බදුල්ලේ බව හඟවා මොහාලි නුවර පැවැති විස්සයි20 ‘හොර තරගයට’ ඉන්දීය පොලීසිය කඩා පනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

බදුල්ලේ බව හඟවා මොහාලි නුවර පැවැති විස්සයි20 ‘හොර තරගයට’ ඉන්දීය පොලීසිය කඩා පනී

බුකීකරුවන්ගේ අලුත්ම ක්‍රිකට් ජාවාරමක සුලමුල හෙළි වෙයි

2ක් අත්අඩංගුවට: තව 6ක් සොයා  නගර පීරයි

බදුල්ලේ ක්‍රීඩාංගණයක යැයි හඟවමින් ඉන්දියාවේ මොහාලි නුවර එක්තරා ග්‍රාමීය ක්‍රිකට් ක්‍රීඩාංගණයක පසුගියදා පැවැත්වෙමින් තිබූ ක්‍රිකට් තරගාවලියක් වැටලූ මොහාලි පොලීසිය පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර, තවත් පුද්ගලයන් සයදෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ඉන්දීය පුවත් වාර්තා කළේය. ඉන්දියාවේ ව්‍යාප්තව ඇති බුකීකරුවන්ගේ අලුත්ම ක්‍රිකට් ජාවාරමක සුලමුල හෙළි කළ මේ විමතිය දනවන තරගාවලිය සම්බන්ධව වැඩි දුර විමර්ශන සිදු වෙමින් පවතින බව ද ඉන්දීය පුවත්පත් වැඩි දුරටත් වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ බදුල්ල නගරය කේන්ද්‍ර කරමින් ඌව පළාත් ක්‍රිකට් සංගමය මගින් මෙහෙයවූ තරගාවලියක් බවට පෙන්නුම් කරමින් මේ තරගාවලිය ඉන්දියාවේ මොහාලි නුවරට කිලෝමීටර් 16ක් ඈතින් පිහිටි සවාරා නමැති ගම්මානයක පවත්වා තිබිණි.

මොනරාගල හෝනට්ස්, යුනිලයන්ස් මහියංගණය, බදුල්ල සී ඊගල්ස් සහ වැල්ලවාය වයිපර්ස් නමින් කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් ජූනි මස 29 වැනිදා සිට ජූලි මස 5 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන බවට කාලසටහනක්ද අන්තර්ජාලයට මුදා හැරීමට බුකීකරුවන් කටයුතු යොදා ඇත.

කිසිදු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහභාගි නොවු එම ව්‍යාජ තරගාවලිය ‘ඌව විස්සයි20 ක්‍රිකට් තරගාවලිය’ නමින් ඉන්දියාවේ පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව දැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ බව මේ සම්බන්ධව ‘දිනමිණ’ කළ විමසුමකදී එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කීවේය.

අදාළ ක්‍රීඩාංගණය පොලීසිය විසින් පසුගියදා වටලනු ලැබූ අවස්ථාවේදී මෙරට හිටපු සුපිරි ක්‍රීඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස් සහ ෆර්වේස් මහරූෆ් ඇතුළු තවත් ක්‍රීඩකයන් රැසකගේ නම් සටහන් වූ ක්‍රීඩා ජර්සිවලින් සැරසුණු පන්ජාබ් ප්‍රදේශයේ නාඳුනන ක්‍රීඩකයෝ පිරිසක් මුඛ ආවරණ ද පැලඳ ක්‍රීඩා කරමින් සිටියහ. මේ සම්බන්ධව කිසිවක් නොදන්නා බවත්, දේශීය ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට එක්තරා පිරිසක් ක්‍රීඩාංගණය වෙන් කරවා ගත් බවත් එම ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය දරන ස්ට්‍රොක්ස් ක්‍රිකට් සංගමය නමැති ක්‍රීඩා සංගමයේ නිලධාරියකු පොලීසියට පවසා තිබේ. එමෙන්ම කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් නරඹන්නන්ගෙන් තොරව තරගාවලිය පවත්වන බව ද තරග සංවිධායකයන් ප්‍රකාශ කළ බව එම ක්‍රීඩා සංගමයේ නිලධාරියකු පොලීසියට පවසා ඇත. එමෙන්ම එම ක්‍රීඩාංගණයේ තැනින් තැන තරගාවලිය සම්බන්ධව විවිධ දැන්වීම් පුවරු ප්‍රදර්ශන එල්ලා තිබූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඡායරූප එහි සටහන් වී තිබූ බව ද මොහාලි පොලීසිය සඳහන් කළේය.

ඌව විස්සයි20 ව්‍යාජ ක්‍රිකට් තරගාවලිය යූ ටියුබ් වීඩියෝ වෙබ් අඩවියේ එක්තරා චැනලයක් ඔස්සේ සජීවිව විකාශය කිරීමට ද තරගාවලියේ සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබිණි. එමෙන්ම තරගාවලියේ සජීවි ලකුණු පුවරුව ‘ස්පෝර්ට්කීඩා’ නමැති ජනප්‍රිය වෙබ් අඩවියේ පන්දුවෙන් පන්දුවට යාවත්කාලීන වෙමින් තිබිණි. මේ තරගාවලිය ඉන්දියාවේ මහ පරිමාණයෙන් ව්‍යාප්තවී ඇති අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු තැබීමේ (online betting) ක්‍රමවේදය අනුව පැවැත්වූවක් බවත්, එය එරට බුකීකරුවන් විසින් සංවිධාන කරනු ලැබුවක් බවත් මේ වන විට වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ෆවුස් මොහොමඩ්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages