ව්‍යාපාර කළමනාකරණය සඳහා යුද උපාය මාර්ග යොදා ගැනීම - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-20

ව්‍යාපාර කළමනාකරණය සඳහා යුද උපාය මාර්ග යොදා ගැනීම

20 ජුනි, 2020

 සාගර කුලසිංහ

සහකාර අධ්‍යක්‍ෂක

ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය

ව්‍යාපාර සාර්ථකව කළමණකරණය කිරීම සඳහා යොදා ගත හැකි විශාල දැනුම් සමුදායක් ගැබ්ව ඇති ක්‍ෂේත්‍රයක් ලෙස යුද සංග්‍රාම ක්‍ෂේත්‍රය හඳුනාගත හැකිය. ව්‍යාපාරයක් කිරීම යුද්ධයක් කිරීමට සමාන බව ඇතැම් කළමණාකරණ විශේෂඥයන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම යුද උපාය මාර්ග හා පරිචයන් අනුගමනය කරන ව්‍යාපාර ඉතා සීග්‍රයෙන් තම සාර්ථකත්වය ළඟා කරගන්නා බවත් ඒවා ලෝකයේ ජනප්‍රිය ව්‍යාපාර වන බවත් ඒ සම්බන්ධව පර්යේෂණය කරන පර්යේෂකයන් පෙන්වා දෙයි.

වර්තමාන ලෝකයේ මතුව ඇති අර්බුධ හමුවේ ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කිරීම හා දියත් කිරීම අභියෝගාත්මක බව අමුතුවෙන් කිවයුතු නොවේ. අද වන විට ශ්‍රී ලංකාවේ බහුතරයක් ව්‍යාපාරයන්ටද මෙම ඉරණමට මුහුණදීමට සිදුවී ඇත. වර්තමානයේ මුහුණ දී ඇති සෞඛ්‍ය උවදුර නොබෝ දිනකින් ආර්ථික උවදුරක් බවට පත්වන ලකුණු පහළ වී ඇත.

මේ නිසා රටක සිටින පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ටද විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදු වේ. මෙම අභියෝගය රටක් කලාපයක් පමණක් මුහුණ දෙන අභියෝගයක් නොවන අතර එය ලෝකයක් මුහුණ දෙන අභියෝගයක් වීම මෙහි ඇති විශේෂත්වයයි. මුලින්ම මෙම ක්‍දඩසා 19 සෞඛ්‍ය අර්බුදය චීනය තුලින් පැන නැඟුණත් අද වන විට ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවකට පැතිර ඇති අතර එය මිනිසා විසින් ගොඩ නඟන ලද ව්‍යාපාර ක්‍ෂේත්‍ර ගණනාවකටද බලපෑමක් එල්ල කර ඇත. සංචාරක කර්මාන්තය, ක්‍රීඩා කර්මාන්තය, තෙල් කර්මාන්තය ආනයන අපනයන වෙළඳාම, මූල්‍ය හා බැංකු ක්‍ෂේත්‍රය, විනෝදාත්මක හා ඉසව් කර්මාන්තය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, අධ්‍යාපන ක්‍ෂේත්‍රය ඒ අතර ප්‍රධාන වේ. මේ අවුරුද්ද ආරම්භයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලෝකයේ ආර්ථික වර්ධනය 3.4 ක මට්ටමක පවත්වා ගැනීමට අපේක්‍ෂා කළ ද මේ උදා වූ නව සෞඛ්‍ය උවදුරත් සමඟ එම වර්ධන වේගය සිහිනයකට පමණක් සීමා වී ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන පරදි මෙම වසංගතය ලෝකයේ බොහෝ පිරිසකට තම රැකියා අහිමි කරන තත්වයකට පත් කරනු ලබයි.

ලෝකයේ මිනිසුන් මිලියන 5.3 සිට 24.7 දක්වා ප්‍රමාණයකට රැකියා අහිමි වී යාමේ අවධානමක් ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට ඇත. ඌන සේවා නියුක්තිය මීට සමගාමීව වැඩි වන බව ඔවුන් ප්‍රකාශ කරයි. ඉහත තත්ත්වයන් කෙරෙහි සැලකිලිමත් වීමේදී වැටහෙන කරුණක් වන්නේ ඉදිරි කාල පරිච්ඡේදය ව්‍යාපාරිකයන්ට, පාරිභෝගිකයන්ට මෙන්ම රජයටද ඉතා අභියෝගාත්මක කාලයක් බවයි. විශේෂයෙන්ම ව්‍යාපාර වශයෙන් මෙම නව අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද යන්න සලකා බැලීම ඉතා වැදගත්ය. මේ තර්ජනාත්මක අභියෝග සමඟ මිනිසුන් නව මුහුණුවරකින් මුහුණදීමට සූදානම් වීම ඉතා ප්‍රසස්ත තත්වයකි. විශේෂයෙන්ම නව නිපයුම් කරුවන්, විද්‍යාඥයන්, පර්යේෂකයන් විවිධ නව සොයාගැනීම් බහුලව සිදු කරනු ලබන්නේ ඇතිවිය හැකි තර්ජනවලට අභියෝග එල්ල කරමිනි. ව්‍යාපාරිකයන් වශයෙන් ද නව දැනුම හැකියාවන් තම ව්‍යාපාර කටයුතුවලට යොදා ගැනීම මඟින් මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි බව අපගේ විශ්වාසයයි.

ව්‍යාපාර සාර්ථකව කළමණකරණය කිරීම සඳහා යොදා ගත හැකි විශාල දැනුම් සමුදායක් ගැබ්ව ඇති ක්‍ෂේත්‍රයක් ලෙස යුද සංග්‍රාම ක්‍ෂේත්‍රය හඳුනාගත හැකිය. පීච් සහ සැලඩ් පෙන්වා දෙන පරිදි යුද උපාය මාර්ග හා ඒවායේ භාවිතයන් ව්‍යාපාර උපාය මාර්ග බවට සුසමාදර්ශී පරිවර්තනයක් සිදු වේ. ලෝකයේ සිටි සහ සිටින කළමණාකරණය පිළිබඳ දැවැන්තයන්, පර්යේෂකයන් මෙම යුද උපාය මාර්ග සහ ඒවායේ භාවිතයන් තම කළමණාකරන මූලධර්ම නිර්මාණයට යොදාගෙන ඇති බව නොරහසකි. විශේෂයෙන්ම කළමණාකරන විශේෂඥයෙක් වන ඇන්සොෆ් ට අනුව ව්‍යාපාරයක ඉහළ කළමනාකරුවන්ගේ උපායමාර්ගික චින්තනය පෝෂණය කිරීම සඳහා යුද උපක්‍රම සහ ඒවායේ භාවිත ඉතා වැදගත් බව ප්‍රකාශ කර ඇත. එවැනිම කළමණාකරණ විශේෂඥයෙක් වන පෝටර් විසින් යුද්ධ භුමියේ භාවිත කරන විවිධ ආකෘතීන්, ක්‍රම ආක්‍රමණශීලී චරණ, ආරක්ෂාකාරී චලන, නිවැරදි යුද භූමිය තෝරා ගැනීම තම උපායමාර්ගික කළමණාකරනය, තරඟකාරී උපායමාර්ග වැනි කළමණාකරණ ග්‍රන්ථවල න්‍යායන් ගොඩනැගීමට යොදා ගෙන ඇත. වියට්නාම් යුද්ධයදී හා ලෝක යුද්ධ වල ඇති වූ විවිධ සිද්ධීන්, යොදා ගත් උපක්‍රම ව්‍යාපාර කළමණාකරනය සඳහා යොදා ගන්නේ කෙසේද යන්න මින්ච් විසින් ලෝකයට අනාවරණය කර ඇත. ඔක්සන්ෆෙල්ඩ් මුවර්ට (1997) අනුව වෙළඳපල යනු ගනුදෙනුකරුවන් අත්කර ගැනීමට තරඟවදින ආයතන සිටින යුධ භූමියක් ලෙසට පෙන්වා දෙයි. ඒ අනුව වෙළෙඳපළ යුධ භූමියකට උපමාකළ හැකි බව විද්වතුන් පෙන්වා දෙයි.

යුද්ධෝපාය ඥානය ලෝකය පුරා විහිදී ඇති විශාල දැනුම් සම්භාරයකට උරුමකම් කියයි. මෙම යුද ඥානය ලබා දෙන ප්‍රධාන මූලාශ්‍ර ග්‍රන්ථ 2 ක් පෙරදිග සහ අපරදිග ලෝකවලින් හඳුනාගත හැකිය. The Art of War නැමැති ග්‍රන්ථය චීන ජාතික සෙම්පතියකු වන සන්සු විසින් නිර්මාණය කර ඇත. අපරදිග ලෝකයේ ක්ලෝසවිට්ස් නැමැති සෙන්පතියා විසින් ලියන ලද On War ග්‍රන්ථය ද තවත් වැදගත් ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථ 2 හරහා උත්පාදනය කර ඇති දැනුම විශේෂයෙන්ම ව්‍යාපාර කළමනාකරණය සඳහා අතිවිශාල දායකත්වයක් ලබා දී ඇත. The Art of War නැමැති ග්‍රන්ථය ලෝක ඉතිහාසයේ ඉතා ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් ලෙස පෙන්වා දෙන අතර මීට අවුරුදු 2500 ට පෙර ඈත අතීතයේ මෙය රචනා කොට ඇත. මෙම ග්‍රන්ථය භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති ග්‍රන්ථයක් වන අතර මෙහි අන්තර්ගත කරුණු විවිධ ක්‍ෂේත්‍රවල සංවර්ධනයන්ට යොදා ගෙන ඇත. යුද ඉතිහාසඥයන්ට හා කළමනාකරණ විශේෂඥයන්ට අනුව උපායමාර්ගවල මුල් පොත ලෙස මෙය හඳුනාගෙන ඇත. මෙහි ඇති කරුණු පහත සඳහන් කළමනාකරණ ක්‍ෂේත්‍රයන් සංවර්ධනයට ඒ ඒ පර්යේෂකයන් විසින් යොදා ගෙන ඇත. උපායමාර්ගික කළමණාකරණය, ව්‍යාපෘති කළමනාකරණය, ගුණත්ව කළමනාකරණය, නව උත්පාදන කළමනාකරණය, වෙනස්කම් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, ආයතන චර්යාව, අලෙවිකරණය වේ.

sun Tzu ගේ ප්‍රධාන යුධ ප්‍රතිපත්ති කොටස් 2 කි. 1. තමන් පිළිබඳ අවබෝධය 2. සතුරන් පිළිබඳ අවබෝධයයි. මෙය ව්‍යාපාර ලෝකය තුල අත්‍යාවශ්‍ය පරිසර විශ්ලේෂණයට සමීපත්වයක් දක්වයි. විශේෂයෙන්ම ව්‍යාපාරික උපාය මාර්ගික කළමණාකරණයේදී අභ්‍යන්තර පරිසර විගණනයන් හරහා තමාගේ තත්වය අවබෝධ කර ගැනීමත් බාහිර විගණකයන් හරහා තම තරඟකරුවන් හා අනෙකුත් සාර්ව පරිසර සාදක හඳුනාගැනීමත් සිදු කරයි. sun Tzu ගේ උපාය මාර්ග ප්‍රධාන කොටස් 5 කින් සමන්විත වේ. ඒවා නම් Too ප්‍රතිපත්ති විශ්වාස, කාළගුණය, භුමිය, නායකත්වය පද්ධති වේ. ව්‍යාපාරයක උපායමාර්ග නිර්මාණයේදී ඉහත සාධක ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම උපායමාර්ග සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේදී වෙළෙඳපළ (භූමිය), ස්වභාවික සාධක (දේශගුණය, කාළගුණය), ස්වභාවික සම්පත්වල බහුලත්වය, ස්වාභාවික ව්‍යවසන වැනි කරුණු ගැන ද වෙනදාට වඩා ව්‍යාපාරිකයින් අවධානය යොමු කළ යුතුය. අනෙක් වැදගත් යුධෝපාඥානය අන්තර්ගත ග්‍රන්ථයක් වන්නේ ක්ලාස්විට්ස්‘ විසින් රචනා කරන ලද On War ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය ව්‍යාපාර උපායමාර්ග නිර්මාණය සඳහා අවශ්‍ය මූලික මඟපෙන්වීම ලබා දෙන බව බොහෝ විද්වතුන් පවසයි. පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි ව්‍යාපාර උපායමාර්ගවල හා යුධ උපාය මාර්ගවල යොදා ගන්නා සිද්ධාන්ත එකිනෙකට සමාන බවයි.

ඉහත මූලධර්ම ගැන සලකා බැලීමේදී ව්‍යාපාරයක සාර්ථකත්වයට මෙම කරුණු ඉවහල්වන බව හඳුනාගත හැක. භූමියේ වාසිය යනු ව්‍යාපාරිකයා තම ව්‍යාපාරයට ගැළපෙන වෙළඳපලක් තෝරාගත යුතුය යන්නයි. එය ව්‍යාපාරිකයාට වාසිදායක වෙළෙඳපොලක් විය යුතුයි. යුද්ධයක සිදුකරන පහරදීමකදී එම පහරදීම සිදු කරන භූගෝලීය ප්‍රදේශයේ වාසිය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනු ලබයි. නව තරඟකරුවන් අභියෝගයකට ලක්කරමින් පාරිභෝගිකයාට නව නිපැයුම් හඳුන්වාදීම, නව පාරිභෝගික සේවා හඳුන්වාදීම තුලින් ව්‍යාපාරිකයන්ට තම පාරිභෝගකයන් විශ්මයට පත් කළ හැකිය. එය පාරිභෝගිකයන් අධි තෘප්තියට පත්වීමට හේතු වේ. ඕනෑම ව්‍යාපාරිකයෙක් තම වෙළඳාම තුළ දැඩි තරඟකාරීත්වයකට මුහුණදෙයි. තම තරඟකරුවන්ට එරෙහි උපායමාර්ග සංවිධානය කිරීමේදී මිල, ගුණත්වය, සේවා යන විවිධ මානයන් ඔස්සේ තම තරඟකරුවන්ට අභියෝග කිරීම, යුද්ධයකදී විවිධ පැති වලින් පහරදීම සිහිගන්වයි. තම වෙළෙඳපල කොටස රැක ගැනීමටත්, තම දක්‍ෂ සේවකයන් රැක ගැනීම, ව්‍යාපාර රහස් රැක ගැනීම වැනි ආරක්‍ෂණ උපායමාර්ග යොදා ගැනීම ව්‍යාපාරික පැවැත්මට සෘජුව බලපායි. තම සේවකයන්ගේ චිත්ත ධෛර්ය, තෘප්තිය, කැපවීම වැනි කරුණු ව්‍යාපාරයක සාර්ථකත්වයට බලපාන බව නොරහසකි. ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ ක්ලෝස්විට්ස් විසින් හඳුන්වා දුන් ප්‍රධාන මූලධර්ම සෘජුවම ව්‍යාපාර සංවර්ධනයට යොදාගත හැකි බවයි.

චීනයේ සිදු කරනු ලැබූ පර්යේෂණයකින් ඔප්පු වී ඇති පරිදි එරට සුළු පරිමාරණ ව්‍යාපාරිකයන් බහුතරයක් එරට සුප්‍රසිද්ධ සංග්‍රාමික දැනුම අන්තර්ගත ග්‍රන්ථයක් වන රාජධානී තුනක් යන ග්‍රන්ථයෙහි ඇතුළත් යුද උපායමාර්ග තම ව්‍යාපාරික කටයුතුවලට යොදාගන්නා බව තහවුරු කරගෙන ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සුළුපරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් තුනෙන් පංගුවක් පමණම හමුදා සේවයෙන් විශ්‍රාමගත් අයවලුන් වීම තවත් විශ්මයජනක තොරතුරක් වේ. ඉහත කරුණු අනුව යුද සංග්‍රාම ක්‍ෂේත්‍රය තුල ඇති විශාල දැනුමක් ව්‍යාපාර ලෝකයට හුවමාරු වී ඇති අතර එවැනිම දැනුමක් සංග්‍රාම භූමියේ තවමත් හුදකලාව පවතී. ශ්‍රී ලංකාවේ හමුදාව ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කළ අතර ඒ සඳහා යොදාගත් අති විශාල දැනුම් සම්භාරය අදටත් හුදකලාව පවතින අතර එම දැනුම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංවර්ධනයට දායක කරගෙන ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඒ පිළිබඳව රටක් වශයෙන් නැවත සිතා බැලිය යුතු කාලය එළඹ ඇත. විශේෂයෙන්ම ඒ සඳහා දායකත්වය සැපයූ රණ ශූරයින් සතු දැනුම, හැකියාවන් මෙවැනි අර්බුදකාරී තත්වයක් තුළ එයින් මිදීමට සාර්ථකව යොදා ගත හැකි බව ලෝකයේ සිදු කරන ලද විවිධ පර්යේෂණයන්ගෙන් ඔප්පු වී ඇත. එනිසා ශ්‍රි ලංකාව තුළ ද ඉතා කඩිනමින් යුද ව්‍යාපාර දැනුම හුවමාරු වීමේ ක්‍රියාවලියක් ස්ථාපිත විය යුතු බව මේ කර්තෘගේ ප්‍රාර්ථනාවයි.

 



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages