දේශපාලනය හදාරලා ඉවර කරන්න පුළුවන් විෂයයක් නෙවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-06

දේශපාලනය හදාරලා ඉවර කරන්න පුළුවන් විෂයයක් නෙවෙයි

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි

මේ මනස්කාන්ත පින් බිමේ උරුමයේ උරුමකරුවන්ට සභ්‍යත්වයේ සැබෑම උරුමය ඉතිරි කර ගන්න නම් එහි අවසාන වග වීම ඉතිරිවී ඇත්තේ අප සතුව පමණක් යැයි ධර්මපාල පරපුර සහ ධර්මපාලවරු, සංවිධානයේ සම නිර්මාතෘ, පරපුරක උරුමය සංවිධානයේ සම නිර්මාතෘ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දීරයේදී පැවැති විදුලි බුබුළ සලකුණෙන් ජාතික ජනතා පක්ෂයෙන් තරග වදින හෙළජන සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය “සභ්‍යත්ව රාජ්‍යයක ඇරඹුම“ දොරට වඩින අවස්ථාවේ දේශනයක් කරමිනි.

මේ අවස්ථාවේදී සභ්‍යත්ව රාජ්‍යයක ඇරඹුම ප්‍රතිපත්ති ප්‍රකාශය 'ධර්මපාල පරපුර සහ ධර්මපාලවරු' සංවිධානයේ සම නිර්මාතෘ, පරපුරක උරුමය සංවිධානයේ සම නිර්මාතෘ ගත්කතුවර සේනාරත්න සිල්වා මහතා අතින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි ඇතුළු මහා සංඝ රත්නයටත් අනෙකුත් විද්වතුන්ටත් පිළිගන්වන ලදී.

පරපුරක උරුමය ගීතය හෙළ දෙරණට ප්‍රථම වතාවට වාදනය කිරීම ද සිදු කෙරිණි.

හෙළජන සංවිධානය ධර්මපාල පරපුර සහ ධර්මපාලවරු සංවිධානය, පරපුරක උරුමය, හෙළජන සන්ධානය, ජාතික ජනතා පක්ෂයන්ගෙන් සමන්විතය.

ධර්මපාල පරපුර සහ ධර්මපාලවරු සංවිධානයේ සම නිර්මාතෘ, පරපුරක උරුමය සංවිධානයේ සම නිර්මාතෘ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින්....

"මේ ප්‍රතිපත්ති ප්‍රකාශය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර හදපු එකක්. මෙය කොටස් දෙකකින් සමන්විතයි. මෙහි මුල් පිටු අටේ අපේ දැක්ම ඉතාමත් ලස්සනට කියා තිබෙනවා. ඉතුරු කොටසේ තමයි අපේ රාජ්‍ය ව්‍යුහය කොයි විදියටද තියෙන්න ඕන, නීතිය, භාෂාව, සන්නිවේදනය සහ තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කර්මාන්ත, ක්‍රීඩා, ආර්ථිකය, කෘෂිකර්මය, ආහාර සුරක්ෂිතතාව, පාරිසරික සුරක්ෂිතභාවය, බෞද්ධාගම පෝෂණය සහ ප්‍රචාරණය, ප්‍රවාහන සේවාවන්, වෙළෙඳාම, වැව් අමාත්‍යංශයක් පිහිටුවීම, රාජ්‍ය ආරක්ෂාව, විදේශ සම්බන්ධතා සහ විදේශ කටයුතු පිළිබඳ කෙටියෙන් සටහන් කරලා තිබෙනවා. කවද හරි දවසක ගොඩ නැගෙන්න නියමිත රටක ලියවෙන ව්‍යවස්ථාවේ මුල් වාක්‍ය ටික තමයි. මේ ලියලා තියෙන්නේ. දේශපාලනය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි විදියට අන්ද මන්ද වෙලා තිබෙන්නේ. හාමුදුරුවරු දේශපාලනය කරන්න හොඳ නැහැ කියන අදහසකුත් එක්ක තමයි අපි මේ දේශපාලනය ගැන විග්‍රහ කරන්න බලන්නේ. දේශපාලනය කියන්නේ විද්‍යාවක් ශාස්ත්‍රයක්, දේශපාලන ශාස්ත්‍රය කියන්නේ ලොකු විෂයක් උසස් පෙළ ඉදලා විශ්වවිද්‍යාලය දක්වාම පාඨමාලාව හදාරන ශිෂ්‍යයෙක් අඩුම වශයෙන් හය අවුරුද්දක් ඉගෙන ගන්න විෂයක් දේශපාලන ශාස්ත්‍රය කියා කියන්නේ. හැබැයි දේශපාලනය කියන එක හදාරල ඉවර කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. මේ රට පුරාම තිබෙන්නේ දේශපාලනය තමයි, සුළං හමන්නෙත් දේශපාලනය විසින් තමයි තීන්දු කරන්නේ, උදේ දවල් රූ තුන්වේල කෑවත් ඒත් දේශපාලනය හින්දා දේශපාලන සම්බන්ධතා තිබෙන හින්දා, නොකෑවත් ඒ දේශපාලන කාරණාවක් හින්දා. දේශපාලනයත් එක්ක තිබෙනවා පක්ෂ කියා එකක්. ඔය පක්ෂවලට කටයුතු කිරීම, පක්ෂ ගොඩ නැගීම, පක්ෂ ආරක්ෂා කිරීම, පක්ෂ වෙනුවෙන් පෙනී සිටීම හා මේ පක්ෂ සමඟ කටයුතු කිරීම දේශපාලනයක්ද, දේශපාලනය කියන්නේ පක්ෂ ද, නැත්නම් පක්ෂ තිබෙන්නේ දේශපාලනය ඇතුළෙ ද, නැත්නම් දේශපාලනය තිබෙන්නේ පක්ෂ ඇතුළෙ ද. ඒ පිළිබඳ පොඩු අන්ද මන්දවීමක් අපි ගාව තිබෙනවා. පැහැදිලි කරගන්නවානම් ගරාජ් එකක් ගත්තාම ගරාජ් එකක තිබෙනවා එක එක මෙවලම් අඩු මිටි ආදී දේවල්. ඒකෙන් දේශපාලනය කියන්නේ ගරාජ් එකක් නම් පක්ෂ කියන්නේ අඩුවක්. දේශපාලනයේ බලන අල්ලන මෙවලම තමයි පක්ෂ කියා කියන්නේ. කවුරු හරි කෙනෙක් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් කටයුතු කරනවානම් ඒ තැනැත්තා අඬුව ගරාජය සේ සිතා සිටින්නේ. ඒ නිසා අඩුව යනු ගරාජය නොවෙයි ගරාජය යනු අඬුව ද නොවෙයි. අඬුවේ ගරාජ නැත එහෙත් ගරාජයේ අඬු ඇත. ඒ නිසා දේශපාලනය ඇතුළේ පක්ෂ තිබෙන්න පුළුවන්. පක්ෂ නැති දේශපාලනයක් තිබෙන්නත් පුළුවන්. දේශපාලනයක් නැති පක්ෂයක් තිබෙන්න විදියක් නැහැ.

"ශ්‍රී ලංකාවේ දේශපාලනය දිහා බැලුවාම දේශපාලනයක් පක්ෂවල නැති දේශපාලනයක් නැති පක්ෂවලට දේශපාලනයක් නැති, දේශපාලනයක් නැති පක්ෂ ඇති තැනක තමයි රට තියෙන්නේ. පක්ෂයක් කියන්නේ බලය ලබා ගැනීමේ මෙවලමක්, බලය කරා යන වාහනයක් විතරයි. දේශපාලනයක් තියෙන්න නම් ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. රට ගැන හිතන්නේ කොහොමද නීතිය ගැන හිතන්නේ කොහොමද ගහ කොළ සතා සීපාව ගැන හිතන්නේ කොහොමද කියා අපේ දැක්ම මොකක්ද දැක්ම විදියට තිබෙන්න ඕන. අපි හාමුදුරුවරු විදියට මේ ශ්‍රී ලංකා භූමිය හැසිරෙන විදිය ශ්‍රී ලංකා භූමියේ මිනිසුන් හැසිරෙන්න ඕන විදිය පිළිබඳ අපිට සිතුවිල්ලක් තිබෙනවා. අපි මම හාමුදුරුවරු හැටියට පෙනී සිටින්නේ මේ රට වෙන්න ඕන කොහොමද, රටේ සුරක්ෂිතතාව වෙන්න ඕන කොහොමද රටේ අනාගතය දරුපරපුරේ අනාගතය වෙන්න ඕන කොහොමද කියායි. සුද්දෝ එන්න කලින් රටේ තිබු ස්වරූපයත් සුවඳත් ආන් ඒ රටේ සුවඳ ඒ ගුණය හැඩරුව වාස්තවිකව හදාරලා එය කෙලෙස පුනරාරෝපනය කළ හැකිද කියා සමාජ දේශපාලනය හදාරන්න ශාස්ත්‍රීයව රට පැත්තේ සිට ගන්න සභ්‍යත්වයේ උරුමය සොයා යන්න මේ වෑයම කරන්නේ.රටේ දැනට තිබෙන පක්ෂ සියල්ලම කුණු කාණු ඒ කුණු කාණු වල කෝම්බ එනවා මිසක් මල් පොකුරු එන්න විදියක් නැහැ. කුණු කාණුවක් දිගේ මල්පොකුරු කොහොමවත් බලාපොරොත්තු වෙන්න බැහැ. නැව් කොහොමවත් කුණු කාණු වල එන්නේ නැහැ. ඒ නිසා නැව් වගේ එන්න පුළුවන් කඩදාසි බෝට්ටු ඈතට මල් වගේ පේන කෝම්බ එන්න පුළුවන්. කුණු කාණුව ළඟ අපි කපන්න හදන්නේ දිය අඟලක්. ඒ නිසා කුණු කාණුව දිගේ අලුතින් බටයක් එළා කුණු කාණු ටික සුද්ද කරලා ඒ බටයෙන් කාණුව සුද්ධ කර ගන්න පුළුවන් හැදිල්ලක් මේක.ඒ හින්දා කුණු කාණු වේ දේශපාලනය කරන කෙනෙක් වේනම් ඒ අය කුණු කාණු දේශපාලනය කරන්නන්. ඒ නිසා සභ්‍යත්වයේ උරුමය මේ මනස්කාන්ත පින් බිමේ උරුමයේ උරුම කරුවන්ට සෑබම උරුමය ඉතිරි කර ගන්න නම් එහි අවසාන වග වීම ඉතිරිවී ඇත්තේ අප සතුව පමණයි."

ධර්මපාල පරපුර සහ ධර්මපාලවරු සංවිධානයේ සම නිර්මාතෘ, පරපුරක උරුමය සංවිධානයේ සම නිර්මාතෘ ගත්කතුවර සේනාරත්න සිල්වා මහතා අදහස් දක්වමින්....

"ඉතිහාසයේ සරදම සෑම දෙයක්ම කණපිට හරවනවා කියා අපි දන්නවා. අපේ රටේ වෛද්‍යවරයා සුපර් මාකට් එකට ගියාම ආරක්ෂකනියාමක වරයා උණ බලන ආකාරයේ කාලයක තමයි අපි ඉන්නේ. ලෝකයේ පළමු ආහාර වවපු ජාතිය අපි. එයට පුරා විද්‍යා සාක්ෂි ලැබී තිබෙනවා. ලෝකයේ පුරා විද්‍යාඥයන් විසින් මේ පිළිබඳව පර්යේෂණ සිදු කොට සනාථ කොට තිබෙනවා. ලොව ගල් යුගය අතහැර යකඩ යුගයට පැමිණි ජාතිය අපි බවට සාක්ෂි මඟින් සනාථ වී තිබෙනවා. මේ පොළොවේ සෑදූ දියුණු වාරි තාක්ෂණයත් සමඟ අපි වෙනස්ම ජාතියක් බවට පත්වෙනවා. අපි ලෝකයේ කිසිම කෙනෙක්ගෙන් දැනුම ගන්නේ නැතිව තනිව නැගී සිටි ජාතියක්. අපි තරම් පැරණි සභ්‍යයත්වයක් ඉතිහාසයක් ඇති ජාතියක් ලොව නැහැ. පොළොන්නරුවේදී අපි සමස්ත වාපි ශිෂ්ඨාචාරය අතහැර පසු බසිනවා. පොළොන්නරුව අතහැරලා ආපස්සට ආ දින සිට සභ්‍යත්වය ආපස්සට යනවා. ඉතිහාසය නොදන්නා ජාතියකට ගමනක් නැහැ. ඉතිහාසයට එහෙම ගමනක් යන්න අප ඉතිහාසය ඉගෙන ගෙන නැහැ. අභිමානවත් රටක් හදන එක අමාරු වැඩක් තමයි, ඒ අමාරු වැඩේ කරන්න තමයි අපි ඉපදී සිටින්නේ. එඩිතර මිනිසුන් ඇති කරන්න අභිමානය ඇති කළ යුතුයි. අපේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් තිබෙනවා වම හා දකුණ කියා නමුත් යන්නේ කොහෙද යන්නේ මොකටද කියා දන්නේ නැහැ. පාර්ලිමේන්තුවට යන්නේ මඩිතර කර ගන්නයි. අපේ මේ රට හදන්නේ කොමිස්කාර ධනපති පන්තියක් අතින්. අපිට අපේ කියා අලුත් මිනිසුන් ටිකක් හදන්න ඕන. මේ පාපයක් වෙලා තියෙන විනාශයේ පතුලට ගොස් තිබෙන මේ රට හදන්නේ කොහොමද කියා මතයක් අපිට තිබෙනවා. මේ ණයකාර ජාතිය හැදුවේ මේ විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගත් මිනිස්සු. මේ රටට හතුරු ආයතන සියල්ල අයින් කළ යුතුයි. පැරණි කල සිංහලේ නම්වූ දේශය මනෝරම්‍ය දූපතකි. එය ස්වභාව ධර්මයේ පෙහොසත් සත්කාරයන්ගෙන් අනූන දායාදයන් බොහොමයක් උරුම කොට ගත්තකි. වර්ග කිලෝමීටර හැටපන්දාහක් තරම් විශාල ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් බෙල්ජියම හා නෙදර්ලන්තය තරම් විශාලය. වශාලත්වය අතින් එය ලෝකයේ එකසිය විසි එක් වැනි තැනැට විශාල රටය. ලංකාවට වඩා කුඩා රටවල් සියයක් තරම් ඇත. ශ්‍රී ලංකාව ජන ඝනත්වයෙන් පනස් අට වැනි ස්ථානයේ පසුවෙයි. දළ දේශීය නිෂ්පාදනය අතින් හැට හය වැනි ස්ථානයේ පසුවෙයි. සිහලේ විශේෂිත ජාතියක් හා විස්මිත ශිෂ්ඨාචාරයකට උරුමකම් කියනා රටකි. මේ සුවිසල් රට නැවත ගොඩ නගන්න අපි සිතට ගත යුතුයි. පසු පරම්පරාවට අපිට කියන්න ඕන අපිට හම්බුනේ ණය බරිත රටක් අපි නුඹලා වෙනුවෙන් ඒ රට නිදහස් කරා කියා කියන්න ඕන."

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, නාහිමියෝ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උඩවෙල රේවත, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සපුගල්ලෑවේ ආනන්ද, බිබිලේ පඤ්ඤානන්ද හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, මහරගම උත්පලවණ්ණ භික්ෂුණීන් වහන්සේ, ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය ආචාර්ය ගුණදාස අමරසේකර, ධර්මපාල පරපුර සහ ධර්මපාලවරු සංවිධානයේ සම නිර්මාතෘ, පරපුරක උරුමය සංවිධානයේ සම නිර්මාතෘ ගත්කතුවර සේනාරත්න සිල්වා, ආචාර්ය ආරියසීල වික්‍රමනායක, ආචාර්ය සිදත් වෛද්‍යසේකර, ජාතික ජනතා පක්ෂයේ සභාපති මුදිත කරුණාමුනි, නීතිඥ මංජුල සේනානායක, පරිගණකවේදී චින්තක තිලකරත්න යන මහත්වරු සහ මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක දහයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන්, පක්ෂ සාමාජික සාමාජිකාවන්, විද්වතුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත

ඡායාරූප - වාසිත පටබැදිගේ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages