අඟුලානේ පොලිසිය හැමදාමත් ගමෙන් ගුටි කන්නේ ඇයි? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-19

අඟුලානේ පොලිසිය හැමදාමත් ගමෙන් ගුටි කන්නේ ඇයි?

කලකට ඉහතදී එල්ටීටීඊ සංවිධානය වරක්​ දෙවරක් නොව කීප වතාවක්ම උතුරේ හා නැගෙනහිර පොලීසි බිමට සමතලා කළේය. ආණ්ඩුවට එරෙහිව දෙවරක් කැරලි ගැසූ ජවිපෙත් පොලීසි අල්ලාගත් අවස්ථා තිබිණි. ජවිපෙත් එල්ටීටීඊයත් හැරුණු කොට ලංකාවේ පොලිසියක් බිමට සමතලා කළ පිරිසක් වේ නම් ඒ අඟුලානේ ගම්මුය. මෑත කාලයේදී ඔවුහු අඟුලානේ පොලිසියට දෙවරක්ම පහර දුන්නෝය.

පොලිසියට පහරදීම නීතිය ඉදිරියේ වැරදි ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. එය දැන දැනත් අඟුලානේ ගම්මුන්ට පොලිසියට පහර දෙන්නේ ඇයි? ගම්මු කියන හැටියට ඒ සඳහා ඔවුන්ට සාධාරණ හේතු තිබේ.

අපරාධ මැඬලීම. අපරාධ අනාවරණය, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අතින් ශ්‍රී ලංකා පොලිසිය කොතරම් සූර වුවත් අඟුලාන පොලිසියේ කැරැට්ටුව එතරම් හොඳ නැත. දෙදහස් නවය වසරේදී අගෝස්තු දහතුන් වැනි දින අඟුලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් අඟුලාන ප්‍රදේශවාසීහු පොලිසියට පහර දී පොලිස් ස්ථානය බිමට සමතලා කළහ.

පසුගිය දහවැනිදා පොලිසිය කළ වෙඩි තැබීමකදී තිස් නව හැවිරිදි අමිත් කරුණාරත්න මියයෑම හේතුවෙන් කෝපයට පත් ගම්වාසීහු අඟුලාන පොලිසියට යළිදු වරක් පහර දුන්හ. පසුගිය දහසය වැනිදා සැකකාර පොලිස් නිලධාරින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔවුන්ට ඇප ලැබුණේ පොලිසිය අධිකරණයට කරුණු නිසි ලෙස ගොනු නොකළ නිසා බව පවසමින් ගම්වැසියෝ නැවතත් ගල්වලින් පහර දී පොලිසියේ නාමපුවරුව ඇතුළු දේපොළවලට හානි කළහ. අඟුලාන පොලිසියේ නම යළිදු වරක් කැත කරමින් ඝාතනය වූ අමිත් කරුණාරත්නගේ පුත්‍රයා වන අසිත නිලංක ඒ සිදුවීම පැහැදිලි කළේය.

‘‘ලුනාව පාලම ළඟදි පොලිසියෙන් අපේ කට්ටිය ආපු ත්‍රීවීල් දෙකම නැවැත්තුවා. කට්ටියට බහින්න කියලා කැත විදිහට කතා කරලා අපිව චෙක් කළා. මට තේරුණා මෙයාලා බීලා ඉන්නේ කියලා. අඟුලානේ ඕඅයිසී මහත්මයා අපි එක්ක හරිම හිතවත්. මම ඉක්මනට මහත්තයට කොල් කළා. එයා කිව්වා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා, මම ඉක්මනට එන්නම් කියලා. එයා එනකල් මම තාත්තව පාරෙන් අනික් පැත්තට එක්කන් යද්දි එක සැරේටම වෙඩි තිබ්බා.’’

ලුනාව හත්වැනි පටුමගේ පදිංචි සියලු දෙනාම පාහේ කියා සිටින්නේ මියගිය අමිත් කරුණාරත්න පොලිසිය සමග ඉතා කුළුපගව සිටි කෙනකු බවයි. අපට හමුවූ අමිත්ගේ මිත්‍රයකු කියා සිටියේ, ‘‘මොරටුව, අඟුලාන, ගල්කිස්ස පොලිසි තුනේම ඕන කෙනෙක් ළඟ මේ අයියගේ නම්බරේ තියෙනවා. කරුමේ කියන්නේ මෙයාලා තුන්දෙනා ළඟ නම්බරේ නොතිබුණ එකයි’’ පොලිසියේ මිතුරකු සේ සිටි අමිත්ගේ මරණ පරීක්ෂණ පිළිබඳව ගම්වාසීන් තුළ විශාල සැකයක් පවතී. එයින් ප්‍රධානතම කරුණ නම් එදින පොලිසියේ පාටියක් තිබුණු බවට කියන කතාය. අඟුලාන ගමේ වෙසෙන සමන් නමැත්තා පොලිස් නිලධාරීන්ට මත්පැන් ගෙනැත් දුන් බවට ගම්මු කියති. එහෙත් පොලිසිය පැත්තෙන් මේ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේය. වෙඩි තැබීමට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරීන් බීමතින් සිටි බවට තහවුරු නොවූ බව පොලිසිය පැත්තෙන් කියන කතාවය. කෙසේ නමුදු මෙම සිදුවීමේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අතුල රණගල සඳහන් කර සිටින්නේ පසුගිය බ්‍රහස්පතින්දා (16 වැනිදා) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පොලිසිය ඉතා අසාධාරණ ආකාරයට කටයුතු කළ බවයි.

‘‘මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා කියන වෙලාවක පොලිසිය ශ්‍රී ලංකාවේ පළමු වතාවට මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරුව සාක්ෂිකාරයෙක් කළා.’’

මේ සිද්ධියත් සමග අළු යට තිබූ ගිනි එළියට ආවේය. ඔවුහු පොලිසියට පහර දුන්හ. අමිත් කරුණාරත්නගේ මරණයත් සමග කුපිත වූ ගම්මුන් සමග සාම සාකච්ඡාවට එක්වූ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගම්මුන්ට පොරොන්දු වී ඇත්තේ මේ ගැන අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වන බවය. අමිත්ගේ මළගම පැවති දවසේ පැමිණි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අඟුලානේ ගම්මුන්ට පවසා ඇත්තේ සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා පොලිස් අත්අඩංගුවේ පසුවන බව කී බවයි. මෙම සිදුවීම පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා අප පසුගිය බදාදා (15 වැනිදා) අමිත්ගේ නිවසට යන විටත් නිවැසියන් සහ ඥාතීන් සිතා සිටියේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ පසුවන බවය. එය එලෙස නොවන බව දැනගත් මොහොතේම සියලුම දෙනා පුදුමයටත්, කලබලයටත් පත්වූහ. අමිත්ගේ මව හඬා වැළපුණේ ‘මගේ පුතා මරපු උන් එළියේ, මගේ පුතා වළේ’ කියමිනි.

සැකකරුවකුට ඇප දීමෙන් මහජන කැලඹීමක් ඇතිවේය යනුවෙන් කියමින් ඇතැම් නඩුවලදී කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන පොලිස් මහත්වරුන් මේ සිද්ධියේදී ගොරකා දඩ මස් කළ බවක්, බැලූ බැල්මට පෙනී යන බව ගම්මුන් සිතීම සාධාරණය. අමිත් කරුණාරත්නගේ මරණයේදී ගම්මුන් නොසන්සුන් වීමට එක් හේතුවක් වන්නේ අඟුලාන පොලිසියේ පැටිකිරිය හොඳ නැති වීමය. දෙදහස් නවයේදී අඟුලානේ තරුණයන් දෙදෙනකු වූ දිනේෂ් තරංග ප්‍රනාන්දු සහ ධනුෂ්ක අපෝන්සු ඝාතනය වූ අවස්ථාවේදී ඊට වරදකරුවන් වූයේ අඟුලාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක ටී.ඩී. නිව්ටන්, පොලිස් කොස්තාපල් ඉන්ද්‍රවංශ කුමාරසිරි, ධම්මික ජයරත්න සහ ග්‍රාම ආරක්ෂක ජනප්‍රිය සේනාරත්නය. ඔවුන්ට මරණීය දණ්ඩනය හිමිවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කළ විශිෂ්ට සහ සර්ව සාධාරණ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසය. පැමිණිල්ල මෙහෙයවූයේ වත්මන් අග්‍රවිනිශ්චයකාර එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය ප්‍රමුඛ නීතිඥ මඬුල්ලක් විසිනි. ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් මෙහෙයවා පොලිස් නිලධාරීන් පෝරකයට යැවූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත වේ. තරුණයන් දෙදෙනාට වෙඩි තැබූ තුවක්කුව සහ සිද්ධියට සම්බන්ධ නදීශා කල්පනී විසින් දුන් පැමිණිල්ල පොලිස් පැමිණිලි පොතෙන් ඉරා විසිකර දමා තිබූ තැනින් සොයාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිය අකුරටම ඉටු කළහ. එම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පැසසුමටද ලක් විය. ඒ අපක්ෂපාතීව රාජකාරිය ඉටු කිරීම හේතුවෙනි.

එදවස සිදුවූ වරද නැවත වරක් වූවා සේම වරද නිවැරදි කරගැනීමට පොලිසිය ඉටුකළ මෙහෙවර මෙවරද සිදුවෙතැයි අපේක්ෂාවෙන් මුළු රටම ඉතා අවධානයෙන් මේ සිදුවීම දෙස බලා සිටිති. මීට ටික කාලයකට පෙර පොලිසියේ මහත්වරු භාවනා කොට මනස සන්සුන් කරගැනීමට උත්සාහ කළද ඒ උත්සාහයත් සාර්ථක වී නොමැති බව දැන් පැහැදිලිය. පුරවැසියාගේ හොඳම මිතුරා බවට පොලිස් ​සේවය පත්කරන්නට ඉහළ නිලධාරීන් කොතෙක් උත්සාහ කළද දූෂිත, විනයක් නොමැති නිලධාරීන් පොලිසියේ හොඳ නම කෙළෙසති. ඒ නිසා සියලුම දෙනාම ‘ධම්මෙ හවේ රක්ඛති ධම්මචාරි’ පාඨය නිතර නිතර පුනරුච්චාරණය අගනේය.

කලණ වීරසිංහ



from රට තොට – Colombo Tribune https://ift.tt/3eFN2Sf
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages