබා දීම ඉදිරි සතිය තුළ ආරම්භ වීමට නියමිතයි. ඒ තුළින් රු.5,000,10,000 ආදී වශයෙන් ණය පහසුකම් ලබා දීමට නියමිත වන අතර, අත්‍යාවශ්‍ය අවස්ථා වල රු.100,000 දක්වා වන ණය මුදලක් සලකා බැලීම වුවද සිදු කෙරෙනවා.

මීට අමතරව මිශ්‍ර බෝග වගාවක් ආරම්භ කරන කුඩා ගෙවත්තක් සඳහා මාස නවයක කාලයකින් ගෙවා අවසන් කිරීමේ පදනම මත උල්පත ලෙස නම් කර ඇති ණය යෝජනා ක්‍රමයක් යටතේ මුළු කාලසීමාවටම රු. 300/- ක් (තුන්සීයක්) වැනි සුළු පොළියක් අය කර රු. 10,000 ක සුවිශේෂ ණය මුදලක් ලබා දීමේ නැවුම් වැඩසටහනක්ද මේ වන විටත් අප ආරම්භ කර ඇති බව ඉතාම සතුටින් යුතුව සඳහන් කළ යුතුයි.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages